කෙටි කථා

ගුරු පඬුරු

Off

සත්‍ය කතාවක් ඇසුරිනි …………

කුඩයට දැරිය නොහැකි වැසි බිදු හමුවේ , කුඩය යටින් යන ඇය වැසි දෙකකට හසුවූවාක් මෙන් තෙමී ගියා ය. සාරිය ඇඟට ඇලී පය පැටලී වැටෙන්නට ද ගියා ය. නමුත් වැස්ස කිසිදු අනුකම්පාවක් නොමැතිව වසිමින් තිබූ අතර, ඇය හා වරුසාව අතරින් වාහන එහා මෙහා ගියේ මහා ඝෝසාවෙන් නලා හඬවමිනි.

වේගයෙන් කටු කැරකැවෙමින් ඇති නගරයේ ඔරලෝසුවට වැස්ස නිසා හිමින් කැරකරවීමට බැරිවාක් මෙන් ම සඳුදා දිනයේ එහා මෙහා දුවනා මිනිසුන්ට ද වරුෂාවකට මොහොතක් නැවතීමට ඉඩක් නම් කොහෙත් ම නැතිවාක් මෙනි.

ඇය සිටියේ මහ නගරයක තදාසන්න උප නගරයක තුන්මන් හංදියක් අසල වූ කුඩා බස් නැවතුමක කුඩයක් ඉහලා ගෙනය. අද ඇයට පාසල් යා යුතු දිනයක් නොවූ අතර රාජකාරිමය කටයුත්තක් සඳහා කලාප කාර්යාලයට යා යුතුම වී තිබුනි.

ඇය යා යුතු වූයේ ඇගේ වම් පසට දිවෙනා බසයක වූ අතර ඇය වෙනදාට යන්නේ ඇගේ දැන් දකුණු පසට දිවෙනවා බසයකට ගොඩ වී ය. ඇය යනෙන මේ ගමන අතර තුර දී නිතර ඇයට මුණ ගැසෙන අය අතර ඇගේ ගෝලයන් ද වූ අතර එය ඉතා සාමාන්‍ය වී , ඇය ගුරුවරියක වීම කිසිදු විටක කිසිවෙකුට වැදගත් නොවී ය.

මඟට බට වහා අපි කවුරුන් ද යන්න කිසිදු විටක කිසිවෙකුට වැදගත් නොවන අතර වැදගත් එකම දේ කෙසේ හෝ තමන්ගේ ගමනාන්තයට ළඟා විමයි.

ඇය සිටිනා ස්ථානයට ලම්භකව දිවෙන්නෙ නගරයට යා යුතු ප්‍රධාන මාර්ගයයි. තුන්මන්සල වෙන් කිරීමට යොදා ඇති රවුමේ විවිධ වර්ගයේ මල් පිපී වැස්සට තෙමී පොළව බදාගෙන මියැදෙන්නට ආසන්නව ඇත. නමුත් වැස්ස පායන පාටක් නම් ඇත්තේම නැත.

ඒ ප්‍රධාන මාර්ගයේ වැස්සට තෙමෙමින් තම රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරියකුගේ ඇස් වසා හදිසියේම ඇය සිටි පැත්තට කැපූ ත්‍රීවිලයක වැසි ආවරණය ක්ෂණිකව එක් අතකින් නිරාවරණය වනවාත් , ත්‍රී විලය ඇය ළඟින් නතර කරනවාත් සමඟින්ම ඇය ත්‍රීවිලය තුලට විසිවූයේ ත්‍රීවිල් රියදුරාගේ කෑගැසීමේ තමටමට ය.

“ නගින්න මිස් නගින්නනනනන…නගින්න නගින්න….. ඉක්මන් කරල නැත්තම් අරූ ලියනවා “

චාරයක් නැති ත්‍රීවිලය වහාම වාහන අතරින් කපා ඇය පාසල් යන දෙසට හෙවත් ඇගේ දකුණු පසට පදවන්නට ගත් වහාම ඇය පියවි සිහියට විත් “ අනේ ළමයෝ මම අද ඉස්කෝලෙට නෙමේ යන්නේ “ යැයි යන්තමින් කියා ගත්තාය.

“අයියෝ …………ටීචර් ………හරි කමක් නෑ ……….දැන් ටීචර්ට යන්න ඕනි කොහාට ද “

“මට යන්නෝනි කොළඹ පැත්තට.මට 234ක් ගන්න පුලුවන් තැනකින් බස්සන්න ළමයෝ “

“ හරි හරි …….ඔහොම ඉන්න “ නැවතත් පොලිස් නිලධාරියාගේ දෑසට වැලි ගසමින් ගිනිමහ වැස්සේ ප්‍රධාන පාරෙන් කොළඹ දෙසට කැපූ ත්‍රීවිලය එක හුස්මට කොළඹ දෙසට පිඹින්නට විය.

“ ඔය ළමයායායා……………….“

“ අයියෝ ……….මාව ටීචර්ට මතක නැතිව ඇති. ඒ අනාට මම ටීචර්ගෙ ඉස්කෝලෙට තමා ගියේ. මම හැමදාම දකිනවා ටීචර් ඉස්කෝලෙට යන්න ඉන්නවා.මම හිතුවෙ අදත් ඉස්කෝල යන්න කියලා. වැස්ස නිසා තමයි ආටා එක ඇල්ලුවේ “

“ පුතා කොයි පැත්තට යන ගමන් ද “

“ මම කිරිබත්ගොඩට යන ගමන් “

“ එහෙම ද, අනේ පුතේ මාව 234ක ට දාන්න“

“ හරි හරි ටීචර් බය නැතිව ඉන්න කෝ. යන්න ඕනි කලාපෙට නෙ .මම බස් එකක් අල්ලල නතර කරන්නම් “

වාහන අස්සෙන් රිංගමින් , ඇතැමුන්ට මහ හඩින් බනිමින් ඉතා අවිචාරවත් ලෙස එලවු ත්‍රීවිලය අවසානයේ දී තමාට ඉදිරියෙන් ගමන් කරමින් තිබූ 234 බසයක් පසු පස ලුහුබදින්නට විය. අවසානයේ දි එක් නැවතුමක බසය නතර වූ වහා ම නැවතූ බසය පසු කරමින් ගොස් බසයට ඉදිරියෙන් ත්‍රීවිලය නැවතූ හෙතෙම ත්‍රීවිලයෙන් බැස ගියේ ෂර්ට් කොලරය බෙල්ල පසුපසට කරමින් දෑත් දෙපසට දිගු කරමිනි.

“ එන්න ටීචර් ……….. “

“ නගින්න ටීචර් …………“

ඇය බසයට ගොඩවන විට ඇය පසු පසින්ම බසයේ පාපවුරුවේ පඩි දෙකක් නැගගත් කොල්ලා “ මේ අපේ ටීචර් ………කවුරු හරි සීට් එකක් දෙන්න වාඩි වෙන්න “ යැයි හඩ නැගුවේ මුළු බසයටම ඇසෙනා ලෙසටය.

ඒ හඬින් මදක් පසුබා ගිය ගුරතුමිය ලත් තැනම වූ ආසනය ට ඉක්මනින් සිය සිරුර බර කර ආසනය තුලට ගිලී ගියා ය.

“ එහෙනම් ටීචර් මම යනවා“ ඉතා යටහත් ලෙස පැවසූ ඔහු පාපුවරෙුවෙන් බිමට බැස , පාපුවරුවට නැග ගත් කොන්දොස්තරට “ මේ අර අපේ ටීචර් කෙනෙක් හරිය. කලාපෙ ලගින් බස්සනවා තේරුනා ද. නැත්තම් මම බලා ගන්නම් .මතකනේ කලාපෙ ලග “ යැයි පවසමින් කොන්දොස්තර කොලුවාගේ පිට හරහා තම අත්ලේ පහස මුදා හැරියේය.

මේ සියල්ල නිසා තක්බීර් වී සිටි ගුරුතුමිය , තම ගමන මුලුල්ලේ මද , නිවසට පැමිණි තැන සිට නින්දට යනතුරු ද ඒ ළමයා කවුදැයි මතක් කල ද අද වනතුරුත් ඔහු කවුරුදැයි හඳුනා ගැනීමට ඇගේ ගුරු සිත අපොහොසත් වී ඇත.

http://sodurusitha.blogspot.com/2017/10/blog-post_84.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල