ඉතිහාසය, විශේෂ

නැව් නවයක ප්‍රංශ ආක්‍රමණික හමුදාවක් සමග ලංකාවට පැමිණි ද ලැනරෝල් පරපුර !

1

ලේඛන කලාවේ විශිෂ්ඨයෙකු වූ වී.ඩී.ද ලැනරෝල් ගත්කතුවරයා ගැන ඔබ අසා ඇතුවාට සැක නැත. 1894 දී කැලණි නදිය අසබඩ වු කඩුවෙල බෝම්රිය ගම්මානයේදී උපත ලබූ වී.ඩී ද ලැනරෝල්, මුලික අධ්‍යාපනය බොම්රිය විද්‍යාලයෙන්ද ඉන් පසුව කොළඹ ද්විභාෂා විද්‍යාලයෙන්ද ලබා උප ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබුවේය.

මුනිදාස කුමාරතුංග මහතාගේ ඇසුර ලැබීමත් සමග සිංහල භාෂාව පිළිබඳ දැඩි කැපවීමක් ඇති කරත් ද ලැනරෝල් කවි නිර්මාණයට පිවිසුනා. ඔහුගේ ප්‍රථම කාව්‍ය නිර්මාණය වුයේ “කවි කළබ” යි. බේරුවල මස්සල පාසැලේ සේවය කරන කාලය තුලදී බේරුවල නගරය පිළිබඳ කරන ලද “මලව් සංදස” බෙහෙවින් ජනප්‍රිය වුනා. බේරුවල පාසලෙන් ඉදුරුවේ ගෝනගල විද්‍යාලයට විදුහල්පතිවරයෙකු ලෙස පත් වුන අතර කවි ලිවීම දිගටම කරගෙන ගියා. ගුරුසේවයෙන් ඉවත්වුනු ලැනරෝල් පසුව සමාජ සේවයට අවතීර්ණ වී “ලංකා තරුන හඩ” නැමති පුවත්පත් කතුවරයා ලෙස කටයුතු කලා

ළමා පොත් ගණනාවක්ද, නවකතා කිහිපයක්ද ජාතියට දායාදකල වී.ඩී ද ලැනරෝල් වියතා සිළුමිණ, දිණමිණ හා සිංහල ජාතිය ආදී පුවත්පත්වලට දායකවෙමින් ලංකාවේ පුවත්පත් කළාවද පෝෂණය කලා.

ලැනරෝල් පරපුර ගැන ලිපියක් ලියන්න හිතුනේ ඇයි?

මේ දවස්වල ටිකක් රාජකාරි අඩු නිසා විවේකයට කරන වැඩ ටිකක් කරගන්න පුලුවන් වෙලා තියෙනවා. බ්ලොග් ලිවීමට අමතරව මගේ තවත් එක් ප්‍රියතම විනෝදාංශයක් වන්නේ ලංකාව ගැන, විශේෂයෙන් යටත් විජිතසමයේ ලංකාව ගැන ලියවුනු පොත් කියවීම. මේ වගේ පොත් රැසක් අන්තර්ජාලයේ “INTERNET ARCHIVE : https://archive.org/” කියන වෙබ් අඩවියෙන් නොමිලේ බාගතකරගන්න පුලුවන්. ලංකාවේ ඕලන්ද පාලන යුගය ගැන ලියැවුනු වැදගත් පොතක් මට මේ අඩවියගෙන් බාගතකරගන්න පුලුවන් වුනා.

“Ceylon and the Hollanders, 1658-1796 by Pieris, P. E. (Paulus Edward)” නම්වූ මේ පොත පලකරලා තියෙන්නේ 1918 වසරේදී. ලේඛකයා පෝලස් එඩ්වර්ඩ් පීරිස් නම්වූ ශ්‍රී ලාංකික ප්‍රභූවරයෙක්. ලංකා සිවිල් සේවයේ ජේශ්ඨ නිළධාරියෙකු වුනු ඔහු රාජකීය ආසියාතික සමාජයේ, ලංකා පර්ෂදයේ උපසභාපති ධූරයද හෙබවූ විද්වතෙක්. මුද්‍රිත මූලාශ්‍ර, ප්‍රභූවරුන්ගේ දිනපොත් මෙන්ම, එකල ජීවත්වුනු, ඕලන්ද යුගය ගැන අධ්‍යයනය කල විද්වතුන් සමග සිදුකල සාකච්ඡාද මූලාශ්‍රකරගෙන මෙම පොත ලියූ බව කතුවරයා පවසනවා.

ඕලන්දයින් (ලන්දේසීන්) පලවාහරින්නට ප්‍රංශය සමග ගිවිසුම් ගැසූ දෙවන රාජසිංහ රජු
+
මෙම පොතෙහි දෙවැනි පරිච්ඡේදයේ, 18-20 පිටුවල, ඕලන්ද පාලනය ලංකාව තුල ස්ථාවර වෙමින් පැවති 1670 ගණන්වල රජකල දෙවන රාජසිංහ රජු, ඕලන්දක්කාරයින්ගේ කල්කිරියාව පාලනය කරන්නට ප්‍රංශය සමග ඇතිකරගත් රහසිගත එකඟතාවයක් ගැන රසවත් විස්තරයක් ගෙන එනවා.

මේ එකඟතාවයට අනුව, ප්‍රංශ අද්මිරාල් ජේකොබ් බ්ලැකේ ඩී ලා හේ (Jacob Blaquet de la Haye) නැමැත්තාගේ නායකත්වයෙන් යාත්‍රාකල විශාල ප්‍රංශ නාවික බළඇණියක් ත්‍රිකුණාමළයට පැමිණෙනවා. කාළතුවක්කු 251 හා නාවිකයින් 2250ක් රැගත් දැවැන්ත නෞකා 9ක් ඩි ලා හේ ත්‍රිකුණාමළයට රැගෙන ආවා. ඒ 1672 වසරේ මාර්තුවේදී. මෙලස ත්‍රිකුණාමළයට කඩාවැදුනු ප්‍රංශ නාවුක ඇණිය ත්‍රිකුණාමළ වරායේ ඇති කුඩා දූපතක් අත්පත්කර ගත්තා.

ඉන්පසු අද්මිරාල් ඩී ලා හේ, රාජසිංහ රජුවෙත දූතයන් යවන අතර ප්‍රංශයින්ගේ පැමිණීමෙන් ප්‍රීතියට පත් දෙවන රාජසිංහ රජු, ඕලන්දක්කාරයින්ට පාඩමක් උගන්වන්නට මුළු ත්‍රිකුණාමළ බොක්කම ප්‍රංශයට තෑගිකරනවා. ඒ සඳහා වන රාජසිංහ-ඩි ලා හේ ගිවිසුම 1672 මැයි 28 වැනිදා දාතම දැරූ බව සඳහන් වෙනවා. ඒ වනවිට ඕලන්දක්කාරයින් ත්‍රිකුණාමළයේ ඇතුලු වරාය වන කොඩ්ඩියාර් බොක්කේ තිබූ සිය බලකොටුව ගිණිතබා පලාගොස් තිබුණා.

ප්‍රාංශුවන් සමග එක්ව ලන්දේසීන් පලවා හරින්නට දෙවන රාජසිංහ රජු දැරූ තැත අසාර්ථක වෙයි.

මෙකල ඕලන්ද නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම (VOC) වෙනුවෙන් ලංකාව පාලනය කලේ රීජ්ක්ලොෆ් වැන් ගෝන් (Rijcklof van Goens – Governor of Zeylan) විසින්. වැන් ගෝන් සේවයකල ඕලන්ද නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගමේ ප්‍රාදේශීය මූලස්ථානය එකල බැටාවියා ලෙස හැඳින්වූ (නූතන ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවර) බළකොටුවේ වූ අතර බැටාවියාවෙන් ලැබූ අණ පරිදි ඉන්දියාවේ ඕලන්ද බළකොටුවලින් එවනු අමතර භට පිරිස්ද හා නැව් සමග වෑන් ගෝන් ප්‍රංශයින් පලවා හරින්නට උත්සහා කලා. රාජසිංහගේ හමුදා ප්‍රංශයින්ගේ සහයට පැමිණි නමුත් ප්‍රංශය හා ඕලන්දය අතර ඇතිකරගෙන තිබූ සාම ගිවිසුමක් නිසා අද්මිරාල් ඩී ලා හේ කෙලින්ම ඕලන්ද නැව් වලට හෝ බළකොට වලට පහරදෙන්න මැළිකමක් දැක්වූවා.

මේ උදාසීනකම නිසා ඉක්මණින්ම ලන්දේසීන් පලවාහරින්නට හැකිවේයයි දෙවන රාජසිංහගේ බලාපොරොත්තු බිඳවැටෙන්නට වූ අතර වැන් ගෝන් ගේ නාවික බළඇණිය නිරන්තරයෙන්ම රාජසිංහ රජුගේ සැපයුම් මාර්ග හරහා 2250ක් නැවියන් සිටි ඩි ලාගේ ගේ නාවික බළඇණියට ගෙන යන ආහාර හා සැපයුම් නවත්වන්නට උත්සහ කලා. ඒ නිසා වැඩිකල් නොගොස්ම ඩි ලා හේගේ බළඇණියට ආහාර අහේණියක් හටගත් අතර දරුණු උණරෝගයක්ද නැවියන් අතර පැතිරෙන්නට වුනා.

එමෙන්ම වැන් ගෝන් හැකි සෑම විටම ප්‍රංශ නෞකාවලට පහරදුන් අතර සැපයුම් ලබාගෙන එන්නට ඉන්දියාව දෙසට යැවූ ඩී ලා හේගේ නැව් දෙකක් වැන් ගෝන්ගේ VOC නාවික හමුදාව යටතට පත්වුනා. වැන් ගෝන්ගේ ප්‍රහාර, ආහාර අහේණිය හා උණ රෝගය නිසා විශාල ලෙස ප්‍රංශ නැවියන් මිය යන්නට වූ බැවින් ඩි ලා හේ, කොඩ්ඩියාර් බොක්කේ 100ක භට පිරිසක් නවත්වා, රාජසිංහ රජුවෙත තවත් දූත පිරිසක් යවා, 1672 ජූලි 9 වැනිදා නැවත නො එන්නටම පිටත්ව ගියා.

රාජසිංහ රජුවෙත ගිය ප්‍රංශ ප්‍රභූ දූතයා – සිටුවර ඩි ලා නෙරෝල් (Count de la Nerolle)

යුරෝපයේ ධනවත්ම රටක් වූ ප්‍රංශයේ බළවත් ප්‍රභූවරයෙකු වූ ඩි ලා නෙරෝල්, තමාට අද්මිරාල්වරයා ලබාදුන් රාජකාරිය ඉතා නොරුස්නා අයුරින් භාරගත් බවයි වාර්තා වන්නේ. යුරෝපයේ මහා රජමාළිගාවල ගැවසුනු තමන්ට කුඩා රටක නොවැදගත් රජෙක් වෙත දූතයෙකු මෙන් යන්නට සිදුවුනා යන කෝපය ඔහුතුල තිබුණා. ඔහු එම දූත මෙහෙවර පිළිකුල් කල බව එම දූත ගමනේදී ඩි ලා නෙරෝල් හැසිරුනු ආකාරයෙන් පෙනී යනවා.

රජුගේ අතවැසියන් හා රාජ පුරුෂයින්ගේ ආරක්ෂාව යටතේ කොඩ්ඩියාර් සිට ඩි ලා නෙරෝල් අසුපිටින් ගියා. එකල දෙවන රාජසිංහ සෙංකඩගල රජමාළිගාව අතරහැර දමා තිබුණේ කිහිප වතාවක්ම ඔහුගේ පාලනයට එරෙහිව පැතිරුණු කැරළි හා ඝාතනය කිරීමේ උත්සාහයන් නිසායි. මේ නිසා රජු හඟුරන්කෙත මාළිගාවේ වාසය කලා.

හඟුරන්කෙත රජමාළිගාව අසලට පැමිණි ඩි ලා නෙරෝල් එකල රාජ්‍යතාන්ත්‍රික සාම්ප්‍රදායන්ට අනුව අසුපිටින් බැස පයින් මාළිගා පරිශ්‍රයට ඇතුලුවිය විය යුතු වුනා. මේ සම්ප්‍රදාය මායිම් නොකල ඩි ලා නෙරෝල් අසුපිට නැගීම මාළිගා පරිශ්‍රයට යන්නට උත්සහකලා. රජුගේ රාජ පුරුෂයින් හා අමාත්‍යවරුන් කෙතෙක් ඇටවිලි කරත් අසුපිටින් නොබැස්ස ආඩම්බරකාර ඩි ල නෙරෝල් අසුපිටින්ම මාළිගා පරිශ්‍රයට ගියේ රාජපුරුෂයින් දැඩි ලෙස අපහසුතාවයට පත්කරමින්.

දෙවන රාජසිංහ, ඩි ලා නෙරෝල් සිරගත කරයි

ඩි ලා නෙරෝල් පෙන්වූ අවඥාසහගත, උද්ධච්ඡ හැසිරීම සැළවුනු නමුත්, ඒ පිලිබඳව එතරම් තැකීමක් නොකල දෙවන රාජසිංහ තමන්ව බැහැදැක දූත මෙහෙවර ඉටුකිරීමට ඔහුට මාළිගාවට පැමිණෙන ලෙස දන්වා යැවුවා.

සාමාන්‍යයෙන් විදෙස් රාජ්‍ය දූතයෙකුට රජු විසින් පිලිගන්වන සියලුම චාරිත්‍ර ඉටුකරමින් ඩි ලා නෙරෝල් මාළිගාව වෙත කැඳවාගෙන ගියද, රජු පැමිණෙන්නට ප්‍රමාදවූවායයි පවසමින් ඩි ලා නෙරෝල් ආපසු හැරී සිය වාසස්ථානයට ගියා. මේ තුඡ්ඡ හැසිරීමෙන් දැඩි ලෙස කිපුණු දෙවන රාජසිංහ, පෙරදිග රජවරුන්ට නිසි ගෞරව දක්වන්නට නොදන්නා මේ උද්ධච්ඡ යුරෝපීයයාට යස පාඩමක් උගන්වන්නට සිතා, ඩි ලා නෙරෝල් හා ඔහුගේ ප්‍රංශ පිරිවරටම යකඩ මාංචු දමා සිරකරන ලෙස අණකලා.

මසක් පමණ විලංගුවල දුක්විඳි ඩි ලා නෙරෝල්ගේ සහ-පිරිවර තම ස්වාමියාගේ නොපනත් හැසිරීම නිසා තමන්ද නිරපරාදේ දුක් විඳින බවත්, ඔහුගෙන් තමන් වෙන්කොට සළකණ ලෙසත් රජුට බැගෑපත්ව ආයාචනා කලා. මේ ආයාචනාවට කන්දුන් රාජසිංහ රජු, ඩි ලා නෙරෝල්ගේ පිරිවර නිදහස් කොට රාජ්‍ය සේවයට බඳවා ගත්තා. අසුන්ගැන දැනුමක් ඇති ප්‍රංශයන් තිදෙනෙකු රජුගේ රාජකීය අසුන් බලාගන්නට පත්කල අතර අනෙක් අයට වෙනත් රාජකාරි පවරා, නිදහසේ රටතුල වෙසෙන්නට අවසර දුන්නා. මොවුන් බොහෝ දෙනෙක් කාළයාගේ ඇවෑමෙන් සිංහල කාන්තාවන් විවාහකරගෙන මෙහිම පැළපදියන් වුනා.

සය මසකට අධික කාළයක් විලංගු පිට සිරබත් කෑ ඩි ලා නෙරෝල්ට සමාව දුන් රජු ඔහුට රාජමාලිගාවේ මොහොට්ටාල (රාජකීය ලේකම්) තනතුරක් ලබාදී රජමාළිගාවේ ප්‍රභූවරයෙකුගේ දියණියක් විවාහ කර දුන්නා.

මූලාශ්‍ර වලට අනුව ලංකාවේ ද ලැනරෝල් පරම්පරාව ඇරඹුනේ මේ දෙපලෙගෙන් බවයි පැවසෙන්නේ.

http://vidya-gaweshana.blogspot.com/2017/08/history.html

Related Posts

1 Comment

  1. Kamal August 23, 2017 at 3:37 pm - 

    Perawadanak witharak deela Anunge blog walata link eka denne nathuwa copy karala gedi pitin daanna lajja nadda?

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල