දේශපාලන, විශේෂ

එජාපයේ දෙවෙනි පෙළට අබ සරණ ද ?

1

මේ කාරණය ගැන ලියන්නට හිටිද්දි තමයි තුෂාර දංකැටිය ඒ ගැන මේ සටහන ලියා තිබෙනවා දැක්කෙ.

“එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දරදිය අදින, මතවාදි මෙහෙයුම් ගෙනයන නියෝජ්‍ය ඇමතිවරුන් හා පසුපෙළ මන්ත්‍රීන්ට හිස්වන ඇමති ධුර ලබා නොදෙන්නේ ඇයි? එක් ඇමතිකමක් තියෙද්දී එකම කෙනාට තවත් ඇමති කම් ලබා දෙන්නේ ඇයි? එම්.කේ.ඩී.එස් ගුණවර්ධනගෙන් හිස්වු ඉඩම් ඇමතිකම දුන්නේ ද හොඳ අමාත්‍යාංශයක් තිබුණ කෙනෙකුට. අධිකරණ ඇමති ධුරය ද එසේ ය.බුද්ධශාසන ඇමතිකම ද දුන්නේ පුල් ඇමති කමක් තියෙන කෙනෙකුටමය. ඔය ඇමතිකම් පසුපෙළ වැඩ කිරීමට දක්ෂ මන්ත්‍රිවරුන්ට දෙනවා නම් ඒක හොඳ අභිප්‍රෙරණයක්. ඒ වගෙම ඔවුන් නියෝජනය කරන කොට්ඨාසයේ ජනතාවටත් දෙන ප්‍රබෝධයක්.”

තුෂාරගේ එම ෆේස්බුක් සටහනට ප්‍රතිචාරයක් දක්වමින් බර්ටි රණවීරගේ මෙසේ පවසයි: “රනිල් කවුදැයි හඳුනා ගැනීමට උත්සහ කරන්න. ඔහුගේ අතිශය විශ්වාසවන්තයන්ට හැර ප්‍රබල ඇමතිකම් දෙන්නේ නැත පසුපෙළ අයෙකු පත් කරනු ලැබුවහොත් තවත් කැබිනට් ඇමතිවරයෙකු වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුවේ. එය මහජන අප්‍රසාදයට හේතු වනු ඇතැයි රනිල් සිතුවා විය හැක.”

රනිල් එහෙම හිතනවා ද යන්න මට නම් සැක ය. හේතුව, ව්‍යසන අවස්ථාවලදී පවා ඇමතිවරුන් වෙනුවෙන් වාහන ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තු සම්මත කර ගැනීමේදී රනිල්ට එහෙම සංවේදීකමක් තිබුණේ නැත.

රනිල් මහජන අප්‍රසාදය නොව, මහජන ප්‍රසාදය ගැන හෝ තකන්නේ නැත. රනිල් තකන්නේ තමන්ගේ සමීප කවය හා පැරණි මිතුරන් ගැන පමණි. ගාමිනී ජයවික්‍රම පෙරේරා වැනි තවමත් ඡන්දයෙන් පත් විය හැකි ජ්‍යේෂ්ඨයන්ට සහ තලතා අතුකෝරළ වැනි එතරම් ජ්‍යේෂ්ඨ නො වුණත් ජන පදනමක් ඇති දේශපාලකයන්ට තැනක් දීම ගැටලුවක් නො වේ. ගැටලුව වන්නේ තිලක් මාරපන, මලික් සමරවික්‍රම වැනි ජන පදනමක් නැති පන්දම්කාරයන්ට රනිල්ගේ තිබෙන අනවශ්‍ය පක්ෂපාතිත්වයයි.

අනෙක් බරපතල ගැටලුව වන්නේ තමන්ට අතිශය සමීප අකිල, සාගල වැනි අය හැර වෙනත් දෙවන පෙළකට ඔහුගෙන් අවස්ථාවක් නො ලැබීමයි. මේ හේතුව නිසා පසුපසට තල්ලු වී තිබෙන යමක් කළ හැකි දක්ෂයෝ රැසක් එජාපයේ සිටිති. උදාහරණ ලෙස අජිත් පී. පෙරේරා, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න වැනි අය සැලකිය හැකි ය.

රනිල් වනාහි ජේ.ආර්. වැනි දක්ෂ හා උසස් පෞරුෂයක් ඇති නායකයකු නොවේ. ජේ.ආර්. ඉඩ දුන්නේ රනිල්ට පමණක් නො වේ. ප්‍රේමදාස වැනි කුල පීඩිත, පහළ පංතියෙන් පැමිණි නායකයකුට ජනාධිපති ධුරය දක්වා උසස් වීමට අවස්ථාව ලැබුණේ ජේ.ආර්.ගේ නායකත්වය යටතේ ය. එහෙත්, වර්තමාන දේශපාලකයන්ට එවැනි ඉවසීමක් ද නැත. රනිල්ට එය ඇත. කලින් පක්ෂය දමා ගිය ගාමිනී දිසානායකට 1994 ජනාධිපතිවරණයට තරග කරන්නට ලැබෙන්නේ ඒ ඉවසීම නිසා ය. කරු ජයසූරිය සිය දේශපාලන අනාගතය අඳුරු කර ගත්තේ මේ ඉවසීමක් නැතිකම නිසා ය. දයාසිරි ජයසේකර එජාප දෙවෙනි පෙළ සිටි දක්ෂයෙකි. ඔහු ජෝකරයකු වූයේ නො ඉවසිල්ල නිසා ය. විටින් විට ඉවසීම, නො ඉවසීම අතර දෝලනය වන මුත් සජිත් ප්‍රේමදාස වනාහි දක්ෂකමක් නැති අයෙකි.

දෙවෙනි පෙළ නායකයන් හදන ගමන් ම තම නායකත්වය නිසි මොහොත දක්වා රැක ගැනීම දක්ෂ නායකයකුගේ ලක්ෂණයකි. එහෙත්, රනිල්ට ඒ ගුණය නැත. එජාපයේ දෙවෙනි පෙළ දක්ෂයන් මේ යථාර්ථය තේරුම් ගත යුතු ය. කටයුතු නො කළ යුතු හොඳම ආකාර සම්බන්ධයෙන් සජිත්, කරු, දයාසිරි වැනි උදාහරණ ඕනෑ තරම් එජාපයේ තිබේ.

අප මෙම සටහන තබන්නේ එජාපය වෙනුවෙන් නො වේ. අප උත්සාහ කරන්නේ රටට නායකයන් බිහි කර ගන්නට ය. එජාපය හෝ ශ්‍රීලනිපය මෙහිදී වැදගත් වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව එම පක්ෂවලටත් වඩා බෙහෙවින් පසුගාමී වන වෙනත් පක්ෂවලින් එවැනි නායකයන් බිහි වීමේ ඉඩකඩ බොහෝ අඩු නිසා ය. හේතුව එක පැත්තකින් දෘෂ්ටිවාදී ය. අනෙක් පැත්තෙන්, මේ පක්ෂවල නායකත්වය අත්පත් කරගෙන සිටින මැදි වියේ දෙබිඩ්ඩන්ගේ සීමාව ඉතා පටු නිසා ය.

http://www.w3lanka.com/2017/08/blog-post_27.html

Related Posts

1 Comment

  1. obe S September 1, 2017 at 1:06 pm - 

    රටට ආදරේ මිනිසුන් එකතුවී යහපාලනය විනාස කරන මේ නරුමයා ඉවත්කලයුතු නොවේද ???

    https://www.youtube.com/watch?v=_NcyOOZWuBY

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල