කාලීන සංවාද

වදනකින් පුළුවන්(ද) ජීවිතයක් රැක ගන්න

0

මේ ලඟදි ඉන්දික ගුණවර්ධනගේ සුළි මැද පිපි තඹර කියැවීමි. එහි සමහර කොටස් තාමත් හිතේ රැඳී තිබෙන පරිද්දෙන් කැමැත්තක් ඇති කළ බව කිව මනාය. එහි ප්‍රධාන කාන්තා චරිතය-නෙළුම් සිය ජර්මන් ජාතික මිතුරිය-ලින්ඩා හා යෙදෙන සංවාදයක කොටසක් 85 වැනි පිටුවේ තිබේ. එය මේ ආකාරයට ඇදී යයි.

‘‘මං මේවා ජීවිතේට කාටවත් කියලා නෑ ඔයාට ඇරෙන්න.’’ඈ කිව්වෙ සියල්ල කියා අවසන් කළ තැන.‘‘මං දන් නෑ ලින්ඩා, ඔයා ඉස්සරහ මට පුදුම නිදහස් ගතියක් දැනෙනවා. හරියට පාළු ගස් බෙනයක් අස්සට ඔලූව දාලා රහසක් කියනව වගේ බය නැතුව මට ඕනෙ දෙයක් ඔයත් එක්ක කියන්න පුළුවං.’’ ඈ කිව්වා. ‘‘ඇයි ඔයාගේ එහේ යාළුවො ? එයාලත් එක්ක ජීවිතේ බෙදා හදා ගන්නෙ නැද්ද?’’ ලින්ඩා ඇහුවෙ තවත් වයින් උගුරක් බොමින්. ‘‘එහෙම බෙදාගැනිල්ලක් නෑ ලින්ඩා අපේ. කවුරුවත් පුද්ගලික ජීවිතේ ගැන කතා කරන්නෙ නෑ. ඔක්කොම හංගගෙන, ඉවසගෙන, හිතේ තද කරන් ඉඳලා ඔහේ මැරිල යනව මිසක්ක.’’ නෙළුම් කිව්වා.

හිතලා බැලුවහම ඇත්තට ම අපේ රටේ මිනිස්සු යාළුවෝ එක්ක කතා කරන්නේ මොනවද? කවදාවත් තමන්ගේ පුද්ගලික වේදනාවක් යාළුවෙක් එක්ක කියලා හිත නිදහස් කර ගැනීමේ වටපිටාවක් මේ රටේ තියෙනවද? එහෙම හිතාදර මිතුරන් ඇත්තේ ම නැතිවා නොවේ. එහෙත් බොහෝ දෙනෙකු කෙනෙකුගේ රහසක් අසාගෙන එය රස කරන්නට කොයි මොහොතේ තවකෙකු හමුවේදැයි බලා සිටිනවුන්ය. කාලෙකට ඉස්සර සිව්දෙස හෝ මුතුහර සඟරාවේ කියවූ කවියක අරුත තාමත් මතකයේ තිබේ. කෙනෙක් මැරුණාට පස්සේ කනත්තේදී ම ඔහුගේ රහස් නිදහසේ පියාසලන ආකාරය ගැන ඒ කවි පංතියේ තිබුණා මතකයි. ඉතිං අපේ රටේ සමහර මිනිස්සු සියලුම රහස් හිතේ තදකරගෙන මැරෙනකම් ඉන්න තිබෙන අපහසුව නිසා දිවි නසාගන්න පෙළඹෙන අවස්ථා බොහොමයි.

‘‘නිකමට හිතන්නකො ඔන්න කිව්වයි කියලා, පුද්ගලික දෙයක් හරි වෙන ප‍්‍රශ්නයක් හරි. විනාසයි. ඊට පස්සෙ මෝල්ගසුත් පත්තුවෙනවා. ඒ නිසා ඉතිං ඔක්කොම කතා උඩින් විතරයි.’’

කොච්චර කඩවසම් වුණත්, ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටියත්, මිල මුදල් තිබුණත් ඒ නළුවාටත් කාටවත් කියන්න හිත හදාගන්න බැරි වේදනාවක් තියෙන්න ඇති. සේරම ගස් බෙනයකට කියනවා වගේ කියලා හිත හිස් කරගෙන හිත හදාගන්න යාළුවෙක් නොඉන්න ඇති. ඔහුගේ මුහුණු පොතේ පසුගිය පළකිරීම් පරීක්ෂාවෙන් බැලුවොත් මේ වුණු දේ ගැන ඉඟි බොහොමයි. ඒත් ඒ ගැන විමසන්න, හිත හදන්න යාළුවන්ට කල්පනාවට නොඑන්න ඇති.

‘‘එතකොට ඔයාලගෙ යාළුවො යාළුවො කතාවට වැටුණම මොනව ගැනද කතා කරන්නෙ?’’ ලින්ඩා ඇහුවේ කඩදාසි අත් පිස්නයකින් දෙතොලේ තෙත් ගතිය මාත්තු කරමින්. ‘‘ටෙලි නාට්‍ය ගැනයි, නළු නිළියන්ගෙ සම්බන්ධකම් ගැනයි, එක එක්කෙනා හොයාගෙන එන ඕප දූපයි, වෙන වෙන ගෑනුන්ගෙ වැරදියි වගේ ඒවා තමයි ඉතින්. ඇත්තම කියනවනං මාත් එහෙම්ම තමයි.’’

දරා ගන්නම බැරි තැන කාට හෝ තමන්ගේ වේදනාව කිව්වා නම්, තම තමන්ගේ ප්‍රශ්න පසෙක තබා ටෙලි නාට්‍ය ගැනයි, නළු නිළියන්ගෙ සම්බන්ධකම් ගැනයි කල්පනාවෙන් ඉන්නා අප සමාජයේ මිතුරු හවුල් වල කතාබහට තමන්ගේ වේදනාව මාතෘකා වෙතැයි ඔහු කල්පනා කරන්නත් ඇති. ප්‍රසිද්ධ, ජනප්‍රිය පුද්ගලයින්ගේ රහස්, ඕපදූප පත්තර වලට, වෙබ් අඩවි වලට ලබා දෙන්නේ ඔවුන් ලඟින් ඇසුරු කරන පිරිස ම බව ඔහුත් දැනගෙන ඉන්න ඇති.

මේ ලෝකේ හැම සමාජයක ම තිබෙන්නේ එක හා සමාන ප්‍රශ්න. තව කෙනෙකුට ඇතිවන ප්‍රශ්නයක්, ඕපදූපයක් වශයෙන් ගෙන පුදුම වෙන්න දෙයක් ඇත්තේ ම නැති තරම්. අනෙක් අතට ඒ ප්‍රශ්නය තමන්ටත් තව ටික කලකින් ඇති වන්න නොහැකිද? වඩා වැදගත් ජිවත් වීමයි. ඒ ජිවත් වීමට උපකාරී නොවන මිනිසුන් මරණයට උදව් වෙන හැටි !

අනෙක් අතට අද සියදිවි නසා ගන්න තරම් හිතෙන ගැටළුවක් තව සතියකින්, මාසෙකින්, අවුරුද්දකින් එහෙමත් නැත්තං දශකයකින් පසුව සමහරවිට අමතකත් වෙලා තියෙන්න පුළුවන්. ලොව සිදුවන්නේ සිදුවීම්ය. ඒවාට හොඳ හෝ නරක ලේබල් අමුණන්නේ මිනිසුන්ය. හැමදේම වන්නේ හොඳටයි යනුවෙන් හද පතුලෙන් ම සිතා ගත් කළ එය දිව ඔසුවක් වන්නේමය.

‘මැරෙනවුන් කිය කියා මැරෙන්නේ නැත‘ යි බරපතල මිත්‍යාවක් අප අතර තිබේ. පසුගිය කාලයේ දිවිනසාගත් අයගේ මුහුණු පොත් ගිණුම් පරීක්ෂාවෙන් බැලුවහොත් ඔවුන් පුන පුනා සිය තීරණය පිළිබඳ ව දන්වා තිබූ ආකාරය දැකිය හැකිය. එබැවින් අප දන්නා අයගේ හැසිරීම් පිළිබඳ අවධානයෙන් සිටීම පසුව කණගාටුව ප්‍රකාශ කිරිමට වඩා යහපත් නොවේද?

ඔබේ කිනිසි වැනි වදනක් කෙනෙකුට දිවි එපා කරවන්නට පුළුවන. ඔබේ බ්‍රහ්ම දණ්ඩයටත් එය ම කරන්නට පුළුවන. එපමණක් නොව, තව කෙනෙකුගේ දිවි රැක දීමට ඔබගේ කාරුණික හැසිරීම හේතුවන්නටත් පුළුවන. ඔබට විසඳන්න අපහසු තත්ත්වයක් නම් සුදුසු ප්‍රතිකාර වෙත යොමු කරවන්න පුළුවන.

කලකට පෙර මාත් මගේ මිතුරෙකුත් ගෙල වැලලාගෙන දිවි නසා ගැනීමේ ආදිනව ගැන කරුණු කියමින්, එසේ නොකළ යුත්තේ ඇයි ද යන්න ගැන, පවුලේ අයට සිදුවන අපකීර්තිය ගැන දීර්ඝ දුරකථන සංවාද හෝ කෙටි පණිවුඩ හෝ චැට් හෝ මගින් කරුණු කියමින් (ඇත්තටම මෙයින් එක මගයි භාවිතා කළේ. එය මට දැන් මතක නැත) අනෙකාගේ සිත හදන්න කාලය ගතකළ අයුරු මතක තිබේ. නමුත් දැන් කල්පනා කරන විට අප දෙදෙනාගෙන් ගෙල වැලලාගන්නට ගියේ කවුදැයි මට හරියට ම මතක නැත. (දෙදෙනාට ම ඒ කාලයට අනුව මහා බැරෑරුම් ප්‍රශ්න තිබිණ) දැන් ඔහුට දුරකථන ඇමතුමක් දී එය විසඳාගත හැකිය. බැරිවෙලාවත් දිවිනසා ගන්නට සැලසුම් කළේ මා නම්! වස ලැජ්ජාවකි. එබැවින් නොඅසමි. සමහරවිට ඔහුටත් අමතකව තිබෙනවා විය හැකිය. හැබැයි එක් කරුණක් පැහැදිලිව කිව හැක. ඒ නම් මිතුරු වදනක් මරණයක් වැළකූ බවය.

දරුණු විශාද තත්ත්වයකදි හෝ වෙනත් මානසික රෝගී තත්ත්වයකදී කතාබහ කොට විසඳිය නොහැකි අවස්ථා මතුවිය හැකිය. ඒ පිළිබඳව දැනගැනීමටත් ඔබගේ සමීපතයින් ගැන කල්පනාවෙන් සිටිය යුතුව ඇත. ඔබට යම් හෙයකින් දිවි නසා ගැනීමේ සිතක් පහළ වුවහොත් ඒ පළමු අවස්ථාවේදීම 1333 අංකයට අමතන්න. දුරකථන ගාස්තු පවා අය නොකරමින් පූර්ණ රහස්‍යභාවය සුරකිමින් ඔබේ දිවි රැක දීමට සැදි පැහැදි සිටිනා අයෙකුගේ හඬ අනෙක් පසින් ඔබට ඇසෙනු ඇත.

http://ranrandil.blogspot.com/2017/09/140.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල