අතීතකාමය

තොරණ හෙවත් Pandol – 7 වලිය

0

ලිපෙන් බාපු හැලියකින් පිඟානට බෙදපු මයියොක්කා කෑලි ටිකක් වගේ අපිත් ඇඟේ දාඩිය නිවෙනකං බලාගෙන ඉන්නව. ඒ අතරෙ අපේ පියසේන මාමා විතර උස මිනිහෙක් ඔලුව වටේට ගැටගහපු පටියකිං අංගවිකල වෙච්චි බැලුම් බෝල වගයක් ඔලුව වටේ හයිකරගෙන කෑ ගහනව.

“පොඩි බබාගෙ විනෝදේ…. පොඩි බබාගෙ විනෝදේ…. බබ්බු බබ්බු බබ්බූ….”

මේක ඇහිච්චි ගමං මේ නං අපේ ළමයට අරන් දෙන්න ඕනිම දෙයක් කියල හිතන අම්මලා තමුංගෙ ළමයිංගෙං මෙහෙම අහනව.

“බොට ඕන්ද එකක්”

අපේ අම්මත් ඒක මගෙන් අහනව.

“එපා”

මං කියනව. අනික් ළමයිත් එහෙමම කියනව ඇති.

“අර අනික්වෑං එකක් ඇරං දෙන්නං”

බැලුංකාරය ගාව තියෙන තැඹිලිපාට බැලුං බෝල තුන හතරක් දිගටි බැලුමකිං අමුණපු “තැඹිලි වල්ලක්” කියල කියන තවත් ඒ වගේ බැලුං සුකුරුත්තමක් පෙන්නල අම්ම අහනව.

“මටේපා ඒ හොරි පොකුර”

මං අඩිය පොලවෙ හප්පල කියනව.

“හිටාං තොට කිසියාම්ම කිසිදෙයක් ඇරං දෙන්නෑ. අම්පා”

අම්මා ආච්චිඅම්මව ඇපේට තියල දිවුරනව.

ළමයි ඉතාම සතුටට පත්වෙන පැනි රහ කෑම ජාති, බීම, අයිස්ක්‍රීම් වගේ කෑමක්වත්, වයිං කරන, බැට්ටි කෑලිවලින් වැඩකරන සෙල්ලං බඩුවක්වත් අරන් දෙන්න මේ වගේ ඇඟිල්ලෙං ඇනල අහන්නෙ නැති මහ අය කිසිම වැඩකට නැති මේ වගේ බහුබූත අරන් දෙන්න නං සෑහෙන මහන්සි වෙනව. ඒ විතරක් නෙවෙයි ඒවා සෙල්ලං බඩු විදිහට පිළිගන්න කියලත් තර්ජනේ කරනව.

“වෙනිං කිසියම්ම කිසි දෙයක් අරං දෙන්නෑ” කියල තර්ජනය කරල බොහොම අමාරුවෙන් එයිං එකක් අරගන්න නෝනක්කව කැමති කරගන්න චන්දරෙ මාමලෑ නැංදට පුළුවං වෙනව. අපි හැමෝම ගිහිං බැලුංකාරයව වට කරගන්නව.

“ඕකක්කීයද?”

“බබෙද්දායයි, තැඹිලිවල්ලප්පාලවයි”

“බබෙද්දෙන්න”

බැලුංකාරයගෙ ඉන වටේට පැකැට් කීපයක් එල්ලල තියෙනව. බැලුංකාරය කිහිල්ලෙ ගහං ඉන්න හුලං පොම්පෙ අගිස්සට අර පැකැට්ටෙහෙකිං ගත්තු බැලුම් බෝලයක් අරගෙන හයිකරලා හුලං ගහනව. බැලුම්බෝලෙත් ගහ්ලබු ගෙඩියක් වගේ දිගටියට පිම්බෙනව. වෙලෙන්දා බැලුම පොම්පෙං ගලෝල අරං හුලං පිටවෙන්න නොදී කට හිර කරගන්නව. ඊළඟට තව පැකැට්ටෙකකිං ගන්න දියකූඩැල්ලෙක් විතර හීං බැලුමකටත් හුලං ගහනව. හුලං පාරවල් තුනෙං දියකූඩැල්ලා ගැඩවිලෙක් වෙලා, අහරකුක්කෙක් වෙලා, කොහු මිටක් විතර මහත වෙනව. ඒ වගේ දිය කූඩැල්ලො දෙන්නෙක් කොහු මිටි කරලා ගන්න වෙලෙන්දා කලිං පුම්බපු ගස්ලබ්බෙ අගිං ඩිංගක් මෙහා හරියෙං අල්ලල මිරිකලා හීං කරනව. ඊළඟට ඒ හීං වෙච්චි තැනට එක දිගටි බැලුමක මැද හේත්තු කරලා දෙකොන ඒ වටේට පටලවනව. අනික් දිගටි බැලුමත් අරගෙන ගස්ලබ්බෙ හුලං ගහපු කට ගාවටඑක කොනක් තියලා පටලවනව.

අපි බලා ඉන්දැද්දිම වෙලෙන්දා බබෙක් හදල ඉවරයි.

“ආ”

මේ අරුම පුදුම සුකුරුත්තම නෝනක්කගෙ ඇඟේ ගහන වෙලෙන්දා චන්දරෙ මාමගෙ අතේ තියෙන රුපියල් දහය ඇදල ගන්නව. මේ මොන ජාතියෙ සතෙක්ගෙ බබෙක්ද කියල හිතාගන්න බැරුව නෝනක්ක වටපිට බලනව. නෝනක්කා මේ සුකුරුත්තමට අකමැති වෙන බවක් දකින චන්දරෙ මාමලෑ නැන්දා

“ආනේ….. මේක නං හරිම ලස්සනයි. කාටවත් දෙන්නෙපා.”

කියලා තමුං මේ අරං දුන්නෙ ලෝකෙ තියෙන ලස්සනම සෙල්ලං බඩුව බව නෝනක්කට පෙන්නන්න හදනව. අපේ අම්මත් පුලුවං තරං කට ඇරලා පුදුම වෙච්චි බවක් පෙන්නලා ඒ තරං අලංකාර සෙල්ලං බඩුවක් කිසියම්ම කිසි තැනක නැති බවත් “මේ මූට ඒකක් ගන්න පිනක් නැති” බවත් කියලා චන්දරෙ මාමලෑ නැන්දට උදව්වෙනව.

“ඒ උනාට මේකෙ කකුල් නෑනෙ”

මගෙ කට ඇරෙනව. එතකොටම අපේ අම්මා මගෙ කට මිරිකල සද්දෙ වහනව. අන්තිමට මේ තරං අය කියන එකේ තමුන්ට හම්බුවෙලා තියෙන්නෙ ලෝකෙ තියෙන හොඳම සෙල්ලම් බඩුව වෙන්නැති කියල හිත හදාගන්න නෝනක්කට පුළුවං වෙනව.

“අඟහරු ලෝකයෙන් පැමිණි කුරුමිට්ටන්ගේ සංදර්ශනය. එන්න නර්රඹන්න. ප්‍රීතිවන්න”

තව තැනක තියෙන කඩ කාමරයක් ඉස්සරහ බැඳල තියන හතරැස් පීකර කටක් කෑ ගහනව. චන්දරෙ මාමලගෙ නැන්දට බය වෙන්නට තියෙන එකම හේතුව වන හුලං බබා ගැන මගේ අදහස් දැක්වීම හුළඟෙ යනවා. මට කුරුමිට්ටො බලන්න ඕන වෙනව. යන්තං ඉස්කෝලෙං අයිං වෙච්චි ගමං සල්ලි හම්බු කරගෙන දුරදක්නයක් අරං වහලෙ උඩ හයිකරගෙන “කඹරු ඉකෙයා” වගේ වෙන්න හිතා ඉන්න මට, විජය පත්තරේ මැද පිටුවල තිවිච්චි ඇපලෝ රොකට් සනුහරේම පොතක අලෝපු මට, අඟහරු ලෝකෙං ආපු කුරුමිට්ටො බලන්න නොයා ඉන්න පුළුවන්ද?

“අම්මෙ යං අම්මෙ”

“කොහෙද”

“කුරුමිට්ටො බලන්න”

“අනෙක් කටවහං හිටාං.”

“අනෙ යංකො. එක පාරක් යංකො.”

“මයෙ ගාව සල්ලි නෑ”

“අනෙ තීනොව. අර බැලුංබෝල ඇරං දෙන්නං කිව්වෙ. ඒ සල්ලි ඔලිං යංකො.”

“කටවහං”

“මං ලොකු වෙච්චි ගමං සල්ලි හම්බු කොල්ල ඒ සල්ලි දෙන්නං”

අපි දෙන්නගෙ වාදෙ මැද්දට චන්දරෙ මාමලෑ නැන්ද පනිනව.

“මොකදක්කෙ”

“මේ මුට කුරුමිට්ටො බලන්න යන්න”

අම්මට කලිං මං උත්තර දෙනව. මගෙ කට වහන්න නියම වෙලාව මේක බව හිතන චන්දරෙ මාමලෑ නැන්ද මගෙ පැත්තට උදව්වට එනව.

“යං අක්කෙ ඒකත් බලන්න”

මිනී පෙට්ටිවල මිනිය වටේට දාන බලුප් වැල් දෙක තුනක්ම වටේට එල්ලපු දොරක් ගාව ඉන්න මිනිහෙක් අඟහරු ලෝකෙට යන්න අපෙං සල්ලි ගන්නව.

“හැමෝම දික් කොරන්නෙ සීයෙ කොල, කවුරුවහ්ම මාරු සල්ලි ගේන්නෑ”

මිනිස්සුන්ට බැණ අඬගහන ගමන් ඉතුරු සල්ලි බේරන අඟහරුවා අපිව කඩේ ඇතුලට තල්ලු කරනව.

“දොරකඩ ටැක්ගැහෙන්නැතුව ඇතුල්ට යනවලා.”

කඩේ ඇතුළ කිරි නැන්දගෙ දේවාලෙ වගෙයි. කිරිනැන්දගෙ දේවාලෙ ඇතුලෙත් ඉන්න රත්තරං බඩු පැළඳගෙන සාරි ඇඳපු දෙයියො එක්කොමත් තිර රෙද්දකිං වහල ඉන්නෙ. ඒ වගේම මෙතනත් පියං හතරෙ ජනේලයක් විතර කොටහක් තිරේකිං වහල තියෙන්නෙ. දොරකඩ ඉන්න මිනිහා බැන බැනා කඩේ ඇතුලට තල්ලු කරන සෙනග පැන්සල් ඇහිරුවා වගේ පිරිලා ඉඩක් නැතිම වෙනකොට මිනිස්සු කෑ ගහන්න පටං ගන්නව.

“අපික් කුරුමිට්ටො කියල හිතුවදෝයි. මේකස්සෙ වෙන ඉඩ නෑ…”

එතකොට දොරකොඩෙං ඔලුව ඇතුලට දාන අඟහරුවා ඒකට උත්තර දෙනව.

“බැයිනං යනව යන්න. හැබැයි සල්ලි අහපහු දෙන්නෑ”

අන්තිමට දොර උලුවස්සෙං ඇතුලට මනුස්සයෙක්ව රිංගවන්න බැරිවෙන තරම් පිරුණට පස්සෙත් එක මිනිහෙක්ව දොරකඩ වැහෙන්න තියන අඟහරුවා එලියෙ ඉඳං දොර වහනව. දොරකඩ හිටපු මිනිහව මිරිකිලා ඇතුලට විසිවෙනව. ඒ විදිහට සම්පූර්ණයෙං වහපු කාමරේ ඇතුලෙ කසාය මුට්ටියක් ගානට රත්වෙනකොට, පොඩි ළමයි දෙතුන් දෙනෙක් අඬන්න පටං ගන්නකොට එකපාරටම සද්දයක් ඇහෙනව.

“හූ…චු…හූ…චු….හූ…චු..හුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචු”

ඒත් එක්කම තිරේ දෙපැත්තට ඇරෙනව. ඉපදිලා සතියක්වත් නැති පොඩි ළමයි තරං උස මිට්ටො තුන්දෙනෙක් මගෙ කොට කලිසං විතර දිග දික් කලිසනුත් ඒ තරම්ම කොට කමිසත් ඇඳලා දනිස්ස ගාවට විතර උස සපත්තු දාලා ඔලුවටත් හෙල්මට් දාගෙන තිරේ පිටිපස්සෙං මතුවෙනවා. ඒ හෙල්මට්වලිං ඒරියල් කූරු දෙක ගානෙ දික්වෙලා. හෙල්මට් වලයි ඒරියල් කූරුවලයි හැමතැනම අස්සජි හාමුදුරුවො හදාදිපු බුදු රැස්මාලාවෙ ජාතියෙ පාට පාට කලාමැදිරි බලුප් නිවි නිවී පත්තු වෙනව.

හුචුහුචුව නැවතිලා සිංදුවක් පටං ගන්නව. ඉස්සරහ ඉන්න අය කුරුමිට්ටංව හොඳටම පෙන්නන්න හිතාගෙන තමුංගෙ ළමයිංව වඩා ගන්නව. අඩි පහේ දෙමව්පියන්ට අඩියක් දෙකක් උස ළමයගේ උසත් එක්කහු වුනාම පිටිපස්සෙම ඉන්න අයට මොනවත් පේන්නැතුව යනව. එතකොට පිටිපස්සෙ ඉන්න අය කලුපාටිං කෑ ගහනව.

“ඔය ළමයි පාත් කොරල අල්ලගන්නවකො. අපිට පේන්නෑ.”

එතකොට ඉස්සරහ ඉන්න අය කොළ පාටිං උත්තර දෙනව

“පේන්නැහ්නං ඉස්සිලා බලනව. අපි මේ පොඩි එවුන්ට පෙන්නන්නෙපෑ”

ඉස්සරහ අය උත්තර දෙනව. ඒ අතරෙ පිරිමි කෙනෙක් නිල්පාටිං සිංදුව පටං ගන්නව.

“පාවෙන පිරිසියක්කුඩ නැගලා පිටසක්කොලකිං මෙහාට වැහැලා ආවේ කුදකට ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ…
අපිනන්නෑ කවදාවක් දැකලා පුදුමත් හිතෙනව දැක්කම ඔහෙලා පොඩ්ඩක් අහමුද වටපිට බලලා කුරුමිට්ටෝ….
කොයිදේසේ ඉඳලද එන්නේ…..

කුරුමිට්ටොත් එව්වට රතුපාටිං උත්තර දෙනව

“හැච හැච හෑචෑ හැචැ හැචැ හෑ”

“මෙහාට ආවේ කුමකටද”

“හැච හැච හෑචෑ හැචැ හැචැ හෑ”

ඔය විදිහට සිංදුව කියවෙද්දි කුරුමිට්ටො ටික තමුන්ට පණ තියෙන බව පෙන්නන්න ඕන හංදා අතපය හොලවන ගමං මොන්ටිසෝරියෙ ළමයි මල් නැටුමට ඔලුව හොලොවනව වගේ ඔලුවත් හොලවනව. කකුල් හොලවන්නෙ නෑ. ඒ වෙනුවට සපත්තුවෙ අගිස්ස විතරක් යංතං හොලවනව. ඒ අතරේ ඉස්සරහ පේලියෙ ළමයිංගෙ දෙමව්පියොයි පස්සෙ පේලියෙ පිරිමියි අතර වලිය දරුණු වෙනව.

“ගහනව තොපෙයි පැටවුංගෙයි ඔලුකටු කුඩුවෙන්න”

“ගහපියව් බලන්න. තොපිට දෙන්නෙ මොලකැටි විසිවෙන්න”

“තොපි වරෙව්කො තපස්සරකන්දෙං යන්න.”

“දවසට පැය කීයක්ද එහේ…….

“හැච හැච හෑ චෑ හැච හැච හෑ”

“නැත්තං අපි උඩින්ද බොල යන්නෙ”

“කටවහගන්නවලකො ඕයි.”

“අපිට මේක බලන්න දෙන්නැද්ද තවුසෙල”

“අරූට කට වහගන්න කියනව. අපි නෙමේ ඌනෙ පටංගත්තෙ”

වලිය දරුණුවටම ඇවිලෙද්දි සින්දුවෙ අග හරියට ඇවිල්ල සිංහලෙං කියන කෑලි ටික ඉවරයි. කුරුමිට්ටො විතරක් අන්තිම ටික කියනව.

“වව්වව්වවවවවවව්වව්වව් වව්වව්වවවවවවව්වව්වව් වව්වව්වවවවවවව්වව්වව් වව් වව් වා…”

ඒ ටික ඉවර වෙද්දී පටං ගනිද්දි තිබිච්චි හුචු හුචු සද්දෙ ඇවිල්ලා තිරේ වැහිල යනව. එලියට යන්න තියෙන දොර ඇරිලා හීතල හුලඟක් එක්ක හිරිගඩු පිපෙන සද්දෙං දොරකඩ ඉන්න කෙනා කෑ ගහනව.

“ආ… තව බලාහිිල්ල වැඩහ්නෑ. ඉක්මන්ට එළියටෙන්න. තව පුරාම අය ඉන්නව බලන්න.”

රබර් ගෙඩ්ඩක් පිපිරුවහම ඇට දස අතේ විසිවෙනව වගේ අපිව කඩ දොරෙං එලියට විසිවෙනව. එතකොටම පිටිපස්සෙ හිටපු වලිකාරයා සෙනග පෙරලගෙන ඉස්සරහට පැනලා ඉස්සරහ පේලියෙ හිටිය මිනිහගෙ බෙල්ලෙං අල්ලගෙන පොදිය පිටිං මහපාරට විසිවෙනව. ඒ දෙන්නගෙ සරොං කැඩිල වැටෙනව. දෙමල චිත්තරපටිවල වගේ කොයිතරං ගහගත්තත් ලිහෙන්නෙ නැති වෙන්න සරං අඳින්න අපේ අයට බෑ. ඒ හංදා වලියක් පටං ගන්නෙම වලිකාරයංගෙ සරොං ලිහිලා ඉන පල්ලෙ හැලීමෙං. ඒ වෙලාවට තනි අතිං සරම අහුලන ගමං දෙන්නම අනික් අතිං ගහගන්නව. ඒ අතරෙ බැණගන්නවත් එක්ක.

“තෝ…තෝ ….තෝ….තෝ… කිව්ව නේද බොල..ඈ…”

අතිං හරි අතේ තියෙන ආවුදෙං හරි ගහනව ඇරෙන්න පයිං ගැහිල්ලක් කෙරෙන්නෙ නැති තරං. නිසියාකාරව පුහුණුවක් නැති හංදා ඒ අතිං ගහන පාරවල් වදින්නෙත් දුරාවාරෙ. එහෙම පාරක් වැදුනම

“තහ්. තොහ්.”

“කිවුහ් තබ් තොක්”

“තක්”

“චක්”

වගේ සද්ද ඇරෙන්න චිත්තරපටිවල වගේ “දෲෂෘ”, “බෲහූ” වගේ සද්ද ඇහෙන්නෙ නෑ. ඉඳල හිටල හරි පයිං ගැහුවොත් ඒකෙං වෙන්නෙ පයිං ගහපු කෙනාම බිම ඇදගෙන වැටෙන එක.

“අනේ කවුරුඅරි මේක බේරන්නකෝ”

“අනේ මේ ළමයිංගෙ තාත්තව බේරගන්නකෝ”

ඉස්සරහ පේලියෙ වලිකාරයගෙ බිරින්දෑ බෙරිහං දෙනව.

කොයිතරං භයානක වෙලාවක උනත් තමුංගෙ මනුස්සයගෙ නම කියලවත් නැත්තං “මගේ මනුස්සයා”, “මගේ ස්වාමිපුරුෂයා”, “මගේ ගෙදර එක්කෙනා” කියල තමුන්ගෙ සැමියව හඳුන්වන එක අපේ ගමේ කාන්තාවන්ගෙ සිරිත නෙවෙයි. එහෙම කියනවනං ඒක විලිලැජ්ජ නැතිකමක් කියලයි වයසක ගෑනු අය කියන්නෙ. ඒ වෙනුවට “ළමීන්ගෙ තාත්තා” , “මුංගෙ තාත්තා” කියල තමයි තමුංගෙ ස්වාමිපුරුෂයව හඳුන්වන්න ඕන. ඒක තමයි සීලාචාරකම.

ඒ කෑගැහිල්ල තුට්ටුවකටවත් ගනං නොගන්න වලිකාරයො දෙන්න සරොං නැතුව කමිසෙත් බොත්තං කඩාගෙන ලංකට් පිටිං රණ්ඩුවෙනව. තප්පර දෙක තුනෙං ඒගොල්ලංගෙ නෑයො, යාලුවො, අඳුරන අය, ඒ අයගෙ අඳුරන අය, යාලුවො එහෙම එකතුවෙලා මහ ගෝරියක් ඇදෙනව. චන්දරෙ මාමත් සරම කැහැපොට ගහගෙන

“පොඩ්ඩක් බලමු මොකද්ද කියල”

කියාගෙන ලැහැත්ති වෙනව.

වලියක් යද්දි ඒක ඇහෙන පේන මානෙ ඉන්න පිරිමි හැමෝම ඒකට සහභාගි වෙන එක අපේ සිරිතක්. නැත්තං පස්සෙ දවසක ඒ ගැන වෙනිං තැනක කතාවෙද්දි වලියට නොගිය අයව හෑල්ලුවට ලක්වෙනව.

“අච්චර අර සෙනග ගොඩක් ගෝරියක පැටිල්ලා ඉද්දි සෝමය හිමීට මගෑර්ලදාල ගියා”

“ඕකුං ඔහොම්ම තමයි. ඉස්සෙරිං ඉඳම්ම බයගුල්ලො”

“ඒකනෙ ඕකුන්ට මොකක්වත් වෙච්චිකොට කවුරුවහ්ම නැත්තෙ”

ඒ හංදා වලියක් යද්දි අතට අහුවෙන ලාඩප්ප පොල්ලක්, ටෝච්චෙකක්, ගල් ගෙඩ්ඩක්, කොහුමිටක්, වගේ දෙයක් අරගෙන එහෙම නැත්තං පොල්ලක් ගහකිං කඩාගෙන, වැටකිං ගලෝගෙන හරි පිරිමියෙක් වසයෙන් වලිය මැද්දට පනින්න ඕනි. සමහර වෙලාවට තමුංගෙ අතේ තියෙන වෙනිං උපකරණයක් උනත් මේකට ගන්න පුළුවනි. බොහොම දරුණු චන්ඩි නං මේ වගේ වෙලාවට උල් පිහියක් අරගෙන වලිය මැද්දට පැනලා තමුංගෙ හතුරන්ගෙ බඩගෙඩි හිල් කරනවා.

එක ගමනක් අපේ ගෙදර අයත් ඈඳලා අපේ ගෙවල් මණ්ඩියෙ පැතිරිලා ගිය කේලමක් හගිස්සවන වෙලාවකදි අපේ තාත්තත් කම්මලට ගිහිං එන ගමං අහම්බෙන් එතැන්ට කඩා වැදුනා. ඒ වෙලාවෙ තාත්තගෙ අතේ තිවුණෙ ඊට කලිං සතියෙ අම්මා ළිඳෙං වතුර ගේන ගමං ගලක් පල්ලෙ වැටිලා බිම වැදිල හිල්වෙච්චි ඇල්මේනියං කලගෙඩිය. ඒක කම්මලේ බාස් උන්නැහැ මොකද්දෝ විපිරියාසයක් කරලා පාහලා අලුතිං තින්ත ඩිංගකුත් ගාලයි දීල තිබුනෙ. හරියටම ඒ අපේ දැතිහුලස් නැන්දා අපේ අම්මට දොරවල් දහයකට කියන නමක් කියලා බැන අඬගහන වෙලාව. අන්න ඒ වෙලාවෙ අලුත පාස්සපු කලගෙඩියත් අරං නැන්දගෙ පිටිපස්සෙං මතුවෙච්චි අපේ තාත්තා කලේ කට දෑත බදල අල්ලගෙන නැන්දගෙ කොන්දට කලගෙඩියෙ බඩෙං පාරක් දුන්නා. ඒ වගේම තැඹිලි ගෙඩි ටික කපාගෙන කඩේ මිදුලෙ අහක විසිකරල තිවිච්චි තැඹිලි ඉත්තක් අරගෙනත් උන්දෑ දවසක් වලියක් මැද්දට පැන්නා.

ඒ වුනාට චන්දරෙ මාමලගෙ නැන්දා චන්දරෙ මාමට වලිය මැදට පනින්න දෙන්නෙ නෑ.

“මෙන්න මේ ළමය තියාගෙන ඉන්නව”

කියලා නෝනක්කව චන්දරෙ මාමගෙ අතට දෙනව. රටේ තියෙන ඕනම පණ නැති දෙයක් අරගෙන වලියක් මැදට පැනලා ඒක ආවුදයක් විදිහට පාවිච්චි කරන්න පුළුවං උණාට අංගවිකල හුලං බබෙක්ව කඩුව වගේ අල්ලගෙන ඉන්න පණ තියෙන ළමයෙක්ව එහෙම පාවිච්චි කරන්න බැරි හංදා චන්දරෙ මාමා සරම පාත දාගෙන නිහඩ වෙනව.

https://yanhella.blogspot.com/2017/10/blog-post.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල