කාලීන සංවාද

හදිසි මළ ගෙවල්, ගුරු කොට හා අකිල ධනංජය

Off

මේ ඊයේ පෙරේදා, හරියටම කිව්වොත් බ්‍රහස්පතින්දා යන්න උණා මළ ගෙදරක. මට පණිවිඩේ ලැබුණා.

“මචං දේශා.. අන්න බං අපේ ඊඑස් ගේ මළ ගෙයක් වෙලා“

“හප්පට. අර ලසන්තයාද“

“ඔව්වොව්. උගේ තමා“

“ඉතිං යකෝ ඌ මළාද?“

“තොගෙ. කට.. නෑ යකෝ උගේ ළඟම ඥාතියෙක්“

“කව්ද බං. මට උගේ අම්මගේ මළ ගේ දවසේ යන්නත් බැරි උණා. තාත්තා නං නැති වෙලා තියෙන්නේ ඒකා මෙහාට වැඩට එන්නත් කලින්නේ“

“උඹ බයිල නොකිය හිටිං. උඹ එනවද කියහං යන්න. මං පොඩි වෑන් එකක් කතා කරා. මමයි, රසිකයයි යනවා.“

“වැඩක් නෑනේ බං. අම්මගේ අප්පගේ එකට නං අවුලක් නෑ.. හෝව් හෝව්.. පොඩ්ඩක් හිටිං.. ඔය ලසන්තයා හෙණ දුර නේද බං.. අකුරැස්සෙද?“

“ඔව් ඕයි දෙනියායෙ“

“ඒකනේ මට දැන් මතක් උණේ.. යමං යමං. කීයටද යන්නේ“

“වරුවක් දාලා දොළහට පනින්න බැලුවේ. අර චතුරයගේ වාහනේ යන්නේ. ඩීසල් ගාන විතරක් යන්නෙත්“

“යකෝ වරුවක් දාලා ගිහිල්ල හැන්දෑ වෙන්න කලින් එන්නද හදන්නේ“

“නෑ නෑ. ඉස්සෙල්ල එක පිම්මට අදිමු මළ ගෙදරට. ඊට පස්සේ හෙමින් හැරේ එමු“

“කොහේද මළ ගේ තියෙන්නේ“

“බෙරලපනාතර“

“මොකා.. ඒ රත්නපුරේ නේද බං“

“මොන රත්නපුරක්ද බං කොටපොළ.. කොටපොළ“

“ඒ කියන්නේ දෙණියායටත් මෙහා.“

“ඔව්. කොටපොළින් හැරිල ඌරුබොක්ක පාරේ යන්න ඕන ටික දුරක්“

“අප්පට සිරි. ඌරුබොක්ක.. අහල තිබුණට කවදාවත් ගිහින් නෑ මම. යමං යමං. මං එනවා“

“මාත් අරූගේ අම්මගේ මළ ගෙදර නං ගියා. මරු පැත්ත ඕයි. පට්ට සීතලයි රෑට..“

“මරු ඈ. මාත් ආසයි බං ඔහොම තැනක යන්න. හරි උඹ එහෙනං හරියට දොළහයි කාල වෙද්දි අපේ ඔෆිස් එක ගාවට වරෙන්. හෙඩ් ඔෆිස් පැත්තේ මට එන්න බෑ. උං විකාර අහනවා“

“හරි මං එන්නං. තෝ දැන් දන්නවද කාගෙද මළ ගෙදර කියලා“

“නෑනේ“

“ලසන්තයගේ වයිෆ්ගේ නංගිගෙ මහත්තයාගේ තාත්තාගේ මල්ලී“

“චිකේ බං උගේ මස්සිනාගේ බාප්පගේ එකටද ඩෝ මේ අපි යන්නේ“

“ඔව් ඕයි. මං ලසන්තයට කිව්වා අපි එනවා කියලා. ඌ කියනවා “මං වෙනුවෙන් නං උඹල කීයටවත් මළ ගෙදරට සහභාගී වෙන්න ඕන නෑය කියලා“.. හික් හික්“

“මළා ජෝන්.. ටිකක් ඉඳිං මං ඌට කෝල් එකක් දෙන්නං“

දැන් මේ මළ ගෙදර යන එක විස් ලිස්ට් එකේ එක පාරටම ප්‍රයෝරිටි නැගපු වැඩක් ගානට හිතට වැදුණා. ඌරුබොක්ක කියන්නේ හරි ලස්සන පළාතක්. මාවරළ කියන්නෙත් ඒ වගේම හරිම ලස්සන පළාතක් කියල අපේ ඔපීසියේ ඇන්ටිලා කීප දෙනෙක්ම කියනව මං අහගෙන ඉදල තියෙනවා. දෙනියාය හරහා සිංහරාජේ හරේ මහේ දෙතුන් පාරක්ම ගිහින් තිබුණත්, ඔය ඌරුබොක්කට යන පාරට කියල ගහපු එක බෝඩ් එකක් මං කවදාවත් දැකල නෑ. ඒක නිසාම ඌරුබොක්ක කියන නම ආශාව තියෙන බය බිරාන්ත කෙල්ලෙක් ගානටයි මට දැනිල තිබුණේ. දැං එක පාරටම අරයාගේ මෙයාගේ මෙයාගේ මෙයාගේ මළ ගෙයක් උණත් කමක් නෑ. ඌරුබොක්ක පැත්ත නේ.. යන්න ඕන කියල හිතට එක පාරටම ආවා. දැං මේ අදාළද නැත්ද කාරණා හොයාබලන කෙංගෙඩියක් නෙමෙයි නේ. කෝම හරි යන්න ඕන කියල හිතලා මාත් ගත්තා කෝල් එකක් ලසන්තයාට.

“හලෝ ලසන්ත.. උඹලට කරදරයක් වෙලා කියල ආරංචි උණා“

“ආ නෑ මිස්ටර් දේශා. මේ අපේ කිට්ටුව නෑ කෙනෙක්ගේ මළ ගෙයක් වෙලා. මං ඊයේ රෑ ආවේ. කව්ද ඔය පැත්තට ගිනි ගෙඩිය දුන්නේ.“

“ඒක වැඩක් නෑනේ.. දැන් අපි එන්න හදන්නෙ ඔය පැත්තේ“

“පිස්සුද. පිස්සුද.. මිස්ටර් දේශා. කිසිම උවමනාවක් නෑ එහෙ එන්න නං. අනික මං දැන් හැන්දෑවට ගෙදර යන්න ඉන්නේ. මොකද අනිද්දා දරුවෝ එක්ක නුවර එළියේ යන්න ට්‍රිප් එකකුත් දාගත්තා. අනේ එන්න ඕන නෑ“

“එහෙම බෑ යකෝ. අපේ ඔපීසියේ කෙනෙක්ගේ මළ ගෙයක් උණාම අපි ඒවට සහභාගී වෙන්න ඕන. නැත්නං කෝ මනුස්සයො අපේ තියෙන මනුස්සකම්. යුනිටි එක“

“අපරාදේ නේ කාලය. අයියෝ මිස්ටර් දේශා එන්න එපා. අනික හෙට අවසන් කටයුතු වලටවත් මම ඉන්නෑ. මාත් උදේ ඉදල දවල් යනවා“

“එහෙම බෑ බං. අපිට ඕන තරං කාලය තියෙනවා. අපි මේවට වෙලාව හදාගෙන හරි එනවා. එව්වා අපේ යුතුකම්“

“ඔන්න මන් දන්නෑ. සංග්‍රහ අරව මේවා ගැන නං මට වග කියන්න බෑ හරිය“

“මොන සංග්‍රහද බං. උඹ ඉදහං අපි එනවා හතර පහ වෙද්දී හරිනේ එහෙනං. කිට්ටු වෙලා කෝල් එකක් දෙන්නං“

“අනේ මන්ද. මිස්ටර් දේසලට පිස්සු නේ. අපේ වයිෆ්ගේ අම්මා නං දැන් ලෙඩ වෙලා අන්තිමයි. අන්න ඒකට අපි යමු සෙට් වෙලා.. මේකට එන්න ඕන නෑ“

“හරි හරි. ඒකටත් එන්නං. මේකටත් එනවා. උඹ බයිල කියන්න එපා. අපි දැන් එන්න හදන්න්නේ. මං තිබ්බ හෙනං“

මූත් පුදුම පුතයෙක් තමා. අපිට තියෙන අවශ්‍යතාවය මිනිහා දන්න එකක්යැ. එන්න එපාමලු.. නොවැන්දා විතරයි. ඉතිං දැං ට්‍රිප් එක ලැහැස්තියි. වාහනේ ආවා. මායි උපෙයි, රසිකයයි තුන් දෙනා චතුරයගේ ටවුන් ඒස් එකේ නැඟල කුරුල්ලෝ තුන් දෙනා වගේ පියාඹලා ආවා අකුරැස්සට. අකුරැස්සට ආවට එතනිං එහාට යන්න හිත දෙන්නෙම නෑ. මොකද දන්නවද, අකුරැස්සසෙන් එහාට හරි හමන් බාර් එකක් නෑ කියල ගියපාර සිංහරාජේ යන ගමන් මං හොදට දැන ගත්තා. ඒක නිසා අකරැස්සසෙන් නවත්තලා කොළ පාට පෙට්ටියේ තියෙන ගැලරියක් වඩම්මගෙන ඇවිත් සීට් එකක් පල්ලේ වාඩි කරවලා අපි ආයි ගමන පටන් ගත්තා. ඔය අල්ල පනල්ලේ ලසන්තයා කෝල් කරල විස්තර අහනවා. අපි දැන් අකුරැස්ස පැන්නා කිව්ව ගමන් මිනිහා කියනවා.

“ඔය එන අතරේ හම්බුවෙනවා ගැටඹරු දේවාලේ. එතන පාර අයිනේ ටැප් එකක් තියේ. ඒකෙන් වතුර ටිකකුත් බොන්න. මාර කූල් ඒ වතුර“

මාත් හා කියලා දැන් එක හිතින්ම ටැප් එකෙන් වතුර බොන්නත් හිත හදාගෙන එනවා. ඔය ගම් බිම් පහුකරගෙන යන කොට ඕං අහු උණා ගැටඹරුව. ඉතිං බෝම හෙමින් පන්සලේ තාප්පේ දිගේ හොදට පාර දෙපැත්තම බලාකියාගෙන ආවා. ම්හු.. මොන ටැප් එකක් කියල නාමයක් නෑ. එක්කෝ ඒ පැත්තේ ටැප් විකුණනන්නත් නැතිව ඇති. ටැප් එකක් නෑ. කූල් වතුරත් නෑ. ආයි වේගේ වැඩි කරගෙන ආවේ එන ගමන් හරි ටැප් එක හොයාගන්නව කියල හිතාගෙනයි. ආයුබෝවන් කොටපොළ කියන බෝඩ් එක දැක්ක ගමන් ලසන්තයට කෝල් කරල පාර අහගත්තා. ඒ කියන්නේ කොටපොළ ටවුම පහු කරල ටික දුරක් එනකොට දකුණු අත පැත්තට තියෙන ඌරුබොක්ක පාරේ කිලෝමීටර් හතක් විතර එන්නය, බෙරලපනාතර ඉස්කොලේ පහුවෙලා මීටර් පන්සීයක් විතර ආවට පස්සේ සුදු කොඩි දාලා තියේය, පාර අයිනෙමය මළ ගේ තියෙන්නේ කියලා. විස්තරේ අහගෙන දැන් කොටපොළ හන්දිය පහු කරල කියපු දුරට ආසන්න දුරක් ආවම මොන පාරක්ද? අඩු ගානේ ආර්ඩීඒ එකෙන් ගහපු කොළපාට බෝඩ් එකක්. ඒවත් නෑ. ඒක නිසා පාර අයිනේ තිබුණ කඩේකින් අහල හරියටම තැන දැනගත්තා. හරිනේ. පාර තියෙනවා. සුපිරියට කාපට් කරල, සුදු ඉරි ඇදල ලස්සන පාර. ඒත් බේතකට හැරෙන පාරෙවත් නෑ බෝඩ් එකක්. හත් දෙයියනේ, පොඩි හන්දියකින් හැරෙන්න උණත් හැම තැනම ලොකු බෝඩ් දාන මාර්ග සංවර්ධන අයියන්ඩිලට ඒකට බෝඩ් එකක් දාන්න අමතක වෙලා. දෙනියාය පාරෙන් හැරෙන තැනම ලොකු දැන්වීම් පුවරුවක් වගේ එකක් නං තිබුණා. සමාර විට ඒකේ නම ගහල තිබුණද දන්නෙත් නෑ. ඒ උණාට දැන්නං ඒ බෝඩ් එක ටියුෂන් මාස්ටර්ලගේ. අපරාදේ කියන්න බෑ. මහින්ද මහත්තයට පිං සිද්ධ වෙන්න පාර නියමයි. පාරෙ ්ලගකදි නාය ගියපු විත්ති පේන්න තිබුණ නිසා මං හිතුවේ ඒවා පහු ගිය කාලේ ගංවතුර බලපෑමක් වෙන්න ඇති කියලයි. ඒක හරියට දන්නෑ.
මේක තමා ඌරුබොක්ක පාර. (බෙරලපනාතර කිස්ටුව)

හෙමින් හෙමින් මළ ගෙදරට ආවා. පොඩි කන්දක් උඩ පාර ආසන්නයේ මං මළ ගෙදර තිබුණේ. මළ ගෙදරට ගොඩ වෙලා ලශ්නතයා බැලුවා. නෑ. අපි දන්න කියන පොල්පිත්තක් වත් මළ ගෙදර පළාතෙවත් ඉන්න එකක් යැ. ඔහේ බකන්නිලාගෙන විනාඩි පහක් විතර ඉන්න කොට මෙන්න මේකා ආවා හති හලාගෙන.

“හා. ඉක්මනට ඇවිල්ල නේ. හොයාගන්න අමාරු උණේ නෑනේ“

“අපොයි නෑ. මොකද බං අර පාරට හැරෙන තැන බෝඩ් එකක් වත් ගහල නැත්තේ“

“මං කොහොමෙයි දන්නේ. මාත් මේ මාස ගානකින් මේ පැත්තේ ආවේ“

“ඒක නෙමෙයි. මොකක්ද අර උඹ කිව්ව ටැප් එක. අපිට ඒක හොයාගන්න බැරි උණා නේ“

“ගැටඹරු ටැප් එකද“

“ඔව්..“

“ඒක තියෙන්නේ පන්සල ඇතුළේ.. ඔහේල පන්සලට ගියානං ඒ ටැප් එකෙන් වතුර ටිකක් බොන්න තිබුණා.. හික් හික්“

“තොගේ ආච්චට රයිස් ගරන්න.. හැක් හැක්“

මූ අපිට ටැප් ලණුවක් දීලා. මළ ගෙදර ඔක්කෝම හොදයි. ලස්සන ආරුක්කු මැලේසියන් හට් දෙකක් ගහලා. ඒකට දාපු රෙදි සුදු පාටින් දිලිසෙනවා. ඉන්ඩ්‍රස්ට්‍රිියල් සීඑෆ්එල් බල්බ් දෙක ගානේ එක ටෙන්ට් එකේ. හරියට ධවල මන්දිරේ වගේ. ඒ මදිවට ගේ වටේටම දඩාර් සයිස් එල්ඊඩී ෆල්ඩ් ලයිට්. මෙව්ව කොහෙන්ද මෙහාට කියල හිත හිත ඉන්කොට ටික වෙලාවක් ගිහිල්ල තමා මීටර් උණේ.. ලසන්තයා ඊඑස් කියලා. ඒ කිව්වේ ඉලෙක්ට්‍රිකල් සුපර්වයිසර්. හැක් හැක්. මළ ගෙදරට උඩින් පයිනස් වගා කරපු රක්ෂිතයක්. දෙපැත්තෙන් කුඩා තේවතු දෙකක්. මං කිව්වේ පොඩි කඳු ගැටයක් උඩ නේ ගේ තියෙන්නේ. පාර අයිනටම වෙන්න දෙපැත්තෙම යසට පීදෙන ගොයම. ඒ එක්කම කළු පීත්ත පටියක මැද්දෑවෙන් සුදු නූලෙන් තනි අත් මැහුමක් දාල වගේ කාපට් පාර. හරිම අගෙයි. ඒ එක්කම පොඩි සීතල ගතියකුත් ඇඟට දැනුණා. ඒ වෙද්දි මං හිතන්නේ හවස පහාමාර විතර ඇති. ඇත්තටම ඔක්කෝම හොඳයි. ඒ උණාට මොකක් හරි අඩුවක් තියේ. ඇත්ත නේ කිසිම සංග්‍රහයක් නෑ. හුළං වැදිච්චි නයිස් බිස්කට් එකයි එපා කරපු නෙස්කැෆේ එකයි. මේ හද්ද දහජරාව ඈත ගම් වලටත් රිංගල තියෙන විධිය දැක්කම පුදුම තරහක් තමා ආවේ. කිව්වත් වගේ දැං ඉතිං ඔව්ව ගැන හිතල වැඩක් නෑනේ. සංග්‍රහ වලට වග කියන්නෑ කියලම නේ එන්න කිව්වේ. ඉතිං හිත හදාගෙන හයට විතර මළ ගෙදරින් එළියට ආවා.

“දැන් ඕගොල්ලෝ ඔහොමම ගෙදර යන්නද“

‘නැතුව බං. රෑ කෑම හදාගෙන පවුල බලාගෙන ඇති. පව් බං කොල්ලෝ දෙන්නත් මං එනකං නිදාගන්නෑ නේ. ඒක නිසා ඉක්මනට යන්න ඕන“

“අනේ බං ලසා. උඹ මේ දේශා කියන ඒවත් විශ්වාස කරනව නේ. ඔන්න මං කිව්වයි කියල හිතාගනිං. හෙට උදේ හතර විතර වෙද්දිවත් ගෙදර ගියොත් ලොකු දෙයක්“

“හරි බලමුකෝ“

සියලු ආචාර සමාචාර නිම කරල අපි ආවා. කොටපොළින් දාපු වෙලාවේ ඉදලම පාර දෙපැත්ත බල බල ආවේ රෙස්ටෝරන්ට් එකක්. මොන.. එකක් වත් නෑ. මඟදිම ඒ වැඩේ අතෑරියා. අකුරැස්සට ඇවිල්ලම එකක් හොයාගමු කියලා. ඉතිං අකුරැස්ස බෝඩ් එක දැක්ක තැන ඉදලම වාහනේ ශ්ලෝ කරගෙන හෙව්වා එකක්. ඒත් නෑ දැන්නං බයයි බෝතලේ ගෙදර ගෙනියන්න වෙයිද කියලා. ටිකක් දුර ආවම හම්බුනා අපේ සොඳුරු සිත ටීචර්ලයි ගෙවල් වලට හැරෙන හන්දිය. එතැන පොලිස් මහත්තයෙක් හිටියා හිටගෙන. අපි ඒ හරියට එනකොට ඕන නං රෑ හතහමාර විතර ඇති මයේ හිතේ. ඕන එකක් කියලා පොලිස් මහත්තයා ගාවටම කිට්ටු කරල හෙමින් ඇහැව්වා අඩියක් ගහන්න රෙස්ටෝරන්ට ්එකක් නැද්ද මේ හරියේ කියලා. මිනිහා ඒ පාර බෝම කාරුණිකව බඩු ගන්නත් එක්කම නං මේ පැත්තට යන්නය. බඩු තියේනං මේ පැත්තට යන්නය කියලා පාර පෙන්නුවා. එ් පාර දිගේ ගිහිල්ල හොටෙල් පබසරා කියල එකක් හොයාගෙන වාහනේ ගාල් කරල වැඩේට එන්ටර් උණා. අම්මප මේ දකුණේ උන්ට නං පිස්සු. දවල්ට මඟුල් තියන රිසේප්සන් හෝල් එකේ රෑට බොන්න දෙනවා. හයියෝ අපිට ඔව්ව පුරුදු එකක්යැ. දෙපාරක් අහල තමා ඒකට ඇතුල් උණේ. යනකොට ටීවී එකේ මැච් එකත් දාලා. ඉන්දියාව නෝවිකට් ලකුණු අසූවක්ද කොහේද? ඕක බලන්න බැරි නිසා හෝල් එකේ ඈතටම තිබ්බ මේසයක් තෝරගෙන පටන් ගත්තා වැඩේ. එක විකට් එකක් ගියා. දෙකක් ගියා. මෙන්න වදේ තුනක් එක ඕවර් එකට. ක්‍රිකට් තිත්ත වෙලාය කිව්ව සේරමල්ලා දැං බොන එක පැත්තක තියල ටීවී එක ගාව නිසා වේටර් මලයා අපේ මේසේ ටීවී එක කිට්ටුවට ඇදල දුන්නා. හතරයි පහයි හයයි.. ටික වෙලාවක් ගිහිලලා හතායි. හුටා. ඒක බෝතලයයි නේ ගෙනාවේ. දැන් ඉතිං මොකද කරන්නේ. විකට් හතක් ගිහිල්ල ටික වෙලාවක් යද්දි ඒක ඉවරයි. තව බොන්න ඕන. ඒ පාර රසිකයගේ යාළුවෙක් ඉන්නවා ඉන්ජෙක් මාතර. ඌට කෝල් එකක් අරගත්තම ඒ යකත් වෙරිමරගාතමෙ අපිට එන්නය කියල කිව්වා.

මැච් එක දිනයි කියල බලාපොරොත්තුවෙන් අපි මාතර එන්න පිටත් උණා. වෙහෙරහේන පැත්තේ. ඒ යාලුවගේ ගෙදර යනකොට ගුරු කොටයක් අපි එනකම් බිම ලැග ගෙන ඉන්නවා. ඒ පාර ඒකත් ගහල සිංහාවලෝකන කර කර ඉදල මැච් එක බලන කොට… ඒක පරාද වෙලා නෙව. දැන් මොකද කරන්නේ. හිතටත් දුකයි. ගුරු කොටෙත් ඉවරයි. ඉතිං හිවල්ලු ටික වගේ වාහනේට නැඟල යන්තං උදේ දෙකහමාර විතර වෙද්දි ගෙදරට ආවා. මං තීරණය කරා ආයි දුර මළ ගෙවල් වල යන්නෙත් නෑ. මැච් බලන්නෙත් නෑය කියල එක. විකාරයක් නේ.. දවසම ඉවරයි..

https://deshakaya.blogspot.com/2017/08/blog-post_26.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල