කාලීන සංවාද

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක්, අහිමි වූ දරු ගැබක් සහ ‘ගණිකාවක්’

Off

ෂෆා (අන්වර්ථ නමකි) 15 හැවිරිදි වියේදී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ශ්‍රී ලාංකික මුස්ලිම් දැරියකි.

“මම සාමාන්‍ය පෙළට ඉගෙනගන්න කාලේ, ශිෂ්‍යයෙකුට ආදරේ කළා,” දැඩි අව් රශ්මියෙන් බේරීම පිණිස එළිමහනේ ගසක සෙවන යට ෂෆා මා සමග සිය මතකය අවදි කරන්නේ වේදනාවෙනි.

ඇයට සිය කඳුළු සඟවාගත නොහැකිය.

“ඒක දැනගත්ත අම්මල මාව මාමගේ ගෙදරට යැව්වා. එහේ ඉඳලා මම හොඳට ඉගෙනගත්ත. ඒ අතරේ මාමගේ ගෙදරට නිතර ආගිය තරුණයෙකුට මා ගැන අදහසක් පහළ වෙලා මාව විවාහ කරගන්න ඕන බව එයාලට කියල තිබුණ.”

ෂෆා ඒ යෝජනාවට එරෙහි වූවාය.

අධ්‍යාපනය හමාරයේ සිය පෙම්වතා සමග විවාහවීම සිය බලාපොරොත්තුව බව ඇය දැඩිව කියා සිටියාය. (වීඩියෝ පටය නරඹන්න)

 

එහෙත් යෝජනාව කළ තරුණයා සමග විවාහ විය යුතු බවට ඇයට බල කළ මාමා සහ නැන්දා, විවාහය සඳහා සියළු කටයුතු රහසිගතව සූදානම් කළහ.

“ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. ඒක කළොත් අත පය කපාගෙන මැරෙනවා කියල මම කිවුව. ඒකට කැමති වෙන්න කියල අම්මත් මට බල කළා.”

දරු ගැබ අහිමිවෙයි

අසළ සිට සංවාදය අසා සිටින මව සිය සාරියෙන් කඳුළු පිසිනු මට පෙනේ.

“කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපාගත්තා. ගෙදර තිබ්බ පෙති වර්ගයක් බිව්වා. මාව රෝහලට ඇතුළත් කළා. එතෙන්දි පවා මට බෙහෙත් දෙන එක නැවැත්තුවා. දුන්නේ සේලයින් විතරයි. දොස්තරට කියල සේලයින් බෝතලේත් එක්කම එයාල මාව ගෙදර අරගෙන ගියා. ඒ සේරම කළේ පුද්ගලික රෝහලකදී. ගෙදර ගියාට පස්සේ එයාල මගේ අත්වල මරතෝන්ඩි ගෑවා.”

Muslim school children
Image captionළමා වියේදී විවාපත් කරවීම මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අහිමි කරවීමක් බව ක්‍රියාධාරිනියෝ පවසති

කළ හැකි කිසිවක් නොවූයෙන් අවසානයේ ඇය විවාහයට එකඟත්වය පළ කළාය.

එහෙත් ඇය පැරණි පෙම්වතා සමග තවදුරටත් පෙමින් වෙලී සිටින්නේ යයි සැක කළ සැමියා ඇයට දිගින් දිගටම පහර දුන්නේය. හිරිහැර කළේය.

“බොහොම අමාරුවෙන් මම ඒවා දරාගත්තේ. එයාගේ තාත්තත් මට එක එක දේවල් කිවුව. මම ගැබ් ගත්ත වෙලාවේ, ඒ එයාගේ දරුවා නෙවෙයි කියල මහත්තය කිවුව. දරුවා ගබ්සා කරන්න කියල එයා බල කළා. ඊට පස්සේ මාව උස්සල පොළවේ ගැහුව.”

ෂෆා ට කඳුළු වළකාගත නොහැකිය. ඇය ඉකිගසයි. අසළ සිට අසා සිටින මව ද ඉකිගසයි. මගේ දෑස් ද තෙත්වනු මට දැනේ.

“එයා මගේ බෙල්ල මිරිකුවා. මට ගැහුවා. ආයෙත් උස්සල පොළොවේ ගැහුවා.”

එම පහරදීම්වල ප්‍රතිඵලයක් ලෙසින් ඇයට සිය කුසේ සිටි දරුවා අහිමිවිය. ඉන් අනතුරුව ඇය සැමියා අත්හැර මවගේ නිවසට ගියාය.

පහරදීම පිළිබඳව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියෙන් පළ වූයේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි. යළිත් සිය සැමියා වෙතට යන මෙන් පොලිසිය උපදෙස් දුන්නේය.

Shafa's mother
Image caption“මගේ මහත්තය දරුවෝ, පවුල ගැන කිසි සැළකිල්ලක් නැහැ. මම තමයි මහන්සි වෙලා කුලී වැඩ කරලා මෙයාලව බලාගත්තේ”

ඒ අතරවාරයේ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙන් ඇයට පණිවුඩයක් ලැබිණ.

‘ගණිකාවක්’

“පල්ලියෙන් මට කිවුව එකට ජීවත්වෙන්න කියලා. එතෙන්දි මගේ සැමියා හැමෝම ඉස්සරහ කිව්වා මම වෙනත් එක්කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා කියලා. එහෙම කියල එයා මාත් එක්ක ජීවත්වෙන්න කැමතිවුනා.”

ෂෆා එය ප්‍රතික්ෂේප කළාය.

එයින් දින කිහිපයකට පසුව හදිසියේම ඇයට ආගන්තුකයන්ගෙන් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ලැබෙන්නට විය.

“‘උඹට කීයක් ඕනද? මාත් එක්ක නිදාගන්න එනවාද? උඹේ සැමියා තමයි මේ නම්බර් එක දුන්නේ’ කියල ඒ මිනිස්සු කිව්වා.”

ගණිකාවක බව පවසමින් සිය දුරකථන අංකය සහ ඡායාරූපය සැමියා විසින් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බව ඇයට දැනගැනීමට ලැබිණ.

ඇය ඒ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ සියල්ල පටිගත කළාය.

Shafa's hands
Image caption“ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපාගත්තා. ගෙදර තිබ්බ පෙති වර්ගයක් බිව්වා”

“දවසක් මම පරිගණක පන්තියකට යනකොට කොල්ලෙක් ඇවිල්ලා මගේ ෆොටෝ එකක් අරගෙන එයත් එක්ක නිදියගන්න එන්න කිව්වා. ආවේ නැත්නම් ෆොටෝ එක ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ කරනවා කියලා තර්ජනය කලා. බස් එකේ, මහ පාරේ මට කොල්ලෝ උසුළු විසුළු කරනවා මම අන්තිමට පන්ති යන එකත් නැවැත්තුවා,” ෂෆා පවසන්නේ ඉකිගසමිනි.

එහෙත් සිය අත්දැකීම ලොවට හෙළි කළ යුතු බව ඇගේ අධිෂ්ඨානයයි. (වීඩියෝව නරඹන්න)

සිය දියණිය මෙතරම් අතවරවලට ලක්වෙද්දීත් පියා ඒ කිසිවක් ගැන තැකීමක් නොකළේය. කුලී වැඩක් කර දරුවන් පස් දෙනෙකු රක්ෂා කරන අතරවාරයේ, ගතානුගතික සමාජයේ නින්දා, අපහාස සහ තර්ජනවලින් බේරී ෂෆාගේ මානසික සුවය සැලසීමේ වගකීම ද මවට ම පැවරිණ.

සිය දියණියද සමග රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමත් දැන් ඇයගේ දිනචරියාවේ කොටසකි.

සමාජයෙන් මතුවන නින්දා අපහාස සහ තර්ජනවලට කෙතරම් බියපත්ව සිටින්නේද යත් සිය නම, ගම පමණක් නොව වෙසෙන ප්‍රදේශය පවා හෙළි නොකරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.

“එක හේතුවක් නිසා මම එයාව මගේ මල්ලිගේ ගෙදර ඉඳලා ඉගෙන ගන්න යැව්වා. අන්තිමට මෙහෙම දෙයක් වෙයි කියලා මම හිනෙකින්වත් හිතුවේ නැහැ. මේක බලහත්කාරයෙන් කරපු විවාහයක්,” මව පවසන්නීය.

අහිමි වූ ළමා විය

සෑම වසරකම, ශ්‍රී ලංකාවේ සිය ගණනක් බාල වියේ මුස්ලිම් දැරියෝ සිය දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබති.

මුස්ලිම් ළමා විවාහ ‘වැඩිවීමේ ප්‍රවණතාවක් ‘

විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ළමා විවාහ වසරක් ඇතුළත 14% සිට 22% දක්වා ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටෙගල් බීබීසී සිංහල සේවයට කියා සිටියාය. (නීතිවේදිනී එර්මිසා ටෙගල් සමග බීබීසී සිංහල සජීවී ෆේස්බුක් සංවාදය නරඹන්න)

බලහත්කාරයෙන් විවාහ කර දෙන විට ෂෆා 15 හැවිරිදි වුවත් දොළොස් විය තරම් බාල වියේ දැරියන් මේ ආකාරයෙන් බලහත්කාරයෙන් විවාහ කර දෙන බව මුස්ලිම් ක්‍රියාධාරිනියෝ පවසති.

වයස අවුරුදු 18 ට අඩු දැරියන් විවාහ කරදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තහනම්ය. එහෙත් දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරදීමට මුස්ලිම් දෙමාපියන්ට සහ භාරකරුවන්ට අවසර දී තිබේ.

මේ නීතිය හේතුවෙන් මුස්ලිම් දැරියෝ සහ කාන්තාවෝ දශක ගණනාවක් මුළුල්ලේ රහසේ කඳුළු වැගිරූහ. අවසානයේ තවදුරටත් ඉවසා සිටිය යුතු නැතැයි තීරණය කළ ඔවුහු එයට මඟ පාදන මේ නීතිය සංශෝධනය කරන මෙන් ඉල්ලමින් උද්ඝෝෂණයක් දියත් කළහ.

රටේ සාමාන්‍ය නීතිය ප්‍රකාර මුස්ලිම් දැරියන්ද විවාහ කර දීමේ අවම වයස අවුරුදු 18 බවට පත් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලීමයි.

BM Arshad of Thawheed Jamaath
Image caption“ළමා විවාහවලට අපි විරුද්ධයි. ඒත් වයස් සීමාවක් පැනවීම ගැන අපි විරුද්ධයි. අපි කියන්නේ විවාහයට නිර්ණායකයක් තියෙන්න ඕන” – තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ්

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සැරසෙන මේ මොහොත ඒ සඳහා සුදුසුම අවස්ථාව බව ද ඔවුහු පවසති.

කාන්තා පීඩක මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ද ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කළහ.

එහෙත් ගතානුගතික මුස්ලිම් ප්‍රජා නායකයෝ එයට දැඩි විරෝධය පළ කරති.

සමස්ත ලංකා ජමියතුල් උලමා සහ තව්හීඩ් ජමාආත් (ජමාත්) සංවිධාන ඒ විරෝධයේ පෙරමුණ ගෙන සිටිති.

ඒ විරෝධය හමුවේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේම සමත් වී නැත.

තව්හීඩ් ජමාආත් ප්‍රතිචාරය

මුස්ලිම් ජනතාවගේ සහ ප්‍රජා නායකයන්ගේ අදහස් විමසා මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීම පිළිබඳව සිය සංවිධානයේ විරෝධයක් නැති බව තව්හීඩ් ජමාආත් සංවිධානය මේ අතර පවසයි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේම සමත් වී නැත
Image captionවිශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේ සමත් වී නැත

“ළමා විවාහවලට අපි විරුද්ධයි. ඉස්ලාම් ආගමවත් තව්හීද් ජමාආත් සංවිධානයවත් ළමා විවාහ අනුමත කරන්නේ නෑ,” සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් මා සමග පැවසීය.

“ඒත් වයස් සීමාවක් පැණවීම ගැන අපි විරුද්ධයි. අපි කියන්නේ විවාහයට නිර්ණායකයක් තියෙන්න ඕන.”

“විවාහයක් අවශ්‍යයි කියන දේ ගැන දැරියට තියන අවශ්‍යතාව තමයි ඒ නිර්ණායකය,” යන්න හැරුණු විට ඒ නිර්ණායකය කවරේ දැයි නිසි පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් විය.

“සමහර දැරියන්ට වයස අවුරුදු 18 පිරුණට පස්සෙත් විවාහ වෙන්න අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒ නිසා ඒ දැරියගේ අවශ්‍යතාව තමයි නිර්ණායකය.”

එහෙත් ඉස්ලාම් ධර්මය ප්‍රකාර දැරියක විවාහ විය යුත්තේ කවරෙකු සමග දැයි තීරණය කරනු ලැබිය යුත්තේ දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බවත් තව්හීද් ජමාආත් සංවිධානය අවධාරණය කරයි.

The woman running the community centre where Shafa is getting help hides her identity for protection
Image caption“මාසයක් විතර මම ඔෆිස් එකේ නිදාගත්තා. මගේ දූලා දෙන්න ඉස්කෝලේ යවන්න මට බයයි. දැන් වුනත් මට ටුක් ටුක් එකකවත් යන්න බයයි”

මේ විවාදය පදනම් කරගෙන මුස්ලිම් ක්‍රියාකාරිනියන්ට තර්ජනය කරන බවට එල්ලවන චෝදනා ද තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් තරයේ ප්‍රතික්ෂේප කළේය.

ක්‍රියාධාරිනියන්ට තර්ජන

එහෙත් ෂෆා මානසික සෞඛ්‍ය උපදේශන ලබන ආයතනය පසුගිය වසර කිහිපය තුළ කාන්තාවන් 3000 කට ආසන්න පිරිසකට සරණ වී තිබෙන්නේ සමාජයෙන් එල්ලවන එවැනි ප්‍රබල තර්ජන හේතුවෙනි.

බලහත්කාර ළමා විවාහවලට ගොදුරු කෙරුණු 250 කට ආසන්න පිරිසකට ද පසුගිය වසර කිහිපය තුළ මේ ආයතනය පිහිට වී තිබේ.

“මට මාසයක් විතර ගෙදර යන්න බැරි වුනා,” ආයතනය මෙහෙයවන සමාජ සේවිකාව බීබීසී සිංහල සේවය සමග පැවසුවේ තර්ජන හේතුවෙන් සිය අනන්‍යතාව හෙළි නොකරන මෙන් ඉල්ලීමක් ද කරමිනි.

“මාසයක් විතර මම ඔෆිස් එකේ නිදාගත්තා. මගේ දූලා දෙන්න ඉස්කෝලේ යවන්න මට බයයි. දැන් වුනත් මට ටුක් ටුක් එකකවත් යන්න බයයි.”

Shreen Saroor
Image caption“ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්. කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා” – කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර්

අවුරුදු 18 සම්පූර්ණවන තුරු පමණක් නොව, ඔවුන්ගේ උසස් අධ්‍යාපනය ද අවසන්වන තුරු සිය දියණියන් දෙදෙනා විවාපත් නොකරන බව එම මුස්ලිම් සමාජ සේවිකාව මා සමග කියා සිටියාය.

‘ස්ත්‍රී දූෂණයක්’

මුස්ලිම් ළමා විවාහ පිළිබඳ ගවේෂණය සඳහා මා ශ්‍රී ලංකාවේ සංචාරය කළ කාලය ඇතුළත සිය අනන්‍යතාව හෙළි කරමින් අදහස් දැක්වූයේ මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකු පමණි.

නීතිවේදිනී එර්මිසා ටෙගල් සහ කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර් ඒ දෙදෙනාය.

“ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්” ශ්‍රීන් අබ්දුල් සරූර් දැඩි ස්වරයෙන් පවසන්නීය.

මෙසේ විවෘතව සිය සමාජය විවේචනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර සම්මානලාභී මුස්ලිම් ක්‍රියාකාරිනියකවන ඇයට කලක් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීමට ද සිදු විය.

ළමා වියේදී විවාපත් කරවීම මුස්ලිම් දැරියන්ට අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අහිමි කරවීමක් බව පෙන්වාදෙන ශ්‍රීන් අබ්දුල් සරූර්, දරුවන් බිහිකිරීම පිණිස මේ දැරියන් ශාරීරිකව වැඩී නැති බවත් අවධාරණය කරන්නීය.

Shafa with her mother
Image captionබලහත්කාර විව්වහයකින් අනතුරුව සැමියාගේ වැඩ බන්ධනවලට ලක් කෙරුණු දියණිය සමග සිය රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමත් දැන් මවගේ දිනචරියාවේ කොටසකි

“ඒකෙ ප්‍රතිඵලය තමයි මුළු මුස්ලිම් සමාජයම ආපස්සට යාම,” ශ්‍රීන් අබ්දුල් සරූර් අවධාරණය කරන්නීය.

“කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා කියල මම මුස්ලිම් සමාජයෙන් සහ මුස්ලිම් ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.”

සැමියාගේ වධ බන්ධන හේතුවෙන් සහ ගමේ වැඩිහිටි සමාජයෙනුත්, මග තොටේදීත්, පොදු ප්‍රවාහන සේවාවලදීත් නිරන්තරයෙන් එල්ලවන තාඩන පීඩන සහ නින්දා අපහාස නොතකා සිය උසස් අධ්‍යාපනය නිමා කොට නීතිඥවරියක් වීම ෂෆා ගේ බලාපොරොත්තුවය.

තමන්ට හිරිහැර කරන සමාජයට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදීම ඇයගේ අධිෂ්ඨානය වී තිබේ.

එසේ නීතිඥවරියක බවට පත් වී තමන් වැනිම අතවරවලට ගොදුරු වූ දැරියන්ට උපකාර කිරීම ඇයගේ බලාපොරොත්තුව දැයි මම විමසීමි.

“ඔව්” වියළුණු කඳුළු අතරින් ඇය පිළිතුරු දුන්නේ අහිංසක, අපේක්ෂා සහගත සිනහවකින් ද මුව සරසා ගනිමිනි.

ඒ සිනහව තුළ ගැබ් වුනු දැඩි අධිෂ්ඨානය අප දෑස් මුණගැසුණු මොහොතේ මම දුටුවෙමි.

“කසාදෙන් ගැලවෙන්න අත කපාගත්තා”

 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල