කාලීන සංවාද

මරාගෙන මැරෙන්නට පෙර…

0

සයිටම් විරෝධී අරගලය මරාගෙන මැරෙන සටනක් බවට පරිවර්තනය වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. එය කණගාටුදායක තත්ත්වයකි. මේ ගැන ලිවිය යුතු බොහෝ දේ වෙනත් තැන් වල ලියැවී ඇතත්, කරුණු සිදුවේගෙන යන ආකාරය පෙනෙන විට යමක් නොලියා සිටිය නොහැකිය.

මේ අරගලයත්, අසූව දශකයේදී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඇරඹුණු අරගලයත් අතර බොහෝ සමානකම් ඇති අතර කැපී පෙනෙන වෙනස්කම්ද තිබේ. සයිටම් විරෝධී අරගලයේ ශක්තිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෛද්‍යවරුන් වුවත්, එහි ගාමක බලවේගය වන්නේ විශ්ව විද්‍යාල සිසුන්ය. ඔවුන් පසුපස සිටින දේශපාලන බලවේගය පෙසපෙ විය යුතුය. එහෙත්, අරගලයට සම්බන්ධ සරසවි සිසුන්ගෙන් බහුතරය වැඩිම වුනොත් පෙසපෙට අනුකම්පාව දක්වන්නන් මිස පෙසපෙ කාඩර් වරුන් හෝ සාමාන්‍ය සාමාජිකයින් විය නොහැකිය.

අරගලය හා සම්බන්ධව සිටින වෛද්‍යවරුන් බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නය වෘත්තීය (ආර්ථික) ප්‍රශ්නයක් වුවත්, සංගමයේ නිලධාරීන්ට දේශපාලන අරමුණුද ඇති බව පෙනේ.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැන නැඟුණු අරගලය හා එයින් පසුව සිදුවුණු ක්‍රියාදාමය අවසන් වුණේ 1989 පමණ වෙද්දීය. පෞද්ගලික අත්දැකීම්ද ඇතුළුව මේ කාලය ගැන ලියන්නට ඕනෑ තරම් දේවල් ඇතත් කෙළවරක් නැති ලියවිල්ලක් විය හැකි මෙය අපි අනාගතයට තබමු. එතැන් සිට, මේ වන තුරු, වසර 28ක් ගෙවී ගොස් තිබේ. අද වයස අවුරුදු 35ක් වන අයෙකු ඒ වන විට අවුරුදු හතක දරුවෙකි. සයිටම් විරෝධී අරගලය වෙනුවෙන් පෙළ ගැසී සිටින සරසවි සිසුන් සියලු දෙනාම වාගේ ඒ යුගයෙන් පසුව ඉපදුණු අයයි. සයිටම් විරෝධී තරුණ වෛද්‍යවරුන්ගෙන් කොටසක්ද ඒ යුගය ගැන මතකයක් නැති අයයි.

එපමණක් නොවේ. සයිටම් විරෝධී සටන් මර්දනය කිරීමට පෙරමුණට යැවෙන පොලිස් නිලධාරීන්ද දශක හතරකට පෙර සිදුවුණු ක්‍රියාදාමය ගැන තමන්ගේම වූ අත්දැකීම් නැති අයයි. වත්මන් ක්‍රියාදාමය තවත් ඉදිරියට ඇදී ගියහොත් මර්දනය සඳහා යොදාගනු ඇත්තේද, එම යුගය ගැන අත්දැකීම් නැති බහුතරයකගෙන් සමන්විත තරුණ ආරක්ෂක හමුදා සාමාජිකයින් කණ්ඩායමකි.

සටනේ ඉදිරිපෙළ තත්ත්වය මෙසේ වුවත්, පසුපෙළ තත්ත්වය එසේ නොවේ. පසුබිමේ සිට අරගලය මෙහෙයවන්නේත්, අරගලයට ප්‍රතිපක්ෂව සිටින්නේත් අසූව දශකය ගැන මනා අත්දැකීම් ඇති අයයි. මේ දෙපිරිසම පසුගිය වර සාර්ථක වූ උපාය මාර්ගයන් නැවත අත්හදා බලන්නටත්, අසාර්ථක වූ උපාය මාර්ග ගැන සැලකිලිමත් වන්නටත් පරිස්සම් වනවා විය යුතුය. නරකම තත්ත්වයන් යටතේ, එහි ප්‍රතිඵලය වනු ඇත්තේ වඩා දිග්ගැස්සුණු, වඩා විනාශකාරී ඝට්ඨනයකි. කොරහේ කිඹුලන් සිටිය නොහැකි වුවත් හූනන් මෙන් පෙනෙන්නේ කිඹුල් පැටවුන් වන්නට බැරි නැත.

හැත්තෑ එකේ සිට අසූ අට/ අසූ නවය දක්වා පැමිණෙද්දී සිදු වුණේද මෙවැන්නකි. පළමු අවස්ථාවේදී මාස දෙක තුනකින් අවසන් වූ ගැටුම, දෙවන අවස්ථාවේදී වසර දෙක තුනක්ම දිග් ගැසුණේය. දෙවන වර සිදු වූ ආර්ථික හා සමාජයීය විනාශය පළමු වර මෙන් කොපමණ ගුණයක්ද කියා මා මෙහි විස්තර කරන්නට යන්නේ නැත. මේ ගැටුම් දෙකේ දිගුවක් ලෙස යම් හෙයකින් සිදු විය හැකි තෙවන ගැටුමක් ලංකාවේ සමාජය විසින් පෙර අත්දැක නැති තරම් විනාශකාරී විය හැකි අතර, කාලයක් තිස්සේ ලංකාව විසින් ලබාගෙන ඇති කිසියම් ආර්ථික හා සමාජයීය ජයග්‍රහණයන් ඇත්නම් ඒ සියල්ල නැවත විශාල කාලයකට ගොඩනැගිය නොහැකි වන පරිදි ආපසු හරවනු ඇත.

පෙර නොවූ වීරූ අති විශාල ජනවරමක් ලබා ජේආර් ජයවර්ධන බලයට පත් වීමෙන් වසර දෙක තුනකට පසුව, 1980දී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙරෙන විට, වසර කිහිපයකට පසුව එයට විරුද්ධව ඇති වූ ප්‍රතිරෝධයට සාපේක්ෂව, එයට විශාල ප්‍රතිරෝධයක් ඇති වුනේ නැත. ජේආර් ජයවර්ධන රජය විසින් එම වසරේ ජූලි මාසයේදී රාජ්‍ය සේවක වැඩ වර්ජනය මර්දනය කර තිබූ ආකාරය අනුව එවැනි ප්‍රතිරෝධයක් දැක්වීමට ලොකු ඉඩක් තිබුණේද නැත. මෙයට සාපේක්ෂව එයින් වසර කිහිපයකට පසු රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසුණු අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි විරෝධතාවන් රට පුරාම පුළුල් මට්ටමින් සිදු විය. ඇතැම් විට පළමු අවස්ථාව වන විට ජවිපෙ සරසවි තුළ ප්‍රමුඛ බලවේගය ලෙස සංවිධානය වී නොතිබීමත්, දෙවන අවස්ථාව වන විට එසේ සංවිධානය වී තිබීමත් මෙයට හේතු වූවා විය හැකිය. අසූව දශකයේ මුල කාලයේ සරසවි ඇතුළත පැවති දේශපාලන බලතුලනය ගැන මට වැඩි අදහසක් නැත.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධය නැවත මතු වුණේ එහි ඉගෙනුම ලැබූ පළමු ශිෂ්‍ය කණ්ඩායමට කොළඹ විශ්ව විද්‍යාලයේ MBBS උපාධිය පිරිනැමීමට සූදානම් වීමත් සමඟය. මේ කාලය වන විට (උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හැර) ලංකාවේ වෛද්‍ය පීඨ තිබුණේ හතරක් පමණි. ඒ කොළඹ, පේරාදෙණිය, කරාපිටිය (රුහුණ) හා යාපනය වෛද්‍ය පීඨයි. මගේ අදහස පරිදි ඒ වන විට කරාපිටියේ පළමු ශිෂ්‍ය කණ්ඩායම් උපාධිය ලබා පිටවී නොතිබුණු අතර යාපනය වෛද්‍ය පීඨයෙන්ද වැඩිම වුනොත් ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් වෛද්‍ය වෘත්තියට පිවිස තිබෙන්නට ඇත.

ඒ කාලයේ, වෛද්‍යවරයෙකු වීමේ සිහිනය තිබූ බොහෝ දෙනෙකුගේ ඉලක්කය වූයේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධියක් ලබා ගැනීමයි. ලංකාවේ බටහිර වෛද්‍ය අධ්‍යාපනය ලබාදුන් පැරණිම ආයතනයක් වූ කොළඹ වෛද්‍ය පීඨයේ MBBS උපාධියට ඒ වන විට රටේ විශාල පිළිගැනීමක් තිබුණේය. පේරාදෙණියේ වෛද්‍ය උපාධියටද විශාල පිළිගැනීමක් තිබුණත් පේරාදෙණිය සිටියේ කොළඹට පිටුපසිනි. රටේ බොහෝ දෙනෙක් මෙඩිකල් කොලේජ් එක කියා දැන සිටියේ කොළඹ වෛද්‍ය පීඨයයි.

යාපනය වෛද්‍ය උපාධියට තිබුණු ඉල්ලුම ගැන මට අදහසක් නැතත්, කරාපිටිය වෛද්‍ය විද්‍යාලයේ මුල් කණ්ඩායම් වලට තේරුණු මා දැන සිටි බොහෝ දෙනෙක් ඒ කාලයේ සිටියේ කොළඹට හෝ පේරාදෙණියට යන්නට නොලැබීම ගැන කනස්සල්ලෙනි. ඔවුන් වැඩි දෙනෙකුගේ අදහස වුනේ රුහුණෙන් තමන්ට ලබාගන්නට වෙන්නේ කොළඹින් හා පේරාදෙණියෙන් ලැබෙනවාට වඩා “බාල” උපාධියක් බවයි. ඒ වන විට, රුහුණෙන් පිටවූ වෛද්‍යවරුන් රජයේ සේවය තුළ නොසිටි නිසා, අනාගතයේදී රජයේ රැකියා ලබාදීමේදී කොළඹට හා පේරාදෙණියට ප්‍රමුඛතාවය දීමෙන් අනතුරුව දුෂ්කර පත්වීම් පමණක් තමන්ට ඉතිරි වෙනු ඇතැයි වැනි අදහසක්ද ඔවුන්ට තිබුණේය. වෘත්තියෙන් පිටත, විවාහ වෙළඳපොළ වැනි තැන් වලදී හා සමාජ ජීවිතයේදීද (සිංහ හෝ රොටරි සමාජයක සාමාජිකත්වය ගැනීම වැනි) වෛද්‍ය උපාධිය ගත් තැන අනුව වෙනසක් තිබුණා විය හැකිය.

උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය විද්‍යාලයට තබා ජීව විද්‍යාව හැදෑරීම සඳහාවත් තේරෙන්නට අසමත්ව සිටියදී, මුදල් ගෙවා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ පිරිසකට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිරිනමන්නට සූදානම් වුණේ මෙවැනි පසුබිමකය. මෙය ප්‍රශ්නයක් වුණේ වෛද්‍ය ශිෂ්‍යයන්ට පමණක් නොවේ.

සරසවි සිසුන් විසින් බොහෝ විට මානසිකව උපාධි ධුරාවලිය තුළ තමන්ගේ උපාධියට තිබෙන තැන ස්ථාපනය කර ගත්තේ වෛද්‍ය උපාධියට සාපේක්ෂවය. වෛද්‍ය උපාධි අතරින්ද උඩින්ම තිබුණේ කොළඹ වෛද්‍ය උපාධියයි. එවක බොහෝ සරසවි සිසුන් විසින් සිතූ පරිදි, උසස්පෙළ විභාගයෙන් සරසවි පිවිසුම් මූලික සුදුසුකම් සැපිරීමටද නොහැකි වූවන්ට මුදල් ගෙවා ඇතුළු විය හැකිව තිබුණු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය හදාරන්නන් වෙනුවෙන් ලැබිය යුතුව තිබුණු උපාධිය උපාධි ධුරාවලියේ පහළින්ම තිබිය යුත්තක් විය. පසුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන ඉදිරියට ඇදී යද්දී අන්තරේට සම්බන්ධ සරසවි සිසුන් විසින් අපව දැනුවත් කළ පරිදි, රාගම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට අවශ්‍ය මූලික සුදුසුකම උසස්පෙළ සාමාන්‍ය සාමාර්ථ තුනක් වූ අතර, එයද නැති අයත්, ගෘහ විද්‍යාව වැනි විෂයයන්ගෙන් උසස් පෙළ සමත් වූ අයද එහි ඉගෙනුම ලබමින් සිටියහ. මේ තොරතුරු වලට පදනමක් තිබුණේදැයි මා අදටත් දන්නේ නැත.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට කොළඹ සරසවියේ උපාධිය දීමේ ඇත්තටම ප්‍රශ්නයක් තිබුණේය. එය පැහැදිලි ප්‍රශ්නයක් විය.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධය ඇති වන කාලය වන විටද සරසවිය සමජාතීය සිසුන්ගෙන් සැදුම්ලත් තැනක් නොවීය. වෛද්‍ය පීඨ සිසුන්ට තිබුණු රැකියා සුරක්ෂිතභාවය හා සමාජ පිළිගැනීම කලා පීඨ වල සිසුන්ට නොතිබුනේය. තනි තනිව ගත් විට වෙනස් උදාහරණ ඕනෑ තරම් පෙන්විය හැකි වුවත්, වෛද්‍ය පීඨ සිසුවෙකුගේ සාමාන්‍ය සමාජ ආර්ථික පසුබිමද, කලා පීඨ සිසුවෙකුගේ එම පසුබිමට වඩා තරමක් උඩින් තිබුණේය. මේ ආදී හේතු නිසා ඒ කාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ශිෂ්‍ය සටන් වෙත ආකර්ෂණය වුනේ කලාතුරකිනි. අනෙක් බොහෝ පාඨමාලා වලට සාපේක්ෂව වැඩ අධික හා අමාරු පාඨමාලාවක් හදාරමින් සිටි ඔවුන්ට ශිෂ්‍ය සටන් වලට වඩා වැදගත් වැඩ තිබුණේය. කොළඹ වෛද්‍ය පීඨය තුළ මේ තත්ත්වය විශේෂයෙන් කැපී පෙනුනේය.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය වෙනත් ශිෂ්‍ය සටන් වලින් කැපී පෙනුණු ප්‍රධාන කරුණක් වූයේ (ඇතැම් විට මුල් වරට) වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් විශාල පිරිසක් ශිෂ්‍ය සටනක් වෙත ආකර්ශනය කරගන්නට හැකි වීමයි. ඒ කාලයේ සරසවි සිසුන් වූ ඇතැම් අයගේ වචන වලින් කියන්නේනම් “මෙඩ්ඩෝ එළියට ගත්තා කියන්නේ” ශිෂ්‍ය ව්‍යාපාරයට ලබා ගත හැකිව තිබුණු විශාල ජයග්‍රහණයකි. මේ සමඟම විශ්ව විද්‍යාල ඉතිහාසය පුරාම දේශපාලන මතවාද අනුව බෙදී, විවිධ දේශපාලන පක්ෂ හෝ කල්ලි වටා එකතුව සිටි සිසු කණ්ඩායම් වලින් සමන්විත වූ ශිෂ්‍ය ව්‍යාපාරයට (යාපනය සරසවිය හැර) සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය පුරාම ව්‍යාප්ත වුනු, ශිෂ්‍ය දේශපාලනයට අමතරව මතු පිටින් පෙනෙන වෙනත් දේශපාලනයක් නැති, තනි ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස හිස ඔසොවන්නට හැකි විය.

ඉහත කී ලෙස මෙඩ්ඩන්ද එළියට බැසීමට හේතු වුණේ පළමු වරට ඔවුන්ටද රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ සැකයක් මතු වීමයි. වඩාත් නිවැරදිව කියනවානම්, එවැනි සැකයක් ඔවුන් තුළ පැල කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරයේ නියමුවන්ට හැකි වීමයි. රස්සා නැතුව වේලෙන ආටන්ගේ තත්ත්වයට පත් වන්නට සිදුවීම මෙන්ම සමාජ ධුරාවලිය තුළ තමන්ගේ තැන පසු කර ඉහළට යාමේ විභවයක් ඇති පිරිසක් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට පිටතින් මතු වීම මෙඩ්ඩන්ට පෙනෙන්නට වූ භයංකාර සිහිනයක් විය. ඒ අනුව, සටන් පෙරමුණට මෙඩ්ඩන්ගේ දායකත්වයද ලැබුණේය.

ශිෂ්‍ය ව්‍යාපාරයේ පෙරමුණට ආ මෙඩ්ඩන් ගණන ඉතා විශාල නොවූවත් එසේ පැමිණි අයට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ විශේෂ තැනක් හිමි විය. මෙය ජවිපෙ තුළ සිටින සීමිත දෙමළ, මුස්ලිම් හෝ කාන්තා නියෝජිතයින්ට විශේෂ තැනක් ලැබෙනවාක් වැනි තත්ත්වයකි. ඒ, ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු ඉදිරියට ගෙන යාමේදී මෙඩ්ඩන්ගේ සංකේතාත්මක වැදගත්කම ඉතා විශාල වූ බැවිනි. සම්ප්‍රදායික “අල පාත්ති” වූ මෙඩ්ඩන්ද සටන් පෙරමුණට පැමිණ සිටිද්දී වෙනත් පීඨයක සිසුවෙකුට මේ “ශිෂ්‍ය ව්‍යාපාරයේ උර මත පැටවුණු ඓතිහාසික වගකීම” මග හැර මෙඩ්ඩෙකුටත් වඩා අලයෙකු වීමේ හැකියාවක් නොතිබුණේය.

අසූව දශකය වන විට ලංකාවේ උපාධිධාරී බටහිර වෛද්‍යවරුන් සිටියේ අද සිටිනවාට වඩා බොහෝ අඩු ගණනකි. ඒ නිසා, ඔවුන්ට වෙළඳපොළ තරඟය ලොකු ප්‍රශ්නයක් වුණේ නැත. වෙළදපොළ තරඟය තුළ ඔවුන්ට පෙර එළියට විසිවෙන්නට නියමිතව සිටි සහකාර වෛද්‍යවරුන් වැනි වෙනත් පිරිස්ද සිටි නිසා ඔවුන්ට ළඟ පෙනෙන තර්ජනයක් නොපෙනුණේය. ඒ නිසා, වෛද්‍ය සිසුන් මුහුණ දුන් තරමේ ප්‍රශ්නයකට එවකට වෘත්තියේ නියැලෙමින් සිටි වෛද්‍යවරුන්ට මුහුණ දෙන්නට සිදු වුනේ නැත.

අද වන විට ලංකාවේ රජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන්ට වඩා පහළින් වෙනත් කණ්ඩායම් නැති අතර ඔවුන් අතර තරඟයද දශක හතරකට පෙර පැවතියට වඩා බොහෝ වැඩි වී තිබේ. ඒ කාලයේ, ලොකු වෙළදපොළ වටිනාකමක් තිබුණු සමාන්තර වෘත්තියක් වූ නීති වෘත්තියට පිවිසෙන්නට සුදුසුකම් ලබන බොහෝ දෙනෙකුට අද රැකියාවක් ලබා ගැනීම අසීරු කාර්යයක් වී තිබේ. වෛද්‍ය වෘත්තියේ නිරතව සිටින සාපේක්ෂව අකාර්යක්ෂම වෘත්තිකයින්ගේ ලාභ ආන්තික තවදුරටත් එසේම පවත්වා ගත හැක්කේ වෙළදපොළ තරඟය කෙසේ හෝ අවම කර ගැනීමෙන් පමණි. ඒ සඳහා, වෘත්තියට අලුතෙන් පිවිසෙන ප්‍රමාණය සීමා කර ගත යුතුය.

තත්ත්වය එසේනම් රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කර වැඩි පිරිසකට වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ඇයිදැයි යමෙකුට ප්‍රශ්න කළ හැකිය. සරලවම කියනවානම්, මෙය සිදු නොවන්නක් බව ඔවුහු දනිති. රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය විශාල ලෙස පුළුල් වීම ප්‍රායෝගිකව සිදු නොවන්නකි.

අනෙක් අතරට සයිටම් යනු අයිස් කන්දක ශිඛරයයි. මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබාගන්නට සූදානම් පිරිස් තවත් ලංකාවේ ඕනෑ තරම් සිටිති. සයිටම් සාර්ථක වීම යනු, මේ ඉල්ලීම සපුරාලනු පිණිස තව තවත් එවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක්  බිහිවීමකි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ රට තුළ වෛද්‍ය වෘත්තිකයින් සැපයුම ඉහළ ගොස් වෛද්‍ය වෘත්තියේ සුපිරි ලාභ ආන්තික නැති වීමයි. එහෙත්, තරඟය හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වෛද්‍ය වෘත්තිකයින් යොදන විශාල මූල්‍යමය හා මූල්‍යමය නොවන අවදානම් වෙනුවෙන්ද, ඔවුන් ගන්නා අවදානම් වෙනුවෙන්ද ලැබෙන ලාභ ආන්තික ඔවුන්ට අහිමි වීමට ඉඩක් නැත. සුපිරි ලාභ අහිමි වුවද, මෙසේ ඉතිරිවන ලාභ ආන්තික වෛද්‍යවරුන්ට තවදුරටත් සමාජ ධුරාවලිය තුළ තමන්ට හිමි තැන පවත්වා ගැනීමට තරම් ප්‍රමාණවත් වනු ඇත. තරඟය හේතුවෙන් ඇමරිකාවේ සමාජ ධුරාවලිය තුළ වෛද්‍යවරුන්ගේ ස්ථානය තර්ජනයට ලක්වී නොමැත.

ලංකාවේ සිටින වෛද්‍ය අධ්‍යාපනය ලබා ගන්නට කැමති හා ඒ සඳහා අවශ්‍ය වන සුදුසුකම් සම්පූර්ණ කිරීමේ ශක්‍යතාවයක් ඇති සියල්ලන්ටම රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ හරහා ඒ අවස්ථාව නොලැබෙන බැවින් ලංකාව තුළ වෛද්‍යවරුන් බිහිවන්නේ සිටිය යුතු ප්‍රමාණයට වඩා අඩුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ වෛද්‍ය සේවාවන් සඳහා වන ඉල්ලුම සැපිරීමට තරම් ප්‍රමාණවත් වෛද්‍ය සේවා සැපයුමක් නැත. මේ හේතුවෙන් වෛද්‍ය සේවා මිල දී ගන්නා පාරිභෝගිකයින්ට නියම මිලට වඩා වැඩි මිලක් ගෙවන්නට සිදු වන අතර, වෛද්‍ය වෘත්තිකයින්ට ඔවුන් විසින් ගන්නා අවදානමට හා සිදු කරන ආයෝජනයට සරිලන නියම ලාභයට වඩා වැඩි සුපිරි ලාභයක් ලැබීමේ අවස්ථාව හිමිව තිබේ.

සයිටම් නිසා ඉහත තත්ත්වය ක්ෂණිකව විශාල ලෙස වෙනස් වීමේ ඉඩක් ඇති වී නැත. එය තවමත් රටේ විශාල පිරිසකට තෝරාගත හැකි විකල්පයක්ද නොවේ. එහෙත්, රජයේ වෛද්‍ය පීඨයක් හරහා සිය වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීමට ඉඩක් නැති විශාල පිරිසකට එය සිය ඉලක්කය කරා ලඟා විය හැකි විකල්ප මාර්ගයකි.

සයිටම් ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් , ඒ ආකෘතියේ වෛද්‍ය විද්‍යාල තවත් බිහි වන්නට ඉඩ තිබේ. තරඟය වැඩි වීමත්, රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ අවිනිශ්චිතතාවයන් අඩු වීමත් නිසා වෛද්‍ය අධ්‍යාපනය සඳහා වැය කළ යුතු මිල තව දුරටත් පහත වැටෙන්නට ඉඩ ඇති අතර නිසි නියාමනයක් ක්‍රියාත්මක වේනම් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පහත වැටෙන්නටද හේතුවක් නැත. එහි වාසිය අවසාන වශයෙන් ලංකාවේ වෛද්‍ය සේවා ලබාගන්නා පාරිභෝගිකයින්ට හිමි වනු ඇත. එහෙත්, වෛද්‍ය වෘත්තිකයින්ගේ සුපිරි ලාභ වලට එයින් පහරක් වැදේ.

වෛද්‍ය වෘත්තිකයෝ මෝඩයෝ නොවෙති. ඔවුන්ට ඉහත තත්ත්වය ගැන මනා අවබෝධයක් තිබේ. වෛද්‍යවරුන්ගේ සයිටම් විරෝධය මරාගෙන මැරෙන තත්ත්වයට උග්‍ර වී තිබෙන්නේ ඔවුන් විසින් අනාගතයේදී මහ ගසක් වී පැල බෝ කරන්නට නියමිත සයිට්ම් වෘක්ෂය පොරොවකින් තබා බැකෝ යන්ත්‍රයකින්වත් ඉවත් කළ නොහැකි ලෙස පැලපදියම් වන්නට පෙර නියපොත්තෙන් කඩා දැමීමට ගන්නා උත්සාහය තුළදීය.

තනි පුද්ගලයින් වශයෙන් හා කණ්ඩායමක් වශයෙන් තමන්ගේ යහපත පිණිස හේතුවන කරුණක් වෙනුවෙන් පෙනී සිටින්නට හා ඒ වෙනුවෙන් කතා කිරීමට වෛද්‍ය වෘත්තිකයින්ට අයිතියක් තිබේ. එහෙත්, රජයක් විසින් එවැනි ඉල්ලීමකට ඉඩ දිය යුත්තේ එයින් වෙනත් පුද්ගලයින්ගේ හා කණ්ඩායම් වල යහපතට බාධාවක් වන්නේදැයි සලකා බැලීමෙන් පසුවය.

සයිටම් යනු මූලික වශයෙන් ස්වේච්ඡාවෙන් මුදල් ගෙවා එහි ඉගෙන ගන්නා ශිෂ්‍යයන් හා ඔවුන්ගෙන් මුදල් ලබාගෙන වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන එහි පරිපාලකයින් අතර සිදුවන නිදහස් ගනුදෙනුවකි. තෙවන පාර්ශ්වයන්ට හානියක් සිදු නොවන තාක් කල්, රජය එවැනි නිදහස් ගනුදෙනුවකට බාධා නොකළ යුතුවා පමණක් නොව, එවැනි නිදහස් ගනුදෙනුවකට කිසියම් බාධාවක් හෝ බාධාවන් ඉවත් කර දීම රජයක මූලික වගකීමක්ද වේ.

කෙසේ වුවද, වෛද්‍ය අධ්‍යාපනයේ අරමුණ වෛද්‍ය වෘත්තිකයින් බිහි කිරීමයි. සයිටම් මඟින් බිහි කරන වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවයේ ප්‍රශ්නයක් ඇත්නම් එය ඔවුන්ගෙන් වෛද්‍ය සේවාවන් ලබා ගන්නා තවත් බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්නයක්ද වෙයි. මේ අනුව, සයිටම්හි ගුණාත්මක භාවය පිළිබඳව සයිටම් විරෝධීන් විසින් මතු කළ විවේචන වලට පදනමක් තිබුණේය.

සයිටම්හි ගුණාත්මක භාවය පිළිබඳව මතු කෙරුණු ප්‍රශ්න වලට රජය විසින් මේ වන විට පැහැදිලි විසඳුම් ලබා දී තිබේ. එයට අමතරව, රජයක් විසින් සිදු නොකළ යුතු මට්ටමේ මැදිහත් කිරීමක් කරමින් සයිටම්හි අයිතිය පිළිබඳව මතු කළ විවේචන වලටද විසඳුම් දී තිබේ. එහෙත්, සයිටම් විරෝධීන් එයින් සෑහීමකට පත් වී නැත. මෙය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධි සහතිකය පිළිබඳ ගැටලුවට විසඳුමක් ලබා දීමෙන් පසුව එම සටන අවසන් නොවීමට හැම අතින්ම වාගේ සමානය. එවර, උපාධි සහතිකය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් දීමෙන් පසුව උතුරු කොළඹ පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නා තුරුම අරගලය දිග්ගැස්සුණු අතර, සයිටම් අරගලයද සයිටම් ආයතනය රජයට පවරා ගන්නා තුරු නොනවතින ‘මරාගෙන මැරෙන’ සටනක් බවට මේ වන විට පරිවර්තනය වී තිබේ.

සයිටම් ආයතනය ජනසතු කරන මෙන් කෙරෙන ඉල්ලීම රටේ සීමිත පිරිසකගේ ඉල්ලීමක් මිස වැඩි දෙනෙකුගේ අවශ්‍යතාවයක් නොවේ. එහෙත්, සයිටම් විරෝධී බලවේගය පුළුල් බලවේගයකි. මේ බලවේගය සමඟ වෛද්‍ය සංගමය තුළ ගොනුවී සිටින රජයේ වෛද්‍යවරුන්, සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම දේශපාලන පක්ෂ කිහිපයක්ද ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ ක්‍රියාත්මකව සිටින බව පෙනේ. කෙසේ වුවද, මේ පුළුල් එකමුතුව හමුවේ වගකිවයුතු රජයකට නම්‍යශීලී විය හැකි උපරිමයටම මේ රජය මේ වන විට නම්‍යශීලී වී තිබේ. මෙය සමාන කළ හැක්කේ උතුරේ ඊළාම් ඉල්ලීම් හමුවේ ෆෙඩරල් විසඳුමක් දෙන තැනකට රජය නම්‍යශීලී වීමෙන් පසුවද තවත් දේ ඉල්ලීමටය. රජයෙන් මස් රාත්තලම ඉල්ලද්දී රජය විසින් එය ලබාදීම තුළ සිදු වන්නට ඉඩ ඇත්තේ රජයෙන් තවත් මස් රාත්තල් දෙකක් හෝ වැඩි ගණනක් ඉල්ලා සිටීම පමණි.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේදී ජවිපෙ විසින් සිදුකළ කාර්යය අද කරන බව පෙනෙන්නේ පෙසපෙ විසිනි. එදා ශ්‍රීලනිපය සිටි තැන අද ඒකාබද්ධ විපක්ෂය සිටී, එදා පැරණි වාමාංශික පක්ෂ සිටි තැන අද සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත් එදා පැවති තත්ත්වය හා අද පවතින තත්ත්වය හරියටම සමාන නැත.

උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය ඇරඹෙන විට ජයවර්ධන රජය සෑහෙන කාලයක් ආණ්ඩු කර තිබුණු අතර රටේ පුළුල් හා සැඟවුණු ජයවර්ධන විරෝධයක් තිබුණේය. එයින් වෙනස්ව, මේ රජය බලයට පත්වී තවමත් වැඩි කලක් ගෙවී නැත. එසේ වුවත්, ජනප්‍රිත්වය අතින් මේ රජය සිටින්නේ එදා ජයවර්ධන රජය සිටියාට වඩා පිටුපසිනි. ජයවර්ධන රජය විසින් පැවැත්වූ මැතිවරණ සර්ව සාධාරණ ලෙස පැවැත්වුනේ නැතත්, එසේ පැවැත්වුනද බොහෝ විට ඉදිරියෙන් සිටින්නට ඉඩ තිබුණේ එජාපයයි.

වත්මන් රජයට මේ වන විට මැතිවරණයකට මුහුණ දෙන්නට තරම්වත් ආත්ම විශ්වාසයක් තිබෙන බව නොපෙනේ. කෙසේ වුවත්, මේ රජයට එරෙහිව රටේ තිබෙන බව පෙනෙන්නේ එදා ජයවර්ධන රජයට එරෙහිව තිබුණු ආකාරයේ සැඟවුණු විරෝධයක් නොව අප්‍රසාදයක් හා බලාපොරොත්තු කඩ වීමකි. ජයවර්ධන රජයට එරෙහිව ක්‍රියාත්මක වූ බලවේගය හරහා එම රජය බිඳ දමා බලයට පත් වීමට එදා ශ්‍රීලනිපය සිහින මැවුවේය. අද ඒකාබද්ධ විපක්ෂයද එවැනි සිහිනයක් තුළ ජීවත් වන බව පෙනේ.

එදා ජවිපෙ සැලසුම වුනේ ශ්‍රීලනිපය පහුරක් කරගෙන ගඟෙන් එගොඩ වී පහුර අත්හැර දැමීමයි. ඔවුහු එය ඒ අයුරින්ම කළෝය. අද සරසවි සිසුන් පිටුපස සිටින දේශපාලන නායකත්වය විසින් ඉව අල්ලනවා විය යුත්තේද එවැන්නකට වන්නට පුළුවන. මේ කණ්ඩායමට අවශ්‍ය වන්නේ සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම නොව ඒ අරගලය හරහා වඩා පුළුල් දීර්ඝකාලීන අරගලයකට මාවත් විවර කර ගැනීමට හා අවසාන වශයෙන් රාජ්‍ය බලය වෙත කෙටි මාර්ගයක් සෙවීමටය. රාජ්‍ය මර්දනය ඉක්මනින් ආරම්භ වන තරමට ඒ කටයුත්ත පහසු වේ.

එක්ටා විරෝධයක් ලෙස මතු විය හැකිව තිබුණු මේ සැලසුම්ගත අරගලය අද වන විට සයිටම් විරෝධය හරහා මතු වී තිබේ. රජය විසින් එක්ටා සැලසුම් මුලින් සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක කළේනම් අද වෛද්‍යවරුන් පමණක් සිටින තැන වෙනත් වෘත්තීය කණ්ඩායම් ගණනාවක්ද සිටිනු දැක ගත හැකි විය යුතුව තිබුණි.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හා අදාළ ඉල්ලීම් ඉටුවීමෙන් පසුව අරගලය තවත් ව්‍යාප්ත වී ඉදිරියට ගියා මිස අවසන් වුනේ නැත. ඒ අරගලය මෙන්ම එයින් පසුව සිදු වූ ලංගම වර්ජනයද ජයග්‍රහණයෙන් අවසන් විය. ඒ කාලයේ හැටියට සැලකිය යුතු මුදලක් වූ රුපියල් 2500ක අවම වැටුපක් ඉල්ලා සිදු කෙරුණු මේ වර්ජනය සම්ප්‍රදායික වර්ජන සිදුවන ආකාරයට සිදු වූවක් නොවේ. පෞද්ගලික බස්ද ඇතුළුව බස් ධාවනය සම්පූර්ණයෙන් තහනම් කරමින් හා සේවයේ යෙදෙන්නන්ට මරණ තර්ජන කරමින් (හා ඇතැම් තැන් වල ඒ මරණ තර්ජන ක්‍රියාත්මක කරමින්) සිදු කළ එකකි. මේ ආකාරයේ බස් වර්ජන එයින් පසුවද අඩුවක් නැතුව සිදු වුණේය.

මට හොඳින්ම මතක තිබෙන්නේ මගේ ඉංග්‍රීසි උපගුරු පත්වීම හා අදාළ අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා (සහතික පෙන්වා පත්වීමේ ලිපිය ලබා ගැනීමට) ඉසුරුපායට යන්නට සිදු වුනු ආකාරයයි. දේජව්‍යා විසින් බස් ධාවනය තහනම් කර තිබුණු එදින මා සතුව එවකට තිබුණු හොඳම කමිසය හා කලිසම ඇඳගෙන සූදානම් වුවත්, කොට්ටාව හන්දිය දක්වා සැලකිය යුතු දුරක් යන්නට සිදුවුනේ පාරේ යන ලොරියකට අත දමා නවත්වාගෙන එහි පිටුපස තට්ටුවේ වාඩි වී හතර අතට පැද්දෙමින් හා ගැස්සෙමිනි. බිම වාඩි වෙන්නට එළාගත් දූවිලි පින්තාරු වුනු ලේන්සුව කොට්ටාවේදී වීසි කර දැම්මෙමි. හමුදා නිලධාරියෙකු විසින් ධාවනය කළ බසයක එතැන් සිට බත්තරමුල්ලට යන්නට හැකි විය.

ජාතික හැඳුනුම්පත අතේ නොතිබුනේනම් මේ සම්මුඛ පරීක්ෂනයට යන්නට හෝ පත්වීම ලබාගන්නට ඉඩක් නොලැබිය හැකිව තිබුණු අතර මේ දවස් වල අපේ නිවස අසල පාරවල් වල හැඳුනුම්පත් දේජව්‍යා විසින් එකතු කර ගනිමින් තිබුණේය. හැඳුනුම්පත් එකතු කරගැනීම සඳහා අපේ නිවසටද මේ අය කොයි වෙලාවක හෝ පැමිණෙන්නට ඉඩ තිබුණු නිසා අදාළ සම්මුඛ පරීක්ෂණයට පෙර රාත්‍රිය මා ගතකළේ විශාල මානසික පීඩනයකිනි. අතට ලැබුණු ගුරු පත්වීම අන්තිම මොහොතේ නැති කර ගන්නට මට අවශ්‍ය නොවීය.

මේ කාලය වන විට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම වෙනුවෙන් ඇරඹුණු අරගලයට තවත් ඉල්ලීම් රැසක් එකතු වී තිබුණේය. පළාත් සභා අහෝසි කිරීම, ඉන්දීය “වඳුරු හමුදාව” එළවීම, ජවිපෙ තහනම ඉවත් කිරීම හා රජය ඉල්ලා අස්වීම වැනි ඉල්ලීම්ද ඒ අතර විය. මේ අරගලයෙන් ඉවත්ව සිටීමේ හෝ එයට විරුද්ධ වීමේ හැකියාවක්ද අපට නොතිබුණේය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කර නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා රට පුරා පිහිටවූ දෙමවුපිය සංගම් වලට අපේ දෙමවුපියන්ටද සහභාගී වන්නට සිදු විය.

ජවිපෙ පන්ති වලට සහභාගී නොවූ හා ජවිපෙ සාමාජිකයින් නොවූ අපට නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් අලවන්නට සිදුවූ පෝස්ටර් වල තිබුණු සටන් පාඨ මොනවාද කියා අපට දකින්නට ලැබුණේ ඒවා ඇලෙවුවාටද පසුවය. ඒ කාලයේ ජීවිතය මරණයෙන් අවසන් වන්නට මෙවැනි පෝස්ටරයක් අතේ තිබී අසුවන්නට අවශ්‍ය නොවීය. ජවිපෙ කැරැල්ලට පක්ෂපාතී මතයක නොසිටි රාවය සඟරාවක් වැනි දෙයක් හෝ සරසවි ශිෂ්‍ය හැඳුනුම්පතක් වැනි දෙයක් අතේ තිබී හමුවීම වුවද ඒ සඳහා ප්‍රමාණවත් විය.

ඇතැම් ගම් වල ජීවත් වූ “දේශප්‍රේමීන්” සියලු දෙනාටම ඉන්දීය සාමසාධක හමුදා වලට වහාම රටින් ඉවත් වන්නට බල කරමින් පෙළපාලි යන්නට සිදුවුනේ අවසන් ප්‍රතිඵලය පොලිස් වෙඩි පහරට ලක් වන්නට සිදුවීම බව ඉඳුරාම දැන දැනමය. අනෙක් විකල්පය වුනේ මේ පෙළපාලි වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කර “දේශද්‍රෝහීන්” වීමයි. දේශද්‍රෝහීන් හා දේශප්‍රේමීන් හැර අතරමැදියන් සිටිය නොහැකි බව ව්‍යාපාරයේ මතය වූ නිසා ඒ විකල්පයද අනිවාර්ය මරණය කැඳවා ගත හැකි විකල්පයක් විය. පෙලපාලි සංවිධානය කළ අය පෙළපාලි වල ඉදිරියෙන් නොගියේය. එසේ ගියත්, පොලිස් හා හමුදා ඛණ්ඩයක් ළඟ එන විට පෙළපාලිය මැද සැඟවී ව්‍යාපාරය වෙනුවෙන් ආරක්ෂා වීමට තරම් ඔවුහු කුසලතා පූර්ණ වූහ. පෙළපාලි වල ඉදිරියෙන්ම ගොස් දේශප්‍රේමය පෙන්වීමේ අවස්ථාව එජාප සාමාජිකයින් ලෙස ප්‍රසිද්ධව සිටි අයට ලැබුණේය.

දැන් සයිටම් වලට පක්ෂව ලියන ඇතැම් අයව කුලී ලියන්නන් ආදී ලෙස හැඳින්වීම තුළ පෙනෙන්නේද එකල දේජව්‍යා විසින් ඔවුන්ට විරුද්ධ අදහස් දැරූවන් දේශද්‍රෝහී, හොරිකඩ, බත්බැලයන් ලෙස නම් කරමින් සිදු කළ බයිනරි බෙදීමමය.

ඒ දවස්වල ජයවර්ධන රජය හැරුණු විට ජවිපෙට එරෙහිව සිටි ප්‍රධානම කණ්ඩායම වූයේ එක්සත් සමාජවාදී පෙරමුණ තුළ ගොනුවී සිටි පැරණි වම හා ශ්‍රී ලංකා මහජන පක්ෂයයි. එහෙත්, අද වන විට පැරණි වම ලෙස සැලකිය හැකි ජවිපෙ හා පෙසපෙ සයිටම් විරෝධී සටන තුළ එක පිලක සිටිති. සයිටම් විරෝධය විශාල ක්‍රම විරෝධයක් බවට පරිවර්තනය වී රාජ්‍ය බලයට තර්ජනයක් වුවහොත්, මේ දෙපිල අතර බල අරගලය නැවත මතු වන්නට ඉඩ ඇතත් එවැන්නක් ඊට පෙර සිදුවීමේ හැකියාවක් නැත.

ජවිපෙ පැත්තෙන් බැලූ විට ඔවුන්ට අසූව දශකය තුළ හිමිව තිබූ දේශපාලන අවකාශය තුළ මේ වන විට ස්ථානගත වී සිටින්නේ පෙසපෙයයි. ඒ තත්ත්වය තුළ සයිටම් විරෝධී පිල සමඟ එකතු වීම යනු ජවිපෙ පැරණි වම මෙන් නොවැදගත් බලවේගයක් බවට පත් වීමයි. අනෙක් අතට, අරගලය තුළ වැඩි බලයක් ඇති පෙසපෙ ජවිපෙ හා සහයෝගයෙන් සිටීම තුළින් පෙනෙන්නේ ඔවුන්ගේ දීර්ඝකාලීන අභිලාශ මොනවාද යන්නයි. ඉදිරියේදී පැමිණෙන්නට ඉඩ ඇති රාජ්‍ය මර්දනයකදී ජවිපෙ සතුව ඇති පෙසපෙ සාමාජිකයින් පිළිබඳ තොරතුරු ප්‍රතිපක්ෂය අතට පත්වීමේ ඉඩකඩ සැලකූ විට පෙසපෙ සුරක්ෂිත වන්නේ ජවිපෙ සමඟ උපක්‍රමික සන්ධානයක සිටීම තුළය. සයිටම් ආයතනය රජයට පවරා ගැනීමෙන් අවසන් වන සටනකදීනම් මෙවැනි උපක්‍රමික සන්ධානයකට වඩා ජයග්‍රහණයේ වාසි ඔවුන්ට අත්පත් කරගන්නට ඉඩ නොදීම වාසිසහගතය.

සයිටම් අරගලය ඉව අල්ලන්නේ ප්‍රශ්නය ඇදගෙන යන්නට උදවු කරන මිනිස් බිල්ලකටය. ආණ්ඩුව මේ බව තේරුම් ගෙන ප්‍රවේශම්ව සිටින නමුත් කොයිවෙලාවක හෝ ආණ්ඩුවේ සිල් බිඳෙන්නට පුළුවන. එවැන්නක් සිදු වීම වලක්වා ගන්නා තාක් කල් සයිටම් විරෝධය පුළුල් අරගලයක් ලෙස ව්‍යාප්ත වීමද වලක්වා ගත හැකිය.

සයිටම් විරෝධී බලවේගය විශාල බලවේගයක් නොවූවත්, සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට රට තුළ එතරම්වත් පිරිසක් නැත. සයිටම් යනු රටේ බහුතරයකට තිබුනත් කමක් නැති, නැතත් කමක් නැති නොවැදගත් දෙයකි. ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයට හිස නැමිය යුතු නැතත් සයිටම් යනු ආණ්ඩුව විසින් ඕනෑම මිලක් ගෙවා රැකගන්නට තරම් වටිනා දෙයක්ද නොවේ. ඒ නිසා, සයිටම් වෙනුවෙන් තවත් පරම්පරාවක් ගඟේ යවන්නටදඅවශ්‍ය නැත.

(Image: http://dailynews.lk/2017/06/22/local/119731/magistrate-issues-order-against-anti-saitm-protesters)

– සංවාදයට විවෘතයි

උපුටා ගැනීම :  එකොනොමැට්ටා 

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල