කාලීන සංවාද

රණබිම ඔස්සේ නන්දිකඩාල් නොකියවමි

0

“මම මේ දවස් වල රණබිම ඔස්සේ නන්දිකඩාල් පොත කියවනව”

අපි හතර දෙනාගේ දුම් වැටි වලින් එන දුම් ගුලි අස්සෙන් එහෙම කිව්වේ වැඩ කරන තැන මගේ යාලුවන්ගෙන් කෙනෙක්.

“ලස්සනට විස්තර කරල තියෙනව යුද්ධේ අන්තිම කාලේ හමුදාව ගහපු මිෂන් ගැන..”

“ඔව්.. ඕක ආවෙ ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනය කාලෙ නේද? මාරෙට විකිණුනා ඔය පොත”

ඒ මමය.

“ඒකෙ මාර ස්ටෝරිලු නේද තියෙන්නේ? එකම තැන දවස් ගණන් ඉස්සරහටවත් පස්සටවත් යන්න බැරුව හෙල්ලෙනෙවත් නැතුව කන්න බොන්නවත් නැතුව හමුදාවෙ කොල්ලො ඉන්නවලු…”

“.. සමහර වෙලාවට වතුරෙ ඉන්න වෙනවලු දවස් ගණන්.. ඇවිල්ලා බූට් ගලවද්දි හමත් එක්කලු ගැලවිලා එන්නෙ”

අනිත් යාලුවෝ දෙන්නත් තමා දන්න දේවල් කතාවට එකතු කලේ එහෙමය.

“උඹ කියෙව්වද පොත?”

ඒ ප්‍රශ්නය මටය

“නෑ. මම මතක වන්නිය පොත නම් කියෙව්වා”

“හ්ම්ම්…”

සිගරට්ටුව අහවරය. විවේකයට පසු නැවතත් අපගේ ආසන කරා ගොස් දවසේ වැඩ අස්සේ අතරමං වීමු.

සිගරට් දුම් මැද්දේ හමුදාවේ කොල්ලන්ගේ වීර කතා ගැන අප අතර වුන කතාවේ සාරාංශයකි ඉහත මා ලියා ඇත්තේ.

හමුදාවේ කොල්ලන්ගේ වීරකතා ගැන අපි අපේ ප්‍රියසාද අතරෙ, හමුවීම් අතරෙ, බස් කෝච්චි ගානේ, රාජකාරී කරන තැන් ගානේ, කඩපිල් ගානේ, මධුවිත තොල ගාන අතරතුර විනාඩි දහය පහළවේ කතා කොයි තරම් නම් කරල ඇද්ද?

පුද්ගලිකව මගේ නිරීක්ෂණයට අනුව මගේ සමීපතමයො හමුදා සෙබළුන්ගේ වීර ක්‍රියා ගැන කතා කරන්නේ ලොකු අභිමානයකින්. බැබලෙන් ඇස් වලින්. ආඩම්බරයෙන්. ඔවුන්ට අනුව ඒ දේවල් ගැන කතා කරද්දි දැනෙන්නේ ඇඟ කිළිපොලා යන මයිල් කෙළින් වෙන විදියේ හැඟීමක්.

මරණය පෙනි පෙනී අවි දරාගෙන යුධ බිමක සටන් වදින්න මනුස්සයෙක්ට නිර්භීත කමක් තියෙන්න ඕන බව ඇත්ත. ඒ කතාවලට පාදක වෙන්නේ ඉතාම නිර්භීත ක්‍රියා බවත් ඇත්ත. ඒවා මේ සටහන කියවන ඔබට හෝ ලියන මට කරනව තියා හිතන්නවත් බැරි තරමේ අසාමාන්‍යය ක්‍රියා බවත් ඇත්ත.

නමුත් ඒ කිසිම කතාවක් අහද්දි මට මගේ සමීපතමයන්ට වගේ ඇඟ කිළිපොලා යන හැඟීමක්, අභිමානයක් දැනුනේ නම් නැහැ. ඒ වෙනුවට ඒ කතා අහද්දි දැනෙන්නේ මහා කණගාටුවක්. කලකිරීමක්. ලැජ්ජාවක්.

සමහර විට මගේ මොකක් හරි අවුලක් වෙන්නැති.

වීර කතා විදියට අනෙක් අය හඳුන්වන කතා ඇහෙද්දි මට එන්නේ මගේ සමවයසෙම ඉන්න මම වගේම කොල්ලෙක්ට මට මූණ දෙනවා තබා හිතන්නවත් බැරි තරම් භයංකර අත්දැකීම් වලට මුහුණ දෙන්න වුනේ ඇයි? වගේ සිතිවිල්ලක්.

බූට් එක ගලවද්දි කකුලේ හමත් එක්ක ගැලවිලා එනවා කියලා සිගරට් එක ගහන ගමන් කතා වෙලා තාවකාලික ත්‍රිල් එකක් අරගෙන නැවතත් වායුසමීකරනය කරපු කාමරයක තියෙන සැපපහසු ආසනයක පරිගනයක් ඉස්සරහා ඉඳගෙන අපේ ජීවිත වල කිමිදෙන අපිට ඒ හම ගැලවුන අපි වගේම කොල්ලට ඊට පස්සෙ මොකද වුනේ.. ඒ කොල්ලා දැන් කොහේ මොනව කරනව ඇද්ද.. ඇයි ඌ ඒ වගේ දෙයකට මූණ දෙන තත්වයට පත් වුනේ.. ඌ හිටිය තැන මම නැතුව ඇයි ඌ හිටියේ.. වගේ දේවල් හිතන්න උවමනාවක්වත් වෙලාවක්වත් ඇත්තටම බැලුවොත් නැහැ.

ඇත්තටම මගෙයි උගෙයි වෙනස මොකක්ද? මට නැති වෙන්න දෙයක් තිබිලා ඌට නැති වෙන්න දෙයක් නැති වුන එකද?

අසරණ කමට හමුදාවට බැඳුන කොල්ලො බල්ලො බලල්ලු වගේ මැරිච්ච හැටි වීරත්වයට ඔසවමින් අල්ලාප සල්ලාප වල යෙදෙන මිනිස්සු,

යුද්ධයට මැදිවෙලා මහ රෑ වෙඩි හඬට බයේ කැලෑ අස්සට බංකර් අස්සට දුවන්න වුන.. කොයි වෙලේ ඔලුවට බෝම්බයක් වැටෙයිද පපුව පසාරු කරගෙන උණ්ඩයක් යයිද කියල නොදැන නින්දට යන්න වුන උතුරෙ ජීවත් වුන දෙමළ වැසියන් ගැන කවදාවත් කතා නොවෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ.

දශක ගාණක් පුරා දේශපාලන වාසි තකා ජාතිවාදය යොදාගත්ත දේශපාලකයන් සහ ඔවුන් පෝෂණය කරන ලද ජාතිවාදී ආකල්ප කරේ තියාගත්ත ජනතාවක් කල පව් වලට අපේම සමාජයේ දුප්පත් කොල්ලො ලේ, දහදිය, කඳුළු, ජීවිත වලින් වන්දි ගෙවපු හැටි ගැන වීරත්වයට ඔසවලා කතා කරන්නේ කොහොමද කියල මට තේරෙන්නේ නෑ.

දුප්පත් කමට හමුදාවට බැඳිල ඉහළ නිලධාරීන් අතින් මොළශෝදනයට ලක් වෙලා අණට කීකරු රොබෝවක් බවට පත් වන සිංහල තරුණයා සහ ත්‍රස්තවාදීන් අතින් කුඩා කාලයේදීම පැහැරගනු ලැබීමෙන් පසු ත්‍රස්තවාදීන් අතින්ම මොළශෝදනයට ලක්ව සයනයිඩ් කරලක් ගෙලේ රඳවා ගන්නා දෙමළ තරුණයා අතර වෙනසත් මට තේරෙන්නෑ. ඒ අසරණයෝ දෙන්නාම කරන්නේ වෙනත් පාර්ශවයක දේශපාලන අවශ්‍යතාවයක් වෙනුවෙන් ජීවිතය දෙන එක. වෙන මිනිස්සුන්ගේ පව් කරගන එක.

ත්‍රස්තවාදීන්ගේ උණ්ඩ, බෝම්බ වලින් පීඩනයට පත් වෙලා තමන්ගේ ජීවිත ගැන බයෙන් හිටිය සිංහලයන්ගේ හැඟීම් සහ උතුරේදී යුද්ධයට මැදි වෙලා දවසේ පැය විසිහතරම එකිනෙකා මරා ගැනීමේ අරමුණින් අවිගත් දෙපිරිසක් අතරට මැදි වුන දෙමළුන්ගේ හැඟීම් අතර වෙනස මට තේරෙන්නෙනෑ.

එකම රටක මිනිස්සු බල අරගලයක් නිසා කැති පොලු අරගෙන එකිනෙකා කොටා ගද්දි, තමන්ගේ පිරිසේ උන් අනික් පිරිසේ උන්ව කැති ගෑ අපූරුව ගැන පාරම්බාන්නේ කොහොමද කියලා මට තේරෙන්නෑ.

එකම රටක මිනිස්සු අතර ඇති වුන මත ගැටුමක් අවසානයේ එකිනෙකා මරා ගැනීමෙන් විසඳා ගැනීම එකම විකල්පය බවට පත් කරගෙන ලෙයින් සහ දෙපිරිසේම මිනීකඳු වලින් ඉවර කරන්න වුන එක ගැන අභිමානයක් එන්නේ කොහොමද කියල මට තාම තේරෙන්නෑ.

අපේම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මියගිය අපේම තරුණයන්ගේ ජීවිත පිළිරුවකට හිලව් කරල හන්දියක් මැද්දේ හිටෙව්ව පලියට ඒ නැතිවුන ජීවිත ගැන වගකීමෙන් අපි නිදහස් වෙලා ඒ ජීවිත නැති වුන හැටි ගැන වීරකතා කියන්න අපිට අයිතියක් ලැබෙන්නේ මොන ධර්මයකට අනුවද මොන ආගමකට අනුවද මොන සදාචාරයකට අනුවද කියල මට තේරෙන්නෙ නෑ.

මිනිස්සු යුද්ධය ගැන වීරකතා ආසාවෙන් කතා කරන එක ගැන මගේ හැඟීම ඕකයි.

කලින් කිව්වා වගේ,

මගේ මොකක් හරි අවුලක් වෙන්නැති.

http://magewalpal.blogspot.com/2017/10/blog-post_23.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල