දේශපාලන

රෝහල් මුදලාලිගේ ඒජන්තයා වෛද්‍යවරයාය

Off

මරණය යනු අපට හැඟවුම්කරණය කළ නොහැකි අමුතුම අකාරයේ ප‍්‍රපංචයකි. නමුත් 18 වන සියවසේ සිදු වූ ප‍්‍රබුද්ධත්වයේ ආලෝකයත් සමඟින් එය හේතුව මඟින් පැහැදිලි කළ හැකි දෙයක් බවට පත්විය. ඒ අනුව මරණය අපගේ සංකල්ප ලෝකය තුළ ජීව විද්‍යාත්මක ක‍්‍රියාවලියක කොටසක් ලෙස ගොඩනැඟී ඇත. මිනිස් ආත්මය පැත්තෙන් සලකා බැලීමේ දී මරණය සඳහා ගොඩනැෙඟන අර්ථයන් මෙම ජීව විද්‍යාත්මක පැහැදිලි කිරීමට වඩා වෙනස් වුව ද මරණයත් සමඟ අපගේ ජීවී ශරීරය මැකී යන නිසා එය ජීව විද්‍යාත්මක ගවේෂණයකට ලක් වීමෙන් ගැලවිය නොහැක.

ව්‍යජේද විද්‍යාව බිහි වීමත් සමඟ වෛද්‍ය විද්‍යාව නව යුගයක් ආරම්භ කළේය. ශරීරය දෙවියන්ගේ කැමැත්ත අනුව ගොඩනැගුණ දෙයක් බැවින් එය කපා කොටා බැලීම මුල්කාලීනව තහනම් වුව ද 18 වන සියවස වන විට සායනවල ව්‍යජේදය සඳහා  ඕනෑ තරම් මෘත ශරීර තිබිණ. ව්‍යජේද විද්‍යාව විසින්   රෝගය ශරීරයේ එක් අවයවයක් තුළ ඇති වන දෙයක් බවත් එය ආරම්භ වන්නේ පටකවල බවත් සොයාගන්නා ලදී. මේ අනුව වෛද්‍ය දැක්ම රෝගය ස්ථානගත කිරීම සඳහා ශරීරයේ රහසිගත ගැඹුරක් සොයාගනී. වෛද්‍යවරයා රෝගියාගේ ශරීරය මතුපිටට අත තබමින් මතුපිටට ඇතුළෙන් ඇති දෙයක් සොයන්නට උත්සාහ කරන අතර ව්‍යජේදයත් සමඟින් ඔහු ඇතුළ තුළින් ඇතුළට ගමන් කරයි.

18 වන සියවසේ වෛද්‍ය දැනුමට අනුව මරණය යනු පරම කාරණාව මෙන්ම වඩා සාපේක්ෂ ප‍්‍රපංචය ද විය. එය ජීවිතයේ අවසානය මෙන්ම රෝගයේ ද අවසානයි. මරණය සමඟ රෝගය එහි ක‍්‍රියාවලිය අවසන් කරයි. නමුත් රෝගය මෘත ශරීරය තුළ ද යමක් ඉතුරු කරයි නම් එහි ජීවිතයට සහ මරණයට අයත් කොටස් මොනවාදැයි යන්න පිළිබඳ ගැටලූවක් ඇති වේ. මේ අනුව වෛද්‍ය විද්‍යාව මරණයට යම් ක‍්‍රමවේදයක් දීමට එනම් එය වස්තුකරණය කිරීමට උත්සාහ කළේය. ස්වභාවික මරණයක දී පිළිවෙළින් ඉන්ද්‍රිය සංවේදනය නැති වීම,  මොළයේ ක‍්‍රියාකාරිත්වය අඩු වීම, ඉන්ද්‍රිය චලනය අඩපණ වීම, මස්පිඩු තද වීම, බඩවැල් අඩපණ වීම, අවසානයේ හදවතේ ක‍්‍රියාකාරිත්වය නැවතීම මඟින් මරණය ළඟාවේ. මෙම පිළිවෙළින් සිදු වන මරණයේ ක‍්‍රියාදාමය හදවත, පෙනහළු සහ මොළය යන ඉන්ද්‍රියන් නිවී යාම මඟින් අවසන් වේ.

ව්‍යජේදයත් සමඟ වෛද්‍ය විද්‍යාව විසින් මරණය සාපේක්ෂ දෙයක් බවට පත් කළේය. බෙදිය නොහැකි, තීරණාත්මක, නැවත ගොඩනැඟිය නොහැකි පරම සිදුවීමක් ලෙස පෙනෙන මරණය ජීවිතය පුරාවටම ව්‍යාප්ත විය. ඒ අනුව ජීවයට ධනාත්මක බවක් ලබා දිය හැක්කෙත් ජීවය පිළිබඳව දැනුම සොයාගත හැක්කේ මරණය මඟිනි. මරණයේ දෘෂ්ටිකෝණයෙන් ජීවිතය පිළිබඳව විනිශ්චයක් ලබා දීම වෛද්‍ය විද්‍යාව මඟින් සිදු කරයි. ජීවිතය සහ රෝගය සමඟ පමණක් ගනුදෙනු කරමින් සිටි වෛද්‍ය  විද්‍යාවේ  තාක්ෂණික සහ සංකල්පීය සමස්ථයට මරණය ද  එකතු විය.

රෝගය ජීවිතයට වන හදිසි අනතුරක් යනුවෙන් හැඳින්වීම වෙනුවට එය දැන් අපට ජීවිතය සහ මරණය අතර චලනයේ සම්බන්ධතාවය වන බව සිතිය හැක. මරණය සහ ජීවය අතර මෙම නව සබඳතාවට අනුව මිනිසකු රෝගී වීම නිසා මියයාම සිදු නොවන අතර ඔහු රෝගී විය හැකි බැවින් මිය යාමට ද හැකිය. ජීවය – රෝගය – මරණය යන ත‍්‍රිත්වයේ සම්බන්ධයට අනුව ජීවය සහ මරණය අතර සම්බන්ධය ගොඩනඟන දෙය මඟින් රෝගය නම් සංඥව බිහි වේ. ව්‍යාධිවේද සංකල්ප කායික විද්‍යාව සමඟ සම්බන්ධ වී ඇති බව සත්‍ය වන නමුත් එහි දී නිර්මාණය වන හිඩැස වන්නේ මරණයයි. මෙම හිඩැස ජීවයෙන් පසුව ඇති වන දෙයක් නොව ජීවය පුරාවටම විසිරී ඇති දෙයකි. රෝගය නම් වෛද්‍ය විද්‍යාත්මක සංඥාවේ ප‍්‍රභවය වන්නේ එයයි. වෛද්‍යවරයා සාමාන්‍ය ඇසකින් අපව පරීක්ෂා කරන විට තවත් ඇසකින් ජීවයේ ඇති විනිවිදභාවය හරහා මරණයේ ආලෝකමත් නිත්‍ය බව දෙස ද බලයි.

ජීවිතයට මරණය විසින් මුහුණක් ලබා දෙන අතර එය කිසිවිටෙකත් හුවමාරු කළ නොහැකිය. රෝගයකින් පීඩා විඳිමින් ටිකෙන් ටික මියැදෙමින් සිටින පුද්ගලයකු ජීවිතයට වඩ වඩා ආශා කරන අතර ඔහුට මරණය ජීවිතය මඟින්  හුවමාරු කළ නොහැකිය. පුද්ගලයාගේ සැඟවුණ සත්‍යයත්, එළිපිට දැකිය හැකි රහසත් මරණයයි.

මරණය ජීවිතයේ අවසානය ලෙස ස්වාභාවිකව ඇති වන්නක් නොවේ. අප සියලූ‍ දෙනා විවිධ ආයු කාල විඳිමින් මරණයට පත් වීම සහ පිළිකාවක් වැනි  රෝගයක් වැලඳීමෙන් මිය යාම තවදුරටත් පැරණි අර්ථයෙන් පෙර කරුමය, රැුගෙන ආ ආයුෂ අවසන් වීම ආදී මිථ්‍යාවකට ඌනනය නොකර එය සමාජ දේශපාලන ක්ෂේත‍්‍රය වෙත රැුගෙන ආ යුතුය. වෛද්‍ය විද්‍යාවට තවදුරටත් මරණය ජයගත නොහැකි ප‍්‍රපංචයක් නොවේ. අපට අවශ්‍ය ආයු කාලය අපම තීරණය කරන යුගයක් නුදුරු අනාගතයේදීම බිහිවනු ඇත. නමුත් එය සැමට පොදු ප‍්‍රතිඵල සහිත දෙයක් නොවේ. පහළ පන්තියේ පුද්ගලයකු හෘද රෝගයකට ගොදුරු වූයේ යැයි සිතන්න. ඔහුගේ සැත්කම සඳහා විශාල මුදලක් අවශ්‍ය බව රෝහල් මුදලාලිගේ ඒජන්තයා වන වෛද්‍යවරයා පවසනු ඇත. ඔහුට එම මුදල ගෙවීමට නොහැකි නිසා රෝගයෙන් පීඩා විඳ කිසියම් හෝ මොහොතක මිය යාමට සිදු වනු ඇත. අප සමාජයේ බහුතරයක් රෝගවලින් පීඩා විඳ මේ ආකාරයට මිය යන්නේ පුද්ගලයාගේ ස්වභාවික හේතුවක් නිසා නොව ඔබ ජීවත් වන සමාජ ක‍්‍රමයේම පවතින ගැටලූවක් නිසාය. වෛද්‍යවරුන්  යනු මෙම ගැටලූ‍වෙන් උපරිම ලාභ උපයා ගන්නා පිරිසය. මේ නිසා ඔවුන්ව ආරක්ෂා කිරීම වෙනුවට වෛද්‍යවරයා යන සමාජ යථාර්ථය ගොඩනැඟී ඇති සැබෑව කුමක්දැයි තේරුම් ගැනීම සඳහා අප යොමු විය යුතුය. අනාගත අරගලයක් නිර්මාණය වන්නේ මේ මොහොතේ පවතින ක‍්‍රමය තේරුම් ගැනීමට වෑයම් දරන පුරවැසියන්ගේ බුද්ධිමය සංවාදය තුළිනි. මේ මොහොතේ මනුෂත්වය විසින් ඉල්ලා සිටින්නේ තම විනෝදය පිණිස සමාජ සත්කාර සිදු කරන්නන් පිරිසක් නොව සමාජයට සැබෑ ලෙසම ආදරය කරන එවැනි පුරවැසින්ය.

අනුෂ්ක ආරියරත්න

උපුටා ගැනීම – ත්‍රිමාණ 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල