සාහිත්‍ය කළා විචාර

තක්කාලි සහ බෝල්ට් ඇණ

Off

වේදිකා නාට්‍ය ගැන මුලින්ම හිතක් පහළ වුණේ බොහෝම පොඩි කාලේ, මගෙ හිතේ තුන හෝ හතර වසරේ ඉන්නකොට ගම්පහ සිද්ධාර්ථ විද්‍යාලයේ පෙන්නපු සිංහබාහු බලන්න අම්මා මාව එක්කාගෙන ගියපු දවස් වලයි. ඊට පස්සෙ සිංහබාහු පස් හය වතාවක්ම බැලුවා. කොළඹ කැම්පස් එකේ නැට් හෝල් එකේ, පැය ගාණක් පෝලිමේ ඉඳලා තියෙනවා. ඉඩ මදිව, හිරවෙලා, තෙරපිලා. ඒත් අදටත් මට සිංහබාහු කියද්දි මට මතක් වෙන්නෙ මුල්ම වතාවට කළුවරේ ඉඳගෙන රතු පාට තැඹිලි පාට එළි දිහා කට ඇරගෙන බලාගෙන කියන මෙලෝ දෙයක් තේරුණෙත් නැතිව මම සිංහබාහු බලපු ඒ මුල්ම වතාව.

ඉන්පස්සෙ බොහෝ වේදිකා නාට්‍ය බැලුවා, රසවින්දා. ඒත් ඊටපස්සෙ මට මැක්බෙත් මුණගැහුණා. මායාකාරියෝ තුන්දෙනා මගෙන් මෙහෙම අහනවා. “යළිත් අප කවදා නම් මුණගැසෙමුද? විදුලි කොටත්දී ද? අහස ගුගුරන විටද? නැතිනම් මුරුගසන් වරුසාවේදී ද?” මම උත්තර දුන්නා, “හැමදාම! හැමදාම! මැක්බෙත් කියවන, බලන හැමදාම.” මට මැක්බෙත්ව මුණගැහෙන්නෙ දොළහ වසරේදී. මට මැක්බෙත් මුනගැස්සුවේ එයත් එක්ක යුද්ධෙට ගියපු සාජන්ට් කෙනෙක්. සාජන්ට් ඩන්කන් රජතුමාට මෙහෙම කිව්වා. “අහා! වීර මැක්බෙත්, ඇත්තටම ඒක නම් ඔහුටම සරිලන නමක්. ඔහුගේ අසිපතේ මිහිදුමක් සේ රුධිරය බැඳී තුබුණා. ඔහු සතුරා ඉසේ සිට පතුලටම සිය අසිපතින් දෙබෑකොට, සතුරාගේ හිස අපේ යුධ පිටියේ එල්ලා තැබුවා.” මා මෙතරම් සුන්දර සහ අසුන්දර දිනක් දැක නැති තරම්.” මැක්බත් මට එහෙම කිව්වා. මට මතකයි.

එතකොට මගේ හිත ආයිමත් සිංහබාහු දිහාවට ඇදිලා ගියා. ඇඟ කීරි ගැහෙන බෙර තාලයකින් දිග නිය ඇති කේසර සිංහයා වේදිකාවට අවතීර්ණ වුණා. සිංහයා පෙනුමෙන් රෞද්‍රයි. දිග නියපොතු. කසා වර්ණ කෙසරු. මම භිරාන්ත වෙලා සිංහයා දිහා බලාගෙන හිටියා. සිංහයා දිහා බලාගෙන හිටපු මට මගේ හුස්ම හිරවේගන එක බවක් මට දැණුනා. “සිංහයා, ඔය තරම් දරුවන්ට ආදරය කරන්න එපා!” මම නිහඬව කෑහැහුවා. “සිංහබාහු හොයාගෙන නගරයට යන්න එපා.” අවසානය දැන දැනත් මම හෙමීට මැතිරුවා. සිංහබාහු මගේ එහා පැත්තෙන් වාඩිවෙලා හිස වනමින් බලාගෙන හිටියා. “ඇයි? ඇයි මට නිදහසේ ඉන්න දෙන්නෙ නැත්තෙ?” සිංහබාහු මගෙන් ඇහුවේ කනට කොඳුරමින්. බෙර තාලය උඩින් සිංහයා නගරයට යනවා. “ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා, සිංහබා! සිංහබා…සිංහබා!” සිංහයා හිටියේ වේදනාවෙන් කැකෑරෙමින්. “උඹට තිබුණෙ අර ගල් ගුහාවටම වෙලා ඉන්න.” මම සිංහබාහුට කිව්වා. සිංහබාහු මා දිහා ඔලොක්කුවට බැලුවා. “උඹ ඔතෙන ඉන්නෙ ගල්ලෙනෙන් පැනලා ඇවිත් නෙමෙයිද?” සිංහබාහු මගෙන් ඇහුවා. සිංහබාහු කොහොමත් නහර උලුප්පගත්තු දඩබ්බරයෙක්. හරියට සිංහයෙක් වගේ.

ඛේදාන්තයක් දිහාවට ඇවිද යන ඛේදනීය වීරියෙකු දිහා මම බලාගෙන හිටියා. වෙනදා වගේම මගෙ ඇඟ කීරි ගැහුණා. ඇහැට කඳුලක් නැගුනා. “සිංහයා! කැලේට වෙලා හිටපන්. උන් යන්න ගියාට උඹ අයිති කැලෑවට.” මගේ හිත කෑගැහුවා. ඛේදාන්තයක වූ මායාකාරී වේදනාවක් හිත පුරා දුව යන්න පටන්ගත්තා. “මම දැනගතිමි, මම සැක කලෙමි!” මැක්බෙත් උඹ ඇයි මායාකාරියන්ගේ කීමට ඇහුම්කන් දුන්නෙ? උන්ගේ ඒ ව්‍යාකූල කතාන්තර හිතට ගත්තෙ? මම දන්නවා. උඹ කවුදෝර්හි වංශාධිපතියා පමණක් නොවෙයි, උඹට තිබුණා රජ වෙන්න! මමත් එහෙම හිතනවා. උඹට තිබුණා රජ වෙන්නෙ. නාකි ඩන්කන් සහ එයාගෙ පුත්තුන්ට වඩා උඹ හොඳ රජෙක් වෙන්න තිබුණා. සිංහාසනයට වෙලා, මිදි වයින් බිබී, මස් කකා, තමන්ගේ ඥාති සහෝදරයා දිනලා දුන් භූමියේ රජ වෙලා ඉන්න නිකම්ම නිකම් ලේ පරම්පරාවෙන් විතරක් ඔටුන්න දරන නිකමෙකුට වැඩිය මැක්බෙත් උඹ හොඳ රජෙක් වෙන්න තිබුණා! මට දුක ඒකයි. රජකම උඹට උරුම නැති නිසා උඹ ඩන්කන් මැරුවත්, මම උඹට සමාව දෙන්නෙ, ඒ වගේ නිකම්ම නිකම් කාඩ්බෝඩ් රජෙක්ට වඩා උඹ දක්ෂ රජෙන් නිසා. මට පිටිපස්ස ආසනේ වාඩිවෙලා ඉන්න ප්‍රජාතන්ත්‍රවාදෙ පුටුව යටින් මගේ කකුලට ඇන්නත්, “උඹ ඒ කාලේ හිටියෙ නෑ, මම ප්‍රජාතන්ත්‍රවාදෙට කිව්වා. උඹ කොහෙද මුල්ලක බුදි. ඡන්දයක් තිබුනා නම් මම මැක්බෙත්ට ඡන්දෙ දෙනවා. එහෙනම් ඩන්කන් පැරදිලා ගෙදර යනවා. මැක්බෙත් රජවෙනවා. මැක්බෙත් උඹ ඩන්කන් මැරුවට ඒක සිස්ටම් එකේ වරදක් මිසක් ඒක උඹේ වරදක් නෙමෙයි. උඹ වැරදිනම් මුළු ප්‍රංශ විප්ලවයම වැරදි. ඔව්, මැක්බෙත් උඹ ට්‍රැජික් වීරයෙක් විතරක් නෙමෙයි, උඹ විප්ලවකාරයෙක්!” මම මැතිරුවා.

ඒත් මැක්බෙත් ඩන්කන්ව මැරුවා. “මම මේ මා ඉදිරියේ දකින්නෙ කිනිස්සක්ද? මා දෙසට හැරවුණු කිනිස්සක මිටක්? එන්න, මම උඹව අල්ලාගන්නම්!” මැක්බෙත් එහෙම කියනකොට මම මැක්බෙත් දිහා දුකින් බලාගෙන හිටියා. “සීනුව මට අඬගහනවා. ඩන්කන්ව දිව්‍ය ලෝකයට හෝ අපායට කැදවාගෙන යන්න…” උඹේ ආර්යාව තමන්ගේ තනයෙන් කිරි උරා බොන ළදරුවාව උනත් මරා දමන්න මට පුලුවන් කියද්දි, මැක්බෙත් උඹට තිබුනා ඩන්කන් නොමරා ඉන්න. මට කණගාටුයි උඹේ හිත ලදල්ලක් වගේ සැලුණාට. ගෙවුණු කුණාටු සහිත රාත්‍රියේ නිවී ගියා සියලු විලක්කු, භයානක වැලපීම සහ මරණීය කැගැසීම් මට ඇසුණා. මහ පොලොව දෙදරා ගියා…” ලෙනොක්ස් මට දැනුම් දෙනකොට මම ප්‍රමාද වැඩියි. මගේ එහා පැත්තෙ වාඩි වෙලා හිටපු සිංහබාහු ආපහු වේදිකාවට ගොඩ වෙලා සිංහයා දිහාවට දුනු දිය ඇදලාත් අහවරයි. මම දන්නවා, සිංහබාහු වතාවක්, දෙවතාවක් පැකිළුනත් තුන්වෙනිපාර හීය අතහරිනවා කියලා. මූණ වහගෙන ඇඟිලි අතරින් මම බලාගෙන හිටියා සිංහයා හීය බදාගෙන ඇදවැටෙනවා.

සිංහයා වැටෙන අතරේ මැක්බෙත් බොහොම අනුකම්පාවෙන් මා දිහා බලාගෙන මෙහෙම කියනවා. ඊටත් එහායින් බැන්කෝගේ අවතාරය මැක්බෙත් දිහා ශෝකයෙන් බලාගෙන ඉන්නවා.

“නිවී පලයන් ලිහුඬු ඉටිපහන.ජීවිතය යනු ඉබාගාතේ යන සෙවණැල්ලක් වැනිය, එය අසරණ නළුවෙකු සිය පැය කිහිපය ගෙවා ගනු වස් වේදිකාව මත නාටයක් රඟා අවසන, යළිත් කිසිදා දකින්නට නොමැති වන සේ අතුරුදන් වනවා සේය. ජීවිතය අමනයෙකු කී කතාන්තරයක් වැනිය.එහි ශබ්දය සහ උන්මාදය එමටය, නුමුත් වැදගත් එකදු හෝ යමක් නැත.”

වේදිකාවේ හැමෝම ආචාර කරලා බැහැලා ගියාට පසුව මම තනියම ගෙදර ඇවිදගෙන එනකොට සිංහයාත් මැක්බෙතුත් බර කතාවක් දාගෙන මා පස්සේ ඇවිදගෙන එනවා. “අපි දෙන්නා එක වගේ කියලා අරයා හිතුවට, මට නම් අපි දෙන්නගෙ සමානකමක් පේන්නෙ නෑ.” මැක්බෙත් මාව පෙන්නලා සිංහයට කියනවා. සිංහයා කෝපයෙන් ගොරොවලා අහක බලාගෙන ගාටනවා. “සමහර වෙලාවට තක්කාලියි බෝල්ට් ඇණයි අගේට ගැලපෙනවා…” මම මටම කියාගන්නවා. මැක්බෙත් ආයෙමත් සිංහයාව කතාවකට ඇදලා ගන්න මොන මොනවාදෝ කියනව.

“උඹලා දෙන්නම එක වගේ නොවුනත්, උඹලා දෙන්නම එක වගේ මගේ හිත රිදවනවා.”

http://myhobotales.blogspot.com/2017/09/blog-post_26.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල