දේශපාලන

පශ්චාත් භීෂණයේ සිට පශ්චාත් කොමියුනිස්ට්වාදය දක්වා

Off

නාට්සි පාලකයන්ට ‘පුනරුත්ථාපනයකින්’ නැවත බලයේ සිටීමට ඉඩකඩක් පෑදුනේ නැත. නිකිටා කෘශ්චෙව් සහ මිකායෙල් ගොරබචොව් වැන්නවුන් ස්ටාලින් වැනි මිය ගිය ‘ශ්‍රේෂ්ඨ නායකයන්’ වෙනුවට බලයට පත්වෙන්නට පොර කෑහ. එවැනි අය හිට්ලර්ගෙන් පසු නාට්සිවාදයට නොසිටියහ. ස්ටාලින්ගෙන් පසුව සෝවියට් දේශයේ පුනරුත්ථාපනය නමින් ගෙනෙන ලද්දේ සිද්ධ වූ අයුක්තියන් අයින් කිරීමේ උත්සාහයක් නොව බිල්ලට දෙන අය තෝරා බේරා ඉතිරිය අතරින් සුදුස්සෙක් බලයට පත් කර ගැනීමයි.

1955-56 වෙද්දී දැවැන්ත සෝවියට් රාජ්‍ය යාන්ත්‍රණය නොනැවතීම වැඩ කරන ලදි. රහස් පොලීසියේ මර්ධනයේ යෙදි ඉහළ තනතුරු දැරූ අයව අයින් කරන ලද වුවත්, මහා භීෂණය පැතිරවීම මර්ධන ආකාරයක් හැටියට යාන්ත්‍රණය යොදා ගැනීම මුළුමනින් නොනැවතුණි. නැගෙනහිර යුරෝපයේ සෝවියට් හමුදා මැදිහත්වීම් නිල නොවන ලෙසකින් දිගින් දිගටම සිද්ධ විය. සෝවියට් යුද්ධ ටැංකි නගරය මැදින් වීදියක් තුලින් ගමන් කිරීමෙන් භීතිය සහ ගැස්මක් ජනගහණයේ ඇති කිරීම ඉතා සාර්ථක ක්‍රමයක් ලෙසින් පැවතිණ.

1953 ජූනි 17 වැනිදා සෝවියට් යුධ ටැංකි නැගෙනහිර ජර්මනියේ වැඩකරන ජනතාවගේ උද්ඝෝෂණයක් මඬලන්නට එළිබැස්සේය. 51 මිය ගියහ. දෙදෙනෙක් ටැංකි වලට යටවී මිය ගියහ. 7 දෙනෙකු සෝවියට් උසාවි වලින් ද, 3 දෙනෙකු ජර්මන් උසාවි වලින් ද මරණ දණ්ඩනයට නියම වූහ. 23 දෙනෙක් එහි දී ලද තුවාල නිසා මිය ගියහ. ජූනි 30 දා වෙද්දී 6,171 අත් අඩංගුවට ගැනී, අනතුරුව තවත් හත්දහසක් අත් අඩංගුවට ගැනිණ.

1956 දී හංගේරියාවේ ජනතා උද්ඝෝෂණ මඬලන්නට සෝවියට් යුධ ටැංකි පැමිණියහ. හංගේරියාවේ 3,000 ක ජනතාවක් බුඩපෙස්ට් හි දී මිය ගියහ. 15,000 ක් තුවාල ලැබූහ. හංගේරියන් කොමියුනිස්ට් ඉම්රේ නාගි නැමැත්තාගේ බහුපාර්ශවීය දේශපාලන පක්ෂ වලට ඉඩදෙන ක්‍රියාකලාපය නොරිස්සූ සෝවියට් පොලිටිබියුරෝව ඔහුව හංගේරියාවේ දී ම රහසිගතව නඩු අසා, රාජ්‍යද්‍රෝහී වූවා යැයි තීන්දු කර, මරණ දඬුවම නියම කර 1958 ජූනි මාසයේ දී එල්ලා මරා දමන ලද්දේ වෙනත් රටවල කොමියුනිස්ට් නායකයන්ට සෝවියට් බලයට එරෙහිව නොයන්න යැයි අනතුරු අඟවන්නටයි. හංගේරියාවේ මහජනතාවට මරණය දන්වන ලද්දේ සියල්ල නිමා වූ පසුවයි. ඔහු ඇතුළු ඔහුගේ සගයන්ගේ මළසිරුරු මුලින් සිරගෙදර කොන්ක්‍රීට් යට දමන ලද බවත්, පසුව ආපසු අරගෙන රහසිගතව රාත්‍රියේ බුඩපෙස්ට් කනත්තකට ගෙන යන ලදි. ඒ වධ දෙන ලද මෘතශරීර කිසිවෙකුට සොයාගත නොහැකි වන්නටයි. 1988 දී ඔහුගේ මිය යෑම සමරන්නට හැදූ පුද්ගලයන්ට පොලීසියෙන් බැටන් පහර වැදිණ. 1989 දී ඒ මළසිරුරු ගොඩගැනිණ. ලේඛනාගාර වාර්තා විවෘත වීමත් සමඟ ඒවායේ සත්‍ය තොරතුරු ලබාගත හැකියාව දැන් පෑදී ඇත.

1968 දී සෝවියට් යුද ටැංකි චෙකොස්ලෝවැකියාවට ඇතුල් වී මහා භීෂණයක් පතුරුවන ලදි. එය ද ‘සෝවියට් සමාජවාදයට’ විරෝධය පාන ලද ජනතා කැරැල්ලක් මඬලනු පිණිසයි. සෝවියට් දේශයෙන් පමණක් නොව, බල්ගේරියාවෙන්, හංගේරියාවෙන්, පෝලන්තයෙන් සහ නැගෙනහිර ජර්මනියෙන් ද හමුදා භට කණ්ඩායම් සහායට පැමිණියහ.

පශ්චාත් ස්ටාලින් සෝවියට් නායකයන් එසේ සිය හමුදාව වෙනත් රටවල ජනතා උද්ඝෝෂණ මර්ධනයට යවන්නට පසුබට නොවූහ. කොමියුනිස්ට් වූ රටවල ජනතාව සෝවියට් දේශයෙන් ගැලවෙන්නට ගත් උත්සාහ බොහොමයකි. රටට ජනතාව අහිමි වී යැයි බියෙන් පසුවෙද්දී බර්ලින් තාප්පය ඉදිවූයේ සෝවියට් සහායෙනි. ඒ හැරෙන්නට උනුන් අතර රහසිගතව ඔත්තු කියන්නට නිල වශයෙන් බඳවා ගැනීම පැතිර ගියේය. 1980 ගණන් අවසානයේ දී චෙකොස්ලෝවැකියාවෙන් එවැනි රහසිගතව ඔත්තු සෝවියට් දේශයට සපයන අය ලක්ෂ දෙකක් පමණ සිටියහ.

චෙකොස්ලෝවැකියාවේ හමුදා මැදිහත්වීම් වලට සහභාගී නොවී ස්වාධීනව සිටින්නට උත්සාහ ගත් රුමේනියාවේ කොමියුනිස්ට් නායකත්වය ද සෝවියට් දේශයේ අප්‍රසාදයට පත්විය. සෝවියට් දේශය ‘ජාතික කොමියුනිස්ට්වාදය’ නැඟ එන්නට ඉඩ දුන්නේ නැත.

වහල් සේවා කඳවුරු බොහෝ සෝවියට් රටවලින් නැති වී ගිය ද, 1980 ගණන් වල ඇල්බේනියාවේ සහ බල්ගේරියාවේ තුර්කි අය ගාල් කර තැබීම සඳහා ඒවා පැවතෙන ලදි.

මරණ දඬුවම් අඩු වී ගියත්, අප්‍රසාදයට ලක්වූවන් අයින් කරන්නටත්, විරුද්ධ පක්ෂයක් නැඟී ඒම වළක්වන්නටත් ගෙනෙන ලද දේශපාලන නඩු ඉතා බහුලව ඒ සියළු සෝවියට් රටවල් තුල පැවතිණ.

සෑම කොමියුනිස්ට් ආණ්ඩුවක්ම පාහේ තම අදහස් නව්‍ය ආකාරයකින් ඉදිරිපත් කරන්නට දන්නා කලාකරුවන් සහ නිර්මාණ ශිල්පීන් ගැන බියෙන් පසුවූහ. චෙක් නාට්‍ය රචක Václav Havel, හංගේරියන් දාර්ශනික István Bibo, රැමේනියන් රචක පෝල් ගෝමා, සහ ලන්ඩනයේ දී විෂ සහිත තුඩු යුතු කුඩයකින් ඇණ මරා දමන බල්ගේරියන් රචක ගෙගෝරි මාකොව්, ඇතුළු 1980 අවසානය දක්වාම හිරබන්ධනයට සහ මරණයට ලක්වෙන ලද ඉතිහාසය අමතක කළ නොයුතු සාමාන්‍ය රටවැසියන් මහත් සංඛ්‍යාවකි.

සෝවියට් කුට්ටියේ රටවල් යැයි සැලෙකන ලද ඒවායෙන් චෙක් ජනරජය පමණක් එහි සෝවියට් අතීතය ගැන අපූරු ප්‍රවේශයක් ගන්නා ලදි. 1948 පෙබරවාරි 25 වැනිදායින් පසුව රාජ්‍ය අධිකාරිය විසින් උදුරාගන්නා ලද භාණ්ඩ ආපසු ලබාදීමේ නීති ඔවුන් ගෙනෙන ලදි. එදා සෝවියට් වූ රටක් එසේ කළත්, අක්කර පනහේ නීතියෙන් උදුරාගත් ඉඩම් ආපසු දෙන දවසක් සමාජවාදී ලංකාවේ ළඟක දී ඒවි යැයි කියා නම් අපේක්ෂා කළ නොහැකියි.

සෝවියට් රටවල් බොහොමයක වරද කරන ලද අයට දඬුවම් ලැබීම ඉක්මණින් හෝ මනා ආකාරයකින් සිද්ධ වූයේ නැත. උදාහරණයක් හැටියට අද ජර්මන් පාලකයන් ස්ටාසි ලේඛනාගාර කැමති පුරවැසියෙකුට බලා කියා ගන්නට විවෘත කර තිබේ. තම පවුලේ අයෙක් ස්ටාසි ඔත්තු සපයන්නෙක් වූවා නම් දැන් පුද්ගලයෙකුට ඒ ගැන වගකීමක් ගත හැකියි. ඒ ගැන කුමන ලෙසකින් කටයුතු කරනවා ද යන්න එයා තීරණය කළ යුතුයි. නමුත් ඇත්ත වසන් නොකර කළ වැරදි පිළිගැනීමෙන් යළි වැරදි සිද්ධ වීම වළක්වාගත හැකියි.

මෙම සටහන ලියන්නට පාදක කරගත්තේ කොමියුනිස්ට්වාදයේ කළු පොතයි.

-සියලු අදහස් හා හිමිකම් බ්ලොගකාරිනිය සතුය. සංවාදයට විවෘතයි.

උපුටා ගැනීම: අරුණි ෂපිරෝ  වෙතින්

පින්තූරය  – හංගේරියාවේ සෝවියට් යුද ටැංකි 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල