විචාර

සුද්දිලාගේ කතාව ‘‘28‘‘

Off

ඔහු ඉන්නෙ දෝනාව ඇතුළෙ අඳුරු කුහරයක… ඔහු කියන්නෙ අබසිරි. දෝනාවට පිටින් ඇහෙන තරුණ හඬක් එකින් එක කියමින් ඉන්නෙ ගැහැනුන්ගේ මායම් 64 බව තේරුම් යන්නට වැඩි වෙලාවක් ගත වෙන්නෙ නැහැ. රාමුගත අඳුරු ගුහාවක හිරවුණු පැරණි පරම්පරාවත් පිටතින් නිදහස් අවකාශය තුළ සිටින තරුණ පරම්පරාවත් මායම් 64 න් එහාට ගැහැනිය තේරුම් ගන්න, ඇයට වටිනාකමක් දෙන්න උත්සාහයක්වත් දරන්නේ නැතිද යන පැනය මතු වෙනවා. මායම් සංවාදය අතරතුර තමයි මේ පණිවිඩය ලැබෙන්නෙ.

‘‘අන්න අරකිව මරල දාලා. මිනිය කොළඹ මහ ඉස්පිරිතාලෙලු. අඳුනගන්න උඹට එන්න කියනවා…‘‘

ගැහැනු මායම් ගැන සිනාබර සංවාදයක අතරතුර ලැබෙන ගැහැනියකගේ මරණය පිළිබඳ මේ පණිවිඩය මා තුළ දැනවූයෙ කම්පනීය හැඟීමක්…

ඔව්, මම මේ ලියමින් ඉන්නෙ 28 චිත්‍රපටය ගැන…

පවතින සමාජ ආර්ථික ක්‍රමය ඇතුළෙ හුදකලා වුණ, අවතැන් වුණ, අසරණ වුණ පුරුෂ ලෝකය ස්ත්‍රීය මත පටවන පීඩනය එක් පැත්තකිනුත්, සංස්කෘතිය සදාචාරය කරපින්නාගත්  අවිචාරවත් සමාජය ගැහැනියගේ පැවැත්ම අර්බුදයට යවන ආකාරය තවත් පැත්තකිනුත් සංවේදීව කතා කරන චිත්‍රපටයක් විදියටයි මට 28 දැනෙන්නෙ.

‘‘සුද්දිට අගෞරවයක් වෙන්න දෙන්න බෑ‘‘ ඇගේ නීත්‍යනුකූල සැමියා, පතල් කනින්නා, නූගත් මිනිසා අබසිරි වරින් වර මේ කතාව කියනවා. සමස්ත ගැහැනියට නිසි ආදරය, ගෞරවය ලැබිය යුතු බව නොවේද මේ කියැවෙන්නේ. අයිස්ක්‍රීම් වෑන් රථයේ සුද්දීගේ දේහය රැගෙන යන ගමන පුරාමත්, ඇගේ දේහය නිවසේ තැන්පත් කළ පසුවත් අබසිරි සුද්දී ගැන දක්වන්නෙ ගෞරවය මුසු වූ ආදරයක් බව දැනෙනවා. නමුත් මේ ආදරය ඇගේ රුව නිසා හටගත් ඇල්මක්ද? ඔහු ඇගේ හදවත හැඳින ගත්තාද? හැඳින ගත්තා නම් නිවස අතහැර අර දුර්ග මාවත දිගේ ඇයට නගරයටත්, ඉන් එපිට කොළඹටත් පිටමංවී යන්නට සිදුවෙනවාද?

මිය ගිය සුද්දිත් චිත්‍රපටය තුළ වරින් වර කතා කරනවා. ඇය කියනවා ‘‘මැරුණු කෙනෙකුට මිස ජීවත් වෙලා ඉන්න කෙනෙකුට තමන් ගැන ඇත්ත කතා කරන්න බෑ‘‘ කියල. කතාව ඇත්ත. විශේෂයෙන් ගැහැනියකට. ඇයට තීරණ ගන්න අයිතියක් නැහැ. ඇයට තමන්ගෙ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරන්න හිමිකමක් නැහැ. අඩුම තරමේ නිදහසේ අඬන්නවත් ගැහැනියකට ඉඩක් ලැබෙන්නෙ කලාතුරකින්.

සුද්දි වරෙක කියනවා මම අබසිරිට ආදරය කළේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, මං වගේ ගෑනියෙක්ව බඳින්න ගත්ත තීරණය නිසා කියල. ඈ තුළ අබසිරි වෙනුවෙන් පැවති ආදරයේ වෙනසක් නොවුණත් ඇගේ රූපය ඇයට ගෞරවනීය සමාජ ජීවිතයකට ඉඩ නොදුන් බවයි කියවෙන්නෙ. පව්කාර ගැහැනියට ගල් ගහන්නම බලන් ඉන්න සමාජයක්. අබසිරි ඈ වෙනුවෙන් පෙනී සිටියා නම් සුද්දීට මෙවන් ඉරණමක් අත් නොවන්නටත් ඉඩතිබුණා. කොහොම වුණත්  මරණයෙන් පසු හමුවන ඇයගේ අත්බෑගයේ තවමත් ඔවුන්ගේ මගුල් පින්තූරය තියෙනවා.

සුද්දීගේ දේහය කොළඹ සිට ඇලහැර දක්වා ගෙන යන්නට සොයා ගන්නේ අයිස් ක්‍රීම් වෑන් රථයක්. හිම කිරමක මිහිර, සිහිල එක්ක දූෂණයට ලක් වී  මරා දැමුණු ගැහැනියකගේ නිසල දේහය සමපාත වෙන්නෙ කොහොමද? එතැන තියෙන්නෙ ගැඹුරු සංකේතීය අරුතක්. වෙළඳ ලෝකය තුළ අලවි කරන සුකුමාර ගැහැනිය සහ සැබෑ ගැහැනිය අතර පවතින පරස්පරය වගේ. 

ලිංගිකත්වය ගැන සාධනීය කතිකාවක් මතුකරන්න දරන වෑයමත් අගය කරන්න ඕන. සුද්දී වරෙක කියනවා 9 වසරේ ප්‍රජනනය පාඩම ඉගෙන ගන්න ඈ කොයිතරම් කැමැත්තෙන් උන්නද කියල. ඒත් 38 වියැතිව දූෂණයට ලක් වී මරා දැමෙන තුරුත් ඇය ඒ පාඩම ඉගෙන ගෙන නැහැ. ප්‍රේමයේ අනුරාගයේ සැබෑ ප්‍රහර්ශය අපේ ජීවිතවලින් කොයි තරම් ඈතද කියන ගැටලුවත් සංවාද අවකාශයට අතෑරල තියෙනවා. එක් අතකින් සුද්දි ගමෙන් පිටවෙන්නෙ තමන් කිසිදාක අත්පත් කර නොගත් ලිංගිකත්වයේ ප්‍රහර්ෂය පිළිබඳ සාංකාවත් එක්ක. නමුත් කිසිදාක ඇයට ඒ අසිරිය හමුවන්නෙ නැහැ. ඒ වෙනුවට ඈ තවත් පාරට ඇද වැටුණු, අතින් අත යන ගැහැනියක් බවට පත්වෙනවා. මෙතනදි පාවුලෝගෙ මිනිත්තු එකොලහ නවකතාවේ මරියා සිහිපත් වෙනවා. මරියා දිනාගත් ප්‍රේමයේ ප්‍රහර්ශය සුද්දිට හැමදාමත් සිහිනයක්ම විතරයි.

චිත්‍රපටය දිග හැරෙන්නෙ වාර්තා චිත්‍රපටයක ස්වරූපයෙන්. කෙනෙකුට කම්මැලි හිතෙන්න පුළුවනි. නමුත් රූප රාමුවෙන් රාමුවට ඇහි පිල්ලමක පවා අර්ථ හොයන්න හදන මං වගේ ප්‍රේක්ෂිකාවකට නම් හිතන්න කාරණා ගොඩක් හමුවෙනවා. ඉහත ලියැවුණේ ඉන් අල්පයක්….

මම 28 ට කැමතියි.

 

චිත්‍රපටය පුරාම මට දැනුණෙ කම්පනීය හැඟුමක්. පීඩාවට පත්වෙන ගැහැනු වගේම පිරිමි ගැනත් දුකක්. සුද්දී අන්තිමේ කියනවා ‘‘පිරිමින්ට වෛර කරන්නත් එපා, එයාලත් පව්..‘‘ කියල.

පින්තුරය- චිත්‍රපටයේ කැඩුණු මිනී පෙට්ටි පියන අතරින් බලා ඉන්නා සුද්දී
සේමිණී ඉද්දමල්ගොඩ

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල