අතීතකාමය

සිහිනෙන් ඇවිදීම හා වෙරි හිඳීම

Off

පියා අහිමිවීමේ ප්‍රතිඵලයක් ලෙස මට සිදුවූ පළමු ඇබැද්දිය පසුගිය 25 අළුයම සිදුවිය. එනම් රාජකාරියට යාමට නිවස ඉදිරිපිට පාර මාරුවීමේදී මෝටර් බයිසිකලයක ගැටීමය. දින දෙකක් රෝහල් ගත වීමෙන් පසුව අතපය නොකැඩුනත් සිදුවුණු තැලීම් සීරීම් හමුවේ තරමක් සුවය ලබන්නේ දැන්ය. එදවස ඔහු මා මෝටර් රථයෙන් දුම්රිය පොළට ගෙනයන අතර එතැන් සිට රාජකාරී ස්ථානයට යනතුරු දුරකථන ඇමතුම් 3ක් වත් ලබාදෙයි . ගිය බවද ඔහුට නොකීවහොත් උදෑසන 9.00 පමණ වන විට නැවත ගනී . ඔහු ගියදා පටන් මා දිනපතා මව සමග පාරට ගොස් බසයෙන් හා දුම්රියෙන් රාජාකාරියට වාර්තා කරයි. මෙම අනතුර සිදුවූයේ එබැවිණි.

පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හිනැහී ඇතිදෝ …………………………..

අද කථාන්දරය මෙසේ අරඹමි.

යුධ හමුදා කඳවුර නුවරඑළිය

මගේ පියා යුධ හමුදා සේවයේ යෙදී සිටියේ ඔහුගේ මවු ඒකකය වූයේ 3 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවයි. මෙම රෙජිමේන්තු මූලස්ථානය පිහිටියේ සුන්දර නුවරඑළියේ ග්‍රෙගරි වැව ඉස්මත්තේය . එම නිසා එය රමණීය ස්ථානයක් විය. මෙහි ඇති තවත් සුවිශේෂී කරුණ වන්නේ මෙම ස්ථානය හා ගොඩනැගිල්ල ඉංග්‍රීසි පාලන සමයේ එවකට ලංකාවේ වතුඅධිකරිවරුන් හා බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ළමයින ඉගෙනගත් පාසලක් වීමයි. එම නිසා එය “හිල් ස්කූල් ” නමින් හඳුන්වයි.

මෙම හමුදා කදවුරට ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස පැමිණ උප අණදෙන නිලධාරියෙකු වනතුරු තම මවු ඒකකයේ ඔහු සේවය කළේය . කෙසේ වෙතත් එහි ඇති නිලධාරී නිවස්නය හා කඳවුර ඉදිරිපිට ඇති රෝස උද්‍යානය එයට ෙප්‍රෘඩතත්වය එක්කරන ලදී . එම රෝස උයන නුවරඑළියේ වසන්ත සැණකෙළියට සමගාමීව පවත්වන රාජ්‍ය සේවා ගෙවතු තරඟය සඳහා සෑම වර්ෂයකම තරඟ කරන අතර ජයග්‍රහණ ද ලබා ගනී.

හරි දැන් අටුවා ටීකා ඇති කතාවට එන්ටර් වෙමුකෝ …………………

මේ නිලධාරී නිවස්නයේ විවිධ හේතූන් පදනම් කරගනිමින් සාද පවත්වනු ලබයි. නිලධාරීන්ගේ විශ්‍රාම ගැනීම් , උසස්වීම්, සංවත්සර ආදිය ප්‍රධාන වේ . එහිදී නිලධාරීන්ගේ පවුල්වල අයටද ඒවාට සහභාගී වීමට අවස්ථාව හිමිවේ. මෙයත් එවැනි අවස්ථාවකි . එවැනි අවස්ථාවක් එනතුරු මමත් නංගීත් බලා සිටින්නේ ඇත්තටම නුවරඑළියේ යාම හා ඇවිදීම අතිශය ප්‍රිය උපදවන කටයුත්තක් නිසාය. කෙසේ වෙතත් දිනක් එවැනි සාදයකට යාමේ අදහසින් අපි නුවරඑළියේ ගියෙමු .

රෝස උයනේ මගේ පියා සමග නංගියි මමයි

එදින සවස පැවති උත්සවය සඳහා උදෑසන පිටත් වූ අපි දහවල් වනවිට කඳවුරට ලඟාවුනෙමු . උත්සවය නිමවන්නේ පසුදා අළුයම බව දන්නා නිසාම ( මධ්‍යසාර නැති උත්සව හමුදාවේ නැතිනිසා ) නවතින්නට පැමිණෙන බව කල්තියා පියා විසින් දැනුම් දී තිබුණි. ඒ අනුව මහල් දෙකකින් යුත් නිලධාරී නිවස්නයේ දෙවන මහලේ කෙලවරේ පිහිටි කාමරයක් අපට ලැබුණි . මදි නොකියන්න සීතලද තිබුණි. මේ කාමරයට පැමිණිමේදී හැඩයට බැසිය යුතු සිමෙන්ති තරප්පු පෙළක් නැගීමෙන් අනතුරුව විශාල කොරිඩෝවක් පසුකර යුතු අතර කොරිඩෝව අවසානයේ පොඩි ලොබියක් තිබේ . එම ලොබියේ දකුණු පසින් කාමර දෙකක් තිබෙන අතර පළමු කාමරය අපගේ විය. මා මෙය පැවසුවේ කථාවේ ඉදිරියට එය අවැසි බැවිනි . කෙසේ වෙතත් පළමු මහලේ ( OFFICER’S MESS ) හිදී උත්සවය පටන් ගත් අතර අප වැනි තවත් පවුල් කීපයක් ද නිලධාරීන් තනිවම ද උත්සවයට සහභාගී වූහ. නැටුම් ගැයුම් වැයුම් මැද මධ්‍යම රාත්‍රිය එළඹි අතර ඒ වනතුරුත් නිලධාරීන් කිසිවෙක් ආහාර ගෙන නොතිබුණි. කාන්තාවන් හා දරුවන් පමණක් අහාර ගෙන සිටි අතර , ළමයින් එකා දෙන්නා උකුල් උඩ නිදියද්දී කාන්තාවන්ට උත්සවය නිමා කළ හැකි බව පවසා අපි සියලු දෙනාම එතනින් පිටවී අදාළ කාමර කරා පැමිණියහ.

විවිධ උත්සව අවස්ථාවල ලබාගත් චායාරූප

එහෙත් මගේ පියා ඇතුළු ඔහුගේ මිතුරන් මධුවිත තොලගාමින් තවදුරටත් රැඳී සිටියහ.( එකල එයට කිසිවක් කිවනොහැක්කේ සැමදා කැලයක දිවිගෙවන ඔවුන්ට සතුටු වීමට අවස්වථාක් සපයා දුන්නේ එවැනි උත්සවයක් පමණක් වීමය. ) කෙසේ වෙතත් මගේ පියා එදින කාමරයට පැමිණි වෙලාව මා දන්නේ නැත. අධික සීතල පවතී බැවින් ජර්සියක් හා බ්ලැන්කට්ටුවක් පෙරවා සිටියද සීතල අධික විය . එම නිසා නින්ද කඩින් කඩ සිදුවිය. මා තනි ඇඳකත් අම්ම තාත්තා හා නංගි තවත් ඇඳකත් නිදියන ලදී. වරක් බලන විට තාත්තා පැමිණ ඇතිබව දක්නට ලැබුණි. ඉන්පසු අනෙක් පසට හැරීනිදාගත් අතර එකවරම සිහිනෙන් මෙන් දුටුවේ කාමරේ දොර කවුරුන් හෝ විවර කරගෙන එළියට ගිය බවයි. තවත් නිමේෂයක් ගතවෙද්දී අපේ අම්මා මහා හඬ දී කෑ ගැසුවේ ළමයා නෑ අනේ නැගිටින්නකෝ ළමයා නෑ යනුවෙනි . මා එකවර නැගිට කාමරයේ ලයිට් දැමූ අතර තාත්තා විදුලි වේගයෙන් දිව ගියාය . අම්මගේ කෑගැහිල්ලට අසළ කාමරයේ තාත්තගේ මිතුරන් දෙන්නෙකු ද පැමිණි අතර සුළු වෙලාවකට පසු තාත්තා නංගි හරහට වඩාගෙන පැමිණි අතර ඇය නින්දේ පසුවිය. මගේ පියා පැවසූ පරිදි ඔහුට ඇයව හමුවී තිබුනේ පහල මාලයේ සාදය තිබුණු විශාල ආලින්දයේ දොර ළඟදී බවයි . ඇයව තාත්තා හුරතලයට කතා කලේ “බබ්‍බා” යනුවෙනි . එසේ කතාකලත් ඇය නින්දේ පසුවූ බව පවසයි .

කාන්තාව සිටගෙන සිටින්නේ ආලින්දයේ දොර ළඟය, මගේ පියා සිටින්නේ තරප්පු පෙළ පාමුලය

මේ සිදුවීම වනවිට පාන්දර 3.00 පමණ වී තිබූ අතර කරදරයක් වූ නැතිහෙයින් සියලු දෙනා පසුව නිදා ගැනුණි. පසුදා උදයේ අපේ කාමරයට සියලු දෙනා නැගණිය බැලීමට පැමිණි අතර , ඇයට කිසිවක් මතක නොතිබුණි . වෙරි මතින් නිදාගත් මගේ පියාගේ වෙරි හිදුන බව සියලු දෙනා හිනා ගස්වමින් ඔහු ප්‍රකාශ කළේය . එවකට මගේ නැගණියට අවු 10 ක් පමණ වූ අතර ජීවිත කාලයටම සිහිනෙන් ඇවිද ගිය පළමු හා අවසාන අවස්ථාව මෙය විය .

එම සිදුවීම සිදුවී මාස කීපයක් ගිය පසු එම උත්සවයට නොපැමිණි මගේ පියාගේ යාලුවෙක් පවසා ඇත්තේ එම කාමරයෙදීම වෙනත් දවසකදී ඔහුද එවැනි අත්දැකීමකට මුහුණ දුන් බවයි.

විචාරක දියණිය පස්වරු 16.00 පැයට

https://wicharaka.blogspot.com/2017/10/blog-post_15.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල