කාලීන සංවාද

විරෝධය සමාජ විරෝධීද?

0

විවිධ ඉල්ලීම සහ අරමුණු මුල් කර ගනිමින් ලංකාව පුරා විරෝධතා දියත් වනු අද වන විට දැක ගන්නට ලැබේ. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ශිෂ්‍ය විරෝධතා, අවිධිමත් සංවර්ධනය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ විරෝධතා, හමුදාව විසින් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව උතුරේ විරෝධතා, අවිධිමත් කසළ බැහැර කිරීමට එරෙහිව විරෝධතා සහ ගොවි විරෝධතා ඒ අතර කැපී පෙනේ. මෙලෙස සාමාන්‍ය ජනතාව අතරින් විවිධ විරෝධතා පැන නගින විට අනෙක් පසින් නැගෙන චෝදනාව වන්නේ මෙම උද්ඝෝෂණ ව්‍යාපාර හේතුවෙන් බරපතල මහජන පීඩාවක් සිදුවන බවයි. රජය ඇතුලු සමහර කොටස් මෙම විරෝධතා ව්‍යාපාර රජය පෙරළීම අරමුණු කරගත් කුමන්ත‍්‍රණ ලෙස හුවා දක්වන්නටද උත්සහා කරමින් සිටී. තවත් සමහරෙක්ට අනුව රට පුරා ඇතිවෙන විරෝධතා ආණ්ඩුවේ ආකාර්යක්‍ෂමතාවය හා පරිපාලන දුර්වලතාවල ප‍්‍රතිඵලයන් වේ. මේ අනුව බලන විට විරෝධතා ව්‍යාපාර පිිළිබද මහජන සංවාදය ලඝු වී ඇත්තේ ආණ්ඩු විරෝධය, මහජන පීඩාව හා කාර්යක්ෂමතාවය වැනි අදහස් පද්ධතියකටයි. විරෝධය දැක්වීමට ඇති ඉඩකඩ යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මූලික ලක්‍ෂණයක් බව හා සමාජ ප‍්‍රගමනය උදෙසා ඓතිහාසකව ආරක්ෂා කරගන්නා ලද අයිතියක් බව යන කරුණු මෙම සංවාදවලට මග හැරෙමින් පවතී.


 
විරෝධයේ ඓතිහාසික පසුබිම

 

මහජන විරෝධතා යනු අද ඊයේ කොළඹ පාරවලදී පාදූර්භූත වූවක් නොව නූතන දේශපාලනික ඉතිහාසයේ මානව අයිතිවාසිකම් හා ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය ඉඩකඩ පුලල් කිරීම සහ ආරක්ෂා කිරීම උදෙසා අතිවිශාල කාර්යභාරයක් ඉෂ්ට කරන ලද දේශපාලන උපකරණයකි. විරෝධතා හේතුවෙන් රාජ්‍යය ප‍්‍රජාතන්ත‍්‍රීකරණය වීම පිළිබදව  ඕනෑ තරම් උදාහරණ ඉතිහාසය පිරික්සා සොයා ගත හැක. 1215 තරම් වූ ඈත අතීතයේදී බි‍්‍රතාන්‍යයේ රජුගේ ඒකාධිකාරයට එරෙහිව ඉඩම් හිමි රදළයින් (Barons) විසින් දියත් කරන ලද විරෝධතාවල ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍යයට එරෙහිව පුද්ගලයින්ට අයිතිවාසිකම් පවතින බවට පිළිගැණිනි. ඉන් පසුව දිගින් දිගටම යුරෝපීය රටවල සිදු වන ලද දේශපාලනික විප්ලව හා විරෝධතා ව්‍යාපාර හේතුවෙන් මානව අයිතිවාසිකම් ලෙස අද අප භුක්ති විදින සිවිල් අයිතිවාසිකම් රාජ්‍යයට එරෙහිව පවතින අයිතිවාසිකම් ලෙස දිනා ගැනීමට මිනිසුන්ට හැකි විය.
ඇමරිකානු නිදහස් සටනේ ප‍්‍රතිඵලයක් වූ ඇමරිකානු අයිතිවාසිකම් ප‍්‍රකාශය, ප‍්‍රංශ විප්ලවයෙන් පසුව මානව අයිතිවාසිකම් පිළිගැනීම, බි‍්‍රතාන්‍ය විප්ලවයෙන් පසුව රජුගේ ඒකාධිකාරය අහෝසි වී පාර්ලිමේන්තුවට බලය ලබා ගැනීම හා ගෝලීය දකුණේ රටවල් යටත්විජිතකරණයෙන් නිදහස් වීම ආදිය විරෝධතා විසින් මිනිස් ඉතිහාසයට එක් කරන ලද දීප්තිමත් ජයග‍්‍රහණ වේ. අද දවසේ සමස්ත ලෝකවාසී වැඩ කරන ජනතාව විසින් භුක්ති විදි යුතු පැය 8 වැඩ දිනය දිනා ගැනීමට හැකි වූයේ ජීවිත පරිත්‍යාගයෙන් කැප වූ දීර්ඝ කාලීන ජනතා විරෝධයක ප‍්‍රතිඵලයක් ලෙසයි. මේ අනුව බලන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහි කිරීමට හා පුලුල් කිරීමට විරෝධතා හා උද්ඝෝෂණ විසින් කරන ලද කාර්ය භාරය සුලු පටු නොවේ.

 

 

විරෝධය අයිතියක් ලෙස

 

1993 දී ජනඝෝෂා නඩු තීන්දුවෙහිදී මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුතුමා  විසින් ප‍්‍රකාශ කරන ලද්දේ, රජය, දේශපාලන පක්ෂ, ප‍්‍රතිපත්ති හා වැඩසටහන්වලට සහය දැක්වීමට හෝ විවේචනය කිරීමට ඇති අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවන භාවිතාවේ මූලිකාංගයක් වන බවත්, සියලු සිවිල් හා දේශපාලන අයාතනවල පදනම වූ නිදහස සහ යුක්තිය පිළිබද වූ මූලධර්ම අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියෙහි අනුල්ලංඝණීය කොටසක් බවයි.
ඒ අනුව උද්ඝෝෂණයට ඇති අයිතිය, අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියෙහි ඇතුළත් වන බව ජනඝෝෂා තීන්දුවෙන් ප‍්‍රකාශිත වේ. එපමණක් නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1)ආ වගන්තිය මගින් පුරවැසියන් සාමකාමීව රැස්වීමට ඇති අයිතිය සුරක්ෂිත කර තිබේ.
බලයේ සිටින කුමන ආණ්ඩුවක් වුවද පොලිසිය හා අධිකරණය යොදා ගනිමින් ජනතාවට උද්ඝෝෂණයට ඇති අයිතිය මර්දනය කරනු ලැබුවද මෙම අයිතිය ලංකාවේ නීතිය තුළ පිළිගැනීමට ලක් වූ ජනතාව සතු මූලිකි මිනිස් අයිතියකි.

 

 

විරෝධය පීඩාවක් ලෙස
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලිකාංගයක් ලෙස විරෝධයට ඇති අයිතිය ජනඝෝෂා නඩු තීන්දුව මගින් හදුන්වා දී තිබුණද ජනප‍්‍රිය සංවාදවලදී ඒ වෙනුවට විරෝධය පිළිබද සාකච්ඡාව ඉස්මතු වන්නේ මහජන පීඩාව, කාර්යක්ෂමතාවය, ආණ්ඩු විරෝධය වැනි ආන්තික ස්ථානයකිනි. අද වන විට විරෝධය පෑම ජනතාවගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්ය යන දෘෂ්ටියෙන් විරෝධය පරිකල්පනය කරන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව නිදහස තම වෘත්තීය කරගත් සිවිල් සමාජයද ඇතැම් කණ්ඩායම්වලට විරෝධය දැක්වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. පොදු ජන අවකාශය තුළ විරෝධතා පිළිබදව ඇති මතය නිර්මාණය කරන්නේ පෞද්ගලික අපහසුතා, කාලය අපතේ යැවීම්, මාර්ග තදබදය නිසාවෙන් ප‍්‍රමාද වීම් වැනි අතිශය පටු හා පුද්ගලවාදී දෘෂ්ටීන් මතු කරමිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමානාත්මතාවය හා සහෝදරත්වය වැනි සමාජයීය වටිනාකම් මත පදනම් වූ සාමූහික විරෝධය පෑම් නිදහස පිළිබද පුද්ගලවාදී සීමාවන්ට යටත් කර දැක්වීමට අද වන විට ලංකාවේ රජය හා මාධ්‍යය පමණක් නොව ඇතැම් සිවිල් සමාජයේ කොටස්ද පෙරට පැමිණ සිටී. අනෙක් අතට මාර්ග තදබදය හා ඉවක් බවක් නොමැතිව කාර්ය බහුල වී ඇති අපගේ ජීවිත නාගරීකරණයේ හෝ සමාජ ආර්ථික කි‍්‍රයාවලීන්ගේ ප‍්‍රතිඵල නොව අයිිතිවාසිකම් ඉල්ලන විරෝධතාකරුවන්ගේ වරදක් ලෙස අපට පෙන්වීමට රාජ්‍යය හා මාධ්‍ය කටයුතු කරයි. උදාහරණයක් ලෙස  ඕනෑම විරෝධතාවයක් වාර්තා කිරිමේදී එයින් ඇතිවෙන මාර්ග තදබදය ගැන සදහන් කරන මාධ්‍ය විරෝධයේ අරමුණ සමාජගත කිරීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැත. විරෝධතා පවතින විටදී එයට සම්බන්ධ නොවන මහමග සිටින ජනතාව පුරවැසියන් නොව පුද්ගලවාදී මැසිවිලි නගන්නන් බවට පත් කරමින් විරෝධතාකරුවන් හා මගියා අතර ප‍්‍රතිවිරෝධයක් ඇති කිරීම ඇත්ත වශයෙන්ම ඉතාමත් දේශපාලනික ක‍්‍රියාවකි.

 
විරෝධතා විසුරුවීම හා පොලිස් ප‍්‍රචණ්ඩත්වය
මෙලෙස ජනතාව හා විරෝධතාකරුවන් අතර ප‍්‍රතිවිරෝධතා ඇති කිරීමෙන් ඔබ්බට විරෝධතා විසුරුවීම සදහා රාජ්‍යය විසින් නග්න මර්දනයට භාවිතා කරන්නේ ඉදහිට නොවේ. පසුගිය රජය සමයේදී විරෝධතා විසුරුවා ලීමට අධිකතර බලය යෙදීම සාමාන්‍යකරණය විය. කටුනායක, හලාවත හා රතුපස්වල දී එම බලය මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සදහාද යොදා ගැණිනි. විරෝධතා විසුරුවා හැරීමේ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී බව කොතරම්ද කියතොත් වර්තමාන ජනාධිපතිවරයා විසින් රාජපක්ෂ රෙජිමයට එරෙහිව කරන ලද මැතිවරණ ව්‍යාපාරයේදී ශිෂ්‍ය, කම්කරු, ගොවි, ධිවර වැනි නිර්ප‍්‍රභූ ජනතාවගේ විරෝධතා විසුරුවාලීමේදී අධිකතර බලය යොදා ගන්නා වීඩියෝ දර්ශන ප‍්‍රචාරණ දැන්වීම්වලට පවා යොදා ගැණිනි. එහි ගැබ් වූ අදහස නම් නව රජයක් යටතේ එවැනි කෲරත්වයක් ජනතාව මත මුදා නොහරින බවයි. එසේ වුවත් රාජපක්ෂ රජය විසින් සාමාන්‍යකරණය කරන ලද පොලිස් හා මිලිටරි ප‍්‍රචණ්ඩත්වය මෙම රජය විසින්ද දිගින් දිගටම විරෝධාතාකරුවන්ට එරෙහිව යොදා ගනිමින් සිටී. පසුගිය කාලයේදී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උද්ඝෝෂණ ඉතාමත් කෲරතර ලෙස විසුරුවා හැරීම ඒ සදහා අප ඉදිරිපිට ඇති හොදම උදාහරණයයි.
විරෝධතා මර්දනයේ සාමාන්‍ය ක‍්‍රියාවලිය වන්නේ තෝරාගත් විරෝධතා පැවැත්වීමට පෙරම එම විරෝධතාවන්ට එරෙහිව වාරණ නියෝග ලබා ගැනීමයි. මෙම විරෝධතා තෝරා ගැනීමේදී විරෝධතාකරුවන්ගේ සමාජ හා සිවිල් බලය හා පවතින රජයන්ගේ වැඩපිළිවෙල සමග එම විරෝධතා කෙතරම් ගැටෙන්නේද යන්න තීරණාත්මක සාධක වේ. නීතිය හා නීතිය ක‍්‍රියාත්මක වීමේ ආයතන තුළ එනයින්ම පවතින පාර්ශවීයතා විසින් ද කුමන විරෝධතා වාරණය වන්නේද යන්න තීරණය කරයි. නීතිය, වාරණ නියෝග හා සාමය කඩකිරීම් ගැන විවිධ මාධ්‍ය ඔස්සේ මත පළ කරන බොහෝ දෙනා නීතිය නිර්පාක්‍ෂික යැයි පරිකල්පනය කරයි. එසේ වූවත් පසුකාලීනව නීතිය පිළිබදව ඇති වී ඇති විවේචක කතිකා සම්ප‍්‍රදායන් තුළ නීතිය තුළම වූ විවිධ පාර්ශවීයත්වයන් හා බැහැර කිරීම් හදුනා ගනී. එම බැහැර කිරීම් පංති, ජාති නැතිනම් ස්ත‍්‍රී පුරුෂ සමාජබාවයන් නිසාවෙන් සිදු විය හැකි බව හදුනා ගනී. මහ ජාතිවාදී පෙළපාලී හා පහර දීම් වලදී ඉවසිලිසහගත නීතිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එරෙහිව හෝ සුලු ජාතීන්ට එරෙහිව දැඩි වන්නේ ඒ නිසාවෙනි.
විරෝධතා මර්දනය කිරීමට පොලිසිය යොදා ගන්නා ආකාරයේ තවත් බරපතල ගැටලුවක් වන්නේ පොලිසිය තුළ වූ අත්තනෝමතිකත්වය හා ප‍්‍රචණ්ඩත්වය වර්ධනය කිරීමට එයින් ලබාදෙන අනුබල දීමයි. ලංකාවේ පොලිසිය දැනටමත් අපකීර්තියට පත් වී ඇත්තේ නීතියට පරිබාහිරව ප‍්‍රචණ්ඩත්වය අධිකතර ලෙස භාවිතයේ යොදවන ආයතනයක් ලෙසයි. එවැනි ආයතනයක් උද්ඝෝෂණ මර්දනය කිරීම සදහා යොදා ගැනීමෙන් පොලිසිය තුළ දැනටමත් පවත්නා ප‍්‍රචණ්ඩත්වය හරණය කිරීම වෙනුවට එය වර්ධනය කිරීමට රජය විසින් අනුබල දේ. උද්ඝෝෂණ විසුරුවා හැරීමේදි ලංකාවේ පොලිසිය විසින් අවශ්‍ය ප‍්‍රමාණයට වැඩි බලයක් යොදා ගන්නා බව බැලූ බැල්මට පෙනෙන්නට ඇති කරුණකි. විරෝධතාකරුවන්ට පසුපස එලවමින් පහර දීම, ඍජුව හිසට පහර එල්ල කිරීම, විරෝධතාකරුවන් දෙසට ප‍්‍රහාරාත්මක ලෙස කදුලු ගෑස් එල්ල කිරීම, පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවත් විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහර දීම ආදිය විරෝධයකින් පසුව අන්තර්ජාලයේ මතුවන වීඞීයෝ දර්ශන හා ඡායාරූපවල සුලභව දක්නට ලැබේ. සැබැවින්ම රැඳවියන්ට එරෙහිව පොලිසිය විසින් වධහිංසනයන් ක‍්‍රමික ලෙස භාවිතා කිරීම හා විරෝධතාකරුවන්ට එරෙහිව හිංසනය ක‍්‍රමික ලෙස යොදා ගැනීම අතර ප‍්‍රමාණාත්මක වෙනසක් හැර හරයාත්මක වෙනසක් පවතින්නේද? වධහිංසනයන් හා ප‍්‍රචණ්ඩත්වයන් පොලිසියට පුරුදු කරනා රජයන් අප තවදුරටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස සලකන්නට සූදානම්ද යන්න වර්තමානයේ ලිබරල් යැයි හදුන්වා ගන්නා සිවිල් සමාජය විසින් තීරණය කළ යුතු කරුණක් බවට පත් වී ඇත.
2015 ජනවාරි 8 වන දිනට පෙර විරෝධතාකරුන්ට පහර පිට පහර එල්ලා කරනා වීඩියෝ දර්ශන අපට පෙන්වමින් වර්තමාන ජනාධිපතිවරයා අපෙන් ප‍්‍රශ්නයක් විමසීය. එනම් ආයේ ආයේ අප මෙම කෲරත්වය ඉවසිය යුතුද යන්නයි. පෙරලා එය රජයෙන් ඇසීමට කාලය උදා වීම අප ජීවත් වන සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබදව ලබා දෙන්නේ යහපත් සංඥාවක් නම් නොවේ.

ලක්මාලි හේමචන්ද්‍ර / ජයන්ත දෙහිඅත්තගේ

සියලු හිමිකම් වෙබ් අඩවිය සතුය.

උපුටා ගැනීම : අක්ෂය 

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල