අතීතකාමය

මේ දැන් අල්ලපු මාලූ – මාතර ඉඳන් ගෙනාපූ…

0

අපේ රටේ එක කාලෙක හරි අපූරු අධ්‍යාපන ඇමති කෙනෙක් හිටියා. ස්විමිං පූල් එකක වතුර ලෙවල් එක වැඩි කරන්ඩ මෙතුමා කරපු උත්සාහයක් ගැන ඒ කාලෙ පත්තරවල හෙම තිබුනා. ඒ වගේ අලුත් දේවල් ගානක් අත් හදා බලපු මේ ඇමති තුමාට ඕන උනා ලංකාවේ කැම්පස් වලින් පිට වෙන උපාධිධාරීන්ගේ ඉංග්‍රීසි හැකියාව වැඩි කරන්ඩ. එතුමා ඒකට කෙටි ක්‍රමයක් හොයා ගත්තා.

ඒක තමයි කොළඹ දිස්ත්‍රික්කෙන් කැම්පස් වලට තේරෙන ළමයිගේ ලිස්ට් එක දෙකට තුනට කඩලා ඉංග්‍රීසි භාවිතය අඩු කැම්පස් වලට යවන එක!!එතුමාට අනුව කොළඹින් තේරෙන ඔක්කොටම ඉංගිරිසි දැනුම මල් හතයි!! තරු පහයි!!! ශිෂ්‍යත්වෙන් පාස් වෙලා කොළඹ ඉස්කෝලෙකට ආපු ලොකු මලයටත් මේ උත්තමය හින්ද යන්ඩ උනා රුහුණේ ඇග්රි ෆැකල්ටි එකට. පේරාදෙණිය අත ළඟ තියාගෙන දැන් ලොකු මලය යනවා හැතැම්ම දෙසීයක් විතර ඈත තියන මාපලානට!!. වෙනම පළාතක වෙනම යාළුවො සෙට් එකක් හම්බ උනාම තමයි තේරුනේ අර ඇමති තුමා අපිට ආතල් එකක් දෙන්ඩ තමයි මේ සංකල්පෙ ගෙනල්ල තියෙන්නේ කියල.

එහෙම හම්බ වෙච්චි එක යාලුවෙක් තමයි කිතලා. කැකිරාව පැත්තෙ ගමකින් ආපු කිතලට ගමට ගිහිං එන්ඩ දවස් තුන හතරක් නිවාඩුවක් ඕන උනා. අධි වේගී මාර්ග නොතිබ්බ ඒ කාලේ මාපලානේ ඉඳන් මාතරට එන්ඩ පැය බාගෙකුත්, මාතර ඉදං කොළඹට එන්ඩ පැය පහ හයකුත්, එතන ඉඳං කැකිරාවට යන්ඩ තව පැය පහ හයකුත් ඕන වෙච්චි හිංදා දවස් දෙකක සති අන්ත නිවාඩුවට ගෙදර යනවා කියන එක බොරු වැඩක්. අපි හුග දෙනෙකුගෙ කතාව ඒකම තමයි. ඉතිං අපි දිග නිවාඩුවක් එනකල් බලං ඉන්නවා ගෙදර ගිහිං එන්ඩ. අපේ රැග් සීසන් එක ඉවර වෙලා සති දෙකකින් තුනකින් විතර ආවා එහෙම දිග නිවාඩුවක්!!

සිංහල අවුරුදු නිවාඩුව!!! ඉතින් අපි ඔක්කොම ගං රටවල් බලා යන්ඩ ලැස්ති වෙලා ඉන්න අල්ල පනල්ලේ සතියක්, දෙකක් වෙන්ව සිටීමේ දුක බෙදා හදා ගන්ඩ පොඩි පාටියක් ලෑස්ති කළා. මේකේ මූලිකත්වය ගත්තේ මාතර පැත්තේ ජ්‍යෙෂ්ට උත්තමයෙක්. මාපලානේ ඉඳන් මාතරට පැය බාගයයි ඒ උනත් දුක දුකමයි. දුකක් දැනුනම ඒක අපි බෙදා හදාගෙන ජීවත් වෙන්ඩ ඕන!! සැපක් නම් ඉතින් ආය මොකට අනුන්ට කරදර කරනවද?? අපි අපිම විද ගම්මුකො!!. සිංහල අපේ හැටි එහෙමයි. ඉතින් වෙන්වීමේ දුකට පාටියක් ලැස්ති කරපු මේ ජ්‍යෙෂ්ට උත්තමයට අපි දුකා කියලම කියමුකෝ. ලොකු මල්ලි ඔය පාටි වල තියන අරක්කු වගේ දේවල් වලට තනිකරම විරුද්ධයි. ඒ උනත් අර දුක බෙදා ගැනීම වෙනුවෙං ඒ පාටියට ගියා.

රෑ අටට විතර පටන් ගත්තු පාටිය දහය එකොළහ විතර වෙනකොට නැගලම යනවා. ඔය අතරේ දුකා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇහුවා…

“දැන් තොපි ගෙවල් වලට යන්නේ නිකං අත් දෙක වන වනාද? ගෙවල් වල ගෙනියන්ඩ තොපි මොනවද ගත්තේ?”

කිතලා ඉද ගෙන හිටපු තැනින් සිං ගාල නැගිට්ටා….නැගිට්ට නෙවෙයි නැගිටුනා…

“අප්පද බොල…උඹ ඔය කියන කල් අමතක උනානේ ඒක!!”

“යකෝ කැම්පස් ගිය පුතා ගෙදර එනවා කිව්වම බොලාගේ ගෙවල් වල උදවිය හෙට හොද කෑමක් හෙම හදා ගෙන බලා ඉන්නවා …ඈ ..එතකොට අවුරුද්දට නෑයෝ ආපුවම දැන ගන්නවා තොපි මාතර කැම්පස් එකේ ඉඳන් ඉඳන් ආවේ කියලා එතකොට ඇහුවොත් පුතා අපිට මාතරින් මොනවත් ගෙනාවේ නැතැයි කියලා තොපි මොකද කරන්නේ?”

“ඈ… දුකා…මොනවද මාතරින් ගෙනියන්ඩ හොඳ?”

“මාතරින් ඉතිං අහවල් දේ ගෙනියන්ඩද? මාතර තියන දේවල් උඹලගේ ගෙවල් ගාව තියන ටවුමෙත් ඇතිනේ?”

“එහෙනං ඉතින් කොළඹින් ගෙනිහිල්ල වැඩක් තීනවයැ?”

“ඒකත් ඇත්ත..! කල්පනා කරලා බලපං මොනවද උඹලගේ පැත්තේ නැති මාතර තියන දේවල් මොනවද කියලා….”

දැන් උන් දෙන්නම ෆුල් සීරියස් කල්පනාවක.

දුකා කොහොමත් ලණු දෙන්ඩ රුසියා. ඉතින් අපි හිතුවේ ඌ මේ අපිව අන්දන්ඩ හදනවා කියලා. එහෙම නැති උනත් දැන් ඉතිං කඩවල් ඇරලා තියන එකක්යැ මේ මහ රෑ!! ඔය කතා බතා අස්සේ අපේ දුක බෙදාගැනීම සංකේතවත් කරන්ඩ ගෙනාපු බෝතලේ වේගෙන් හිස් වෙනවා. එකෙක් දෙන්නෙක් විතරක් අපි ඔක්කොගේම දුක බොන එක හරි නෑනේ. දුකාගෙයි කිතලගෙයි සංවාදේ අතරතුර අපි ඒ ගැනයි කල්පනා කලේ මාතරින් ගෙනියන දේකට වඩා.

“මාලු!!!” …දුකා එක පාරටම කිව්වේ හරියට කොලොම්බස් අලුත් ලෝකය හොයා ගත්තහම කෑ ගහපු විදිහට.

“කැකිරාවට අලුත් මූදු මාලු එන්නේ නෑ නේද?”

“යකෝ…ඇත්ත නේන්නං කැකිරාවට එන්නේ දවස් දෙක තුන පරක්කු වෙච්චි මාලු”. කිතලත් දුකා ගේ යෝජනාව සම්මත කරා.

“ඉතිං කොහොමද දැං මාලු ගෙනියන්නේ කැකිරාවට…?” කවුදෝ එකෙක් ඇහුවා.

“මේ රෑ මලු හොයන්නේ කොහොමද? තව ප්‍රශ්නයක්”. දුක බෙදා ගැනීම ඉවර වෙලා තිබ්බ හිංදා දැන් හැමෝම සංවාදෙට සම්බන්ධ වෙනවා සූ ගාලා.

“මාලු හෙට උදේ මාතරින් ගන්ඩ ඇහැකි!!!…”දුකා එක ප්‍රශ්නයක් විසදුවා.

“ඒත් පැය දොලාක් පාලහක් අලුත් මාළු එළියේ තිබ්බොත් කුණු වෙන් නැතෙයි?” මට මතක විදිහට බාල්දියා තමයි මේ එක්ස්පර්ට් ඔපීනියන් එක දුන්නේ.

“නැතුං…පැය හතර පහකට වඩා නිකං තිබ්බොත් මාළු කුණු වෙන්ඩ පටං ගන්නවා!!”. උදැල්ලා උත්තර දුන්න. ඌ අම්පාරෙ සේනානායක සමුද්රේ කට උඩ ගෙවල් තියන එකා. මාළු ගැන ඌ නොදන්නෙ මොනවද?

“එහෙම නං තියෙන්නේ කොළඹට ගිහිං පැය දෙක තුනක් අයිස් වල දාලා තියාගෙන ඉඳලා ගෙනියන එක. ඒත් කොළඹට යනකොටත් මාළු නරක් වෙන්ඩ පටන් අරං තියෙයි…”

“ඉතිං ඕකට කොළඹට යනකල් ඉන්ඩ ඕනැය…මාතරින්ම රිජිෆෝම් පෙට්ටියක් අරන් අයිස් දාලා ගෙනියන්ඩ පුළුවන්නේ…”

“යකෝ…මාළු පෙට්ටියක් අරං ගියොත් මූව ඉන්ටසිටියකට නග්ග ගන්න එකක් නෑ….”දුකා අපි කාටත් අමතක වෙලා තිබ්බ දෙයක් මතක් කරා…

“මාළු කල් තියා ගන්ඩ වෙන විදිහක් නැද්ද?”

“ඇඹුල් තියල් දාන්ඩ පුළුවන්…තම්බලා ලුණු ගොරක ටිකක් දාන්ඩ පුලුවන්…හැබැයි ඒ ඔක්කොටම වෙලාව යනවා”.

“හෙට උදේ වෙනකොට කරන්ඩ බෑ ….” එක එක්කෙනා උපදෙස් දෙනවා.

“කරෝල නං කල් තියා ගන්ඩ පුළුවන් ඕන කාලයක් ඒත් මූට ගෙදර ගෙනියන්ඩ ඕන මාලුනේ!!” තව කට්ටියක් විස්සෝප වෙනවා.

“මට අයිඩියා එකක් ආවා….කිතලා උඹට මාළු කිලෝ කීයක් විතර ගෙනියන්ඩ ඕනද?” දුකා ආයෙත් පිහිටට ආවා.

“වැඩිය ඕන නෑ පහක් හයක්..!”

“මචෝ…මාතර ලෝකෙම ප්‍රසිද්දයි මී කිරි වලට”

“ඉතිං ?”

“ඉතිං කියන්නේ ගොං හරකෝ… කිරි හට්ටියක තියන මී කිරි නරක් වෙන්නෙ නැත්තං කිරි වල දාපු අනිත් දේවලුත් නරක වෙන එකක් නෑ!!!”

“ඉතිං ?”

“ආය ඉතිං… ගානවා…මාළු කූරියෝ ටික පොඩි කෑලි වලට කපලා කිරි හට්ටි ටිකක් අරගෙන එව්වගෙ කිරි වලට යටිං මාළු කෑලි ටික දාපුවම කැකිරාවට නෙවෙයි තූත්තුකුඩියට උනත් මාලු අරං යන්ඩ පුලුවන් කුණු නොවී…”

දුක බෙදා ගැනීම ජයටම වෙලා තිබ්බ හිංදා මේ යෝජනාවේ එහෙමට ලොකු වැරද්දක් පෙනුන්නෑ කියන්ඩකෝ අපි කාටවත්. බයිට් පිගානට වැඩි පුර අවධානයක් යොමු කරපු, එහෙම නැත්තං වැඩිපුර දුක නොබීපු අපි කීප දෙනෙකුට මේකේ පොඩි අමුත්තක් දැනුනට නිදි මතත් එක්ක එච්චර දුරට ඒ ගැන හිතන්ඩ වෙලාවක් එදා තිබ්බේ නෑ. අනික කාපු බීපු වෙලාවට කියන කතා කවුද ගනං ගන්නේ?

පාටිය ඉවර උනා. වෙනදා උදේ තුනට විතර මාපලානෙන් පටන් ගන්න කොළඹ බස් එක -කිත්මල් බස් එක -අපි ඔක්කොටොම මිස් උනා නින්ද ගිය හිංදා.

ඉතිං අපි උදේ නවයට දහයට විතර මාතරින් කොළඹ එන බස් එකක නැගලා ඉන්න කොට මෙන්න බොලේ කිතලා එනවා!!. අතේ කරේ ලොකු බෑග් තුන හතරකුත් එල්ලගෙන!!

“මොනවද බං මේ?”

“මේකෙ හෝදන්ඩ තියන ඇඳුන් දෙක තුනක්” පොඩි බෑග් එකක් පෙන්නලා ඌ කිවුවා.
“මෙව්වගෙ?”

“කිරි හට්ටි වල දාපු මාලු!!”

අපි කවුරුවත් සීරියස් ගත්තේ නැති උනාට කිතලා, දුකා ගේ කතාව සීරියස් අරගෙන. අපිට හිනා වෙන්ඩද අඩන්ඩද කියලා හිතා ගන්ඩ බැරි උනා. කිතලා හිතුවේ දුකා මාතර එකා හිංදා මාලු ගැනයි, මාලු කල් තියා ගන්න හැටි ගැනයි, මී කිරි ගැනයි ඔක්කොම දන්නවා කියලා. ඌ ඇත්තම කතා කරනවා කියලා. එක්කෝ කිතලා, දුකා දුන්න ලණුව ගිලලා. එක්කෝ දුකා වෙරි මර ගාතෙ ඇත්ත කියලා හිතා ගෙන කියල තියෙන්නේ අමු බොරුවක්!!

ඔය සිද්දියෙන් පස්සේ මාපලානේ ඇග්රි ෆැකල්ටි එකේ ප්‍රස්ථාව පිරුලක් හැදුනා ‘කිතලා මාලු ගෙනිච්චා වගේ!!!’ කියලා.

කතාව ඉවරද? නෑ දැනුත් ඕන තරං ‘කිතලලාට’ ‘දුකාලා’ ලනු දෙනවා. අර අධ්‍යාපන ඇමති තුමාටත් කව්දෝ ‘දුකෙක්’ දීපු ලණුවක් කාලා කොළඹින් ආපු බාගයක් රුහුණට දැම්මට ඒ ඔක්කොම පේරාදෙණියට මාරු හදා ගෙන ආවා. ඒත් ඒ වෙනකොට රුහුණේ එක වාරයක් ඉවර වෙලා තිබ්බ හින්දා ආය රුහුණට ‘බෝට්ටුවක්’ ගත්තේ නෑ. ඒ අවුරුද්දේ ලංකාවට ඇග්රි උපාධි 27 අහිමි උනා මේ ලනුව හිංදා. කාට හරි ඉගෙන ගන්ඩ තිබ්බ අවස්ථා 27 නැති වෙච්චි එක ගැන නං හිනා වෙන්ඩ කාටවත් බෑ කියලයි මට හිතෙන්නේ.

http://kattakaduwa.blogspot.com/2017/09/blog-post_11.html#more

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල