කාලීන සංවාද

ජංගම සමයන් ~ 1 කොටස !

Off

ජංගමයා

මට එදිනෙදා රාජකාරි වගෙම පුද්ගලික ජීවිතයෙදිත් අකමැතිම කැමති දේ තමයි ජංගමයා කියන්නෙ,

කොටින්ම මේ උලව්ව ඇතුවත් බෑ නැතුවත් බෑ හරියට කාන්තා පාර්ශවය වගේ !

“ඔය කිව්වට මොන කෙහෙල් මලකටද එහෙනං කොයි වෙලාවෙත් ඕක අතේ තියං ඇන ඇන ඉන්නෙ එතකොට ?”

“අපි හිටියෙ නැතිනම් වෙන හරිය බලා ගන්න තිබුණ, මළ විකාර කාටද මේව්වා කියන්නේ ?”

පොඩ්ඩක් බෝලෙ උස්සල දුන්න ගමන් තක්බීර් වෙලා යන්න ඒ ඩෑෂ් පාර දුන්නේ වෙන කවුරුවත් නෙමෙයි සහෝදර සහෝදරියනි කණ්ඩගේ හොඳම බාගෙ හෙවත් හාමිනේ, සභාවෙන් දෙන්න හොඳ අත්පොළසන් නාදයක් 😀

හරි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පොඩ්ඩකට අමතක කරමුකෝ … එතකොට කවුද බොලේ ජංගමයා ???

ඔය පින්තූරයකුත් දාල තියෙන්නෙ ජංගමයා කිව්වෙ වෙන අහවල් දේකට නෙමෙයි ජංගම දුරකථනයට, මට ඔය ඔරොප්පු කතා කීවාට හාමිනෙත් ඕකට ඔලුව ඔබා ගත්තු ගමන්මයි ගොඩ වෙලාවට.

හැබැයි කණ්ඩ වගේ නෙමෙයි හාමිනේ ජංගමයා පාවිච්චි කරන්නේ මූණු පොතේ පින්තූර බලන්න, ලයික් ඔබන්න, කියූ…ට් කිටියන්ගේ, බලු කුක්කන්ගේ සහ පොඩි එවුන්ගේ වීඩියෝ බලන්න, දවසම මොබයිල් ගේම් ගහන්න වගේ වැදගත් වැඩ වලට විතරයි 😀

නමුත් ඉතින් එදිනෙදා කට වහරෙදී ජංගමයා වත් ජංගම දුරකථනය කියල අපි කියන්නේ නැහැනෙ අපේ කටින් වැඩිපුර පිටවෙන්නෙ සුද්දගෙ භාෂාවෙන් දාපු “මොබයිල්” කියන නම නෙව.

“මොබයිල්” කිව්වත් හරියටම සම්පුර්ණ නෑ මොකද “මොබයිල් ෆෝන්” (Mobile Phone) කියන එකේ “ෆෝන්” කෑල්ල ලොප් කරල තමයි නිකම්ම නිකං “මොබයිල්” කියන්නෙ.

සුද්ද පස්සේ යන එක හරි මදි කියල හිතෙනවා නම්, ඕං ඉතින් හදවතින්ම සිරි ලාංකීයව සිංහලෙන්ම කියන්න ඕන අයට “ජංගම දුරකථනය” එහෙමත් නැති නම් හෙළ හවුලේ විදිහට “ජංගම දුරබනුව” කියල භාවිත කරන්න පුළුවන්.

නමුත් ගිය අවුරුද්දේ සිරි ලකාවට ගොඩ බැහැපු වෙලේ මම කොට්ටාව හන්දියේ “**** මෝබයිල් රෙපෙයාර් සෙන්ටර්” එකට ගොඩ වැදුණෙ සල්ලි ගෙවලත් වැඩ කරන්නේ නැති මගේ හදවතින්ම ශ්‍රී ලාංකික මොබිටෙල් ඩේට කනෙක්ෂන් එක හදා ගන්න.

එතන හිටිය හාදයන්ගෙන් මා එක්ක මුලින්ම ඔලුව උස්සල බලල හිනා වෙච්චි යාන්තම් දැලි රැවුල වැවීගෙන එන කොලුව ගාවට ගිය මං විහිළුවට වගේ ඇහුව.

“මල්ලි ඔයගොල්ලො “ජංගම දුරබනු” හදනවද ?” කියල.

ඒක අහපු ගමන් කොලුව බිරන්තට්ටු වෙච්චි පාර, කවුන්ටරෙන් අඩියක් පස්සට වෙන ගමන්

“අයියේ මෙන්න පිස්සෙක් පොලිසියට එන්න කියන්න වෙයිද ?”

කියල ඇහුවෙ නැතුවට කැෂියර් එකේ හිටපු කඩේ ලොක්ක කියල හිතන්න පුළුවන් තරුණය දිහා බැලුව නිසා මම එතැනින් පස්සේ හදවතින්ම ශ්‍රී ලාංකික වෙන්න ගියේ නැහැ 😦

මොකද එහෙම ගියොත් හෙළ හවුලෙ හාදයෙක් කියල එක්කො පොඩි එවුන්ට තියන්න (නු)සුදුසු නම් අහගෙන කට්ටිය පස්සෙන් පෝළිමේ එන්න බැරි නැහැ.

නමුත් වෙන්න සම්භාවිතාවය වැඩිම දේ තමයි කණ්ඩට අංගොඩ තියන ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ ස්ථිර නවාතැන් පහසුකම් ලැබීම 😀

( ඔන්න කාත් කවුරුවත් නැති නහින දෙහින කාලේ නම් තව කමක් නැහැ ගිහින් පාළුවක් නැතිව හරි කයියක් දාගෙන ඉන්නන පුළුවන් ඒත් දැන්ම එහෙ යන්න බැහැ)

ඔය කොහොම උනත් සිරි ලංකාවට මෝබයිල් හඳුන්වල දුන්න අලුතම අපි ඔය ඉලව්වට කිව්වේ වෙනම නමක්, ඒ තමයි “සෙල්ටෙල්” (CellTel), සෙල්ටෙල් කියන්නෙ ඉතින් රෙදි හෝදන සබන් වලට සන්ලයිට් කිව්වා වගේ තමයි. මොකෝ සෙල්ටෙල් කියන්නේ කොම්පැනියේ නම මිසක් භාණ්ඩෙ නම නෙවෙයිනෙ.

මේ කියන වකවානුව ඇවිල්ල 1989 විතර, අද IT බාස් උනාට එතකං කොම්පීතරයක් අතපත ගාල තියා හැබැහින්වත් දැකල නැති කණ්ඩා අවුරුදු හතක විතර කොලු පැංචෙක්.

එහෙම තියෙද්දි මේ කාලේ සෙල්ටෙල් කොම්පැනිය ගෙනාපු ගඩොල් බාගයක් තරම ලොකු, යාන්තමට අමාරුවෙන් අතේ අරන් යන්න පුළුවන් එව්වත් මොබයිල් තමයි.හිටං !

ඒ ඔක්කොමත් හරි හොඳ දේ තමයි මෙව්වා

හදිස්සියකදී ආත්මාරක්ෂක උපකරණ විදිහට
වලියකදී තරහ කාරයටන්ට තලන්න
පරණ උනාට පස්සේ දොර අඩ විදියට හිටං පාවිච්චි කරන්න පුළුවන්කම 😀
ඔය මොනවා කිව්වත් ඒ දවස් වල අපිට මේ ගඩොල් බාගත් අහස් යාත්‍රා, රොකට් තරමටම බොහොම ලොකු අරුම පුදුම විශ්මකර්ම දේවල්.

ඉතින් ඔය කියන මොබයිල් ගඩොල් බාග හඳුන්වල දීමේදී ලංකාවට විතරක් නෙමෙයි දකුණු ආසියාවටම පුරෝගාමියා වෙච්චි සෙල්ටෙල් කොම්පැනියට තමන්ගේ ඒකාධිකාරය වැඩි කල් පවත්වාගෙන යන්න නොලැබුණේ ඉන් ටික දොහකට පස්සෙ මොබිටෙල් (Mobitel) සහ ඩයලොග් (Dialog) කොම්පැනිත් වැඩේට බැස්ස නිසා.

නමුත් මොබිටෙල් කනෙක්ෂන් එකක් ගත්තත් ඩයලොග් එකක් ගත්තත් හැමෝම ඒකටත් කිව්වේ සෙල්ටෙල්ම කියලම තමයි, හැබැයි එහෙම නමක් හදාගෙන තිබිච්චි සෙල්ටෙල් සමාගමටත් පාර වැරදුණා.

තමන් සපයන්නේ තරඟකාරී සේවාවක් නිසා ගණන් මිමි සහ මාර්කටින් හෙවත් වෙළඳ ප්‍රවර්ධනය
පාරිභෝගිකයන්ට හරි හමන් විදිහට සලකන්න අවශ්‍ය බව (Customer is King ! – Always*)
වෙනස් වෙන තාක්ෂණයත් එක්ක ඉදිරියට යාම අත්‍යවශ්‍යයි
කියන දේවල් අමතක වෙච්චි හන්ද සෙල්ටෙල් එකේ බහින කලාවත් ආරම්භ උනා.

ඒ විතරක් නෙමෙයි පස්සෙ වැලේ වැල් නැති වේගෙන එන සෙල්ටෙල් කොම්පැනිය වෙන අතකට මාරු වෙනකොට හැමෝම දන්නා සෙල්ටෙල් නම හලලා කවුරුවත් මායිම් නොකරපු “ටීගෝ” (Tigo) බවට පත් වුණා.

අන්තිමට ටීගෝ උදවියත් වැඩේ අල වෙලා ගොඩ දාන්න බැරි බව තේරුම් ගත්තු නිසා ඉතිරි වෙලා තිබ්බ සබ්බ සකලමනාවම මැද පෙරදිග ඔටු දේසෙන් ආපු “ඉට් ඊස් අ ලැට්“ (Etisalat) කොම්පැනියට දීල දැම්ම, ඉතින් ඔන්න ඕකයි සෙල්ටෙල් කොම්පැනියේ කතාව.

සෙල්ටෙල් කොම්පැනිය ඔය තරම් පීචං වෙන්න කලින් ලංකාවට මොබයිල් ගොඩ බැහල අවුරුදු 4 – 5 කට පස්සෙ අපේ ගෙදරට වෙනත් දුරකථන පහසුකමක් නොතිබිච්ච නිසාත් තාත්තගේ වැඩපොළේ කටයුතු පහසු වෙන්නත් කණ්ඩලෑ තාත්තත් සෙල්ටෙල් එකක් උස්සගෙන ආව.

කොච්චර ගැජට් පිස්සුවක් තිබුණත් තාත්ත නම් කිව්වෙ ජංගමයට අරගන්න යට කරපු ගානෙන් සෙකන්ඩ් හෑන්ඩ් ජපන් මෝටර් සයිකලයක් ගන්න පුළුවන් කම තිබුණ කියල. ඔව් ඒ දවස් වල එහෙම තමයි, අදවගේ බොහොම අත්‍යවශ්‍ය එදිනෙදා දෙයක් වෙනුවට සුඛෝපභෝගී දෙයක් විදිහට තමයි ජංගමයන්ව සැලකුවේ.

කොහොම උනත් කාටද ඉතිං ආඩම්බර අන්තිමේදි 1993 – 94 අතර කාලෙ කණ්ඩලෑ පවුලත් සංනිවේදනය අතින් කොපි කාලේ ඉඳන් විසි වෙනි සියවසට පියෑඹුව 😀 ( නමුත් ගෙදරට රැහැන් සහිත ෆෝන් එකක් ගන්න තවත් අවුරුදු 10 ක්ම ඉන්න උනේ සිරි ලංකා ටෙලි කොමා අපි හිටපු පැත්ත පළාතවත් නොබලපු හන්ද )

ඔය මොනවා කිව්වත් ඒ දවසේ වෙච්චි දේවල් මරේ මරු … අනික ඉතින් ඔය තාත්ත උස්සං ආපු එක සෙල්ටෙල් එකක් කිව්වට ඒක සෙල්ටෙල් එකක්ම නෙමෙයි, ඒ කිව්වේ ??? ඒ කිව්වේ ඒක සෙල්ටෙල් එකක් කිව්වට මොබිටෙල් එකක් 🙂

මට මතකයි මේ ෆෝන් එක කෑලි ඔක්කොම අහුරලා පෙට්ටියක තමයි ආවෙ, ඒක මේ අද කාලෙ වගේ බොහොම හුරුබුහුටි ඇසුරුමක් නම් නෙමෙයි හරියටම කිව්වොත් කිලෝ දෙකේ මාරි පෙට්ටියක විතර සයිස් තඩි එකක්.INOVIX DIGITAL STILL CAMERA

තිබ්බ කෑලි බෑලි ගැන කිව්වොත් ඉතින් ගඩොලක තරම හතරැස් ෆෝන් එකයි, ඒකට අමුණන එතරම්ම දිග බැටරි පලුවයි, වියතකටත් වඩා උස ඇන්ටනා පොල්ලයි, ගඩොලක් තියන්න හරියන සයිස් චාර්ජ් කරන තොටිල්ලයි ඒක බිත්තියට ගහන වයර් එකක් එක්ක තියන ලොකු ප්ලග් එකයි, තව විස්තර තියන පොත් පිංචකුයි.

මේ කෑලි බෑලි අත පත ගාල බලන්න පුදුම ඕන කමක් තිබුණට තාත්ත නෙමෙයි මටයි මළයටයි මේක අල්ලන්නවත් දුන්නෙ, හැබැයි ලී ප්‍රහේළිකාවක් විසඳනවා වගේ කෑල්ල කෑල්ල පුරුද්දන්කම් බලාගෙන ඉන්න අපි අහන අටෝරාසියක් හරස් ප්‍රශ්න වලට උත්තර දුන්න මිසක් අපිව එලෙව්වේ නම් නැහැ 🙂

ඇයි මේක කෑලි වලට ගලවල ? ඕක හයි කරලම එවන්න තිබ්බනෙ !

මේ කූර මොකද්ද ? ඒ ඇන්ටනාවනේ !

මේක තාත්තගෙමද ? ඔව් !

තාත්ත කොහෙන්ද මේ ගෙනාවෙ ? කොළඹින් !

මේකත් **** අංකල් ගාව තියනවා ජාතියම එකක්ද ? ඔව් ඒ වගේම තමයි !

එතකොට තාත්ත වැඩට යනකොට මේක ගෙදර තියලද යන්නෙ? ගෙදර තියල ගිහිල්ල කොමද මම කෝල් ගන්නෙ ?

ඉතිං අම්මත් ඇතුළු අපි දෙන්න තුන්දෙනාගෙම තොර තෝංචියක් නැති ප්‍රශ්නයි මැද්දෙ තාත්ත හෙමින් සැරේ බොහොම පරිස්සමට කෑලි ටික අටවල දැම්ම නිසා මොකුත් අඩු පාඩුවක් නෑ වගේ.

ඔය කිව්වට ඒ විතරක් මදැයි අර විස්තර තියන පොත් පිංච තාත්ත විභාගෙකට පාඩම් කරනවාටත් වඩා උනදුවෙන් කියවල ඉවර වෙනකම් ගඩොල් බාගේ දිහා බලාගෙන හිටපු එක තමයි අපි කරපු අමාරුම වැඩේ.

අන්තිමට විනාඩි 15 – 25 කට පස්සේ පොතෙන් ඔලුව අහකට ගත්ත තාත්ත කිව්වා පාවිච්චි කරන්න කලින් අර තොටිල්ලක් වගේ තියන චාජ් කරන තට්ටුවට දාල පැය 6ක්ද කොහෙද ගහල තියන්නත් ඕනෑලු එක දිගටම.Motorola Dynatac 8000x on Charging Deck

මදැයි කෑලි බෑලි ටික ඔක්කොම ඇටෙව්වට ඕකෙන් කතා කරන්න තව නොසෑහෙන්න වෙලාවක් බලා ඉන්න වෙන පාටයි.

(මෙයිට කලින් මේ ජාතියේ උදවිය දැකල නැතිනම් ඕං බලාගන්න)

ඉතිං ඒ පාර චාජරේ බිත්තියේ ප්ලග් එකට ගහල ඕන් කළා විතරයි පොඩි සද්දෙකුත් දාගෙනම ඉස්සරහ වීදුරු පටියෙ කොනක තියන බල්බ් එක පත්තු වෙන්නයි නිවෙන්නයි පටන් ගත්ත, ඔන්න බොලේ ඊට පස්සෙ ආපහු සද්දෙයක් නෑ බල්බ් එක නම් තවම නිවි නිවී පත්තු වෙනව.

හා .. හා .. දැන් ඇති ෆෝන් එක වටේ එතුන තව පැය හයක් යනකං මේක එක දිගට චාර්ජ් වෙන්න ඕන, මං කියනකං එක්කෙනෙක්වත් මේකට අත තියනවා එහෙමෙ නෙමෙයි, තාත්ත විධායක නියෝගයක් දුන්න !

බලන් ඉඳල බැරි තැන අම්ම ගියා අනිත් ගෙදර වැඩ වලට, ඒත් මළයයි මායි ඔහොම තවත් පැයක් හමාරක් වටේ කැරකි කැරකි ඉඳල සෙල්ලම් කරන්න ගියා, හැබැයි හැම විනාඩි දහයකට පහලොවකටම වාරයක් ඇවිල්ල තවම ලයිට් එක පත්තු වෙනවද කියලත් බලල යනව.

ඒ විතරක් නම් මදැයි ඔය එන හැම පාරක් ගානෙම දැන් චාර්ජ් වෙලා ඇතිද ? දැන් චාර්ජ් වෙලා ඇතිද ? කියා කියා තාත්තට වාතයක් වෙන්නත් අමතක කරේ නැහැ.

අන්තිමේදී කොහොමින් කොහොම හරි අපේ වස කන්දොස්කිරියාව මැද්දේ උනත් තාත්ත නෙමෙයි ෆෝන් එක සම්පුර්ණයෙන් චාජ් කරල ඉවර වෙනකම් අර තොටිල්ල වගේ තියන චාජර් එකෙන් ගලවල ගත්තේ.

චික් විතරක්, ඔච්චර අස්ප ගානක් දීල අරගෙනත් බැටරිය චාජ් කරල දීලවත් නැහැ !

~ මතු සම්බන්ධයි !

ජංගම සමයන් ~ 1 කොටස !

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල