කාලීන සංවාද

ලංකාවෙ තියෙන්නෙ විවෘත ආර්ථිකයක් ද ?

Off

ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකය හරියට වැඩ කළා ද යන්න පිළිබඳ සාකච්ඡා සභාවකට පසුගියදා මා සහභාගි වුණා.

මේ මාතෘකාව ගැන හිතනකොට මට මතක් වෙන්නෙ මේ දවස්වල පෞද්ගලික අධ්‍යාපනය ගැන තිබෙන සංවාදය. ආර්ථිකය විවෘත කළ බව කියැවෙන්නෙ 1977දී. අවුරුදු 40කට පසුවත් පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය ද කියන සංවාදය තියෙන රටක ආර්ථිකය ඇත්තට ම විවෘත වෙලා ද?

අපි දශක අටක් අතීතයට ගිහින් කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ 1940 දශකය සලකා බැලුවොත්, අපේ රට එදා තරම් විවෘත ද? කන්නන්ගර මහතා පාසල් රජයට පවරා ගත්තෙ නැහැ. ඔහු කළේ ඒ වන විට පැවතුණ පාසල් පද්ධතිය තුළට සැමට අධ්‍යාපනය ලැබීමට තිබෙන හිමිකම පිළිබඳ ප්‍ර‍තිපත්ති ඇතුළත් කිරීම් ගෙන එමින් සමාන්තරව ගුණාත්මක රාජ්‍ය අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම ආරම්භ කළ එකයි. ඔහු පිහිටවපු මධ්‍ය මහා විද්‍යාල හා ඒවාට දක්ෂ දරුවන්ට ලබා දුන් ශිෂ්‍යත්ව මෙහිදී ඉතා වැදගත්.

අධ්‍යාපනය හා ආර්ථිකය විවෘත කිරීම එකිනෙකට නො ගැලපෙන කරුණු දෙකක් ය කියා ඔබ හිතන්නට පුළුවන්. එහෙත්, අධ්‍යාපනය පිළිබඳ මා ඉදිරිපත් කළ මේ නිදසුනෙන් ආර්ථිකය පිළිබඳ ප්‍ර‍කාශ වෙනවා.

අපට ඇත්තෙන් ම විවෘත ආර්ථිකයක් තිබුණේ 1950 දශකයට පෙර කාලේයි. හැටේ දශකයේ විතර පටන් අපේ රට වේගයෙන් සංවෘත ආර්ථිකයක් බවට පත් වුණා. මාක්ස්වාදී හා කේන්සියානු ආර්ථික සංකල්පවල බලපෑම නිසා ලංකාවේ 1970 දශකය තුළදී ඉතා සංවෘත, ජාතිකවාදී, ස්වයංපෝෂී ආර්ථිකයක් ඇති කරන්නට උත්සාහ කෙරුණා. එහෙත් එයත් සාපේක්ෂයි. මේ ආර්ථික ක්‍ර‍මය යැපුණේත් තේ, රබර්, පොල් අපනයනය මතයි.

වසර 1977න් පසු උදා වුණා ය කියන විවෘත ආර්ථිකයේ විවෘතභාවයත් ඉතා සාපේක්ෂ තත්වයක්. එය කලින් තිබුණු ප්‍ර‍තිපත්තිවලට වඩා විවෘත වන්නට පුළුවන්. ඒත්, ඒකත් එහෙම ලොකුවට විවෘත ආර්ථිකයක් නෙමෙයි.

වසර 1978දී හඳුන්වා දෙන ලද අලුත් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවෙන් ලංකාවේ නම ශ්‍රී ලංකා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී, සමාජවාදී ජනරජය ලෙස වෙනස් කළා. ඊට පසු කලෙක නුගේගොඩදී පැවැත්වුණු මහජන රැළියකදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මේ නම පැහැදිලි කළා. ඒ වන විට ලංකාවේ දැවැන්ත රාජ්‍ය ආර්ථිකයක් ගොඩනැගිලායි තිබුණේ. මේ දැවැන්ත රාජ්‍ය අංශය විසින් ඉතා බලවත් මධ්‍යම පන්තියකුත් නිර්මානය කරලායි තිබුණේ. ලංකාවේ කිසිදු කලෙක දේශපාලනික වශයෙන් ශක්තිමත් ධනපති පන්තියක් ඉඳලා නැහැ. මේ මධ්‍යම පන්තියේ බලයට නවලිබරල්වාදීන් ලෙස ඉතිහාසගත වී තිබෙන ජේ.ආර්. ජයවර්ධන හා ඔහුගේ බෑණා වන රනිල් වික්‍ර‍මසිංහ පවා යටත් වුණා. ඒ නිසා මේ රාජ්‍ය අංශය ආරක්ෂා කරමින් තමයි සියල්ල සිදු වුණේ. අඩු තරමේ රාජ්‍ය අංශයෙන් මධ්‍යම පන්තියට ඇති වාසිදායක තත්වය හෝ ආරක්ෂා කර දීමට ඔවුන් යොමු වුණා.

ලංකාවේ ආර්ථිකය විවෘත කිරීම සිදු වුණේ රජයෙන් යැපුණු මධ්‍යම පන්තිය ඇතුළු වෙනත් සමාජ ස්ථරයන්ගේ උවමනාවන් ආරක්ෂා කර ගත හැකි සීමාවට විතරයි. උදාහරණයක් ලෙස අපේ රටේ සහල් වෙළඳපොළ විවෘත කරන්නට කිසිදු රජයක් කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට රජයෙන් සහනාධාර දෙමින් ගැමි දිළින්දන්ගේ යැපුම් කෘෂිකර්මාන්තය නඩත්තු කිරීම අද දක්වා ම සිදු වෙනවා.

වසර 1977දී සිදු වුණේ ඇත්තෙන් ම ආර්ථිකය විවෘත කිරීමක් නම් අඩු තරමේ ආයෝජකයන්ට හෝ ලංකාවට පැමිණ ව්‍යවසායන් ආරම්භ කිරීම පහසු විය යුතුයි. එහෙත් එය තවමත් සිදු වී නැහැ. එදා 1977දී සිදු වුණේ තව දුරටත් ඉදිරියට යන්නට බැරිකම නිසා ආර්ථිකයේ සීමා තරමක් ලිහිල් කිරීමයි. එහෙම කරලාත් අර ලාභදායී නැති දැවැන්ත රාජ්‍ය අංශය දිගින් දිගට ම පවත්වාගෙන යාම තමයි සිදු වුණේ. උදාහරණයක් විදියට බැංකු ක්ෂේත්‍රයේ ලිබරල් ප්‍ර‍තිපත්ති ක්‍රියාත්මක වන්නේ නැහැ, රාජ්‍ය බැංකු ආරක්ෂා කර ගත යුතු නිසා. බලශක්ති ක්ෂේත්‍ර‍ය ලිබරල්කරණය වන්නේ නැහැ විදුලිබල මණ්ඩලය රැක ගත යුතු නිසා. දුම්රිය සේවය ලිබරල්කරණය වීමක් හෝ කිසිදු කැපී පෙනෙන සංවර්ධනයක් සිදු වෙන්නේ නැහැ දුම්රිය දෙපාර්තමේන්තුව රැක ගන්නට ඕනැ නිසා. කාලසටහන් ඒකාබද්ධ කර බස් සේවා විධිමත් කරන්නට බැහැ ලංගම රැක ගන්නට ඕනැ නිසා.

දැන් වෙලා තියෙන්නේ අපි ආයෙත් ඉදිරියට යන්නට බැරි දැවැන්ත හිර වීමක අහු වෙලා. දැන් ආයෙමත් අපට සිදු වෙලා තිබෙනවා ආර්ථිකය තව ටිකක් ලිබරල්කරණය කරලා බලන්න.

http://www.w3lanka.com/2017/10/blog-post_14.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල