දේශපාලන

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ වර්තමානය සහ අතීතය

0

පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නට ඕනෑ ය කියා විමල් වීරවංශ කියපු එකත් එක්ක ඒ පක්ෂේ ඇතැම් අයටත් උදහස් වෙලා. ඔය පියසිරි විජේනායක කියන්නෙත් එයා කියන විදියට අසූනමයෙ කැරැල්ලේ හිටපු කෙනෙකු නිසා පාර්ලිමේන්තුවට බෝම්බ ගැහිල්ලට එයත් සම්බන්ධයි.

විමල්ට නම් පාර්ලිමේන්තුවට බෝම්බ ගැහිල්ල එක්ක නෑකමකුත් තියෙනවා. හේතුව ඔහු විවාහ වී ඉන්නෙ පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවා ය කියා චෝදනා එල්ල වුණු අජිත් කුමාරගේ නංගි එක්ක නේ.

අජිත් කුමාර පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු බව අධිකරණයේ ඔප්පු වුණේ නැහැ. ජවිපෙ සාමාජිකයකු වූ ඔහු පාර්ලිමේන්තුවට ආහාර සපයපු සමාගමක සේවකයකු ලෙස වැඩ කරමින් සිටියා. බෝම්බ ප්‍රහාරයෙන් පසු සැඟවී සිටි ඔහු මාස ගණනකට පසු ඔහු අත්අඩංගුවට පත් වුණේ නාවුල පැත්තේදී කසිප්පු වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට බියේ දුවද්දීයි.

මේ නඩුව ඔප්පු නො වුණ නිසා තියරිකාරයන්ට කියන්න පුළුවන් ඒ බෝම්බය ගහගත්තෙ ජේආර් ම ය කියලා. හරියට අර තමන්ට බෝම්බ තියාගෙන ඇහැක් අන්ධ කර ගත්තෙ චන්ද්‍රිකා ම ය කියලා වික්ටර් අයිවන් කිව්වෙ. අන්න ඒ වගේ.

කෙසේ වෙතත්, ඔය සිද්ධිය ගැන මං දන්න කතාවක් කියන්නම්. පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු 1987 අගෝස්තු 18දා වන විට මං ජවිපෙ පූර්ණකාලිකයෙක්.

1987 ජුලි 29 අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ජවිපෙ නායකත්වයෙන් දැවැන්ත කැරැල්ලක් ගැහුවා. ඒත්, එය හදිසියේ ඇති වූ තත්වයක් නිසා ජවිපෙ ඒ අවස්ථාවේදී බලය ගන්නට සූදානම් වී සිටියේ නැහැ.

අගෝස්තු 18දා තමයි ගිවිසුමෙන් පසුව පාර්ලිමේන්තුව රැස් වෙන්නට නියමිත වුණේ. බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ ඊට කලින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස් වී සිටියදීයි. බෝම්බ ප්‍රහාරය එල්ල කරපු කෙනා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ අගමැති ආර්. ප්‍රේමදාස අසුන් ගෙන සිටි පුටුවලට ඉදිරියෙන් මේසය මත වැදී විසි වී යන්නට අත් බෝම්බ දෙකක් එල්ල කළ බව තමයි වාර්තා වුණේ.

දෙනියාය මන්ත්‍රී කීර්ති අබේවික්‍රම එයින් මිය ගියා. ඇමති ලලිත් ඇතුලත්මුදලි බරපතල තුවාල ලැබුවා. තවත් නිලධාරියකු ද මරණයට පත් වුණා.

මේ බෝම්බ ප්‍රහාරයේ වගකීම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් භාර ගත්තා. එය ජවිපෙ සන්නද්ධ අංශය විසින් පාවිච්චි කරන ලද නමක්. ඒ නම පාවිච්චි කරනු ලැබුවේ පක්ෂය ලෙස ත්‍රස්ත ක්‍රියාවල වගකීම භාර නො ගැනීම පිණිසයි.

1987 අගෝස්තු 18දා රාත්‍රියේ රට පුරා දැවැන්ත හර්තාලයක් සැලසුම් කර තිබුණා. රට පුරා ජවිපෙ සාමාජිකයන් එදා රෑ පාලම් බෝක්කු පුපුරවන්නට, විදුලි බල පද්ධතිය බිඳ දමන්නට හා තවත් බොහෝ දේවලට සූදානම්ව සිටියා. මේ සූදානම කළේ සතියකට පමණ පෙර සිටයි. ඒ අනුව පැහැදිලියි මේ බෝම්බ ප්‍රහාරය කල් තබා සැලසුම් කර තිබුණු එකක් බව.

ඒ ජාතියේ බෝම්බයකින් මුළු ආණ්ඩුව ම විනාශ කරන්නට පුළුවන් බව තමයි ජවිපෙ සන්නද්ධ අංශයේ තක්සේරුව වුණේ. දෙකක් ම ගැහුවේ වැඩේ සම්පූර්ණයෙන් ම අහවර කර ගන්නට වෙන්න ඇති. ආණ්ඩුවේ නායකයන් එසේ ඝාතනය කිරීමත් එක්ක ඇති වන අරාජික තත්වය තීව්‍ර කරමින් කැරැල්ල ඉදිරියට ගෙන ගොස් බලය ඇල්ලීමේ උත්සාහයක් ජවිපෙන් තිබුණා. සන්නද්ධ හමුදාවල සාමාජිකයන් ජවිපෙට සහයෝගය දෙනු ඇතැයි ජවිපෙ බලාපොරොත්තු වුණා.

එහෙත්, බෝම්බ ප්‍රහාරය අසාර්ථක වීමත් එක්ක ම මේ සියල්ල හකුළා ගන්නට ජවිපෙට සිදු වුණා.

අජිත් කුමාරට එරෙහිව සාධාරණ නඩු විභාගයක් පැවැත්වුණා. විනිසුරු ආනන්ද ග්‍රේරෝ සියලු සැකකරුවන් නිදහස් කළේ පැමිණිල්ල විසින් සැකයෙන් තොරව නඩුව ඔප්පු කර නැති බව කියමිනුයි. නීතිපති මේ තීන්දුවට එරෙහිව අභියාචනා කළත් එයත් ප්‍රතික්ෂේප වෙනවා.

නඩුවලදී අජිත් කුමාර වෙනුවෙන් පෙනී සිටියේ එකල ජ්‍යේෂ්ඨ නීතිඥවරයකු හා ශ්‍රීලනිප ප්‍රබලයකු වූ සුසිල් මුණසිංහ සහ පසු කලෙක ඇමතිවරයකු වූ සුසිල් ප්‍රේමජයන්තයි.

දෙමළ සැකකරුවන්ට වගේ පොලිසියට දුන් කටඋත්තරය ප්‍රබල සාක්කියක් ලෙස ඉදිරිපත් කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ සැකකරුවන්ට නඩු පැවරුවේ නැති එකත් විශේෂ තත්වයක්. පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවත් ඉතින් උන් සිංහල කොල්ලන් නිසා වෙන්න ඇති. විනිසුරුවරුන් වුණත් ඉතින් දෙන්නං ජම්බු කියල හිතන්නෙ නැහැ නේ. මොක්කු වුණත් සිංහල කොල්ලො නේ.

ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ බවට චෝදනා එල්ල වුණ අජිත් කුමාර නිදහස් වෙලා ජවිපෙ දේශපාලනයට එකතු වෙනවා. ඔහු ජවිපෙ නාමික දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් නම් කෙරෙනවා. ඒ වුණාට ඇත්ත දේශපාලන මණ්ඩලයේ සිටියේ නැති බවයි දැනගන්නට තිබෙන්නේ. ඇත්ත එකේ හිටියෙ ඔය කුමාර් ගුනරත්නම්ලා එහෙමලුනෙ. අජිත් කුමාර තමන් දේශපාලන මණ්ඩල සභිකයකු නම් ඒ තීරණ ගැනීමේ ක්‍රියාවලියට තමන් සම්බන්ධ විය යුතු බවට තර්ක කිරීමත් ඔහුට ඉක්මණින් පක්ෂයෙන් ටිකට් එක ඇදෙන්නට හේතු වූ බව සැළයි.

පස්සෙ කාලෙක ඔහු ඉන්දු ලංකා ගිවිසුම යටතේ පිහිටුවන ලද පළාත් සභාවක (සබරගමුව) මහ ඇමති වෙන්නත් ජවිපෙන් තරග කළා.

1987 කාලෙ ජවිපෙ ශිෂ්‍ය අංශයේ පූර්ණකාලිකයකු වූ විමල් වීරවංශ අත්අඩංගුවට පත් නො වී සිට, පසුව හිරු පුවත්පත හරහා ජවිපෙ දේශපාලනයට පිවිස දිගු ගමනක් ගිහින් අවුරුදු 30කට පසුව නැවතත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැහීම ගැන කතා කරනවා.

ඒ වුණාට ඇත්ත උප්පැන්න සහතිකය අනුව දැන් වයස අවුරුදු හතළිස් පහත් පැනපු කොල්ලකු වන විමල් වීරවංශ අවුරුදු විස්සක් විතර එක දිගට හිනා නො වී, පුම්බගෙන, ඇඳගෙන ඉඳීමේ පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස පසුගියදා හෘදයාබාධයකට ලක් වෙනවා.

අපේ පැරණි මිතුරාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ගමන් මින් ඉදිරියට හෝ සරලව සැහැල්ලුවෙන් ජීවත් වීමට ලැබේවා යි ද පතනවා.

http://www.w3lanka.com/2017/10/blog-post_25.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල