කාලීන සංවාද

යුද නැවක් මිලදී ගැනීමට හේතුවක් සෙවීම

Off

ජාතියක ආරක්ෂාව ස්ථාපිත කිරීම ඕනෑම රජයක මුලික වගකීමකි. ජාතික ආරක්ෂාව යනු රජය එහි පාර්ලිමේන්තුවත් එකතුව තමන් සතුව තිබෙන දේශපාලන , රාජ්‍ය තාන්ත්‍රික ,ආර්ථික, හමුදා ශක්තිය සහ අනෙකුත් බලයන් යොදාගෙන රාජ්‍ය සහ එහි පුරවැසියන් ආරක්ෂා කර ගැනීමයි.

දේශපාලන ,රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික හැකියාවන් වර්ධනය වනවිට රටක බලය වැඩි වෙයි, ඒ සමගම ජාතිය සහ දේශය ආරක්ෂා කරගැනීම පහසු වෙයි. ඒත් සමගම රටේ ජනතාවගේ ජිවන මට්ටමද ඉහල යයි. නමුත් හමුදා ශක්තිය වර්ධනය කර ගන්නා විට සැලසුම් කරන්නන් ප්‍රවේශම් විය යුතුය. ඒ හමුදා බලය වැඩි කරගන්නට යොදන මුදල් වලින් ජාතියේ හමුදාමය ආරක්ෂාව වැඩි දියුණු වුවද අනික් පැත්තෙන් ජාතිය දුප්පත් වන නිසාය.

guns or butter කතාවෙන් කියන්නේ මේ පරස්පරයය, එසේත් නැත්නම් සීමාවන්ය. හමුදා වලට වියදම් කිරීමේදී බොහෝ සැලකිලිමත් විය යුත්තේ මේ නිසාය. ප්‍රවේශමෙන් සැලසුම් කලයුත්තේ මේ නිසාය, මක්නිසාද මේ වියදම් කරන මුදල් ජාතියේ සංවර්ධනය සඳහා ආයෝජනය කල හැකි සම්පත්ය, පුරවැසියන්ගේ බදු මුදලෙන් එකතු කරගත් මුදල්ය.

සෝවියට් රුසියාව කඩා වැටෙන්නට ප්‍රධාන හේතුවක් වුයේද මේ පරස්පරයය. තමන්ගේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන ආකාරයට ආරක්ෂාවට වියදම් කිරීමය..මේ නිසා ආරක්ෂාවට වියදම් කිරීමේදී එය බොහෝ සැලසුම් සහගතව කලයුතුය. මේ සැලසුම් කරද්දී ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු ගැන සැලසුම් කරුවන් විශේෂ අවධානයක් යොමු කලයුතුය.

අපට ඇති තර්ජනයන් මොනවාද ?
ඒ තර්ජන වලට සාර්ථකව මුහුණ දිය හැක්කේ කෙසේද ?
එසේ මුහුණ දීමට අපට අවශ්‍ය හමුදා උපකරණ මොනවාද?
එම උපකරණ ජාතියට අඩුම පිරිවැයකින් ලබා ගන්නේ කෙසේද?
අපට ඇති තර්ජනයන් සම්බන්ධව මා මිට කලින් ලියු බ්ලොග් එකක කොටසක් පහතින් උපුටා දක්වමි.

http://lakshmanillangakoon.blogspot.com/2017/10/blog-post_8.html

“තදාසන්න රාජ්‍ය වලින් පැමිණිය හැකි යුධ තර්ජන. – ශ්‍රී ලංකාව අවට තිබෙන රාජ්‍යය කිහිපය පිළිබඳව පරීක්ෂා කර බලා යුද තර්ජනයක් පැමිණිය හැක්කේ කුමන රාජ්‍යයකින්ද, කවර හේතුවක් නිසාදැයි අප මුලින් පරීක්ෂා කර බලමු. මෙලෙස අප පරීක්ෂා කර බැලිය යුත්තේ මාලදිවයින, පකිස්තානය, ඉන්දියාව, ම්යන්මාරය, තායිලන්තය සහ බංගලාදේශය පමණි. මේ රටවල් අතරින්ද, අප වරක් මියන්මාරය ආක්‍රමණය කර ඇති වුවත් මාලදිවයින, මියන්මාරය ,තායිලන්තය පකිස්තානය සහ බංගලාදේශය අපට සම්පූර්ණයෙන්ම මේ සමීකරණයෙන් ඉවත් කල හැක්කේය.

එම රටවල් අප හා විරුද්ධවාදීව යුද්ධයක් කිරීමට කිසිම හේතුවක් ඇතිවීමට කිසිම ඉඩක් නොමැති නිසාය. නමුත් ඉන්දියාව අප සහශ්‍ර දෙකකට වඩා කාලයක් වරින් වර ආක්‍රමණය කර ඇත්තේය. අවසාන සිද්ධිය ; ඉන්දියාව සාම හමුදා 1987 දී ශ්‍රී ලංකාවට පැමිණීම, ආක්‍රමණයක් යැයි කිව නොහැකි වුවද අප රටේ ස්වාධීනත්වය යම් ලෙසකින් ව්‍යතිකමනය කිරීමක් යැයි සලකන්නට පුලුවන.

මෙලෙස ඉතිහාසයක් තිබෙන නිසා ඉන්දියානු සාධකය විශේෂයෙන් පරීක්ෂා කල යුතුය. බටහිර ජාතීන් ; විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයින්, හදිසියේ වත් අධිරාජ්‍යය ගොඩ නැගීමට එසේත් නැත්නම් වෙළඳාමට මේ කලාපයට පැමිණියේ නැත්නම් මේ තත්වය අපට මීට වඩා බොහෝ බැරෑරුම් ලෙස බලපාන්නට ඉඩ තිබිණ. ඒ ඉංග්‍රීසීන් නොපැමිණියේ නම් ඉන්දියාව බොහෝ විට රාජ්‍ය කිහිපයක් ලෙස දේශපාලනික වශයෙන් සංවිධානය වී තිබීමට තිබුනු ඉඩකඩ නිසාය.

එසේ වූවානම් බොහෝ විට දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ රාජ්‍යයන් එකතු වී එක් ද්‍රවිඩ රාජ්‍යයක් ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබුණ. එවැනි බලගතු ද්‍රවිඩ රාජ්‍යයක් ඉන්දියාවේ දකුණු දෙස ඇතිවූයේ නම් අපද බොහෝ විට එහි කොටසක් වීමට ඉඩ තිබුනු බව ප්‍රකාශ කිරීම එතරම් සත්‍යයෙන් ඈත නොවේ. විශේෂයෙන්ම ලංකාවේ උතුරු කරයේ ඒ කාලයේ සිටි දකුණු ඉන්දියානු සම්භවයක් ඇති පිරිස් දකුණු ඉන්දියානු රාජ්‍යයන් හා බොහෝ කිට්ටුවෙන් ගනුදෙනු කිරීම මේ තත්වය ඇති කරන්නට බොහෝ සේ උදව් වන්නට ඉඩ තිබුණි.

වර්තමාන ලෝකයේ රටවල් දෙකක් අතර යුද්ධයක් ඇතිවීම ඉතාමත් කලාතුරකින් සිදු වන්නකි. මෑත ඉතිහාසය දෙස බැලූ විට රටවල් අතර යුද්ධ ක්‍රමයෙන් අඩු වී එන බවක් පෙනී යයි. මේ අතර විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජයයන් අතර යුධ වැදීම් ඇත්තේම නැති තරමටම අඩු වි ඇත. මේ සියවසටම එවැනි යුද්ධයක් ඇතිවූයේ රුසියාව සහ යුක්‍රේනය අතර පමණය. මෙයිනුත් රුසියාව ප්‍රජාතන්ත්‍රවාදී රටකට වඩා ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපති පාලනයක් අතර තිබෙන රටකි.

ඒ අතරම ඉන්දියාව දිනෙන් දින වඩා විවෘත රටක් වන අතර ප්‍රජාතන්ත්‍රවාදයට හා ආර්ථික සංවර්ධනයට රටක තිබිය යුතුව ගුනාංගයක් වන මාධ්‍ය නිදහස ඉන්දියාවේ ඉතාමත් ඉහලින් තිබේ. සමහර විට ඉන්දියාවේ මාධ්‍ය නිදහස ලෝකයේ එම නිදහස ඉහලින්ම තිබෙන රටක් විය යුතුය. විශේෂයෙන්ම ඉන්දියානු පුවත්පත් වල තත්වය, එඩිතරභාවය සහ අපක්ෂපාතිත්වය ඕනෑම රටකට උදාහරණයකට ගත හැකිය. මම කිහිපවරක් ඉන්දියාවේ කාලය ගත කර ඇති අතර එයින් දෙවරක් වසර බැගින්ය. එහිදී මා දිගටම සතිපතා Blitz නමැති පුවත්පත කියවන්නට පුරුදුව සිටියෙමි. එය මා කිසිම රටකදී කියවන ලද එඩිතරම පුවත්පත යයි කටපුරා කිවහැක. එවැනි රටක් තම අසල්වැසි මිතුරු රටක් ආක්‍රමණය කිරීම කිසිසේත්ම විය හැකි සිදුවිමක් නොවේ.”

ඉතිහාසය ගත්තත් අවුරුදු 195 කට පෙර 1812 වසරේදී ශ්‍රී වික්‍රම රජුගේ හමුදා හන්වැල්ලේ දී අවසාන වරට කල සටනෙන් පසු අප කිසිම විදේශීය රටක හමුදාවක් සමග යුද්ධ කර නැත්තේය. කල හෝ මුහුණදුන් යුද්ධ හෝ කැරලි තුනම අභ්‍යන්තර වියවුල්ය.

එසේ යුද්යධක් වීමට ඉඩක් නැත්තේනම් අප හමුදාවන්ට මුහුණ දීමට ඇති බාහිර තර්ජන සහ ආරක්ෂා කිරීමට ඇති දෑ මොනවාද?
පිටතින් පැමිණෙන මත් ද්‍රව්‍ය සහ ආයුධ රටට පැමිණීම වැලැක්වීම
නීතියට පිටින් රට තුලට පැමිණෙන්නන් වැලැක්වීම
රටේ දේශ සීමාවෙන් සැතපුම් 200 සිට 350 දක්වා දිවෙන EEZ ස්වෛරී ආර්ථික කලාපය සහ අනෙක් සාගර කලාපයන්හි ආර්ථික සම්පත් ආරක්ෂා කරගැනීම

ඉහත සිතියමෙන් පෙන්නුම් කරන්නේ එලෙස අප විසින් පරීක්ෂාවෙන් සිටිය යුතු ප්‍රදේශයයි.මෙහි වට දුර ප්‍රමාණය කිලෝ මීටර 3000 ක් පමණ වෙයි. දැන් මේ කිලෝ මීටර 3000 ලොකු යුධ නැවකින් මුර සංචාර කරන්නේ යයි සිතමු. නැවේ වේගය පැයකට කිලෝ මීටර 20 ක් පමණ වෙන්නේ නම් මෙම මුලු දුර ප්‍රමාණය සම්පුර්ණ මුර සංචාරයක් කිරීමට පැය 170ක් පමණ ගතවෙයි. දවස් 7කි. ඒ කියන්නේ නැව ඒක දිගටම මුර සංචාරය කලත් නියමිත් ස්ථානයක් නැවත පසුකරන්නේ සතියකට පසුවය. හොරෙන් මාළු ඇල්ලීමට ,මත්ද්‍රව්‍ය,ආයුධ සමග නීති විරෝධිව ඇතුළු වන්නකුට පරික්ෂාවකට බඳුන් නොවී ඇතුළු වන්නට දවස් 61/2 පමණ අවකාශයක් තිබේ.

මේ නැව මේ මුර සංචාරයට යෙදවීම වෙනුවට තිබෙන විකල්ප පිළිබඳව දැන් පරික්ෂා කරමු. සාගර මුර සංචාරයක් සඳහා නැව් වෙනුවට ඇති විකල්ප දෙකකි. ඒ ගුවනින් මුර සංචාර සහ චන්ද්‍රිකා පරීක්ෂාවන්ය. චන්ද්‍රිකා පරීක්ෂාවන් මේ සඳහා යෙදවිය හැකි රටවල් ලෝකයේ තිබෙන්නේ කිහිපයකි. අපට සිතීමටවත් නොහැකිය. එහෙයින් ඉතුරුව ඇති කුඩා ගුවන් යානා විකල්පය දෙස පරීක්ෂාවෙන් බලමු.

අප මේ සඳහා මුහුදු සංචාරක ගුවන් යානයක් මිලදී ගන්නේ යයි සිතමු. සාමාන්‍යයෙන් මෙවැනි ගුවන් යානයක වේගය පැයකට කිලෝ මීටර 500ක් පමණ වෙයි. කිලෝ මීටර 3000 මුර සංචාරයක් කිරීමට ගත වන්නේ පැය 6කි. අලුත් තාක්ෂණ නිසා මුහුද මතුපිට වීඩියෝ දර්ශන , රේඩාර් දර්ශන විශ්ලේෂණය කිරීම සඳහා කෙලින්ම රට තුල පිහිටි මෙහෙයුම් මැදිරියකට එවන්නට පුළුවන. මුර සංචාරක කාර්යක්ෂමතාවය 170/6 එනම් 28 ගුණයකින් නැවට වඩා වැඩිය.

දැන් ඉන්ධන කාර්යක්ෂමතාවය බලමු, සාමාන්‍ය නවීන ෆ්රිගේට් පංතියේ නැවක ඉන්ධන දහනය එක නාවික සැතපුමකට ලීටර 75ක් පමණ වෙයි. තරමක මුහුදු සංචාර ගුවන් යානයක් එය නාවික සැතපුමකට ලීටර් 3 ක් පමණ වෙයි. කාර්යක්ෂම තාවය 15 ගුණයකටත් වඩා වැඩිය,
යොදවාගන්නා කාර්ය මණ්ඩලයන් සංසන්දනය කළහොත් ; 250:3, කාර්යක්‍ෂමතාවය 83 ගුණයකින් පමණ වැඩිය.

නඩත්තු කිරීම් සහ අනෙකුත් පසු වියදම් සංසන්දනය කළහොත් ඇත්තෙන්ම ඒවා අහසට පොලොව මෙන් වනු ඇත. නැවක් අලියෙකු හා සමානය, මිලදී ගන්නට පහසුය , වත්තේ ගැට ගසාගෙන සිටීමත් ගෞරවයකි, එහෙත් කන්ට බොන්ට දී බලාගන්නට ඉඩම් විකුනන්ට සිදුවෙන්නට පුළුවන.

දැන් අපි වියදම් සංසන්දනය කරමු. ප්‍රවෘත්ති වල හැටියට නැව රුපියල් බිලියන 22.5 ක් වෙයි. මෙය යුද්ධ නැව් සඳහා විශාල මුදලක් නොවුවද අප වැනි දුප්පත් රටකට ලොකු මුදලකි. මම කලින් සඳහන් කල ආකාරයේ ගුවන් යානයක මිල පරික්ෂා කර බැලුවෙමි. හොද තත්වයේ ඇති පාවිච්චි කරන ලද එවැනි යානයක් රුපියල් මිලියන 500 කට පමණ මිලදී ගන්නට පුළුවන . සියලුම අවශ්‍ය තොරතුරු එකතු කිරීමේ සහ සන්නිවේදන උපකරණ තවත් මිලියන 150 කින් සවිකර ගන්නට පුළුවන . මුලු වියදම බිලියන දශම .65 ක් පමණ වෙයි. අලුත්ම මේ සඳහාම නිපදවූ යානයක් බිලියන 3.75 කට පමණ මිලදී ගන්නට පුළුවන උපකරණ සවිකිරීමෙන් පසුව බිලියන 4ක් පමණ වෙයි. නැව මෙන් 5 ගුණයකටත් වඩා කාර්යක්ෂමය.

නැව මිලදී ගැනීම නොකළ යුත්තේ මන්දැයි තව බොහෝ කරුණු මට ලියන්නට පුළුවන, නමුත් මේ ලියා ඇති කරුණු හොදින්ම ප්‍රමාණවත් යයි සිතමි.

මෙම නැව මිලදිගන්නට යන්නේ අපගේ මුහුදු සීමාවන් විශාල වූ නිසා බවද මම ඒ ප්‍රවෘත්තියේම දැක්කෙමි. එසේ නම් ඇත්තෙන්ම වහාම නැව ගැනීම අතහැර දමා මිලදී ගත යුත්තේ නැවෙහි මිලට වඩා ඉතාමත් අඩු ආයෝජනයකින් නැවෙහි කාර්යක්ෂමතාවයට වඩා දස දහස් ගුණයකින් කාර්යක්ෂමතාවය වැඩි සාගරික මුර ගුවන් යානා කිහිපයක් නොවේද?

නැව් වල මදි කමක් අපේ නාවික හමුදාවට තිබෙන්නට බැරිය, හරියට ගණන් හදා බැලුවොත් ඒක පුද්ගල යුධ නැව් ප්‍රමාණයෙන් අප ලෝකයේ මුල්ම හරියේ තිබිය යුතු රටකි.

http://lakshmanillangakoon.blogspot.com/2017/10/blog-post_87.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල