විචාර

අන්තරාභවය තුළ ප්‍රායෝගිකත්වයේ සිහින දැකීම හෙවත් නිම්නයක හුදකලාව

0
විශ්වයෙහි ආරම්භය කෙසේ සිදුවීද යන ප්‍රශ්නය අරබයා තේල්ස්, ඇනමයින්ඩර් ආදී මුල්කාලීන මයිලීටස්වාදී දාර්ශනිකයන් සැපයූ නිර්වචන අනුව යමින් විශ්වය අග්නියෙන් සෑදී ඇතැයි උපකල්පනය කළ හෙරක්ලීටස් පාමිනයිඩීස්ගේ ලොව කිසිවක් වෙනස් නොවන්නේය යන අදහසට ප්‍රතිවිරැද්ධව තර්කයක් ඉදිරිපත් කළේය. ඒ ‘එකම ගඟකට දෙවරක් බැසිය නොහැකිය’ යන අදහස ඇති නොනවතින ප්‍රවාගීභාවයේ ධර්මතාව නම් ස්ථාවරත්වය මත පදනම් වූ නිර්වචනයයි. ලෝකයෙහි හටගන්නා සිදුවීම් වල ඇති සමාන ස්වරූපයන් සැලකූ ෆ්‍රෙඩ්රික් එංගල්ස් සදාතනික පුනරාගමනය නමින් සංකල්පයක් ඉදිරිපත් කළේය. එනම් විශ්වය තුළ එකම සිදුවීම යළි යළිත් සිදුවන බවයි. නමුත් ලෝකය තුළ මනුෂ්‍ය පැවැත්ම යනු කාලය සමග පැවැත්මයි. සිදුවීමක ස්වභාවය තීරණය වන්නේ එය සිදුවන කාලය අනුවය. එබැවින් ජීවිතය යනු පියවි ඇසට පෙනෙන මානය සහ නොපෙනෙන මානය හෙවත් උපකල්පිත අනාගතය හෝ අතීතය අතර පවතින සියුම් හිදැසකි. වඩාත් සරල ලෙස නිර්වචනය කළහොත් එය ද්විමාන ලෝකය මත ස්ථාපනය වන ස්වප්නමය ත්‍රිමාන සැකැස්මකි. භෞතික ප්‍රපංචයන්ට මෙන්ම ස්වභාවික සහ සංස්කෘතික සංසිද්ධීන් උදෙසාද විශ්වීය හැඩයක් නොමැත. එබැවින් ද්‍රව්‍ය සහ අද්‍රව්‍යමය වස්තූන් , ඒවායේ සියළු චලනයන් සහ අන්තර් ක්‍රියාකාරීත්වයන් සෑම විටම දෘශ්‍ය සහ අදෘශ්‍ය තල දෙකක් අතර පවතී. වඩා වැදගත් වන්නේ මිනිසාට ජීවිතය තුළදී මෙම ආවරණ තල දෙක අතර ඇති රික්තකය ජය ගැනීමට ඇති ආර්ථික , සාමාජීය සහ සංස්කෘතික අවස්ථා කෙබඳුද යන්න විමසා බැලීමයි.
ස්වභාවයෙන්ම ජීවීන්ගේ පැවැත්ම සඳහා ස්වාභාවධර්මය විසින් ලබා දුන් පරිසරය ස්ථර වශයෙන් සකස් වී ඇත. එනම් අමිශ්‍ර සහ එකිනෙකට සහසම්බන්ධිත කොටස් වලින් සකස් වූ ස්වභාවික උපකරණයන් ලෙසිනි. නිදර්ශන ලෙස සැලකූ විට මැටි , වැලි, පස්, ගල් සහ හ්‍යුමස් සාන්ද්‍රණයකින් යුතු අමිශ්‍ර ලේයර වශයෙන් මහ පොළව සකස් වීමත් , මිනිස් කලලය ආවරණය කරන ජලජමය පරිසරයක් ඇති මල්ලක ස්වරූපයකින් යුක්ත ආකෘතික සැකැස්මත්, ගෝලාකාර විශ්වය වටා ඇති නිර්වර්ණ වායුමය අවකාශයත් යනු ලෝකය තුළ පැවැත්ම උදෙසා ස්වභාව ධර්මය විසින් ලබා දුන් තීරණාත්මක හැඩතලයන්ය. එනම් කොටස් වශයෙන් පැවතීම හෙවත් එකම පැවැත්ම තුළ ස්ථර හෙවත් විශ්වයන්, අවධීන් සහ ස්වභාවයන් තුළ ජීවිතය අමිශ්‍රව සහ එකිනෙක අවධීන් අතර සහ සම්බන්ධතාවයකින් යුක්තව පවත්වා ගැනීමයි. නමුත් අවසානයේ සමස්ත ජීවිතය යනු මෙම අමිශ්‍ර භාවයේ ඇති අවිධිමත් මිශ්‍රණයයි. මනුෂ්‍යයා සහ විශ්වයේ පැවැත්ම තහවුරු වන්නේ මෙකී තීරණාත්මක හැඩ තල අනුව සලකා බලන විටය. විශ්වයට මෙන්ම මනුෂ්‍යයාටද නිශ්චිත ගමනාන්තයක් නොමැත. පූර්ව සැලසුම් සහගත ක්‍රියාවලියකින් යුතුව මිනිසාට ස්වකීය ජීවිතය ආරම්භයේ සිට අවසානය තෙක් පවත්වා ගත නොහැක. ඔහු එකම ජීවිතය තුළ කිහිප විටක් මිය යමින් උපදිමින්, තමාගේම හඩ අන්‍ය විශ්වයකින් ගලා එන්නක් සේ දැනෙමින් , තමා විසින්ම තමාව මගහරවා ගනිමින් නිරත වන නොනිමි ජීවන චාරිකාව නිත්‍ය ගමනාන්තයකින් හෝ අනපේක්ෂිත අභාග්‍යයකින් කෙළවර විය හැකිය. නමුත් සිහිනමය ස්ථර වශයෙන් ජීවිතය පවත්වා ගැනීමට මිනිසාට සිදුවන්නේ අහඹුභාවයන් සහ අවිනිශ්චිතතාවයන් සමග තමා මුහුණ දෙන සමාජ පරිසරය තුළින් තමාගේ ජීවන අපේක්ෂාවන් සපුරාගැනීමෙහි ඇති අවධානම නිසාය . ජීවිතයේ මරණීය අවස්ථා අප විසින් කොතෙකුත් පසු කරමින් සිටිමු. එහිදී පළමු අවස්ථාවේ ජීවිතයේදී මුණ ගැහෙන මිනිසුන් ඉන් පසුව අප විසින් ගොඩ නගා ගනු ලබන ජීවිතයකදී අපට මුණ ගැසෙන්නේ අන්‍ය ස්වරූපයකිනි. එය ඇතැම් විට අප කැමතිම ස්වරූපයයි. නැතිනම් අප අකමැතිම ස්වරූපයයි. අප කැමතිම වර්ණ, මිනිසුන් සහ පරිසරයක් තුළ අප අකමැතිම සිදුවීම් ප්‍රවාහයකට පවා මුහුණ දිය හැකිය. ජීවිතය යනු ගැටලුකාරී කදු වළලුවලින් වට වූ පුළුල් නිම්නයක් නම් සෑම මිනිසකුම එහි හුදකලා වූවෝ වෙති. කෙසේ වුවත් වඩා වැදගත් වන්නේ මනුෂ්‍යයාට ස්වකීය ජීවන සැරියේදී හමුවන පුද්ගල චරිත සහ සිදුවීම් අතර සහ සම්බන්ධතාව මරණින් පසුවත් විශ්වය තුළ පවත්වාගත හැකිද යන කාරණාවයි. මිනිසකුගේ පැවැත්ම මරණයෙන් නිමා නොවේ. එයින් අදහස් වන්නේ එය පාරභෞතිකව තවදුරටත් විශ්වය මත පවතිනවා යන අදහස නොවේ. සංසිද්ධියක හෝ භෞතික ප්‍රපංචයක පැවැත්ම තීරණය කරනු ලබන්නේ කාලය විසිනි.

 

විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ ‘නිම්නයක හුදකලාව’ සිනමා කෘතිය මිනිසාගේ පැවැත්ම සහ මරණය අතර රික්තකයත්, මරණයෙන් පසු විශ්වය සමග ඔහු පවත්වන සම්බන්ධතාව සහ විය හැකියාවන් පිළිබදවත් අලුත් අර්ථකතනයක් ගෙන එයි.( මෙහිදී පුද්ගල මරණය යනු භෞතික මරණය නොවේ. එය සංස්කෘතික මරණයක්, ආත්මීය මරණයක් වශයෙන් ඔහු නියෝජනය කරන කාලය තුළ අර්ථ ගන්වා ගත හැකිය) . සිනමාපටය ආරම්භ වන්නේ රූපරාමුව විශ්වයක්, ඒ විශ්වය තුළ ජීවිතය ගොඩනගා ගන්නා තරුණයකුගේ ජීවන චාරිකාවක ආරම්භයක් පිළිබඳ රූපාවලියක් තුළිනි. තමාට කියා කිසිවෙක් නොමැති ( නමක් පවා නොමැති) තරුණයකු රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට යතුරු පැදියකින් යන අතර බවුසරයක හැපී මරණයට පත්වේ. ඉන් ඔහුගේ පළමු ජීවන ස්ථරය අවසන් වේ. නමුත් ජීවිතයේ පළමු අදියරේ දී ඔහුට විවිධ මිනිසුන් සහ සිදුවීම් වලට මුහුණ දීමට සිදුවේ. ඔහුගේ ජීවිතය තීරණය කිරීමට තුඩු දුන් හේතුවම මරණයට පාදක වෙයි.ඒ ප්‍රිය කරන සිනමා නිළියගේ ප්‍රචාරණ පෝස්ටරයයි. ඔහුගේ ජීවිතයේ ඉදිරි පැවැත්ම තීරණය කරන පරායත්ත විචල්‍යයන් කිහිපයකි. ඒ මරණයට පෙර අවසන් වශයෙන් මනසෙහි දර්ශනය වූ සිදුවීම් සහ පුද්ගල චරිතයන්ය. එනම් ,
01. තමා වඩාත් ප්‍රිය කරන සිනමා නිළියගේ ප්‍රචාරක දැන්වීම් කිහිපයක්
02. පාසල් යන සිසුවියන් පිරිසක්
03. පහන් පැලක් අසල වැඳ වැටෙන ගැමියෙක්,
04. හදිසියේ මෝටර් සයිකලයේ හැපෙන කලබලකාරී බල්ලෙක් සහ උගේ හිමිකරු
05. ගමේ කඩයේ ධර්මදාස මුදලාලි
06. සින්දුවක් මුමුණන දෙමළ තරුණිය
07. මුදලාලිගේ රූපවාහිනියේ විකාශය වන වැඩිහිටි නොදරුවකු විසින් කිරි ඉල්ලා වැලපෙන රූපවාහිනි දැන්වීම
08. රූපවාහිනියේ පෙනී සිටින නිළියකගේ දසුන
09. කඩයේ මේසයක් මත ඇති තමා ප්‍රිය කරන නිළියගේ සංවාදයක් සහිත පුවත්පත් පිටුව
10. කලබලයට පාර මාරුවන රූමත් මවක් සහ පාසල් දියණියක්,
11. ඇගේ අතින් ගිලිහෙන කහපාට වතුර බෝතලය
12. දැරියගේ මව ඇඳ සිටින මල් මල් සාරිය සහ ඇගේ දෙපාවල ගැල් වූ රක්ත වර්ණ නිය ආලේපනය
13. පාරේ ඉහළ කෝණයකින් දිස් වෙන ප්‍රිය කරන නිළියගේ රුව සඳහන් පුවරුව
14. බවුසරය සහ එහි රැදී උන් මිනිසා
15. ගරාජය හිමිකරු

 

පළමු මරණයෙන් පසු ඔහු සිනමාපටය තුළ නමකින් නියෝජනය වේ. ඔහුගේ නම ද ‘විශ්ව නම් වේ. විශ්ව විසින් භෞතික විශ්වය තුළ තමාගේ ලෝකය වෙනත් මානයක සකස් කරගනී. එය අපැහැදිලි පැතිකඩ රාශියකියන් යුක්ත වූ සිවුවෙනි මානයකි. එය බැලූ බැල්මට නොපෙනෙන කිහිප අතකට හරවා විමසිය යුතු අපේම ජීවිතයේ හරස්කඩකට සමාන වේ.. රැකියා විරහිතව සිටි තරුණයා මරණයෙන් පසු වෙළඳප්‍රචාරණ ආයතනයක හිමිකරුවකු බවට පත්වේ. ඔහුගේ බිරිඳවන්නේ තාරකාය. තාරකා යනු ඔහු ගේ ප්‍රියතම සිනමා නිළියයි.. මරණයට පෙර ඔහු දකින පාර මාරුවූ තරුණ මව හැඳ සිටියේ මල් සහිත සාරියකි. ඇයගේ දෙපාවල නිය ආලේපනය රක්ත වර්ණය. එකී ආශයන් ඔහු වඩාත් හොදම පිළිවලට ස්වකීය සිහින තුළ ගලපා ගනී. එබැවින් තාරකා රතු අඳින රක්ත වර්ණයට ප්‍රිය කරන තැනැත්තියක වෙයි. ඇය රක්ත වර්ණ බෝගන්විලා මලින් ප්‍රීතියට පැමිණෙයි. විශ්වගේ නිවසෙහි සුනඛයෙක් සිටියි. බස්ටර් නම් වූ ඔහු විටක මිනිස් වෙසක් ගෙන ඔහුව ආරක්ෂා කරයි. මිනිසකුට ලෝකය තුළ ස්වකීය අනන්‍යතාව අහිමි වීම කෙතරම් ඛේදවාචකයක්ද? භෞතික ලෝකය සමග පැවැත්ම අසීරු වූ මිනිසකු සමාජීය වශයෙන් නිරන්තර වේදනාවට පත්වෙයි. විශ්වට හැඳුනුම්පතක් නොමැත. නමුත් ඔහුව රැකගන්නා බස්ටර්ට හෙවත් සුනඛයාට හැඳුනුම් පතට අමතරව තවත් කාඩ් බොහෝ වෙති. මේ තුළ පවතින්නේ මනුෂ්‍යයකුගේ භෞතික සහ සාමාජීය පැවැත්ම අහිමි වීමේ ඛේදවාචකය සිහින තුළින් මකා ගැනීමට දරන ආයාසය නොවේද? තිරිසනකුට තරමේවත් ස්ථාවරයක් මහපොළව තුළ මිනිසාට ගොඩ නගා ගත නොහැක්කේ ඇයි?
විශ්ව ෆුඩ් සිටියකදී කහපැහැති කිරි බෝතලයක් තෝරා ගන්නා දර්ශනයක් කිහිප විටක්ම දර්ශනය වේ. ඔහුට කිරි බෝතලය අලවි කරන්නේ ගමේ කඩයේදී දුටු දැන්වීමේ සිටි නළුවා විසිනි. ඔහු ස්වප්න ලෝකය තුළ රංගවේදියකු නොවී කිරි වෙළෛන්දෙකු බවට පත්වේ. සත්‍ය ඉක්මවා ගිය සත්‍ය තිබෙන්නේ සිහින තුළය. සිහින යනු ස්මෘතියේ සහ ප්‍රඥාවේ සංකලනයකි. දැරියගෙන් ගිලිහුණු වතුර බෝතලය ද කහපාටය. විශ්ව තෝරා ගන්නේද වැනිලා කිරි මිශ්‍රණය සහිත කහ පැහැති කිරි බෝතලයයි. එමෙන්ම ගැබිණි කාන්තාවන්, කිරි බෝතල් ආදිය තුළින් විශ්ව තම ජීවිතය තුළ නව උපතක් අපේක්ෂා කරයි. ඔහුට පාර මාරුවූ දැරිය සිවුවෙනි මානය තුළදී දෙවතාවක් හමුවේ. යළි මගහැරේ.ගමේ තේ කඩයට කිඹුලා බනිස් රැගෙන යන්නට පැමිණි දෙමළ තරුණිය ගැබිණි කාන්තාවක් ලෙස වෙස්වලා ගත් මරාගෙන මැරෙන කොටි කතක් ලෙස විශ්වට හමුවේ. ඇය දමිළ බසින් මිහිරි අන්දමට ගායනා කරයි. විශ්වට පෙම් ගී ඇසෙන්නේ නාඳුනන බසකිනි. හැම විටම දෞන්දර්යය ඔහුට හමුවන්නේ වටහාත නොහැකි ලෙසය. මාතෆත්වයේ වේශයකින් ගැහැණිය බෝම්බයක් දරා සිටී .දරු උපතක අපේක්ෂාව කෙළවර වන්නේ මරණයක් තුළිනි. සෞන්දර්යාත්මක ගැලපීම් හැම විටම ඛේදවාචකවලින් කෙළවර වන්නේ ඇයි? ඒ ඇසට පෙනෙන සෞන්දර්ය ඉක්මවූ මානයක් සෑම සිදුවීමක් තුළ ම භෞතික සහ අභෞතික විචල්‍යයක් තුළම පවතින බැවිනි. අප දකින විඳින සෑම චරිතයක්ම චතුරස්‍රාකාරය. එහි මතුපිට පමණක් නොව අභ්‍යන්තරික සැකැස්මද අප වටහා ගන්නේ මරණයෙන් පසුවය. දමිළ තරුණිය ද දුක පුපුරවා ගන්නා අවස්ථාවක විශ්ව සිවුවෙනි මානය තුළදීද මරණයට පත්වේ. ස්වප්නමය සංස්කෘතියක් තුළ තමා විසින් ගොඩ නගා ග්නනා තමා කැමතිම ලෝකය තුළද මිනිසකු අතරමංවීමේ අවධානමක් පවතී. විද්‍යාව තුළ තරමං වූ මිනිසාට අනාගතය ගැන අනාවැකි කියන්නේ පහන්පැලට වැඳ හුන් ගැමියාය.
විශ්ව විසින් ගොඩ නංවනු ලබන ම වෙළඳප්‍රචාරක ආයතනයේ සාමාජිකයන් ලෙස හමුවන්නේ පාර මාරු වුණ තරුණ මව ( සචිනි අයේන්ද්‍රා) ,සහ ගමේ කඩය තුළ වූ රූපවාහිනියෙන් දුටු තරුණ නිළියයි.(සමනළී ෆොන්සේකා ). කඩයේ දහදිය දමමින් තේ හදන ධර්මදාස මුදලාලි ( රවීන්ද්‍ර රන්දෙණිය) දහඩිය පෙරාගත් අද්භූත පාරිභෝගිකයකු ලෙස සිවුවෙනි මානය තුළදී විශ්වට හමුවේ. ඔහු ගොඩ නගා ගන්නා සිවුවෙනි මානයන්හි විවිධ ප්‍රේරණයන් , බිහිසුණු ප්‍රිස්මයක වීදුරු සිහින ලෙස නිර්මාණය කරන අතර හැම විටම ඔහු එක් පැතිකඩක් බිඳ දමන්නේ සිහිනයෙන් අවදි වීමෙනි. සිනමා පටය නිම වන්නේ ආරම්භක රූපරාමුව සිනමා පටයෙහි සමස්තය තුළට සමච්ඡේදනය කිරීමෙනි. අනන්‍යතාවක් නොමැතිව අනතුරට ලක් වූ තරුණයා ගැන පොලීසිය දැනගන්නේ ගරාජයේ තරුණයාට ලබාදුන් අවසන් දුරකථන ඇමතුම ඇසුරෙනි. ගරාජයේ තරුණයා විශ්වගේ සිවුවෙනි මානය තුළ නියෝජය කරන්නේ හොඳම මිතුරාගේ භූමිකාවයි. නමුත් විටින් විට යමපල්ලා (කිංස්ලි රත්නායක) ඔහුව ලුහුබඳියි. අනාවැකි කියයි. අවසානයේ වෙලාව හරිය කියා ඔහුව භෞතික ලෝකයෙන් මුදවා රැගෙන යයි. මෙය අපගේ දෛනික ජීවිතයේ නිතර පසුවන තත්පර කිහිපයක කතාවයි.
සිනමාව යනු කතන්දර කීමේ මාධ්‍යයක් නොවේ. එය තිගැස්මක්, විශ්මයක් සහිත අවිධිමත් භාවයේ විධිමත් තීව්‍ර ප්‍රකාශනයක් විය යුතුය. විසිරුණු දෑ ඒකරාශී කිරීම , අක්‍රමිකතාවය සහ තියුණු දැක්මක් සහිත යමක් සිනමාපටයකට ප්‍රමානවත්වේ. එය අද්භූත වස්තුවකට සමානය. සරලව කියන්නේ නම් කලාකෘතියකට මූලික විය යුත්තේ පවතින මෙහොතේ ජීවිතයේ පවතින සෞන්දර්යය සහ අවිනිශ්චිචතතාව අතර පරතරයයි. අතිශය සංවිධානාත්මක සහ සූක්ෂම තිර රචනයක්, තියුණු නාද මාලාවක් සහිත සංගීතයක්, විශිෂ්ට සංස්කරණයක් සහ සියළු අමුද්‍රව්‍ය මනාසේ හැසිරවූ විශිෂ්ට අධ්‍යක්ෂණයක් තුළ තව දුරටත් සිනමාව නිම්නයක හුදකලා නොවන බව පෙනේ. සෞම්‍ය ලියනගේ සෑම මානයක් තුළම සිය ජීවිතයේ පැති කඩ පැහැදිලි සරල රේඛාවක්ද අපැහැදිලි වර්ණ ආලේපිතයක් මෙන්ද විසුරවමින් සහ ඒකාත්මිකව හසුරවමින් අති විශිෂ්ට චරිත නිරූපණයක් ඉදිරිපත් කරයි. සෙසු චරිත අතරින් සංගීතා වීරරත්න, සචිනි අයේන්ද්‍රා සහ සමනළී ෆොන්සේකා ස්වකීය ආධිපත්‍යය සිවුවෙනි මානය තුළ අත්පත් කරගනී. ඔවුන්ගේ දායකත්වය සමබර වූවකි. ගලා යන සේ පෙනෙන නමුත් ස්ථාවර ව පවතින කාලය නමැති ස්වායත්ත විචල්‍යය මත පරායත්ත විචල්‍යයන් මරණීය වේදනාවකින් හසුරවන සංකීර්ණ සමීකරණයක් බඳු ජීවිතය එක් භෞතික මරණයකින්ද බිහිසුණු සිහින සහ ආත්මීය මරණ රැසකින්ද සමන්විත වෙයි.අප ජීවිතය මුළුල්ලේම සිදු කරන්නේ කැමතිම අමුද්‍රව්‍ය එකතු කරමින් ජීවිතය නවමානයකින් විඳින්නට වෙර දැරීමයි. ගැබිණි තරුණියකගේ කුසකින් බෝම්බයක් පුපුරා යන්නාක් මෙන් මිහිරි අමුද්‍රව්‍ය වලින් අමිහිරි නිෂ්පාදනයක් බිහිවිය හැකිය.ඒ ජීවිතයේ ස්වභාවයයි. පවතින මොහොතට එහා අන් යමක් ජීවිතයේ නොමැත. එය භෞතිකය සහ පාර භෞතිකය අතර කිසිදාක මුණ නොගැසෙන ආත්මීය සිදුරකි. නිම්නයක හුදකලාවීම තුළ බූඩි අමතන්නේ ඒ හිස් අවකාශයේ සිටින ආත්මීය මිනිසාටය.
උපේක්ෂා නුවන්ශ්‍රීනි –
උපුටා ගැනීම – සර්පයාගේ දියණිය 

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල