සාහිත්‍ය කළා විචාර

රජ්ජුරුවෝ උඩයි උඩයි

0

තැන තැන රවුමට ඉඳගෙන
ඉඳහිට එබිකම් කර කර
ලේන්සු හංගන්න ළමයි එක්‌ රොක්‌ වෙන්නා
රවුම වටේ යන විට කවිපද කියෑවෙන්නා

කොපර කොපර පිපිඤ්ඤා
පස්‌ස බැලුවොත් දෙසඤ්ඤා

ළමා කැළ අතරද වැඩිහිටියන් අතරද අතිශය ජනප්‍රිය වූ කොපර කොපර පිපිඤ්ඤා ගීතය තරමටම එහි ගේය කාව්‍ය රචකයා ජනප්‍රිය වූයේ නැත. ජනප්‍රිය වීමට උවමනාවක්‌ද ඔහුට තිබුණේ නැත. ගීතය ජනප්‍රිය වුවද ඒ පිළිබඳ පුරසාරම් දෙසීමටද ඔහු කැමති නැත. ඔහු වඩාත්ම කැමති වූයේ කැලණිය ගුරුකුල විද්‍යාලයේ සිංහල ගුරුතුමා ලෙස පෙනී සිටින්නටය.

අද අධ්‍යාපන ක්‍ෂේත්‍රය දෙස විමසිලිමත්ව බලන කල හොඳ ගුරුවරයෙක්‌ වීම සාරා සංෙඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පෙරුම් පුරා බුදු බව ලබන තරමටම වටනේය. දේශපාලන රැවටිලි කාරයන්ගෙන් පිරිහුණු අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ අමරසේන කංකානම්ගේ ගුරුතුමා වැනි ගුරුවරුන් දෙවිවරුන් හා සාමානය. ඔහු කෘතහස්‌ත ළමා ගේය කාව්‍ය රචකයෙකු වන්නේද ඔහු ළමා ලොව තුළ සැරිසරන කෘතහස්‌ත ගුරුවරයකුද වන නිසාවෙනි. අමරසේන කංකානම්ගේ ගේය කාව්‍ය රචකයා බුහුමනට ලක්‌වන්නේද කැලණිය ගුරුකුල විද්‍යාලයේ ඔහුගේ සෙවණේ හැදී වැඩී නැණැස පාදාගත් ඔහුගේම ගෝල පරම්පරාව අතිනි. මේ කිනම් අසිරියක්‌ද.

මාතර අපරැක්‌ක, අමරසේනයන්ගේ උපන් බිමය. ඔහු පින්න මලේ සුද දකින්නේ මේ බිමේදීය. කන්ද කපා හඳ ගෙට එනු දකින්නේද මේ බිමේදීය. ඔහුගේ ගීතවලින් වහනය වන අව්‍යාජ ගැමි සුවඳ ඔහු අපට බෙදන්නේ අතීතයේ ඔහු හා බැඳුණු ගමේකමය. ඔහුගේ හැම ගීතයක්‌ තුළින්ම ගැමි වහර කට වහර විද්‍යමාන වෙයි. ආධුනික ගේය කාව්‍ය රචකයන්ට අමරසේනයන්ගේ ගී තුළින් මතු කෙරෙන භාෂාත්මක ව්‍යවහාරය තවත් තක්‌සලාවක්‌ වනු ඇත.

පින්න මලේ සුද ඇන්න ගිහින් වද
මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා නුඹ හැන්දැකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා

අමරසේනයන් කුඩා වියේදීම තාත්තා මිය යැම හේතුවෙන් ඔහුට අපරැක්‌ක අතහැර කොළඹට පැමිණීම සඳහා අපරැක්‌ක මහා විද්‍යාලයෙන්ද සමුගන්නට සිදුවෙයි. කුඩා අමරසේනයන්ගේ දඩබ්බරකම් හිතුවක්‌කාරකම් හඳුනා ගන්නා සිය මව කොළඹ පදිංචි තම වැඩිමහල් දියණිය බාරයට ඔහු පත් කරයි එතැන් සිට කොළඹ ලංකා සභා විද්‍යාලයේදී අමරසේනයන් සාමාන්‍ය පෙළ දක්‌වා අකුරු උගනී. මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් උසස්‌ පෙළ හදාරයි. එවක අද ප්‍රවීණ ගේය කාව්‍ය රචකයකු වන සුනිල් සරත් පෙරේරා මහතාද ඔහුගේ පංති සගයෙකු වෙයි.

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රවේදී (බී ඒ) උපාධිය ලද අමරසේනයන් ගුරු වෘත්තියම කරකාර බැඳ ත්‍රිකුණාමලයේ මහවැලිගම මහා විද්‍යාලයට මුල්ම පත්වීමක්‌ ලබයි. ඒ ආසන්න වසරේදීම 1971 දී ඔහු තරුණ කැරැල්ලේ සැකකටයුතු පුද්ගලයෙකු ලෙස අනුරාධපුර බන්ධනාගාර ගත වෙයි. ප්‍රකට නවකතා රචකයකු වන ජයසේන ජයකොඩිද ඔහු සමග එකම සිර මැදිරියකට කොටුවෙයි. බන්ධනාගාරයෙන් නිදහස්‌ව පෙරළා මහවැලිගම මහා විද්‍යාලයට පැමිණි ඔහු බන්ධනාගාර ගතවීමේ වරදට වැඩ තහනමකට ලක්‌වෙයි.

වැඩ තහනමට ලක්‌වූ මෙසමය තුළ ඔහු කුමාර් රූපසිංහ මහතාගේ ජන වේගය වැඩසටහනේ ක්‍රියාකාරී සාමාජිකයකු විය. හිටපු අමාත්‍යවරයකු වන අමරසිරි දොඩංගොඩ හිටපු මහජන බැංකු සභාපති සී. කරුණාජීව මහත්වරුන් සමග වෘත්තීය සමිති ව්‍යාපාරයේද ප්‍රධාන නියමුවකු විය.

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙලී
මල් පිපෙන සුළඟ නීල වළා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී – නිල් දියමතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි සොඳුර නුඹ නමින්

සොඳුර නමින් හදේ දොරටු විවර කර ගත් පසු අමරසේන කංකානම්ගේ මහතා කැලණිය ගුරුකුල විද්‍යාලයේ සිංහල ගුරුතුමා ලෙස පත්වීම් ලබයි. එතැන්හිදී හමුවන සංගීත ගුරුතුමා විශාරද එඩ්වඩ් ජයකොඩි ගායන ශිල්පියාණන්ය. එඩ්වඩ් ජයකොඩි ශිල්පියාණන් විසින් ඉදිරිපත් කළ රූපවාහිනී ගායනා වැඩසටහනට අමරසේනයන් ඔහුගේ ප්‍රථම ළමා ගීය ඉදිරිපත් කරයි. එතැන් සිට වැඩිපුරම ළමා ගීයට ජීවය දුන් අමරසේනයන් 2008 වසරේදී සංස්‌කෘතික අමාත්‍යාංශය මගින් ප්‍රශස්‌ථතම ළමා කාව්‍ය රචකයා ලෙස පිදුම් ලබයි. එසේම ඔහු ගේය කාව්‍ය වපසරිය තුළ සිංහල භාෂා භාවිතය පිළිබඳව පෙළහර පාන්නේ සිංහල භාෂාව සඳහා ශාස්‌ත්‍රපති (එම් ඒ) උපාධිධාරියකු වන බැවිනි.

(සුනිල් ආර්. ගමගේ)

රජ්ජුරුවෝ උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි
රජ්ජුරුවෝ ….
උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි

මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ
පුංචි අපිත් එක මොහොතක් රජවුණි බාලේ

කොස් කොළ ගෙන ඔටුණු හදල හිස පළඳින්නා
සිංහාසනයක් අටවා එහි රජ වෙන්නා
යුක්තිය පසිඳා ලන්නට නඩු විසඳන්නා
වැරදි හොයා රජු කාටත් දඬුවම් දෙන්නා

රජ්ජුරුවෝ උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි
රජ්ජුරුවෝ ….
උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි

මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ
පුංචි අපිත් එක මොහොතක් රජවුණි බාලේ

එකෙක් ඇතෙකු වී රජු ඒ ඇතු පිට යන්නා
කෙසෙල් පතුරු කඩුව අරන් යුද්ධ කරන්නා
එකින් එකා පොරකාගෙන රජකම ගන්නා
ඒ රජකම ගෙනියන හැටි තවම නොදන්නා

රජ්ජුරුවෝ උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි
රජ්ජුරුවෝ ….
උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි

මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ
පුංචි අපිත් එක මොහොතක් රජවුණි බාලේ

ගායනය – එඩ්වඩ් ජයකොඩි
ගී පද – අමරසේන කංකානම්ගේ
තනුව – එඩ්වඩ් ජයකොඩි

ඉස්සර විදියට දුව පැන යන එක
මතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ

කරඹ කැලෑවට වවුලෝ ඇවිදින්
රෑ තුන්යම රජ මඟුල් කතී
පාළුව දැනුණම මෙරු රැළ තරහින්
වැලි මාළිග වට කුලල් කතී

ඉස්සර විදියට දුව පැන යන එක
මතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ

රෑ කල තනි යහනේ සැතපෙන විට
දැනුණිද මවකගෙ සෙනෙහෙ ගුණේ
බුදු බණ එතකොට සිහියට එනවද
කියන්න පොඩි හාමුදුරුවනේ

ඉස්සර විදියට දුව පැන යන එක
මතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ

ගායනය – එඩ්වඩ් ජයකොඩි
ගී පද – අමරසේන කංකානම්ගේ
තනුව – රෝහණ වීරසිංහ

පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මුහුණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා ….

දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ
මන්ද නඟේ උඹ යන්නෙ ගමෙන් පිට
ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ
ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ
එන්නෙ අළුත් අවුරුදු කාලේ
ගන්න එපා පර දේස සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ

ගායනය – එඩ්වඩ් ජයකොඩි
ගී පද – අමරසේන කංකානම්ගේ
තනුව – රෝහණ වීරසිංහ

තැන තැන රවුමට ඉඳගෙන
ඉඳහිට එබිකම් කර කර…//
ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා
රවුම වටේ යන විට කවි පද කියවෙන්නා

කොපර කොපර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා..//

පැණි මොර මල් පිපුණු රෑට
කජු පුහුලන් ඉදුණු දාට
පුංචි අපේ සිත් තුළ සතුටක් මතුවෙන්නා
එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා

කොපර කොපර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා..//

කුන්දු පැනල නැටුවෙත් අපි
වච්චි කියල දිව්වෙත් අපි
හරිම වැඩේ අද ළමයින් ඒව නොදන්නා
වෛයිවාරණ සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා

කොපර කොපර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා..//

ගායනය – එඩ්වඩ් ජයකොඩි සහ ළමා කැළ
ගී පද – අමරසේන කංකානම්ගේ
තනුව – එඩ්වඩ් ජයකොඩි

චක් ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු ගුඩේ කියල
ගුඩු පනින්න එමුයි කියල

කොල්ලො කොල්ලො එකට ඉඳල
දෙන්න දෙන්න දෙකට බෙදිල …//
උච්චි උච්චි තෝල් තෝල්…//

ඉර ද? හඳ ද? ඉර …

යාළු යාළු දෙකට බෙදිල සටනට සැරසෙයි
නායකයා පොඩි එකාම සටනට පොළඹයි
බඳ හොළවයි
දණ නටවයි
ඉර පැන දඟලයි
ඔහු වැටුණොත් බැට දෙන්නට මුළ පිල පොරකයි

අව්ව ද? වැස්ස ද? වැස්ස…
ඇල්ලු ඇලුලු අය දැවේවි පිල පැන ආවොත්
තල්ලු කරති පිලෙන් යන්න ඔහු ගුටි කෑවොත්
ඇහැ කරකයි
බිම පොරකයි

සටනට ආවොත්
ඔහේ අදිමු උන් දෙන ගුඩු අපි හැමදාමත්
අහස ද? පොළව ද? අහස…

ගායනය – එඩ්වඩ් ජයකොඩි
ගී පද – අමරසේන කංකානම්ගේ
තනුව – එඩ්වඩ් ජයකොඩි

ප.ලි
මේ ලිපිය දිවයිනේ පලවූ එකක් .කවුරුත් නොදන්නා ගීත රචකයෙක් ගැන හැමෝටම දැ න ගන්න මෙතැනට ගෙනාවා …

http://sinduano.blogspot.com/2017/08/blog-post_28.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල