ඉතිහාසය

බොල්ෂෙවික් අනුගමනය කළ මොසැම්බික් රාජ්‍යය

0

1974 දෙසැම්බර් 25 වැනිදා ලිස්බන් නගරයේ දී බහුවිධ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් පිහිටවන ලද පෘතුගීසි හමුදා නිලධාරීන්, මොසැම්බික් රාජ්‍යයේ ඉරණම එක පක්ෂයකට බාර දුන්හ. ඒ, මොසැම්බික් ජාතික නිදහස් පෙරමුණ නොහොත් ෆ්‍රෙලිමෝ නම් වූවයි.

ෆ්‍රෙලිමෝ පක්ෂයේ මූලාරම්භය 1962 ජූනි මාසයේ දී, ඒඩ්වාඩෝ චිවම්බෝ මොන්ඩ්ලේන් නැමැත්තාගේ නායකත්වයෙන් සිද්ධ වූවකි. එම පක්ෂයට ජාත්‍යන්තර ප්‍රජාවගේ කැමැත්ත මෙන්ම චීනයේ සහ සෝවියට් දේශයේ හමුදා සහාය ද ලැබුණි. ඒ වෙද්දී ෆ්‍රෙලිමෝ පක්ෂය විසින් යටත්විජිත ක්‍රමය ප්‍රතික්ෂේප කළ මොසැම්බික් රටේ බොහෝ ජාතිකවාදී විද්වත් එලීට් වැසියන්ව තම පක්ෂයට හරවා ගන්නට සමත් වී සිටියහ. ඒත් ජාතිකවාදයේ නැඹුරුවෙන් වූ එම පක්ෂ නායකත්වය තුල වැඩියෙන් දකින්නට පැවතියේ මාක්ස්වාදී-ලෙනින්වාදයයි.

“අද ෆ්‍රෙලිමෝ මෙතෙක් කිසිදා නොවූ ලෙසින් දැඩි සමාජවාදීයි, විප්ලවීයයි, ප්‍රගතිශීලියි, අපේ දැක්ම දැන් තිර වශයෙන් මාක්ස්වාදී-ලෙනින්වාදී සමාජවාදයට අනුගත වෙලා,” යැයි 1969 දී මිය යන්නට පෙර මොන්ඩ්ලේන් කියා සිටියේය. මේ ජාතිකවාදයෙන් කොමියුනිස්ට්වාදයට වූ පරිනාමය පැහැදිලි කරන්නට, ඔහු “මොසැම්බික් හි පවතින ජීවන තත්වය එසේ වෙද්දී, අපිට අපේ හතුරන් ගැන වෙන තෝරාගැනීමක් ඉතිරි වී නැහැ,” යැයි ද කීවේය.

පෘතුගාලයෙන් ස්වාධීනත්වය ලැබෙන මොසැම්බික් රාජ්‍යයේ නව පාලකයන්ට ඉහත මොන්ඩ්ලේන් “හතුරන්” යැයි හඳුන්වන ලද අයගෙන් කිසිත් බලපෑමක් එල්ල නොවීය. නව ක්‍රමය අනුව රටේ ප්‍රධාන වෙනස්කම් සංවිධානය සඳහා මූලිකත්වය ගත් සුදු හමැති අය, මිශ්‍ර වාර්ගිකයන්, සහ ඇසිමිලාඩෝ* එකා මෙන් ඊට දායක වූහ.

දුරබැහැර ප්‍රදේශ දියුණු කළ හැකියාව ඇත්තේ පක්ෂයෙන් මෙහෙයවන රජයක් තුලින් පමණක් යැයි විශ්වාස කළ ඔවුන් පරිපාලනය සඳහා “ගම්කරණය” පිළිවෙතක් ගෙනෙන ලදි. කොමියුනිස්ට් චීනය අනුකරණයෙන් “ගලවාගත් කලාප” පිහිටුවමින් ගම්බද පෙදෙස්වල 1970 ගණන් මුල දී දියත් කළ ප්‍රතිපත්තියට මුල දී දැඩි බාධක එල්ල වූයේ නැත.

ෆ්‍රෙලිමෝ විසින් ක්‍රමානුකූලව එය රට පුරා දියත් කරන්නට තීරණය කළහ. සියළු ගම්බදවාසීන්ව (ජනගහණයෙන් 80% ක්) සිය සාම්ප්‍රදායික නිවාස අත්හැර දමා ගොස් මේ පක්ෂය හැදූ නව ගම්මාන වලට යළි එකතු කළ යුතු යැයි අපේක්ෂා කෙරිණ.

ස්වාධීන රටක් හැටියට ලැබූ නිදහස තවමත් අලුත් දෙයක් වූ නිසා ජනගහණය ආණ්ඩුවේ ඉල්ලීම් වලට සහාය පළ කළහ. සාමූහික ගොවිපොළ නිර්මාණයටත්, සාමූහික ගොඩනැඟිලි හැදීමට ජනතාව එකමුතු වීමත් දකින්නට ලැබිණ. ඒත් ඒවා ඉදිකරන ලද පසුව බහුතර වැසියන් ඒවායේ වාසය ප්‍රතික්ෂේප කරමින් සාමූහික ගොවිතැන් ද ප්‍රතික්ෂේප කරන ලදි. ඒත් ලියැකියැවිලි තුල ප්‍රදර්ශනය වූයේ කොමියුනිස්ට් ඒකක ජාලයක් තුලින් රට, ක්‍රමානුකූලව ගෙනයන ධූරාවලි පරිපාලනයක පවතින බවයි.

1977 දී තමන් බොල්ෂෙවික් අයිඩියලොජියට පක්ෂපාතී යැයි ෆ්‍රෙලිමෝ පක්ෂ නායකයන් ප්‍රසිද්ධියේ කීහ. තව තවත් ප්‍රථුල ලෙසින් සාමූහිකරණ පිළිවෙත් ගෙන ගිය යුතු යැයි ඔවුන් කියා සිටියහ. එසේම ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය හා සමීප සබඳතා පැවැත්විය යුතු යැයි ද කියා සිටියහ.

සෝවියට් රටවල් සමඟ විවිධ වූ ගිවිසුම් අත්සන් කෙරිණ. සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික යුනියනයේ (ZANU) වූ රොඩේෂියන් ජාතිකවාදීන්ට සමීපව සහයෝගය දැක්වීම වෙනුවෙන් ඒ සෝවියට් රටවල් වලින් හමුදා උපදෙස් සහ අවි ලබාගත්හ. මොසැම්බික් පාලකයන් එසේ සෝවියට් රටවල් හා ගිවිසුම් ගහද්දී, සුදු හමැති රෝඩේෂියානුවන් ගම්බද පැත්තේ ප්‍රතිවාදී ව්‍යාපාරයක් පටන් ගෙන තිබිණ. මොසැම්බික් හි ජාතික ප්‍රතිවාදී ව්‍යාපාරය හෙවත් රෙනාමෝ නමින් එය හැඳින්විණ. දකුණු අප්‍රිකාවෙන් ඔවුනට සහාය ලැබිණ. රෙනාමෝ කල්ලිය ගෙන ගිය ක්‍රමවේද ප්‍රචණ්ඩතාවයෙන් යුතු වූවත්, “නැවත ඉගැන්වීමේ කඳවුරු” වලින් පැන ආ ගම්බද ජනතාව ඔවුනට එක් රොක් වන්නට පටන් ගති.

නැවත ඉගැන්වීමේ කඳවුරු පවත්වාගෙන යන ලද්දේ “ජනතාවගේ ආරක්ෂාව සඳහා වූ ජාතික සේවය” (SNAP) නමින් වූ රාජ්‍ය සංවිධානයයි. 1975 දී පිහිටුවන ලද එයට රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් යැයි කියා, දේශපාලන හෝ ආර්ථික හේතුවක් යටතේ ඕනෑම කෙනෙක් අත් අඩංගුවට ගැනීමේ බලය තිබුණි. විනිශ්චයන් හා දඬුවම් දීමේ බලය තිබුණි. 1979 දී ඔවුන් පෘතුගාලය සහ එහි යටත්විජිතවල 1867 පටන් අහෝසි කර තිබි මරණ දණ්ඩනය ද නැවත ස්ථාපිත කළහ. එය යොදාගන්නා ලද්දේ ෆ්‍රෙලිමෝ විරෝධවාදීන් අයින් කරන්නටයි. 1983 දී අත් අඩංගුවේ සිටි ලසාරෝ නිකවැන්ඩමේ, ජොආනා සිමෙයියෝ, සහ උරියා සිමැන්ගෝ යනාදින් එසේ ඝාතනය කරන ලද අතර, පක්ෂයේ මාක්ස්වාදී-ලෙනින්වාදී සමය නිල වශයෙන් අවසන් වෙන තෙක් ඒ ගැන දැනගන්නට කිසිවෙකුට නොලැබිණ.

රෙනාමෝ සහ ෆ්‍රෙලිමෝ යන කණ්ඩායම් දෙකම ජනතාව මර්ධනයේ යෙදුනහ. රෙනාමෝ ප්‍රතිවාදීන් මර්ධනයට ෆ්‍රෙලිමෝ ගෙන ගිය ප්‍රචණ්ඩත්ව කටයුතු සාධාරණීයකරණය කරන ලද්දේ එය ගෝත්‍රිකවාදයට, යල්පැන ගිය ආගමික ප්‍රතිපත්ති වලට, සාම්ප්‍රදායික වැඩවසම් ක්‍රමයට එරෙහිව කරන විප්ලවයක් යැයි කියායි.

රජය හෝ එහි ප්‍රතිවාදීන් වූ රෙනාමෝ යන දෙපැත්තම ආහාර සැපයුම පාලනය කළහ. ගොවියන්ව ඔවුනට අයිති ඉඩම් වලින් ඉවත් කිරීම ද රට පුරා ආහාර හිඟයන් පැතිර යන්නට හේතු විය. 1975 සිට 1985 දශකය තුල දී මිනිසුන් බහුතරයක් මිය ගියේ රජය හා රෙනාමෝ ගෙන ගිය ප්‍රචණ්ඩත්ව ක්‍රියා වලින් නොව පැවති ආහාර හිඟය නිසයි. UNICEF දත්ත පෙන්වන අන්දමට මේ දශකයේ ලක්ෂ 6 ක ජනතාවක් කුසගින්න නිසා මිය ගියහ.

ලොව නන් දෙසින් ලැබුණ ආහාර අධාර බෙදා හැරීම රජයේ පාලනය යටතේ පැවතිණ. 1991 දී නිකුත් වූ යුරෝපීය කොමියුනිටි වාර්තාවකට අනුව, ආධාර එවන ලද රටවල් එකඟ වූ මිල අනුව බෙදාහරින ලද්දේ සහනාධාර වලින් 25% ක් පමණි. බලඅධිකාරිය යටතේ පැවති ඉතිරි 75% පාලකයන්ගේ අත පල්ලෙන් වැටී අනතුරුව කළුකඩයේ දී විකිණින.

වැඩවසම් ක්‍රමය සහ යටත්විජිතවාදය එපා යැයි කියූ මොසැම්බික් ජනතාව තතු නොදැනම මාක්ස්වාදී-ලෙනින්වාදයට ගොදුරු වූව ද වැඩිකල් නොගිහින් සෝවියට් දේශය බංකොළොත්වීමත් සමඟ ඒ කුරිරු ක්‍රමයෙන් ගැලවෙන්නට සමත් වූහ. ලෝකයේ දුප්පත්ම රටක් බවට පත්වූ මොසැම්බික් හි ආර්ථිකය 2001 වසරෙන් පසුව වැඩි දියුණු වීම පටන් ගැනිණ.

* ප්‍රංශය සහ පෘතුගාලය අප්‍රිකාවේ රටවල් යටත්විජිත කරගනිද්දී ඒවායේ වැසියන්ව මව් රටවල ජනතාව සමඟ අනුගත කරන ප්‍රතිපත්ති දියත් කරන ලදි. එසේ “ශිෂ්ට” කරන ලද අයව හැඳින්වූයේ ඇසිමිලොඩෝ නමිනි.

බොල්ෂෙවික් අනුගමනය කළ මොසැම්බික් රාජ්‍යය

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල