කාලීන සංවාද

ලලිත් වීරතුංග ගෙන් රාජ්‍ය සේවය පාඩමක් ඉගෙන ගනියිද?

0
තිස් වසරක් ඇදීගිය ඊලාම් යුද්ධය නිමකිරීමට කැපවූ ප්‍රධාන චරිත තුනකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුධ ක්‍රියාන්විතයට දේශපාලන නායකත්වය ලබා දෙන විට ජනරාල් ෆොන්සේකා හමුදා නායකත්වය සැපයුයේය. යුද්ධයක් පවතින කාල වකවානුවක රාජ්‍යතාන්ත්‍රික පරිපාලනය අත්‍යවශ්‍ය සාධකයකි. එම රාජ්‍යතාන්ත්‍රික පරිපාලනයහි නියමුවා වුයේ ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේඛම් වරයාය. 

අප දන්නා පමණින් ලලිත් වීරතුංග යනු අති දක්ෂ රාජ්‍ය නිලධාරියෙකි. ඔහු කෙතරම් දක්ෂයකු වුවද මේවන විට රාජ්‍ය මුදල් අවභාවිතාව යන චෝදනාව යටතේ වරද කරු බවට පත්ව සිර දඬුවම්  ලබා අවසන්ය. එම දඬුවම සම්බන්ධව ඕනෑ තරම් මාධ්‍ය වාර්තා පළවී ඇති හෙයින් ඒ ගැන තවත් පැහැදිලි කිරීම් අනවශ්‍යය.

රාජපක්ෂ දශකයේ දුෂණ චෝදනා රාශියක් අතරින් වරද කරු බවට පත් වන පළමු පුද්ගලයන් බවට වීරතුංග සහ පැල්පිට මහතුන් පත් වෙති. දේශපාලන අණ ක්‍රියාත්මක කරවීම ඔවුහු මේ අවාසනාවන්ත ඉරණමට පත් වීමට හේතුව ලෙසින් බොහෝ දෙනෙකු විසින් සරලව ප්‍රකාශ කරන්නේ වුවද තිරය පිටුපස ඇත්තේසංකීර්ණ කථාවකි.

යුධ ජයග්‍රහණයෙන් අනතුරුව පවත්වන ලද 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත්තේ අති විශිෂ්ඨ ජයග්‍රහණයකි. එම අවධිය වන විට රාජපක්ෂ මහතා කිසි දිනෙක චන්දයකින් පරාජයට පත් නොවනු ඇති බව පොදු ජන මතය විණ. යුධ ජයග්‍රහණයෙන් අනතුරුව රාජපක්ෂ ජනාධිපති වරයා වටේසිටි හෙන්චයින් විසින් ඔහුව මහ රජාට ඇන්දීමෙන් නොනැවතී සීතාම්බර පටයක් ද අන්දවා තිබිණ. 

රාජපක්ෂ පවුලේ පුතුන් , සහෝදරයන් පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ද රටෙහි පරිපාලනයට ඇඟිලි ගසන්නට පටන් ගන්නේද මෙම මැතිවරණයෙන් අනතුරුවය. සුළු කලෙකින් බිහිවුයේ රාජපක්ෂ පවුලේ අණ දේව නීතිය ලෙසින් පිළිගැනීමට බල කරනා කාලවකවානුවකි. රාජපක්ෂ පවුලේ හිතවතුන් රංචු පිටින් රාජ්‍ය ආයතන වල ඉහල පුටු වලට පත් කරනා ලද්දේද මේ වකවානුව තුළදීය. රාජ්‍ය සේවය තුලට ඉමහත් බලහත්කාරයක් ඇතිවන්නට පටන් ගත්තේද මේ මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුවය.

මෙම බලහත්කාරය මතින් රාජ්‍ය සේවකයාගේ කොන්ද බිඳ දමා තිබිණ. පාලකයන්ගේ දේශපාලන ව්‍යාපෘතික්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය මුදල්  පරිමාණයෙන් අවභාවිතය සිදුවිණ. රාජ්‍ය ආයතන වල ඉහල පුටු දේශපාලන පත්වීම් නිසා ඔවුන්ගේ තනතුරු රක ගැනීමට නම් පාලකයන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අනිවාර්ය විය. ඒවා සඳහා නීති විරෝධී ක්‍රියාදාමයන් සිදුනොකරනා නිලධාරීන් වහාම තනතුරු වලින් පහ කෙරිණ. හොඳම උදාහරණය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මැතිනිය තනතුරෙන් පහ කරනා ලද දුෂ්ඨ ආකාරයයි.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාදාමයද  මුළුමනින් දුෂිත තත්වයකට ඇද වැටී තිබිණ. පාලකයන් විසින් තෝරාදෙන සැපයුම් කරුගෙන් සේවාවන් ලබා ගැනීම සඳහා ලිපිගොනු සකස් කිරීම සඳහා නිලධාරීනට සිදුව තිබිණ.දේශපාලනිකව පත්වීම ලද ආයතන ප්‍රධානීන්ගේ තනතුරු රැකගැනීම සඳහා විවිධ අවභාවිතාවන් කිරීමට පහල නිලධාරීනට බල කෙරිණ. එවන් අවභාවිතාවනට සහය දෙන පහල නිලධාරීනට පමණක් උසස්වීම් සහ වෙනත් ප්‍රතිලාභ ලැබිණ. ආයතන ප්‍රධානීන්ගේ දුෂණ ක්‍රියාදාමයන්ට සහය නොදෙන සහ විරුද්ධ නිලධාරීන් දුෂ්ඨ ලෙසින් පලිගැනීමට ලක් කෙරිණ. විවිධ බොරු චෝදනා නගා සේවයෙන් පහකිරීම සහ තනතුරු වලින් ඉවත් කිරීම සිදු කෙරිණ.

වංචා දුෂණ වලට විරුද්ධව සිය පෑන මෙහෙයවූ මාධ්‍යවේදීන් ඝාතනයට ලක්විය. තවත් සමහරුන් අතුරුදහන් විය.  මාධ්‍යවේදීන් පසුපස හඹා ගියේ පැරා මිලිටරි කණ්ඩායම් බවට වාර්ථා පළවිණ. රාජ්‍ය අංශය තුල පමණක් නොව රට පුරාම භීෂණකාරී මානසික තත්වයක් (fear psychosis) ගොඩනගා තිබිණ.

මෙවන් පරිසරයක් යටතේ සිදුවූ දුෂිත ක්‍රියා අපමණය. සිල්රෙදි වංචාව ඉන් එකක් පමණය. වංචා දුෂණ දහස් ගණනක් අතරින් ඉතාමත් සුළු ප්‍රමාණයක් දැනට නීතිය ඉදිරියට පැමිණ තිබේ. විභාග වූ පළමු විමර්ශනය තුලින් රටේ රාජ්‍ය සේවයේ ඉහලම නිලදරුවා සිරබත් කමින් සිටියි.

හිටපු දේශපාලන නායකයන්, ඔවුන්ගේ ඥාතීන්, ඔවුන්ගේ දේශපාලන හිතවතුන්, ඔවුන්ගේ අණ ක්‍රියාත්මක කරනා ලද මිලිටරි කණ්ඩායම් අධිකරණය වෙත ගෙන එන අවස්ථාවේ අධිකරණ භුමි වටකරනා මහා සංඝරත්නය ප්‍රමුඛ දේශපාලන සට්ටැඹියන් මේ නඩුවේදී අතුරුදහන්ව ගොසිණි. සිය තනතුර රැකගැනීමේ චේතනාව අරමුනු කොට තමන්ට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව මහා මුදල් ප්‍රමාණයක් චන්ද ව්‍යාපාරය වෙත පොම්ප කරනා ලද නිලධාරීන් සිරගෙට යනවිට එම මුදලේ ප්‍රතිලාභ ලද දේශපාලන නායකයන් කිසිවෙකුත් අධිකරණ භුමියේ නැත. අඩු තරමින් ඔවුන්ගෙන් ප්‍රකාශයක් වත් නැත.

රාජ්‍ය සේවකයා වෙත තනතුරු නමැති ටොපි ලබාදී අනෙක ප්‍රතිලාභ ලබාගන්න දේශපාලනඥයින් අවසානයේ සිය රාජ්‍ය සේවක සට්ටම්බියන් තනිකර දමනා ආකාරය පිළිබඳව මෙයට වඩා උදාහරණ නැත. 

එම අර්ථයෙන් ගන්නා කල, ලලිත් වීරතුංග යනු රාජ්‍ය සේවකයාට හොඳ රතු එළියකි. නමුත් අවාසනාවටකාරණය වන්නේ රාජ්‍ය සේවයේ බහුතරයක් වන නිසි සුදුසුකම් හෝ දක්ෂතා සපුරා නොමැති පිරිස් සඳහා උසස්වීම් සහ ප්‍රතිලාභ ලැබීමට සරණ යන එකම මාර්ගය, අවභාවිතය සහ දුෂණය තුලින්  දේශපාලකයක් පිනවීම පමණක්ම වීමය. 

සියලු හිමිකම් හා අදහස් බ්ලොග් කරු සතුය

http://dampatadedunna.blogspot.com/2017/09/blog-post_9.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල