කාලීන සංවාද

ජාතික ප්‍රශ්නය හා ආර්ථික ප්‍රශ්නය ගැන වැඩිදුරටත්

Off

ප්‍ර‍ගතිශීලීන් ජාතික ප්‍ර‍ශ්නය පිළිබඳ සංවේදී විය යුත්තෙ පවත්නා තත්වයන්ට අනුවයි. එහෙම නැතුව සියලු ජාතීන්ට එක ම ප්‍ර‍තිපත්තියක් කියන එක කවුරුවත් අනුගමනය කරපු එකක් නෙමෙයි. ලෙනින්, ට්‍රොට්ස්කි, රෝසා ලක්සම්බර්ග් වැනි අය පවා ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම වැනි සංකල්ප හුදු මූලධාර්මික පිළිගැනීම් බවට පත් නො කර, එ්වා ඒ ඒ රටවල තිබෙන තත්වයන් තුළ කම්කරු පන්තිය මත පදනම් වූ ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක උවමනාවන් මත පදනම් කළ හ.

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයෙහිදී පවා වම දෙමළ ජාතික ප්‍රශ්නය වෙත තබන බර හා සමාන බරක් මුස්ලිම් ප්‍රශ්නය වෙත තබන්නේ නැත.

ජාතියක් යනු කුමක් ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් පවා නිශ්චිත සූත්‍රයක් නැත. ජාතියක හිමිකම පිළිගැනීම පවා සිදු වී තිබෙන්නේ ජාතික අරගලයන්ගේ තත්වය මත ය.

එහෙව් තත්වයක් තිබියදී අප ද ජාතීන්ගේ ප්‍රශ්නය ගැන සලකා බැලිය යුත්තේ වර්තමාන තත්වයන්ට සාපේක්ෂව ය. වර්තමාන තත්වයන් කිසි සේත් ම කොටි සංවිධානය බලවත් ව සිටි 2009ට පෙර පැවති තත්වයන්ට සමාන වන්නේ නැත.

දෙමළ ජාතියේ ජාතික අභිලාෂයන් ද දෙමළ ජාතිය අතර වඩා බලවත් පන්තිය වන දෙමළ මධ්‍යම පන්තියේ ගොඩනැගීම් වේ. ලෝක දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ රාජ්‍යයක් ඔවුන්ට අවශ්‍ය කර තිබේ. ඒ ලෝක දෙමළ නායකත්වය ලංකාවේ යාපන දෙමළ මධ්‍යම පන්තිය අත තබා ගනිමිනි. විසුවනාදන් රුද්‍රකුමාරන් අගමැති වෙමින් පිහිටුවන ලද දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩුවෙහි මූලික අරමුණ එයයි. එහෙත්, එය විශාල දෙමළ ස්වදේශික ප්‍රජාවන් ජීවත් වන තමිල්නාඩුව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල පඩයක් තරමට හෝ ගණන් ගැනෙන්නේ නැත.

සාමාන්‍ය සිංහල හෝ දෙමළ හෝ මිනිසුන්ට දෘෂ්ටිවාදයන්ට වඩා වැදගත් වන්නේ ආර්ථික සුරක්ෂිතභාවය, සතුට, නිරෝගීකම වැනි දේවල් ය. එහෙත්, දේශපාලනය යනු මැනිපියුලේට් කිරීමක් හෙවත් පොදු ජනතාව කිසියම් සමාජ කණ්ඩායමක උවමනාවන් වෙනුවෙන් කඩේ යවා ගැනීමකි. ජනතාවගේ දේශපාලන ප්‍රකාශනය වන්නේ දේශපාලකයන්ගේ උවමනා ය. එහෙම නැතුව ජනතාවට තමන්ගේ ම කියලා හඩක් නැත.

ඩයස්පෝරා දෙමළ ජනයාගේ සත්‍ය උවමනාවන් වන්නේ ඊනියා දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩුවෙහි උවමනා නො වේ. එසේම, ලංකාවේ දෙමළ ජනතාවගේ උවමනාවන් වන්නේ ද සිවාජිලිංගම් හෝ විග්නේශ්වරන් හෝ වැනි අන්තවාදීන්ගේ උවමනාවන් නො වේ.

මෙම කාරණය මේ අන්දමින් ම දකුණට ද අදාළ ය. ලංකාවේ සිංහලයන්ගේ සැබෑ උවමනාවන් වන්නේ අන්තවාදී මහණුන්ගේ හෝ මහනායකයන්ගේ හෝ මහින්ද රාජපක්ෂ කල්ලියේ හෝ උවමනා එපාකම් නො වේ.

සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව, ලංකාවේ පොදු ජනතාවට ඇත්තට ම උවමනා ප්‍රමුඛතම අවශ්‍යතා වන්නේ මා කලින් ද කී ආර්ථික සුරක්ෂිතභාවය, සතුට, නිරෝගීකම වැනි දේ ය.

විසඳිය නො හැකි ජාතික ප්‍රශ්නයක එල්ලෙනවාට වඩා මේ මොහොතේ ආණ්ඩුවේ අවධානය යොමු විය යුත්තේ ආර්ථිකය වෙතයි. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලට වඩා මේ මොහොතේ අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයි. ජන ජීවිත සුරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඒවා අත්‍යවශ්‍ය ය.

http://www.w3lanka.com/2017/10/blog-post_48.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල