කාලීන සංවාද

කටාර් අර්බුදය

Off

කටාර් රාජ්‍යය හා අසල්වැසි රටවල් කිහිපයක් අතර ඇති වී තිබෙන රාජ්‍යතාන්ත්‍රික අර්බුදය ගැන යමක් ලියන මෙන් පාඨකයින් දෙදෙනෙකු විසින් ඉල්ලා තිබේ. තවත් බොහෝ දෙනෙකු මේ වෙලාවේ කටාර් වල සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටින බව නිසැකය.

පළමුවම කියන්නට තිබෙන්නේ මේ හා අදාළව සීරියස් මට්ටමේ විග්‍රහයක් කරන්නට තරම් ඉකොනොමැට්ටා විශේෂඥයෙක් නොවන බවයි. විශේෂඥයෙක් නොවනවාට අමතරව ඉකොනොමැට්ටා පසුගිය දින තුනේ සංචාරයක යෙදී සිටින අතරතුර මේ සිදුවීම හා අදාළව එහෙන් මෙහෙන් දුටු පුවත් හැර ලිපියක් ලියන්නට තරම් විශේෂ හැදෑරීමක් හෝ කර නැත.

විශේෂඥතාවයක් හෝ වැඩිපුර දැනුමක් නැතත් මැද පෙරදිග කලාපයේ වෙන්නේ කුමක්ද යන්න ගැන ඉකොනොමැට්ටාට යම් උනන්දුවක් තිබේ. පාඨක ඉල්ලීම එකහෙලාම බැහැර නොකර ඉකොනොමැට්ටාගේ නිරීක්ෂණ කිහිපයක් සටහන් කරමින් ලිපියක් ලියන්නට තීරණය කළේ එබැවිනි.

මේ වන විට බොහෝ දෙනෙක් දන්නා පරිදි සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා බහරේන් ඇතුළු මුස්ලිම් රටවල් කිහිපයක් විසින් කටාර් රාජ්‍යය සමඟ වූ තානාපති සබඳතා අත් හරිමින් එම රටවලට අයත් භූමියට හෝ අහසට ඇතුළු වීම කටාර් වැසියන්ට තහනම් කර තිබේ. එම රටවල සිටින කටාර් ජාතිකයින්ටද වහාම ඉවත් වන මෙන් නියෝග කර තිබේ.

කටාර් රාජ්‍යය භූමි ප්‍රමාණය අනුව ලංකාවේ ප්‍රමාණය මෙන් පහෙන් එකක්වත් නැති කුඩා රටකි. එහි ජීවත්වන මුළු ජනගහණය මිලියන දෙකහමාරක් පමණ වුවත් ඒ අතරින් කටාර් ජාතිකයින් ගණන අටෙන් එකකටත් අඩුය. සෑම කටාර් ජාතිකයින් පස් දෙනෙකුටම ඉන්දියානුවන් දහ දෙනෙකුත්, බංග්ලාදේශ ජාතිකයින් හතර දෙනෙකුත් ශ්‍රී ලාංකිකයින් හා පකිස්තානුවන් දෙදෙනා බැගිනුත් වෙනත් විදේශිකයින් විස්සකට වැඩි ගණනකුත් එහි ජීවත් වෙති. කටාර්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රිය සිංහල බ්ලොග්කරුවෝ කිහිපදෙනෙක්ම වෙති.

ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයින්ගේ ගමනාන්ත අතර සවුදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය හැරුණු විට ජනප්‍රියම ගමනාන්තය කටාර් රාජ්‍යයයි. එහි ශ්‍රී ලාංකිකයෝ 125,000ක් පමණ සේවය කරති. මගේ දළ ඇස්තමේන්තුව අනුව ලංකාවට වාර්ෂිකව ලැබෙන ඩොලර් බිලියන හත ඉක්මවන විදේශ ප්‍රේෂණ වලින් යටත් පිරිසෙයින් 10%ක් පමණවත් පැමිණෙන්නේ කටාර් රාජ්‍යයෙන් විය යුතුය.

කටාර් රාජ්‍යය එමීර් වරයෙකුගේ පාලනය යටතේ ඇති, ඉස්ලාමික ෂරියා නීතිය ක්‍රියාත්මක වන රටකි. රටේ බහුතරය සුන්නි මුස්ලිම් වරුන්ය. කටාර් ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම තෙල් හා ස්වභාවික වායු සම්පත් මත රඳා ඇති රටකි. ක්‍රය ශක්ති සාම්‍ය පදනම මත ලෝකයේ ඉහළම ඒක පුද්ගල ආදායම ලබන්නේ කටාර් ජාතිකයින්ය.

කුඩා රාජ්‍යයක් වුවත්, සිය ආර්ථික ශක්තිය මත පදනම්ව කටාර් රාජ්‍යය මැදපෙරදිග කලාපයේ පමණක් නොව ලෝකයේ අනෙකුත් රාජ්‍ය අතරද හිස ඔසොවාගෙන සිටී. අල් ජසීරා පුවත් සේවය බටහිර ජනමාධ්‍ය සමඟ හරි හරියට තරඟ කරන අතර, කටාර් ගුවන් සේවය ලෝකයේ ප්‍රධාන පෙළේ ගුවන් සේවයකි.

මැද පෙරදිග කලාපය ලෝකයේ ගැටුම් වැඩිම කලාපයකි. එහි පසුගිය අඩසියවසක පමණ කාලය තුළ සිදු වූ ගැටුම් වලින් බොහොමයක් ඊශ්‍රායලය හා අරාබි රාජ්‍යයන් අතර ගැටුම්ය. ඊශ්‍රායලය සම්බන්ධ නොවුණු, අරාබි රටවල් අතර වූ ගැටුම් බොහොමයක් සුන්නි හා ෂියා මුස්ලිම්වරුන් අතර සිදුවූ බල අරගල ලෙස පුළුල් වශයෙන් හැඳින්විය හැකිය.

මෙවර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයේ එක් කැපී පෙනෙන වෙනසක් වන්නේ අරාබි ලෝකයේ සුන්නි-ෂියා භේදය වෙනුවට අළුත් බෙදුම් ඉරක් ඇඳී තිබීමයි. මෙය පසුගිය වසර දෙක තුන තුළ වර්ධනය වූ අලුත් තත්ත්වයකි.

සාමාන්‍ය පිළිගැනීම අනුව ෂියා මුස්ලිම්වරුන් සුන්නි මුස්ලිම්වරුන්ට වඩා මූලධර්මවාදීය. එහෙත්, ෂියා මුස්ලිම්වරුන් අතර මෙන්ම සුන්නි මුස්ලිම්වරුන් අතරද අන්තවාදීන් මෙන්ම මධ්‍යස්ථ මතධාරීහුද සිටිති. සවුදි අරාබිය ඇතුළු රටවල් කටාර් රාජ්‍යයට එල්ල කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ අවිගත් ඉස්ලාමික කණ්ඩායම් වලට උදවු කරන බවයි. එහෙත්, මේ කරුණ හා අදාළව මෙසේ චෝදනා නගන අයද පිරිසිදු දෑත් ඇත්තන්යැයි පැවසිය නොහැකිය.

ෂියා මෙන්ම සුන්නි මුස්ලිම් රාජ්‍යයන්ටද ව්‍යාප්තිවාදී අපේක්ෂාවන් තිබේ. මෑතකාලීනව මේ අපේක්ෂාවන් වඩාත් මතු වී ඇත්තේ බටහිර සංස්කෘතියේ හා දේශපාලන ව්‍යාපෘතීන්හි ඒකාධිකාරයට ප්‍රතිරෝධයක් වශයෙනි. ලෝක දේශපාලනය තුළ සමාජවාදයේ භූමිකාව අවලංගු වී යාමත් සමඟ එමඟින් ඇති කළ රික්තකය, අඩු වශයෙන් මැද පෙරදිග කලාපය තුළදී, පුරවනු ලැබුවේ ඉස්ලාමික දේශපාලනය විසිනි.

මේ වන විට මැදපෙරදිග අරාබි රටවල් ඔවුන්ගේ දේශපාලනය අනුව වෙන් කෙරෙමින් ඇඳී ඇති බෙදුම් ඉරේ පදනම සුන්නි ෂියා භේදය නොවේ. එහි පදනම ඉස්ලාමික සංස්කෘතිය හා බටහිර සංස්කෘතිය අතර ගැටුම තුළ ඉස්ලාමික සංස්කෘතිය ව්‍යාප්ත කිරීමේ ප්‍රසස්ථ ක්‍රමවේදය හා අදාළ වූවකි.

සවුදි අරාබිය ප්‍රධාන කණ්ඩායම මෙහිදී අනුගමනය කරන්නේ බටහිර සංස්කෘතිය සමඟ සෘජු ගැටුමකට නොයමින්, උපක්‍රමික ලෙස ව්‍යාප්ත වීමේ ක්‍රමවේදයයි. ඔවුන්ගේ ගණන් බැලීම් අනුව බටහිර සංස්කෘතිය හා ඉස්ලාමික සංස්කෘතිය අතර සෘජු ගැටුමකින් අවසන් වශයෙන් ඔවුන්ට පරාජය හිමිවන්නට ඉඩ ඇති බැවින් බටහිර සංස්කෘතිය සමඟ සහයෝගීතාවය පවත්වා ගනිමින් සිය ආර්ථික ශක්තිය තවදුරටත් වර්ධනය කර ගැනීම හා එමඟින් අවසාන වශයෙන් බටහිර සංස්කෘතියට හා ඒ මත පාදක වූ දේශපාලනයට අභියෝග කිරීම ඔවුන්ගේ උපාය මාර්ගය බව පෙනේ.

මේ උපාය මාර්ගය අනුව කටයුතු කරමින්, බටහිර දැනුම, තාක්ෂනය, මානව සම්පත් ආදිය ප්‍රයෝජනයට ගන්නා ඔවුහු බටහිරින් ලබා ගන්නා දෙයින් පෝෂණය වන අතර තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් පවත්වා ගනිමින් හා ව්‍යාප්ත කරමින් බටහිර සංස්කෘතිය අභ්‍යන්තරයෙන් ඛාදනය කරති. බටහිර සංස්කෘතික ආධිපත්‍යය ඇති රටවල ඉස්ලාමික සංස්කෘතිය ප්‍රමුඛ වූ “පොකට්” හදා ගැනීමට හැකි වී තිබෙන්නේ බටහිර සංස්කෘතිය සමඟ සෘජු ගැටුමකට නොයෑමේ උපක්‍රමික වාසි පෙන්වා දෙමිනි.

බෙදුම් ඉරෙන් අනෙත් පැත්තේ ඉන්නේ, යුදමය අරුතකින් නොවූවත්, බටහිර සංස්කෘතිය සමඟ සෘජුව මුහුණට මුහුණ ගැටෙන්නට අදහස් කරන කොටසයි. මේ රටවල ප්‍රවේශය ඉස්ලාමික සන්නද්ධ කණ්ඩායම් වලට වඩා අනුකම්පා සහගත එකක් වුවත් බෙදීමේ සැබෑ පදනම වන්නේ මුල් කරුණ මිස මේ දෙවන කරුණ නොවේ. බටහිර ක්‍රමවේද බැහැර කර තමන්ගේම ක්‍රමවේද අනුගමනය කිරීමෙන් බටහිර සංස්කෘතිය පසු බැස්විය හැකි බව ඔවුහු සිතති. යුදමය අරුතකින් මුහුණට මුහුණ නොවන පහරදීම් යනු සංස්කෘතික අරුතකින් මුහුණට මුහුණ ගැටීමක් වන්නේ එසේය.

බටහිර සංස්කෘතිය සමඟ සහයෝගය පවත්වා ගන්නට යාම තුළ යම් තරමකින් හෝ ඉස්ලාමික සංස්කෘතිය මුළුමනින්ම දියවී යාමේ අනතුරද තිබේ. එමෙන්ම, ඓතිහාසිකව, හැම විටකම වාගේ, ඉස්ලාම් සංස්කෘතිය ව්‍යාප්ත වී ඇත්තේ වෙනත් සංස්කෘතීන් සමඟ මුහුණට මුහුණ සෘජුව ගැටීමෙන් මිස සහයෝගයෙන් කටයුතු කිරීමෙන් නොවේ. දෙවන කාණ්ඩයේ සිටින්නන් සිතනවා ඇත්තේ මේ ආකාරයෙන් විය යුතුය.

දෙවන කණ්ඩායමේ උපාය මාර්ගයන් නිසා පළමු කණ්ඩායමේ උපාය මාර්ගයන් විශාල ලෙස අර්බුදයට ගොස් තිබේ. දශක ගණනක් යුරෝපීය රටවලට ප්‍රශ්නයක් නොවූ බුර්කා හා සංක්‍රමණිකයන් මෑතකාලීනව ලොකු ප්‍රශ්න ලෙස පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ එබැවිනි. ඒ නිසා, බටහිර සංස්කෘතිය සමඟ උපාය මාර්ගික සහයෝගීතාවයක් පවත්වා ගනිමින් සිටි කණ්ඩායම් වලට, එසේ නැතිව මුහුණට මුහුණ සටන් කරන්නට සැරසෙන කණ්ඩායම් මේ වන විට විශාල තර්ජනයකි. මෙය ෂියා-සුන්නි භේද ඉක්මවන වෙනත් තලයක සිදුවන ගැටුමකි. සුන්නි සවුදි අරාබියට ෂියා බහරේනය හා එක්ව සුන්නි කටාර් රාජ්‍යයට සම්බාධක පැනවිය හැකි වන්නේ එබැවිනි.

මේ අනුව, මෙය එක පැත්තකින් මේ වන විට බටහිර සංස්කෘතික ආධිපත්‍යයට විශාලම අභියෝගය වී ඇති ඉස්ලාමික සංස්කෘතිය තුළ අරමුණු වශයෙන් එකම තැන සිටියත් උපාය මාර්ගික ලෙස බෙදී සිටින පාර්ශ්ව දෙකක් අතර ගැටුමකි. එය ලෝක දේශපාලනය තුළ සිදුවෙමින් පවතින සංස්කෘතික ගොනුවීම් හා බෙදීම් පිළිබඳව ඉඟි සපයයි.

දෙවනුව, මෙය ලෝක දේශපාලනය තුළ සිදුවෙමින් පවතින කලාපීය ගොනුවීම් පිළිබඳ කතාවකි. ලෝක දේශපාලනයේ වත්මන්  ප්‍රවණතා අතර දෙවැන්න වන්නේ කලාපීය බලවතුන් ඉස්මතු වීම හා කුඩා රටවලට මේ කලාපීය දේශපාලනයට අනුගත වන්නට සිදුවීමයි. කටාර් රාජ්‍යය සිය අසල්වැසි කලාපීය බලවතා වන සවුදි අරාබිය නොසලකා හැර නැතත්, ඉරානය ඇතුළු පසමිතුරු බලවේග සමඟද සහයෝගීතාවය පවත්වාගනිමින් ස්වාධීනව සිටීමට උත්සාහ කළේය. එය පහසු කටයුත්තක් නොවන බව පවතින දේශපාලන යථාර්තය විසින් පෙන්වා දෙයි.

මෙය ලංකාවටද අදාළ තත්ත්වයකි. ලංකාව විසින් ඉන්දියාව, චීනය හා බටහිර රටවල් “බැලන්ස් කරන” බව, කලින් එසේ කළ බව, හෝ එසේ කළ යුතු බව කියන බොහෝ දෙනෙක් සිටිති. එහෙත්, ප්‍රායෝගිකව මෙය පහසු කටයුත්තක් නොවේ. ප්‍රායෝගිකව සිදු වෙමින් පවතින්නේ කලාපීය බලවතුන් විසින් අසල්වැසි කුඩා රාජ්‍යයන් හොඳින් හෝ නරකින් සිය ආධිපත්‍යයන්ට නතු කරගනිමින් සිටීමයි.

ඉදිරි දශක දෙක තුන තුළ ලෝකයේ රටවල් සංස්කෘතික හා/හෝ ප්‍රාදේශීය කලාප ලෙස ඒකරාශී වන කණ්ඩායම් පහක් හයක් වටා ගොනුවන්නට බොහෝ දුරට ඉඩ තිබෙන බව කටාර් දේශපාලනික ගැටුම මඟින්ද තහවුරු කරයි.

කටාර් රාජ්‍යය මත අසල්වැසි රටවල් විසින් ඇති කර ඇති පීඩනය සුළුපටු නොවේ. විශේෂයෙන්ම ගුවන් කලාප තහනම නිසා කටාර් ගුවන් සේවයට ගුවන් ගත වන්නට ඉතිරි වී ඇත්තේ පටු තීරයක් පමණි. එමෙන්ම, බොහෝ ගමනාන්ත වෙත යන්නට වෙන්නේ ඔලුව වටා අත කරකවා කණ අල්ලන ආකාරයෙනි. අත්‍යවශ්‍ය ආහාර ආනයන ආදිය හා අදාළවද ප්‍රශ්න තිබේ.

එසේ වුවද, ලෝක දේශපාලනය තුළ කටාර් රාජ්‍ය හුදෙකලා වී නොමැත. එමෙන්ම, කටාර් රාජ්‍යයේ මූල්‍ය අංශයද ස්ථාවරය. ඒ නිසා, කටාර් රාජ්‍යය දණ ගැස්සවීමද පහසු නොවනු ඇත. කටාර් රාජ්‍යය සාකච්ඡා වලට විවෘත බව දැනටමත් සඳහන් කර ඇති නිසා ප්‍රශ්නය වැඩි දුර දිග් නොගැසී විසඳෙන්නට ඉඩ තිබේ.

උපුටා ගැනීම:  

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල