කාලීන සංවාද

පුවක් එෂැණිං 31 – ජනාදිපති තාත්තා පොත පිළිබඳව ඔබ නොදත් කතාව…

Off

“අපෙ මහත්තයා… අපෙ මහත්තයා……..” ජයන්ති නෝනා කුස්සියෙ ඉඳල ඉස්තෝප්පුවට ආවෙ එහෙම කෑගහගෙනම.

“කොහෙ යනවද මන්ද මේ මනුස්සය….” ඈ ඉණට අත්දෙකත් තියාගෙන තොල මතුරමින් වටපිට බැලුවෙ මිදුලට බැහැල මිදුල මැද සාරෙට වැවිල තියෙන උණ පඳුර යට හිටං. ජයන්ති නෝනල අවුරුදු දෙකාමාරකට කලිං මේ ගෙදර පදිංචියට එද්දි ඔය උණ පඳුර ඔතන තිබ්බෙ නෑ. ජයන්ති නෝනගෙ මහත්තය ඔය බම්බු ගැහිලි වලට බොහෝම කැමති හින්දම ඔය උණ පඳුර ඔය කොහෙන්දෝ උගුලගෙන ඇවිල්ල මිදුල මැද්දෑවෙම හිටවගත්තෙ මෙහෙට ඇවිල්ල මාසයක් යන්ටත් ඉස්සරවෙලයි.

“පත්තර කාරය එනකල් ගේට්ටුව ගාවට ගියාවත්ද? මම කොච්චර කියනවද උදේ පාන්දර මේස් බැනියම පිටිං පත්තරේ ගන්ට ගේට්ටුව ගාවට යන්ට එපාය කියල…කෝ කිව්වට අහන එකක්ය…මේ මනුස්සය හදන්ට නම් බෑ මේ කපේදි…අදත් ඇඳගෙන ඉන්නෙ අර ඒ කාලෙ ජේ.වී.පී. කාරයො වෙඩි තියන්ට එද්දි කැලේ පැන්න වෙලාවෙ එරමිනිය අත්තකට ඇමිණිල පිට මැද්දෑවෙම්ම ඉරිල තියන මේස් බැනියමද මන්ද…කොච්චර එපා කිව්වත් අහනවය? ඕකමනෙ අඳින්නෙ..ඕකමනෙ අඳින්නෙ..ඒක එළලන්ට දෙන්නෙත් නෑ..අනේ මන්ද මේ මනුස්සයගෙ වැඩනං..”

“හූ..හූ…නෝනේ මම මෙහේ…” ගරු ජනාදිපතිතුමා එහෙම කෑගැහුවෙ තාප්පෙ අයිනෙ තියෙන කෙහෙල් ගස් ගෝටෙ අස්සෙං ඔලුව එලියට දාල දත් තිස් දෙකම පෙන්නල හිනාවෙලා.

ඔය කෙහෙල්ගස් ගෝටෙ හැදුනෙ ගරු ජනාදිපතිතුමා මේ ගෙදරට එනකොට ගමෙං ගෙනාපු රතඹල මොටෙයියෙක් හිටෝල. රතඹල ගස්වල කොළ හයියයි ලොකුයි. බත් ඔතන්ට කියාපු ජාතිය. කොච්චර රජ බොජුං වළඳන්ට චෑන්ස් එක තිබ්බත් ගරු ජනාදිපතිතුමා දවල්ට කන්නෙ එදා වගේම ජයන්ති නෝන උයල කෙහෙල් කොලේ ඔතල දෙන බත් එක. ඒ වැඩේටමයි ඔය රතඹල පඳුර ඔතන හැදුවෙ.

ගරු ජනාදිපතිතුමාගෙයි ජයන්ති නෝනගෙයි එකම පුත්තර රත්නේ වන දහම් බබා සහ ඒ බබාගෙ යාලුවො තමයි වලක් එහෙම කපල විජේරාම හන්දියට යනකල් පාර දෙපැත්තෙ තිබ්බ ගොම්බෙටි එහෙම වීල් බැරෝ එහෙකිං එකතු කරං ගෙනල්ල දාල පී.එස්.ඩී. එකේ කට්ටිය ඩිෆෙන්ඩර් එකකිං යවල පිලියන්දල පැත්තෙ කුඹුරකිං පිදුරු එහෙම හොයාගෙන ඇවිල්ල වලට දාල පුස්සල රතඹල පැලේ හිටෙව්වෙ. දහම් බබා එහෙම කීකෝරුවට හිටිය ඒ දවස්වල. ඒත් පස්සෙ පස්සෙ නරක ආස්සරේ හින්ද රෑට රෑට නයිට් කලබ් ගානෙ ගිහිල්ල ගුටි ඇණගෙන එහෙම නහත්ති උනා.

පස්සෙ දහම් බබා ආයම පුනරුත්තාපනය වුනේ තනිකරම ජයන්ති නෝනෙගෙ කීම් බහට. ගරු ජනාදිපතිතුමාට වඩා දහම් බබා බයයි ජයන්ති නෝනෙට.

“මේ කොල්ලො උඹ කලබ් බැයිනං ඕන මල දානයක පලයං..මට කමක් නෑ. ඒත් ඒ කොහෙ ගියත් මම කෙහෙල් කොලේ බැඳල දෙන බත් මුල අරගෙන ගිහිල්ල කන්ට ඕන. ඔන්න අම්ම නරකයි කියන්ට එපා පස්සෙං පහු” ජයන්ති නෝන එහෙම සැර දැම්ම පුතන්ඩියට……

“අනේ අම්මේ නයිට් ක්ලබ් ගිහිල්ල බත් මුල් දිගඇරගෙන කතෑකිද? මටනම් බෑ..” දහම් බබා නහුකුණු ගෑවට ජයන්ති නෝනෙ එක්ක කොහෙද ඒ සෙල්ලං. අන්තිමට ඔයිං මෙයිං දහම් බබා නයිට් ක්ලබ් යන එක අතෑරලම දැම්ම.

“දෙයියම්පල්ල මේ මනුස්සයට කියන දෙයක් තේරෙන්නෙ නැති හැටියක්. තමං කවුද කියලවත් මතක නෑ වෙලාවකට. තාම හිතාගෙන ඉන්නෙ අර විසි තුනේ වසම කරන කාලෙ කියලද කොහෙද…” ජයන්ති නෝනෙ ඔහොම කියව කියව දනිපනි ගාල ගියා කෙහෙල් ගෝටෙ ගාවට.

“මොනවද අපෙ මහත්තය ඔය කෙහෙල් ගස් අස්සෙ කරන්නෙ? අන්න අර ගේට්ටුවෙ ඉන්න පී.එස්.ඩී. කට්ටියත් ආවුදත් ඇදගෙන මෙහාට එනව මේ විපිරියාසෙ දැකලද කොහෙද…”

“ආ…බයවෙන්ට එපා..එයාල ඒ එන්නෙ කෙහෙල් කොළ කපන්ට…”

“කෙහෙල් කොළ?… ඒ මොකටද?”

“නෑ නෝනෙ මම මේ කල්පනා කලේ දවල්ට ඔපිස් එකේදි ඔයා බැඳල දෙන බත් එක ලිහාගෙන තනියම කන එක මට මහ මොකද්ද වගේ”

“ඉතිං?”

“ඉතිං ඒ හින්ද මං හිතුව මගෙ ඔය ඉන්න ලේකම්ලයි සම්බන්දීකරන නිලදාරීලයි ලිපිකරුවොයි ඔක්කෝටමත් එක්ක බත් බැඳගෙන යන්ට කියල”

“මොකක්? ඒ කියන්නෙ මට හැමදාම බත්ගෙඩි තිහ හතළිහක් වත් බඳින්ට වෙනව?”

“හරි හරි කලබල වෙන්ට එපා. නෝනෙට ඔව්ව ඉතිං නුපුරුදු දේවල් නෙවෙයිනෙ. මතකද ඒ දවස්වල කොළදිං කාලෙ එතකොට නෙලුං කාලෙ එහෙම නෝනෙ හැමදාම හතළිහකට පණහකට බත් උයනවනෙ. ඒ කාලෙ ආයම ඇවිල්ල කියල හිතාගන්ටකො. හෙහ්..හෙහ්”

ගරු ජනාදිපතිතුමා එහෙම කියල ජයන්ති නෝනෙත් එක්ක මිදුල හරහ ගිහිල්ල ඉස්තෝප්පු කෑල්ලට ගොඩවෙලා හාන්සි පුටුවෙ ඈඳිගත්ත.

“කෝ අපේ ලොකු දෝණි එහෙම පේන්ට නැත්තෙ?”

“අන්න කාමරේට වෙලා අර පොත එලි දැක්වීමේ මංගල්ලෙ කටයුතු ලැහැත්ති කරනව… ”

“මොන පොතද?”

“මොන පොතද කියල අහන්නෙ? අර අපෙ මහත්තයම කිව්වෙ තමුං ගැන පොතක් ලියන්ටෙයි කියල…අන්න ඒක …වෙන ආය අහවල් පොතක්ද?”

මාසෙකට හමාරකට වගෙ උඩදි ගරු ජනාදිපතිතුමා ලොකු දෝණියන්දැට කතා කොරල තමං ගැන පොතක් ලියන්ට කියල කියපු වෙලාවෙ ලොකු දෝණි ඒකට එක හෙලාම විරුද්ද උනාය.

ලොකු දෝනි කිව්වෙ “තාත්තෙ තාත්තට තව හුඟක් වැඩ කරන්ට තියනව මේ රට වෙනුවෙං. මිනිස්සුන්ට වෙච්චි පොරොන්දුම නම් කීයක්ද? ඒ හින්ද මගෙ සුදු තාත්ත වගෙ අපි ඉස්සෙල්ල එව්ව ඉස්ට කරල ඉමු. ඊට පස්සෙ බැරිය පොතක් ලියන්ට …” කියාය.

ගරු ජනාදිපතිතුමා ඒ කතාවට එකඟ වුනේ නැතය. “නෑ..නෑ…දෝණි මේක අහන්ටකො. මට නිතරම මම කවුද කියල අමතක වෙනව. ඇත්තම කිව්වොත් ඒකයි ඔය මගෙං කෙරෙන්ට ඕන දේවල් හුඟක්ම නොකෙරෙන්නෙ. සමහරවෙලාවට දවස් දෙක තුන මම හිතාගෙන ඉන්නෙ මම ඉන්නෙ තවම අර විසිතුන වසම කරන කාලෙය කියල. අම්ම උදේම බත් ගෙඩිය බැඳල ගෙනත් දීල අද ඔෆිස් යන්නෙ නැද්ද කියල අහනකොට තමයි මට මතක් වෙන්නෙ යකෝ සාක්කි ඒ වසම කරන කාලෙ ගෙවිල ගිහිල්ල දැං සෑහෙන්ට කල් නෙවදෙයි කියල. ඒ හින්ද මම ඔයාට ඔය පොතක් ලියන්ට කියල කියන්නෙ මම කවුද කියල නිතරම මතක් වෙන්ට. පොතේ මුල පිටුවෙ ලොකුවට දාන්ට ඕන නම ජනාදිපති තාත්තා කියල. එතකොට නිතරම ඔය පොත පේන්ට තියනකොට මට මතක් වෙනව මම කවුද කියල.තේරුණා නේද?”

“හරි හරි තාත්ත ඔච්චරම කියනවනම් බලමු. ඒත් තාත්තෙ මට ඔය දෙකයි පණහෙ වැඩ කරන්ට බෑ පරමාර්තෙ මොන තරං උතුං උනත්. ඒ හින්ද මෙහෙම කරමු මම අපේ ස්ටාෆ් එකේ ළමයෙකුට කියල පොත ලියවන්නං එහෙම හොඳයි නේද?”

“හරි කමක් නෑ. ඒත් ලිව්වෙ ඔයයි කියල පොතේ නම වැටෙන්න ඕන”

“අනේ මන්ද මම ඔය වගෙ බොරු සෝබන වලට මගෙ නම් ඒ හැටි කැමැත්තකුත් නෑ. හරි තාත්තට ඕනම නම් එහෙම කරමු”

අන්තිමට එහෙම තමයි වැඩේ සිද්ද වුනේ. ලොකු දෝනිගෙ ගෝලයෙක් පොත ලිව්ව. ඒත් කත්තුරු හැටියට ලොකු දෝනිගෙ නම දැම්ම. දැං මේ වෙනකොට පොතේ වැඩේ ඉවරයි. තව දවස් දෙකයි තියෙන්නෙ පොත දොරට සහ ජනේලෙට වැඩීමේ මංගල්ලයට.

“කෝ කතාකරන්ට ලොකු දෝනිට මෙහාට. දොරට වැඩීමේ උස්සවේ ගැන විස්තර ටිකක් අහන්ට”

ගරු ජනාදිපතිතුමා බඩ අතගගා එහෙම කිව්වම ජයන්ති මැණිකෙ ගිහිල්ල ලොකු දෝණිට කතා කරගෙන ආව.

“ඇයි තාත්තෙ?”

“දැං මොකද උස්සවේ වැඩ කටයුතු ඔක්කොම සූදානංද?”

“ඔව් තාත්තෙ…”

“කාටද දැං ආරාදිත දේසනේට එන්ට කියන්ට හිතාගෙන ඉන්නෙ?”

“කවුරු හරි සම්මාන දිනපු රටම පිලිගත් විද්වතෙක් හරි පොත් කත්තුරු කෙනෙක් හරි ගෙන්නන්ටයි මම හිතාගෙන ඉන්නෙ. ඇයි තාත්ත කවුරුහරි ගැන හිතාගෙන ඉන්නවද? ”

“දැං දරුවො මෙහෙමයි ඕක වෙන්න ඕන…ඔය දේසනෙං පස්සෙ රටේ මිනිස්සු මා දිහා අමුතුම ඇහැකිං බලන්ට පටං ගන්ට ඕන…අම්මට උඩු මූ නෙව යකෝ පොර..අපි මෙච්චර කල් හිතාගෙන හිටියෙ සරල ගැමියෙක් ගොයි නායකයෙක් කියලනෙ..බලාගෙන යනකොට එහෙම නෙවෙයිනෙ…අන්න එහෙම මිනිස්සුන්ට හිතන්ට වෙන විදිහෙ දේසනයක් එතන කෙරෙන්ට ඕන”

“ඒත් තාත්තෙ තාත්ත මෙච්චර දවස් ප්‍රමෝට් කලේ එහෙම සරල ප්‍රතිරූපයක් නේද? සරල ජනපති, රජරටින් පැමිණි ගොවි නායකයා, නිවහල් ගැමියා අන්න එහෙම නේද? ඉතිං මොකෝ මේ එක පාරටම?”

“නෑ..නෑ..ඒ සරලාභිධාන ග්‍රාමීය ගොවි නායක ප්‍රතිරූපය එහෙම්මම තියෙන්න ඕන. මට ඕන ඒක එහෙම්ම තියෙද්දිම මිනිස්සු ලවා හිතවන්ට යකෝ සරලයි නම් තමයි ඒත් මේ මනුස්සයගෙ තියනවනෙ ඊට එහා ගිය මොකක්දෝ මහ අපිට නොතේරෙන ගැඹුරු බාවයක්…අන්න එහෙම… තේරුණාද දෝණිට? ආ..තව එකක් ඒ දෙසනේ අහල මිනිස්සු නිකං තක්කු මුක්කු වෙලා යන්ටත් ඕන..දේසනේ ඉවර උනාම නින්දෙං ඇහැරල වගෙ තමංගෙ එහා පැත්තෙ ඉන්න මනුස්සය දිහා බලල මොකක්ද බං ඒ කිව්වෙ? කියල තුස්නිම්බූත වෙලා අහන සයිස් එකේ දේසනයක් තමයි මට ඕන..”

“හරි හරි මට තේරෙනව තාත්ත කියන එක…ඔව්වට කියන්නෙ “What the fuck did I just heard” කැටගරි එකේ දේශණ කියල”

“අන්න හරි… ඉතිං දෝණි එහෙම කෙනෙක් ගැන දන්නවද?”

“දන්නව දන්නව..ඕකට නියම බුලට් එකක් මට මතක් වුනා…”

“කවුද ඒ? ඔයාගෙ යාලුවෙක්ද?”

“නෑ..නෑ..මගෙ යාලුවෙක් මිනිහව දන්නව..එයාගෙ දේසනයක් ඇහුවම බුදු හාමුදුරුවංගෙ උනත් ඔලුව නරක් වෙනව ෂුවර් ඇන්ඩ් ෂොට් කියලයි මගෙ යාලුව කිව්වෙ..”

“අන්න හරි එහෙම කෙනෙක් තමයි මම හොයන්නෙ…”

“අනික එයාගෙ දේසන පොතේ නමටත් ගැලපෙනව. දැං අපේ පොතේ නම ජනාදිපති තාත්තානෙ. මම කියන මනුස්සය නිතරම කතා කරනව සංකේතීය පියා කියල කවුදෝ කෙනෙක් ගැන. නියමෙට ගැලපෙනව. අපිට ඕනනම් පොතේ නමත් පොඩ්ඩක් වෙනස් කරතෑකි. ජනාදිපති තාත්තා නොහොත් මගේ සංකේතීය පියා…අන්න එහෙම ”

“ඒ මොන විකාරයක්ද? ඒක හරියන්නෙ නෑ දෝණි. එහෙම නම දැම්මොත් මිනිස්සු කල්පනා කරයි යකෝ එතකොට මේ ඉන්නෙ සංකේතීය පියානං කවුද බොලේ ඇත්තම තාත්ත කියල. මට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්ට නැතිවෙන පොටක් ඒක…..” මෙතෙක් වෙලා නිහඬව සිටි ජයන්ති නෝනා පොතේ නම වෙනස් කරනවට තම විරෝදය පලකලේ එහෙමයි.

“ඔව් නේද? අම්මගෙ කතාවෙත් ඇත්තක් තියනව..අපි පොතේ නම එහෙම්මම තියමු…” ගරු ජනාදිපතිතුමා ඔලුව හොල්ල හොල්ල කිව්ව.

“හරි එහෙනං නම එහෙමම තියමු. එතකොට තාත්තට ඒ දේසනේදි විසේසෙං කියවෙන්ට එහෙම ඕන මොනවහරි කාරනා තියනවද?”

“නෑ එහෙමට විසේසයෙන් කියවෙන්ට ඕනයි කියල මොකවත් මේ වෙලාවෙ මතක්නම් වෙන්නෙ නෑ…. දේසනේ අවසානෙදි සබාතොමෝ අඤ්ඤකොරොස්ව සහ තුස්නිම්බූතව ආහ්ලාදජනකව විසිර ගියෝය….අන්න ඒ ජාතියෙ දේසනයක් කෙරුනොත් මට ඒ ඇති….”

“හරි හරි මනුස්සය ඒක නියමෙට කරයි. එයා ඔය පස්චාත් නූතන වාදය වගෙ එව්ව ගැන පරතෙරටම හදාරපු කෙනෙක්..”

“මොකක්? පස්චාත් මරන පරීක්සන? දෝණි ඔයා මේ මිනී කපන මනුස්සයෙක්ද කොහෙද දේසනේට ගෙන්නන්ට යන්නෙ මට පේන විදිහට..”

“නෑ..නෑ..තාත්තෙ මිනී කපන එකක් නෙවෙයි ….ඒක ඇවිදිල්ල හිට මේ සම්බාවිය වචනයක්. පෝස්ට් මොඩර්නිස්ම්…කවුරුවත් ඕකෙ තේරුමක් හරියට දන්නෙ නෑ. ඒත් හැමෝම ඔය ගැන කතා කරනව”

“අන්න නියමයි. එහෙම වචන පුලුවන් තරම් දේසනේට දාන්ට කියන්න ඔය මනුස්සයට…අර පෝස්ට් ඔෆිස් වචනෙත් අපූරුයි. මොකද මම පොඩි එකා කාලෙ අපේ ගෙදර තමයි ගමේ උප තැපැල් කන්තෝරුව තිබ්බෙ. ඒ හින්ද ගමේ හැමෝම අපේ ගෙදරට කිවෙ තැපැල් කන්තෝරු ගෙදර කියල. ඒ හින්ද පෝස්ට් ඔෆිස් තාත්තා කියන එක හොඳටම ගැලපෙනව”

“හරි මම එහෙනං ඒ මනුස්සයට කියන්නං පෝස්ට් ඔෆිස් පියා කියල එයාගෙ කතාවෙදි මතක ඇතුව කියන්ටෙයි කියල…..”

ඉතිං ඔන්න ඔහොමයි ජනාදිපති තාත්තා පොත ලිවීමේ සහ එය දොරට වැඩීමේ මංගල්ලයේ පසුබිම් කතාව. ඒත් එක පොඩි මිස්ටේක් එකක් වුන. අර මම කියපු සම්බාව්ය දේසකයා තමන්ගෙ දේසනේදි පෝස්ට් ඔෆිස් පියා කියල කිව්වෙ නෑ. එයා කිව්වෙ පෝස්ට් මොඩර්න් පියා කියල.

http://ranrandil.blogspot.co.uk/2017/09/531-31.html

ඒ සම්බාව්ය දේසනේ වීඩියෝ ක්ලිප් එක ඔන්න පහළ තියනව….

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල