සාහිත්‍ය කළා විචාර

අම්මාටත් වඩා දැනුන ඔනේජින්ගේ පෙම්වතිය

Off

ප්‍රාග් විප්ලවීය රුසියානු සාහිත්‍යය ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගෙන් පටන්ගෙන මැක්සිම් ගෝර්කිගෙන් හමාර වෙන බව පිළිගැනීමකි. පුෂ්කින්ගේ ‘ඉව්ජින් ඔනේජින්’හි එන ඔනේජින් චරිතය සිහිවූයේ පැරණි මතක ලිපි ගොනු පෙරලා මතක රස විඳිනා විට මැගසින් බන්ධනාගාරයේ සිටි අවධියේදී එකතු කළ මතකයන් අතර ඔනේජින් නමින් කවි පංතියක් හමුවීමේ ප්‍රතිපලයක් වශයෙනි.

මොනවා නැතත් එකළ බන්ධනාගාර පුස්තකාලයේ පැරණි පොත් ගොන්නක් තිබූ නමුත් ඒ අතර වැඩිපුරම තිබුණේ “සංස්කෘති“ සඟරාව බව මතකයේ තිබේ.1953 දී ආරම්භ කොට මේ දක්වා පවත්වා ගෙන එන ‘සංස්කෘති’ ශාස්ත්‍රීය සඟරාවේ ආරම්භක සංස්කාරකවරයා හා ගාමක බලවේගය ස්වාධීන බුද්ධිමතෙකු වූ අමරදාස වීරසිංහ සහෘදයා වන අතර ගනනාථ ඔබේසේකර, ආරිය රාජකරුණා වන් පසු කාලයේ නමගිය විද්වතුන් පිරිසක් උපාධි අපේක්ෂකයන් වශයෙන් මුල් යුගයේ ‘සංස්කෘති’ සඟරාවට අඟනා ශාස්ත්‍රීය සේවයක් කර තිබේ.

1987 ජූනි මාසයේ සිට වසර දෙකකට ආසන්න කාලයක් මහ පාරට අමතරව මගේ සරසවිය වූයේ මැගසින් බන්ධනාගාරය බව සඳහන් කළ යුතුය. 1961 ඉපදී ඇති මමද රෙට්ටුවක් මත මුනින් අතට දිගාවී කළ පළමු රාජකාරිය වූයේ පුස්තකාලයේ තිබි පැරණි සංස්කෘතික සඟරා කියවමින් කටුසටහන් ගසා ගැනීමයි. පිටතින් පොත්පත් ගෙන්වා ගැනීමට බන්ධනාගාර නිළධාරීන් අවසර ලබා දෙන විට අප මැගසින් බන්ධනාගාර පුස්තකාලය දෙවැනි වරටත් කියවන්නට පටන් ගෙන තිබි බවද මතකයේ තිබේ. එකල එහි සිටි රැඳවියන්ගෙන් දීර්ග කාලීන රැඳවියන් අතර අද ජීවතුන් අතර හුස්ම ගනිමින් මගේ මුහුණු පොතේ මිතුරන් ලෙස සිටින්නේ ප්‍රේමලාල් පතිරාජ සහ බුද්ධදාස විතානාරච්චි පමණි. අතුරලියේ රතන හිමි ඇතුලු තවත් පිරිසක් අප අතර සිටි නමුත් ඔවුන් කෙටි කලකින් නිදහස් විය. අදවන විට එකිනෙකා විවිධ දේශපාලනික මත දැරූවද ඉතිරි වී ඇති අප සියල්ලන්ගේම මිත්‍රත්වය අදටද අහස තරම් උසය. එතරමට පළලය කීවාට වරදක් තිබිය නොහැක. ශාස්ත්‍රීය මතක පටය ටිකෙන් ටික දිග හැරෙන කළ ඒ මිත්‍රත්වයේ ගැඹුර හිර කඳවුරක සාහිත්‍යයේ උපමා රූපක ලෙස විසරණය වීම අනිවාර්ය බවද ලියා තැබිය යුතුය.

කාවන් විසින් කා දමන ලද කොළයක මගේ කටු සටහනක “ඔනේජින්“ කවිපෙළ ඉතිරි වී ඇති නමුත් සඟරාවේ වර්ෂය සහ පරිවර්තකයාගේ නම මැකී ගොස් තිබේ. එකල රාත්‍රි කාලයට රැඳවියන් විසින් පවත්වන ලද සම්මන්ත්‍රනයක් සඳහා මා ඔනේජින් ගැන මගේ හැඟීම පවසා අවසාන කළවිට මගේ නෙත් තෙත් වූ අයුරු දැක එදින සම්මන්ත්‍රනය අවසානයේ රංජිදම් සහ මා අතර ගෝර්කි සාහිත්‍යට විරුද්ධව ඇතිවූ සාකච්ඡාව රංජිදම් නැතත් ප්‍රේමලාල්ගේ මතකයේ ඇති බව මම දනිමි. මන්ද මගේ රෙට්ටුවට දෙපැත්තේ හිටියේ ප්‍රේම ලාල් සහ රංජිදම් බැවිනි. ඒවා බොහෝ දුර ගිය කතාය.

මනෝවිද්‍යාත්මක නවකතාවක් වශයෙන් පමණක් නොව විවිධ දෘෂ්ටි කෝණ හරහා විචාර සාහිත්‍යයටද අභියෝගයක් වූ පුෂ්කින්ගේ “ඔනේජින්“ කාව්‍යය සම්බන්ධව විග්‍රහ කිරීම මේ සටහනේ අරමුණ නොවේ. ටැටියානා නැමති ඇගේ පෙම්වතිය ඔහු විසින් අත හැර දමා ගොස් නැවත ඇය සොයා එන ඔනේජින්ට ගැහැනියක විසින් දෙනු ලබන සැබෑ පිළිතුරක් වශයෙන් පමනක් මේ කෙටි අනුවාදය සැලකීම කාලෝචිත විය හැක. එහෙත් පුෂ්කින්ගේ සාහිත්‍යයේ ගැඹුර මෙහි සටහන්ව නැතැයි කියන්නටද නොහැක.

ඔනේජින්
මම එකල තරුණ බවින් මත් වී සිටියෙමි
දැනට වඩා රූමත්ව සිටියායැයිද හඟිමි
එහෙත් ගමේ දුගී කෙල්ලකගේ ආදරය
තඹයක් පමණවත් වටින බව එදා
මේ ඔනේජින්ට පෙනුනේ නැහැ
එහෙනම් දැන් ඇයි ඔහු
ඇය තබන පියවරක් පියවරක් පාසා
කල්පනා කාරී වන්නේ
ඇයි මෙවැනි අලුත් උනන්දුවක්

රජ වාසල විසින් දැන් ඇය
මහ ඉහලින් පිළිගනු ලබන නිසාද?

මට නම් ඔනේජින්!
මේ ධනයත්
මේ පුහු සාටෝප ජීවිතයත්
මේ යස ඉසුරුත්
මේ මන්දිරත්,මේ සියල්ලමත්
අබ මල් රේනුවක් නොවටී

පොත් කීපයකටත්
දිරා ගිය අපේ දුප්පත් පැලටත්
ඒ වටා තිබු මිදුලටත්
දැනට කුරුසියක් හා
සෙවනැති ගසක් විසින්
තනි රකිනු ලබන ඒ පාලු සොහොනටත්
මේ සියල්ල හිලව් කිරීමට මා කැමතියි

එහෙත් තව දුරටත් මා විසින්
සත්‍ය වසන් කළ යුත්තේ ඇයි
මේ සිරුර අන් අයෙකුට පාවා දී ඉවරයි
මරණය තෙක්ම මා ඔහුගේම වේවා.

ගෝර්කිගේ අම්මාට වඩා මට මැයව දැනුන වග පවසමින් මා විසින් එදින කල විමසීම අවසාන කළ අයුරු රැඳවියන් කීප දෙනෙකු අතර දැඩි මතවාදී සංවාදයක් ඇතිවිය. ජනතාවාදී සාහිත්‍යය හිස ඔසවා තිබි අවධියක ඒවා සිදුවූ අයුරු පසුවට ලිවීමට බලාපොරොත්තු වෙමි.

http://jmaraya.blogspot.com/2017/10/blog-post_15.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල