දේශපාලන

කටාර් ප්‍රශ්නය සහ ගෝලීය යතාර්ථය

0

ලංකාවේ කටාර් තානාපතිවරයා A.S.P ලියනගේ මහතාය. ජූනි මස 5 වැනි දින කටාර් රාජ්‍යය සමඟ පැවති සබඳතා එහි අසල්වාසී රාජ්‍යයන් විසින් අතහැර දමන ලදී. එම රාජ්‍යයන් නම් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන් සහ ඊජිප්තුවයි. සාම්ප්‍රදායක අධිරාජ්‍යවාදය සහිත යුගය තුළ දී ( එනැම් 20 වැනි සියවසේ දෙවැනි ලෝක යුධ තත්ත්වයට පසු දශක දෙකක පමණ කාලය/ 60 සහ 70 දශකය ) ලෝකය තුළ කැළඹී ගියේ ලතින් ඇමරිකානු සහ අප්‍රිකානු මහද්වීපයයි. ඇමරිකානු ආධිපත්‍යය සහිතව සිදු වූ එම ක්‍රියාවලිය 21 වැනි සියවසේ පළමු දශකයෙන් අවසන් විය. කොළොම්බියාවේ සිවිල් යුද්ධය අවසන් වීමත් සමඟම ලතින් ඇමරිකාවේඇමරිකන් හෙජමොනිය අවසන් විය. ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියට ලතින් ඇමරිකාව තුළ අවසන් වශයෙන් ශේෂ වූයේ යල් පැණ ගිය ප්‍රති-ත්‍රස්ථනාශක [counter-insurgency] න්‍යායක් පමණි.
21 වැනි සියවසේ දෙවැනි දශකය ආරම්භ වූයේ අරාබි වසන්තය ආශ්‍රය කොටගෙනය. මැදපෙරදිග කලාපය තුළ දශක ගණනාවක් නඩත්තු කළ සර්වාධිකාරයන් විශාල ගණනක් අරාබි වසන්තය නිසා අභියෝගයට ලක් විය. ඊජිප්තුව, ටියුනීසියාව, සිරියාව වැනි රටවල බහුජනයා වීදිවලට බැස ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උද්ඝෝෂණ පටන් ගත් අතර මේ හේතුව නිසා ඇමරිකාව පවා මවිතයට ලක් විය. ලතින් ඇමරිකාවේදී සහ අප්‍රිකාවේදී පීඩිත ජනයා තම විරෝධය දැක්වූ ආකෘතිය වූයේ ගරිල්ලා යුද ආර්ථිකයයි. කියුබාවට පසු එම ආකෘතිය නිකරගුවාවේදී සාර්ථක විය. එල් සැල්වදෝර්, පේරු සහ කොළොම්බියාවේදී එය අසාර්ථක විය. වෙනිසියුලාවේදී, චිලියේදී රාජ්‍යය බලය ඡන්දය හරහා උරගෑම මඟින් තත්ත්වය පරීක්ෂා කරන ලදී.එම තත්ත්වය බ්‍රසීලයේදී වෙනත් ආකාරයකට අසාර්ථක විය. කොටින්ම 21 වැනි සියවසේ පශ්චාත් සංස්කෘතික දේශපාලන විප්ලවවලදී සන්නද්ධ අරගලය යන උත්තරය වඩ වඩා අසාර්ථක වෙමින් පවතියි. එය ශ්‍රී ලංකාවේදී ද ( තුන් වරක් ) අසාර්ථක විය. මින් අදහස් වන්නේ පීඩිතයන්ට තම පීඩකයන්ට විරුද්ධව ආයුධ අතට ගැනීමට අයිතියක් නැත යන්න නොවේ. ‘ප්‍රාග්ධනය’ මේ වන විට ජාතික රාජ්‍යයන්ට මෙතෙක් පැවති ඓතිහාසික සුජාතභාවයන් අහෝසි කරමින් අලුත් අවධියකට අවතීර්ණව ඇත. මෙම නව තත්ත්වාරෝපිතය තුළ ජාතික රාමූන් තුළ බිහිකිරීමට උත්සහ දරන දේශපාලන ව්‍යාපාර වඩ වඩා අසාර්ථක වෙමින් පවතියි. උදාහරණයක් ලෙස ලංකාවේ වමේ ව්‍යාපාරය සහමුලින් විනාශ වීමට තුඩු දුන් එක හේතුවක් වූයේ මැදපෙරදිග කලාපයට සිදු වූ ශ්‍රමය ගලා යෑමයි. කටාර් රාජ්‍යයේ ඇති වී තිබෙන නව තත්ත්වය මඟින් ප්‍රකාශ වන්නේ මෙතෙක් පැවති එම නිදහස් ශ්‍රම වෙළඳපොළ අනාගතයේදී ගැටලු සහගත විය හැකි බවයි.

Salman
ලතින් ඇමරිකාවේදී සහ අප්‍රිකාවේදී සිදු වූ දෙය ගල්ෆ් කලාපයේදී වෙනත් ස්වරූපයකින් පටන්ගෙන ඇත්තේ මන්ද? උත්තරය ගෝලීයකරණයයි. ගෝලීයකරණය යනු සාම්ප්‍රදායක අධිරාජ්‍යයවාදය හෝ නව යටත්විජිතවාදය නොවේ. නව තත්ත්වය වන්නේ අධිරාජ්‍යයවාදයට ජනමාධ්‍ය ඒකලනය වීමයි. මෙය අලුත් ඓතිහාසික මංසන්ධියකි. අද දවසේ දේශපාලනය අප කරා එන්නේ  මාඕ කී පරිදි තුවක්කු බටය තුළින් නොව optic cable  හරහාය. කවුරුත් දන්නා භාෂාවෙන් කිවහොත් නූතන අධිකාරී බලය අප වෙත එන්නේ ජනමාධ්‍ය හරහාය. එම ජනමාධ්‍ය අද දවස වන විට තනි කේන්ද්‍රයකින් විකේන්ද්‍ර වෙමින් අන්තර්ජාලය තුළ ජාලගත සම්බන්ධයක් (Network) බවට විපරිණාමය වෙමින් පවතියි.ප්‍රාග්ධනය, මිනිසුන්, මුදල් අද දවසේ හුවමාරු භාණ්ඩ බවට පත්වන්නේ Google , Facebook , Amazon ,Netflix වැනි සර්වාධිකාරී සමාගම් හරහාය. මෙහි විෂම යතාර්ථය වන්නේ මිනිසුන් තම ‘පුද්ගලික නිදහස’ සොයන්නේද ඉහත කී සමාගම් හරහාම වීමයි. මින් අදහස් වන්නේ යතාර්ථය ලෙස අප අත්විඳින දැනුම දෘෂ්‍යමානය සහ සැඟවුන අමුත්තා ලෙස දෙකට බෙදී ඇති බවද? උදාහරණයක් ලෙස ඉතා සෞන්දර්යාත්මකව අපට Apple සමාගම දෘෂ්‍යමාන වෙයි. එහි නොපෙනෙන පැත්ත වන්නේ තායිලන්තයේ ශ්‍රමය කළමනාකරණය කරන Foxconn සමාගමද?මෙය ජාතික රාජ්‍යයන් වශයෙන් ගත්විට සැබෑවකි. නමුත් අප ප්‍රාග්ධනයේ තර්කනය පැත්තෙන් ගත් විට Foxconn යනු Apple තර්කයේ අභ්‍යන්තර පසමිතුරුභාවයයි. ඒ අනුව Foxcoon යනු බාහිර යතාර්ථයක් නොවේ. Apple යනුම අසම්පූර්ණ යතාර්ථයකි. එනම් Apple යනු ශ්‍රමය සූරාකන සමාගමකට වඩා චීනයේ සමාජ ගැටලුවක් වන ( ශ්‍රමයට වෙළඳපොළක් නැතිවීම ) ශ්‍රමයේ අසංවිධානාත්මක බව ක්‍රමවත් කරන ප්‍රාග්ධනයයි. මෙම දයලෙක්තික උඩු යටිකුරු කිරීම නූතන ගෝලීයකරණයේ ප්‍රකට ලක්ෂණයකි. එක තැනක ඇති ”සමාජ ගැටලු” ජාත්‍යන්තර ප්‍රාග්ධන විසින් දියකර හරියි. සාම්ප්‍රදායක ලෙස ”මනුෂ්‍යයා” යන සංකල්පනයෙන් ගෝලීයකරණයේ සත්‍යය වටහාගත නොහැක. මේ හේතුව නිසා Apple සමාගමේ සමාජීය මානය වටහාගැනීමට දැනුම අසමත්ය. ඒ සඳහා නව සද්භාවවේදයක් ( New Ontology ) ගොඩනැඟිය යුතුය.

Qatar price
අප දැන් නැවත කටාර් ප්‍රශ්නය වෙත නාභිගත වන්නේ නම් කටාර් සහ මැදපෙරදිග සර්වාධිකාරී අනෙක් රෙජිමයන් අතර ප්‍රබල වෙනසක් ඇත. මැදපෙරදිග වෙනත් පාලකයන් – විශේෂයෙන් සෞදි රජ පවුල – ගෝලීයකරණය තුළ වටහා නොගත් ප්‍රපංචයක් කටාර් පාලකයන් අවබෝධ කරගෙන ඇත. එනම් නූතන ගෝලීයකරණය තුළ අධිනිශ්චය වී ඇති ජනමාධ්‍ය පිළිබඳ ගැටලුවයි. “අල් ජසීරා” නම් කලාපීය රූපවාහිනිය කටාර් පාලකයන් සතුය. ඔවුන් ඒ හරහා ඉස්ලාමීය රැඩිකල් දේශපාලන ව්‍යාපාර වන ISIS, තලේබාන්, අල් ක්වේඩා, අල් – නුස්රා වැනි අය සමඟ දේශපාලන සබඳතාවයක නියැලෙයි. සාම්ප්‍රදායික අධිපතිවාදී සහ වැඩවසම් ආකල්ප සහිත සෞදි රජ පවුලට මෙම නූතන තත්ත්වය වැටහෙන්නේ නැත. අල් ජසීරා මඟින් කටාර් එමීර්වරයා මුළු මැදපෙරදිග කලාපයම මතවාදීව මෙහෙයවයි. ගෝලීයකරණයේදී ප්‍රබල ආයුධය වන්නේ මිසයිලය නොවේ. ඒ වනාහි ජනමාධ්‍යයි. සෞදි සහ ඊජිප්තු පාලකයා මෙම තත්ත්වය වටහාගෙන නැත. අල් ජසීරාහරහා කටාර් පාලකයා “මුස්ලිම් සහෝදරත්වය” මතවාදීව පාලනය කරයි. ප්‍රකට  ජාතිවාදියෙක් සහ ඇමරිකාව අංක 1 ලෙස සලකන ඩොනල්ඩ් ට්‍රම්ප් නම් සරළමතිකයාටද ගෝලීයකරණය තුළ ජනමාධ්‍ය ඉටු කරන විශාල භූමිකාව වැටහෙන්නේ නැත. මේ හේතුව නිසා ඇමරිකාවට සහ සෞදියට මැදපෙරදිග කලාපය තුළ යුද්ධයෙන් හැර කටාර් දේශය හුදෙකලා කිරීමට වෙනස් වූ විකල්ප නැත. කටාර් එමීර්වරයා මේ පිළිබඳව කියා ඇති ප්‍රකාශයම උපුටා දැක්වීම වැදගත්ය. ඔහුට අනුව කටාර් යනු අනාගත මැදපෙරදිග සමාජයේ නූතනත්වයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තියයි.ලෝක දේශපාලනය ඇමරිකානු හෙජමොනිය පසු කරමින් සිටින තත්ත්වය තුළ ලංකාවේ කටාර් තානාපතිවරයා A.S.P ලියනගේ මහතාය. ආමේන් !

දීප්ති කුමාර ගුණරත්න

 

උපුටා ගැනීම: ත්‍රිමාණ

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල