දේශපාලන

අපේ අර්චන වස්තුව කවුද? කුමක්ද?

0

20 වන සියවසේ අපගේ ‘අහිමි වූ’ වාමවාදයේ පරමාදර්ශ වෙනුවෙන් ස්ලෙවෝයි ජිජැක් විසින් තම In Defense of Lost Causes (අහිමි වූ අභිප‍්‍රායන්ගේ විත්තිවාචය වෙනුවෙන්) ග‍්‍රන්ථය වෙන් කරනු ලබන අතර ඔහුගේ එම කෘතියේ අරමුණ නම් එම අහිමි වූ වමට වෙන්ඩි බ‍්‍රවුන් සහ තවත් සමකාලීන විචාරකයෝ විසින් පෙන්වා දෙනු ලබන පරමාදර්ශ කෙරෙහි අපගේ විශ්වාසය (Faith) නැවත තහවුරු කරන්නේ කෙසේද යන මනෝ විශ්ලේෂී ගැටලූ‍වට පිළිතුරු ලබා දීමයි. (ඕනෑම දෙයක් හිමි වීමට නම් ‘අහිමි වීමක්’ තිබිය යුතු ය) වර්ගයේ භාෂා ක‍්‍රීඩාවක නිරත වනවාට වඩා තම කෘතිය අරමුණු කරන්නේ අහිමි වූ දෙය පිළිබඳ විශ්වාසය තබා ඉදිරියට කටයුතු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරගැනීමට බව ජිජැක් පෙන්වා දෙයි. (කියවන්න ඔහුගේ පෙරවදනේ 7 වන පිටුව) එම ඉදිරියට යාමේ ක‍්‍රියාවේ දී අපි අතීතය පිළිබඳව අනුරාගික නොවිය යුතු බව පෙන්වා දෙන ජිජැක් සාමාන්‍ය මිනිස් බුද්ධියට වැටහෙන (Common sense) අනුභූතික ඥානයේ සීමා ඉක්මවා ගොස් අපගේ නැති වූ හෝ අහිමි වූ පරමාදර්ශ වෙනුවෙන් ‘භක්තියේ පිම්මක්’ (Leap of Faith) පැනිය යුතු යයි යෝජනා කරයි. ධනවාදයේ ජයග‍්‍රහණය නම් අධිවේගී මාවතට අවතීර්ණ වී සිටින අපිට සැම විට ම අසන්නට ලැබෙන්නේ මහා ආඛ්‍යානවල පුළුල් පැහැදිලි කිරීම් (Big explanation) අවසන් බවත් ඒ වෙනුවට එදා වේල පිරිමසා ගැනීමේ ‘දුර්වල ප‍්‍රඥාව’ නම් තත්ත්වය  විසින් මාධ්‍ය අවකාශය මෙන්ම අධ්‍යාපන අවකාශ ද වසා පැතිර ඇති බවත් ය.

උදාහරණ වශයෙන් බොහෝ මාධ්‍ය ආයතනවලට පැමිණෙන විශ්වවිද්‍යාල බුද්ධිමතුන් විසින් පොදුවේ ප‍්‍රකාශ කරනු ලබන අදහසක් නම් ‘යහපාලනය යනු අර්ථ විරහිත, වැඩකට නැති අසාර්ථක උත්සාහයක්’ යන්න ය. නමුත් මෙම යහපාලන උත්සාහයේ ගැඹුරු අර්ථය නම් සමාජයක් ලෙස අපි යම් ප‍්‍රබුද්ධ, ප‍්‍රගතිශීලී, ප‍්‍රජාතාන්ත‍්‍රික අවකාශයක් වෙත ගමන් කළ යුතු ය යන්න ය. විශේෂයෙන් යම්කිසි ඒකාධිපති වර්ගයේ රෙජීම මාරුවකින් පසු අධිකතර බලය වැරැුදි ලෙස භාවිත කිරීම පාලනය කිරීමත්, නව ව්‍යවස්ථාවක් මෙන්ම ප‍්‍රජාතාන්ත‍්‍රික අවකාශයක් ආරම්භ කිරීමත් එහි සම්භාව්‍ය අරමුණ විය. අද්‍යතන භාවිතයේ කෙතරම් දුර්වලතා පැවතිය ද එම ප‍්‍රබුද්ධ අරමුණු අවනිශ්චය කිරීම ප‍්‍රගතිශීලී ක‍්‍රියාවක් නොව ‘හදිසි අදහස්’ විසින් පුළුල් පැහැදිලි කිරීම් අවරෝධනයට පත්කිරීමේ තත්ත්වයකි. හදිසි අදහස් හේතුවෙන් සිදු විය හැකි එකම අනර්ථය නම් නැවත මහින්දවාදී  සහ ජාතිකවාදී කඳවුර සඳහා අවි සැපයීම ය. මෙයින් අදහස් කරන්නේ වාමාංශික අර්ථයකින් මෙම ලිබරල් දේශපාලන ව්‍යුහය රැුඩිකල් ලෙස ප‍්‍රශ්න නොකළ යුතු බව නොවේ. නමුත් ‘සාමාන්‍ය බුද්ධිය ප‍්‍රමුඛ හදිසි හෝ අනුභූතික ප‍්‍රඥාව (Empirical wisdom) විසින් සත්‍යය (Truth) මඟහැරිය හැකිය’ යන ජිජැකියානු න්‍යායික ස්ථාවරය අපි අමතක නොකළ යුතු ය යන්න මෙහි දී අවධාරණය කළ යුතු ය (ඉහත පෙරවදනේ 2 වන පිටුව කියවන්න). ‘සාමාන්‍ය බුද්ධිය ඉතා ඉක්මනින් අධිපති මතවාදය විය හැකි ය’ (Doxa) යන්න අමතක කිරීම අදේශපාලනයකි.

වෙන්ඩි බ‍්‍රවුන් විසින් නිරීක්ෂණය කරනු ලබන වාමවාදයේ අහිමි වීම අපි මොහොතකට ජිජැකියානු ආගමික රූපකයකට නඟමු. අප දෙස බලා සිටිනවා යැයි අපි සිතා සිටි දෙවියා නම් මහා අනේකත්වය නැති වීම [අහිමි වීම] අපි ප‍්‍රත්‍යක්ෂ කරගත් මොහොතේ අපිට ශේෂ වන්නේ කොමියුනිස්ට් සමාජයකි. අපි දෙස දෙවියකු බලා නොසිටින බැවින් අපේ විමුක්තිය දිව්‍යමය පැවැත්මක් කෙරේ පාර-අනුභූතිකව ප‍්‍රක්ෂේපණය කිරීම අර්ථ විරහිත දෙයකි. අපිට මිය ගිය දෙවියන්ගෙන් පසු ශේෂ වූයේ ශුද්ධ වූ අවතාරය යි (Holy Ghost). එම අවතාරමය පැවැත්ම අපිට සමීප කරන්නේ සමාජීය අනේකත්වය වන අතර එම සමාජීය බවේ ඇරඹුම ‘අසල්වැසියාට පේ‍්‍රම කරන්න’ තුළ ගැබ්ව ඇති බව ජිජැක් තම On Belief: Thinking in Action කෘතිය තුළ පෙන්වා දෙයි. මෙයින් අදහස් කරන්නේ අහිමි වූ දෙවියා (වෙන්ඩි බ‍්‍රවුන්ගේ අහිමි වූ වාමාංශික පරමාදර්ශ) විසින් අපි වෙත ශේෂ කරනු ලැබ ඇත්තේ අපගේ ම අනෙකා වෙත තබන විශ්වාසය පමණක් බවයි. එනයින් මිය ගිය දෙයට පේ‍්‍රම කිරීම නම් මෙලන්කොලියාවෙන් අපේ ආත්මය මුදවාගත හැකි එකම මනෝ විශ්ලේෂී තත්ත්වය අපිට මුණ ගැසෙන්නේ බටහිර අභිනය තුළ ඇති අනේකත්වය විශ්වාස කිරීමට අපිව පෙලඹවීම නම් කොන්දේසිය තුළ ය. ඉදින් බටහිර ක‍්‍රිස්තියානිය තුළින් අපිට උගත හැකි එකම මනෝ විශ්ලේෂී පාඩම එය යි. මහා අනේකත්වය අහිමි වී ඇති, සියලු පරමාදර්ශ මිය ගිය ධනේශ්වරයේ කාන්තාරය තුළ අපිට කළ හැකි එක ම දෙය අනෙකා විශ්වාස කිරීම වෙනුවෙන් ක‍්‍රියා කිරීමයි. ‘අසල්වැසියාට පේ‍්‍රම කරන්න’ යන්නෙහි පුළුල් අර්ථය එය යි. (රූප සටහන බලන්න).

එම අර්ථය තුළ අපි විශ්වාස කරන කොමියුනිස්ට් සමාජය සඳහා යම් ඒකාධිකාරී බලයක් ද අවශ්‍ය ය. ඒ, එම සමාජයේ ම යහපත පිණිස බරපතළ තීන්දු ගැනීම සඳහා ය. නමුත් අපේ සාමාන්‍ය බුද්ධිය තුළ අපිට අවශ්‍ය වන සමස්තතාවාදය එහි දී රෝග ලක්ෂණයක් ලෙස ප‍්‍රතික්ෂේප කිරීම කළ යුතු වේ.

උදාහරණයක් ලෙස යහපාලනය සඳහා පීතෘ මූලිකයක ප‍්‍රබලතාව අවශ්‍ය බව අපිට පෙන්වා දිය හැකිමුත් පැරණි ස්වරූපයෙන් ‘සුදු වෑන් තිබුණා නම් මේ මොන සද්දයක්වත් නෑ’ යන සමස්තතාවාදයේ සාමාන්‍ය බුද්ධිය වහාම අපි ප‍්‍රතික්ෂේප කිරීමට සූදානම් විය යුතු ය. මෙසේ අදහස් වැපිරීමට හේතුව හදිසි අදහස් පළ කිරීම සහ හැඟීම් වන අතර එම අදහස් සන්නිවේදනය කිරීම ධනවාදයේ පවතින එක් මොඩලයක් වේ. අපි ‘සන්නිවේදනය’ දෙසට කුළුගන්වන එම ක‍්‍රමයේ එක් විපරිත පේ‍්‍රරණයක් වන අධිතාක්ෂණික සන්නිවේදන ඩිජිටල්කරණය අපි හොඳින් හඳුනාගත යුතු අතර එය නව ‘සාමූහික සවිඥානිකත්වයක්’ නොවන බව අපි ඒත්තු ගැන්විය යුතු ය.

ජිජැක් තම In Defences of Lost Causes කෘතියේ පෙරවදන තුළ මෙසේ ලියයි.

”යුදෙව්වෙක් ස්වකීය නමට යටත් වන්නේ යම් සේ ද අපි ද කොමියුනිස්ට් සාර්වත‍්‍රික පරමාදර්ශ කෙරෙහි භක්තිමත් විය යුතු ය”

යුදෙව්වෝ තම ‘සයොන්වාදි අනන්‍යතාව’ ඉදිරියේ ලොව අන් සියල්ල වෙනස් වූවත් නොසෙල් වී සිටින්නේ යම් සේ ද අපි ද අපේ පරමාදර්ශවල නම ඉදිරියේ නොසැලෙන විශ්වාසයෙන් සිටිය යුතු වෙමු. නමුත් යුදෙව්වන්ගේ ‘නොවෙනස් භූමිය’ වෙනුවට ඔවුන් විසිවන සියවසේ මුහුණ දුන් භූමියක්-රහිත-බව විසින් ම විශ්වීයකරණය වූවා සේ ම සෑම සියලූ‍ කොමියුනිස්ට්වාදියෙක් ම යම් කිසි ‘භූමියක් රහිත බවක්’ විසින් ම විගලිතකරණය කරනු ලැබ තිබීම අත්‍යවශ්‍ය කරුණකි.

උදාහරණයක් වශයෙන් නිශ්චිත භූමියක් වෙනුවෙන් වන නමට පූර්ණ ලෙස අනන්‍ය වූ යුදෙව්වෙක් ලෙසට අන් සියල්ල වෙනස් වුවත් නොවෙනස්ව භක්තිමත්ව සිටී. එහෙත් විසිවන සියවසේ මෙම සයොන්වාදි (Zionist) අනන්‍යතාවෙන් මිදී සාර්වත‍්‍රික වූ චරිත තුනක් ජිජැක් විසින් පෙන්වා දෙනු ලබයි. ඔවුන් වනාහී: ස්පිනෝසා, මාක්ස් සහ ෆ්‍රොයිඞ් ය. මේ තිදෙනාගේ ම වාස්තවික තත්ත්ව තුළ තිදෙනාට ම නිශ්චිත රටකට අයිතිවාසිකම් කීමට නොහැකි විය. නිශ්චිත රටකට අයිති නොවූ ‘වි-ප‍්‍රදේශගත’ ‘භූමියක් – රහිත-බව’ නම් විගලිත බව තුළ ම ඔවුන් විසින් නව විශ්වීයත්වයක් නිර්මාණය කරන ලදී. එම විශ්වාන්තර බව (Cosmopolitan) විසින් ඔවුන්ගේ ‘රටක්-නොමැති-බව’ (Homelessness) මකා දමන ලද අතර සමස්ත යුදෙව් ජාතිය තුළ ඔවුන් ‘අර්චන කුඩා වස්තු’ (Fetish object a) බවට පත්කරනු ලැබ ඇත. දකුණු අප‍්‍රිකාවේ සිට ඉන්දියාවට පැමිණි මහත්මා ගාන්ධි ප‍්‍රකාශ කළේ ද ‘ඉන්දියාව මට නුහුරු රටක්’ වශයෙනි. නමුත් එම නුහුරු ආගන්තුකභාවය විසින් ම පෙරළා ඉන්දියාව සොයා ගැනීමට ඔහුව පොලඹවන ලදී. ඔහු විසින් ගවේෂණය කළ ඉන්දියාව විසින් ඔහු ස්වකීය ‘ජාතියේ පියා’ බවට පරිවර්තනය කරන ලදී. එවිට මිලියන ගණනක් වූ ඉන්දියානුවන්ගේ අර්චන වස්තුව බවට ගාන්ධි පත් විය. සමස්ත  මුහුණ ලස්සන කර අවසානයේ තබන මොට්ටුවක් පරිදි ගාන්ධි විසින් සමස්ත ඉන්දියාව ම ලස්සන කළේය.

මේ ගෙවෙන්නේ සමස්ත අරගලයේ අහිමි තේමාව නැවත ගිනි දැල්වීම සඳහා පේ‍්‍රරණයක් උපදවීමට නැවත අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයට ගාන්ධි – මා ඕ- චේ මෙන් අර්චන චරිත (Fetish personalities) අවශ්‍ය කර ඇති නිමේෂයකි. එවන් චරිත විසින් දල්වන ගිනිපුපුර විසින් අපව ගිලගෙන ඇති වාමවාදයේ මෙලන්කොලික බව පලවා හරිනු ඇත.

 

මතු සම්බන්ධයි

Mahesh Hapugoda

සාකච්ඡාව

ජයසිරි අලවත්ත

 

උපුටා ගැනීම: ත්‍රිමාණ 

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල