අතීතකාමය

පුංචි වොට්සන්ගේ ලොකු පරීක්ෂණ

0

මන් අටේ ඉද්දි , අම්ම ගෙනත් දුන්නා අනුර සී. පෙරේරා ගෙ “විද්‍යා විනෝදය“ පොත. මගෙ ළඟ ඒ පොත තාමත් තියනවා. බොහෙම රසවත් පරීක්ෂන පිරිච්චි පොතක්. කොච්චර කියෙව්වත් ආය ආය කියවන්න ආස හිතෙන පොතක්.

මගේ අම්මා ගුරුතුමියක්. එයා නිතර අපි තුන්දෙනා ගැන අවධානයෙන් හිටපු නිසා , ඉස්කෝලෙ වගේම ගෙදරත් ඉස්කෝලයක සිරි ගත්තා. ඒත් අම්ම නිතර නිතර අධ්‍යාපන වැඩ වලටම එහෙට මෙහෙට වෙන්න ගත්තාම අපිට ගෙදර ඉතින් “ ප්‍රින්සිපල් නිවාඩු ගියපු ඉස්කෝලෙ “ වගේ තමයි.

ඔන්න ඉතින් දෙසැම්බර් නිවාඩුව කියන්නෙත් ඒ වගේ කාලයක්. අම්ම දෙසැම්බර් නිවාඩුවට පේපර් මාකින් යනවා. අපි ඒකට කැමැති හේතු ගොඩක් අතරෙ ප්‍රධානම හේතු දෙකක් තියනවා. එකක් තමයි දෙසැම්බර් නිවාඩුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “නිවාඩුවක්“ වෙනේක. දෙක තමයි. අම්ම පේපර් මාකින් ගියාම මාසික පඩියට අමතරව ලැබෙන මුදල නිසා අපට කන්න අලුත් රසකැවිල්ලක් ලැබෙනේක.

ඔන්න ඉතින් අවුරුද්ද අන්තිමේ දී එහෙම දවසක් උදා වුනා. අම්ම ගියා පේපර් මාකින්. අපිට ඉතින් “නිවාඩුව“ ලැබුනා…. පොත කියවල හිතේ හොල්මන් කර කර හිටපු දෙයක් එළියට දාන්න කාලේ ආවා. විද්‍යාඥයෙකුට උනත් පරීක්ෂණයක් කරන්න “නිදහසක් “ ලැබෙන්න ඕනි.ඒකයි මමත් හිතේ නිදහසින් පරීක්ෂණ ටික කරල දාන්න මේ නිවාඩුවම තෝර ගත්තේ.

මම කලින් වරින් වර අවශ්‍ය දේවල් හොයල එක්කාසු කරන් හිටියෙ. වරින් වර අහල හොයා ගත්ත නිසා ගෙදරට වුනත් කිසි සැකයක් ඇති වුනේ නෑ.

“ පොටෑසියම් නයිට්‍රේට් “ , ඒ කියන්නෙ වෙඩි ලුනු , ගෙන්දගම්, සහ තවත් මොනවදෝ වගයක් තිබ්බා. අම්මගෙන් ඒ මොනාද කියල ඇහුවම එයා කීවේ “ වෙද සීයගෙන් ඉල්ල ගන්න “ කියලා.

වෙද සීයා කියන්නේ තාත්තගෙ බාප්පට. එයා හරි ප්‍රසිද්ධ පාරම්පරික වෙද මහත්තයෙක්

ඉතින් තහකනියක් එහෙ ගිහිල්ලා අඩුම කුඩුම අරන් එනවා.

ඒ ගෙනාපු දේවල් ඔක්කම පොතේ හැටියට අබරල , රෙදි ඔතන බටේකට පුරවල , ඉස්සරහට කෝන් ශේප් කාඩ්බෝඩ් එකක් එහෙම හයි කරලා හැදුවා රොකට්ටෙක……. ආය බලන්න ලස්සනයි

හදල ඉවරුනාම ඉස්සරහින් ද පස්සෙන් ද පැත්තෙන්ද වටෙන් ද හැම ඈන්ගල් එහෙකින්ම රොකට් එකේ ලස්සන බලල ඉවරුනාම තිබ්බෙ රොකට් එකේ පස්ස පැත්තට ගිනි තියන්න විතරයි.

ඉතින් හිතේ හැටියට රස වින්ද රොකට් එකේ පස්ස පැත්තට ගිනි තියන ඒ ඓතිහාසික වෙලාව උදා වුනා.පොතේ නම් තිබ්බේ දිග කඹේක එල්ලල යවන්න කියල. කල්පනා කරල බැලුවම අපේ ගෙදර රෙදි වැල මේකට ගාණට හරියනවා.වැලේ දිග අඩි 20ක් 30ක් විතර. ඒ රෙදි වැලේ එක කෙළවරක් ජෑම් ගහෙත් අනිත් කෙළවර අල්ලපු ගෙදර නැන්දලගෙ බිත්තියෙ තමයි ගැට ගහල තිබ්බේ.

රෙදි වැල දිගේ කීප පාරක් එහා මෙහා ගියාට පස්සෙ හිතට දැනුනෙ “ මේ රෙදි වැල නම් හදල තියෙන්නේ මේ වැඩේටම තමයි “ කියලා.

එල්ලුවා රොකට්ටුව වැලේ. දැන් ඔක්කම සූදානම්. පත්තු කරා රොකට්ටුවේ පස්ස පැත්ත.ආය නිකම් නෙමෙයි. අවරෝහණ පිළිවලට ගාණට ගනන් කරලා.බින්දුවෙදි බින්දුව කියන්නෙ නැතිව ගනන් කරපු රිද්මෙටම රොකට්ටුවෙ පස්සට ගිනි තිබ්බා.

දුම්දාගෙන පත්තු වෙලා ගියා. අසරැ සැණින්….ඉතා වේගෙන්……වේගෙන් …………වේ……………ගෙන්ම……. දුම් දාගෙන්…………..දුම් ……………………. දාගෙන…………………..

නැන්දලගෙ බිත්තිය දිහා………………………….ටම ගිහින්

“ ඩූ……………………………ම් “ ගෑවා විතරයි මතකයි.

වෙන මුකුත් අවුලක් නෑ. පොතේ හැටියටම වැඩේ හරි. සද්දෙ තමයි ඉතින් ටිකක් අවුල් ගියේ.ඒකයි මෙච්චර කට්ටිය පිරුනේ….. කොහොමත් ඉතින් හඳට රොකට්ටුව යවපු දවසෙත් කොච්චර නම් කට්ටිය පිරුන ද…. ඒ නිසා මේ සෙනඟ ඒ හැටි ගානක් නෑ……….

හවස ඉතින් අම්ම ආහම ටොකු පෝළිමකුත් හම්බුනා තමයි. ඒත් ඉතින් ඒ ටොකු වලට බැරි වුනා හඳට යවපු රොකට්ටුවෙන් ලැබුනු සතුට වලලල දාන්න…

ඒ පොතේ තිබ්බ ඔක්කම පරීක්ෂණ ටික ඒ නිවාඩු කාලේ ඉවර කරල දාන්න තරම් මම දක්ෂයෙක් වුනත් මේ රොකට්ටුවෙ වැඩෙන් පස්සේ , කරපු හැම පරීක්ෂනයක්ම පරිස්සමට කරන්න මට අවශ්‍ය ශක්තිය ලැබුනටත් වඩා මම පටන් අරන් තිබ්බෙම පොතේ තිබ්බ සද්දෙ වැඩිම පරීක්ෂනයෙන් වීම තමා ලොකුම ගැටළුවකට තිබ්බේ….

ඒත් මොක ද… පොතේ තිබ්බ හැටියටම , හිතේ තිබ්බ ඔක්කම පරීක්ෂණ ටික ඉවර කර ගන්න පුලුවන් වුනායින් පස්සෙ හිතේ බරක් නැතිව නිවාඩුව ඉවරෙලා ඉස්කෝලෙ යන්න ලැබුනෙකම මදැයි.

ප/සු – වොට්සන් ලොකු උනාට පස්සෙ කම්මලක වැඩට යනවා. නිකම් නෙමෙයි. අවුරුදු ගාණක් විශ්ව විද්‍යාලයක ඉගෙන ගෙන. යකඩ වලටම ආදරෙන් බැදිලා.යකඩත් එක්ක හරි අපූරු වැඩ කරන්න එයාට පුලුවන්. නමුත් යකඩ වලට වඩා මෘදු හිතක් තියන වොට්සන් ගෙ පුංචි කාලේ කියන්නෙ කතා මල්ලක්. ඒ කතා අහන්න මම හරිම ආසයි. ඒ විතරක් නෙමේ .ඒ කතා කියද්දි ඒ මූණ දිහා බලා ඉන්නෙක මම ආසා කරන දේවල් වලින් එකක්.

http://sodurusitha.blogspot.com/2017/09/blog-post_25.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල