කාලීන සංවාද

කූඹියෝ ටෙලිවෘතාන්තය නිසා සිහිපත් වූ නරුම කතාවක් – White collar ants

0

මා කියන්නට යන මේ සිදුවීම කලකට පෙර වූවකි. ඒ කතාව ඇසීමේ අත්දැකීම මා ලද්දේ ද මීට වසර එකහාමරකට පමණ පෙර ය. ඉඩ ලද විටක ඒ ගැන ලියා රසිකොලොජියේ පල කරන්නට සිතා සිටි නමුත්, එය ක්‍රමයෙන් අමතක වී ගොස් තිබී, මේ දිනවලට ෆේස්බුක් සහ බ්ලොග් අවකාශවල දිග හැරෙන කූඹියෝ නම් ටෙලි වෘතාන්තය පිළිබඳ කතා බහ නිසා අද උදෑසන යළි සිහිපත් විය.

නොසිතා ම, සැලසුමකින් තොරව බ්ලොගයට මා දුන් දිගු විරාමය අවසන් කර දමන්නට මෙය හොඳ අවස්ථාවක් බව පෙනේ.

මෙන්න කතාව.

පසුගිය වසරේ ලංකාවේ දී අප තරමක් දන්නා හඳුනන පවුලක සාමාජිකයින් පිළිබඳ යාන්තමින් සඳහනක් කෙරුණු අවස්ථාවක, “කොහොමද දැන් ඒ අයට?” යැයි මම එතැන සිටි අයගෙන් විමසීමි.

“ඒ ගොල්ලන්ට පහුගිය දවස්වල පොඩි කරදරයක් වෙලා තිබුණා නේ. දැන් නම්, ඒක විසඳිලා වගෙයි!” යැයි පිළිතුරු ලැබුණි.

“මොකක්ද ඒ කරදරය?”

“ඒ පවුලේ ළමයෙක් පොඩි වංචාවකට අහුවුණා නේ!”

“ඉතිං?”

එදා මා අසා දැනගත් පරිදි සිදුවීම මෙයයි.

මේ පවුලේ තරුණයෙකු, රාජ්‍ය අනුබද්ධ ආයතනයක සේවයේ නිරතව සිට ඇති අතර එහි දී ඔහු මුදල් වංචාවක් සිදු කර ඇත. පොඩි වංචාවක් යැයි මට කියූවද හොරකමේ වටිනාකම රුපියල් ලක්‍ෂ පහකි. චංචා කළ මුදල කොටස් පහකට බෙදු ඔහු, කාර්යාලය අසලම පිහිටා ඇති බැංකු ශාඛාවකට ගොස්, තමා ද ඇතුළුව තම පවුලේ පස් දෙනෙකුගේ නම් යොදා ගිණුම් පහක් අරඹා ඒ මුදල් තැන්පත් කර ඇත.

බොහෝ විට ඒ නිසා ම, මේ වංචාව පිළිබඳ සොයා බැලූ අයට, ඒ සියලු විස්තර ලේසියෙන් ම සොයා ගැනීමට හැකි වී ඇත් අතර, වංචා කළ මුදල් ද, සාක්‍ෂි සමගම ආපසු ලබා ගැනීමට හැකි වී ඇත.

කෝටි ගණං වංචා කෙරෙන රටේ සිදු වූ මේ කතාවේ ඇති මහ ලොකු වැදගත්කම කුමක්දැයි දැන් ඔබ සිතනවා විය හැක.

මට එහි වැදගත්කම ඇත්තේ ඒ පිළිබඳව විස්තර ඉදිරිපත් කෙරුණු ආකාරයේ ය.

“අනේ බලන්නකෝ මේ වගේ ළමයෙක්. එක ම බැංකුවේ එක ම දවසේ, තමන්ගේ ම පවුලේ අයගේ නමින් සල්ලි දාලා නේ. ඒ හින්දා තමයි ඒ ළමයා ඒ අහුවෙලා රිමාන්ඩ් එකට වැටුණේ.”

ඒ විස්තර ප්‍රචාරය ඇසූ මට අසූ හාරදාහට කේන්ති යාම පුදුමයක් නොවී ය.

ඒ බව සඟවා ගත් මම මෙලෙස ඇසූවෙමි.

“අපරාදේ නේද? ඒ සල්ලි ටික කාලයක් යනකං හංගලා තිබ්බා නම් හරි ඕනෑම නම් ටික ටික පොලියට දුන්නා නම් හරි ඔහොම අහුවෙන්නේ නෑ නේද?”

මගේ ලණුව කෑ එතැන සිටි දෙදෙනා මගේ කතාව අනුමත කරන ආකාරයේ හඬ නැගූ හ.

මම නැවතත් කට ඇරියෙමි.

“අනේ ඇත්තටම ඔය ගොල්ලෝ හිතන විදිහ නම් මට අදහා ගන්න බෑ. මහජනතාවගේ සල්ලි ලක්‍ෂ පහක් හොරකම් කරපු අමු හොරෙක් ගැන කියන කොට ඔය ගොල්ලෝ කතා කරන්නේ උගේ හොරකම ගැන කේන්තියෙන් නොවෙයි, ඌ අහුවුණු එක ගැන දුකෙන් විතරයි නේද? ඇත්තටම ඔයගොල්ලෝ ලැජ්ජා වෙන්න ඕනෑ ඒ ගැන.”

වරද වැටහීම නිසා දෝ ඒ කතාව එතැනින් නතර වුණි.

මේ පිළිබඳ වැඩිදුරටත් කල්පනා කරන විට මට සිතුණේ ලංකාවේ ජනතාව රටේ කෙරුණු සහ කෙරෙන දූෂණ, වංචා, හොරකම් ප්‍රමාණය නිසා ම, නිතර දකින කුකුළා ගේ කරමල සුදට පෙනීමේ පාරාන්ධ තත්වයට පත් වී ඇති බවයි. හොරකමක් ගැන ඇසූ විට, ඒ ගැන කෝපයක් ඇති නොවී හොරා සහ හොර බඩු අසුවීම ගැන කණගාටුවක් ඔවුන්ට ඇති වන්නේ ඒ නිසා ය.

අසාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් ගැන කණගාටු වෙනවාට අමතරව, ඔවුන් සාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් පිළිබඳව සතුටට ද පත්වෙති.

සූක්‍ෂ්ම ආකාරයෙන් හොර මැරකම් කරන, දුෂණයේ වංචාවේ යෙදෙන ජෙහාන් නම් චරිතය වටා ගෙතුණු කුඹියෝ නම් ටෙලිවෘතාන්තයේ ජනප්‍රියත්වයට ඉහත කාරණය එක් හේතුවක් විය යුතු ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ නාට්‍යයේ අවසානයේ කුමක් සිදුවිය යුතු ද යන කාරණය පිළිබඳව ද සයිබර් අවකාශයේ සාකච්ඡා කෙරෙනු මම දුටුවෙමි.

සමහරු පවසන්නේ මේ කතාව යතාර්ථවාදී වීමට නම් ජෙහාන් නම් හොරා, වංචනිකයා, දුෂිතයා ලංකාවෙන් පලා ගොස් ගැළවෙනවා පෙන්විය යුතු බවයි. ඒ යතාර්ථය කෙසේ වෙතත්, තම වීරයා කෙසේ හෝ නීතියෙන් ගැළවෙනවා දකින්නට කැමති ප්‍රේක්‍ෂකයින් කොටසක් සිටින බව නම් සැකයකින් තොරව පැවසිය හැක.

http://rasikalogy.blogspot.com/2017/10/white-collar-ants.html

ප/ප/ලි:
කූඹියෝ ටෙලි වෘතාන්තය පිළිබඳව ලියවුණු තවත් ලිපි දෙකක් මෙන්න.

1. කූඹියන්ගේ ගේම කුමක්ද?

2. කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල