කාලීන සංවාද

සයිටම් අහෝසි කිරීම ආණ්ඩුවේ පරාජයක්ද ?

0

සයිටම් වෛද්‍ය පීඨය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ. සයිටම් විරෝධී ව්‍යාපාරය ක්‍රමිකව ගොඩ නැඟුණු හා විකාශනය වුනු ආකාරය අනුව මේ අවස්ථාවේදී ආණ්ඩුවට කළ හැකිව තිබුණු හොඳම දෙය මෙන්ම කළ යුතුව තිබුණු දෙයද මෙයයි. මේ තීරණය නිසා දීර්ඝකාලීනව ඇතැම් අහිතකර ප්‍රතිඵල ඇති වෙනු ඇතත්, මේ තීරණය වෙනුවට ගත හැකිව තිබුණු විකල්ප තීරණ නිසා ඇති විය හැකිව තිබුණු ප්‍රතිඵල ඊට වඩා අහිතකරය.

සයිටම් වෛද්‍ය පීඨය ආරම්භ කළේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව නොව පසුගිය ආණ්ඩුව කාලයේදීය. එහෙත්, සයිටම් ගැටලුවට මුහුණ දෙන්නට වූයේ වත්මන් ආණ්ඩුවටය.

මේ ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හා කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටින අතර ඒ අරමුණ වෙනුවෙන් සැලකිය යුතු දෙයක් කරයි. එවැනි ප්‍රතිපත්තියක සිටින ආණ්ඩුවකට පෞද්ගලික ව්‍යවසායකයෙකු විසින් උසස් අධ්‍යාපන සේවාවන් මුදලට විකිණීමට විරුද්ධ වීමේ හැකියාවක් නැත. ඒ නිසා, ආණ්ඩුව මුල සිටම සිටියේ සයිටම් වෛද්‍ය පීඨය වසා නොදමන ස්ථාවරයකය. කෙසේ වුවද, සයිටම් විරෝධය හමුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මුල සිටම කිසියම් නම්‍යශීලී බවක්ද පෙන්නුවේය. සයිටම් විරෝධය වර්ධනය වී මේ අයුරින් සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමෙන් අවසන් වීමට එම නම්‍යශීලී භාවයද හේතුවක් විය. පසුගිය ආණ්ඩුවේ පාලකයින් බලයේ සිටියානම් සයිටම් විරෝධය මේ තරම් දුරදිග යන්නේ නැත.

වත්මන් ආණ්ඩුවේ නම්‍යශීලී භාවය ප්‍රදර්ශනය වුනේ සයිටම් ප්‍රශ්නයේදී පමණක් නොවේ. අයවැය යෝජනා වල සිට එක්ටා දක්වා විවිධ අවස්ථා වලදී තමන්ගේ මුල් ප්‍රතිසංස්කරණ යෝජනා අකුලා ගනිමින්, ආණ්ඩුව විසින් පැහැදිලිව ප්‍රදර්ශනය කළේ තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මහා ලොකු මිලක් ගෙවන්නට තමන් සූදානම් නැති බවයි.

බොහෝ දෙනෙක් මේ තත්ත්වය තේරුම් ගන්නේ ආණ්ඩුවේ කොන්ද පණ නැතිකම ලෙසිනි. එහෙත්, ඇත්තටම එය පවතින දේශපාලන බලතුලනයේ ප්‍රතිඵලයකි.

එක පැත්තකින් ආණ්ඩුව සමඟ රටේ විශාල පිරිසක් නැත. අනෙක් පැත්තෙන් වත්මන් ආණ්ඩුව කියන්නේ සමජාතීය කණ්ඩායමක් නොව එකිනෙකා සමඟද ප්‍රශ්න ඇති කණ්ඩායම් කිහිපයක එකතුවකි. ඒ නිසා, වත්මන් ආණ්ඩුවට තමන් වඩා සුදුසුයැයි හිතන ප්‍රතිපත්ති කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැත. එය නරක තත්ත්වයක්ද නොවේ.

සයිටම් විරෝධීන් අතර කණ්ඩායම් ගණනාවක් සිටි අතර ඒ කණ්ඩායම් වලට සයිටම් වෛද්‍ය පීඨයට විරුද්ධ වීමට ඔවුන්ගේම හේතු තිබුණේය. මේ අතරින් රජයේ වෛද්‍යවරුන්ට වෘත්තීය ප්‍රශ්නයක් තිබුණු අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ට නායකත්වය දුන්නේය. අනාගත වෛද්‍යවරුන් වෙන්නට සිටි වෛද්‍ය පීඨ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමවුපියන්ටද තිබුණු ප්‍රශ්නය මෙහිම දිගුවකි. මේ වෘත්තීය ප්‍රශ්නය විවිධ මාන තිබුණු එකකි. තමන්ගේ වෘත්තීය ප්‍රශ්න හෝ පෞද්ගලික ශුභ සිද්ධිය වෙනුවෙන් කතා කිරීමට හා සාමකාමී ලෙස අරගල කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇති අතර එසේ කිරීම නරක දෙයක් නොවේ.

සයිටම් වෛද්‍ය පීඨය සාර්ථක ව්‍යාපෘතියක් වූවානම් තවත් එවැනි වෛද්‍ය පීඨ ගණනාවක් ලංකාවේ ඇති විය හැකිව තිබුණේය. ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ගේ පැත්තෙන් බැලූ විට ඔවුන්ගේ වෘත්තිය හා අදාළව ඉදිරියේදී කොහොමටත් ඇතිවන්නට නියමිත ඇතැම් ගැටළුකාරී තත්ත්වයන් මේ හේතුවෙන් උග්‍ර විය හැකිව තිබුණේය. සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කර දැමීම යනු තවත් කලකට ලංකාවේ එවැනි පෞද්ගලික වෛද්‍ය පීඨ ඇති වීම වලක්වාගැනීමක්ද විය.

අනෙක් අතට, ආණ්ඩුවට හෝ සයිටම් වෛද්‍ය පීඨයට සම්බන්ධයක් නැති, සයිටම් වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙක් එසේ කළේද මේ හේතුව නිසාමය. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමෙන් පසු දශක දෙකකටත් වැඩි කාලයක් යන තුරු ලංකාවේ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨයක් ආරම්භ වූයේ නැත. සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමෙන් පසු තවත් දිගු කාලයකට ලංකාවේ පෞද්ගලික වෛද්‍ය පීඨයක් ආරම්භ නොවනු ඇත.

සයිටම් විරෝධය සමඟ සිටි ප්‍රධානම දේශපාලන බලවේග දෙක ජවිපෙ හා පෙසපෙයි. මේ පක්ෂ දෙකම මාක්ස්වාදී සමාජවාදී පක්ෂයි. අධ්‍යාපන සේවා සැපයීම රාජ්‍ය ඒකාධිකාරයක් ලෙස තබාගැනීම සමාජවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයකි. ඒ නිසා, ඔවුන්ටද සයිටම් විරෝධී ව්‍යාපාරය සමඟ එකතු වන්නට හේතු තිබුණේය. තමන් විශ්වාස කරන මතවාදයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සක්‍රිය මැදිහත්වීමක් කරන්නට දේශපාලන පක්ෂයකට අයිතියක් තිබේ.

මෙයට අමතරව මේ අරගලය තුළ සිටි ප්‍රධානම බලවේගය සරසවි සිසුන්ය. ඔවුන්ගෙන් වෛද්‍යපීඨ සිසුසිසුවියන් හා පෙසපෙ ජවිපෙ පක්ෂ දෙකේ ක්‍රියාකාරීන් ඉවත් කළහොත් ඉතිරි අයට මේ කටයුත්තෙන් ලැබුණු සෘජු වාසියක් නැත. අඩුම වශයෙන් මේ කොටස, ඔවුන් විශ්වාස කළ පරිදි, නිදහස් අධ්‍යාපනය රැක ගන්නට ඉදිරිපත් වූවෝය. බොහෝ දෙනෙක් සිතන පරිදි සරසවි සිසුන් යනු පෙසපෙට හෝ ජවිපෙට අවශ්‍ය පරිදි නැටවිය හැකි පිරිසක් නොවේ. එම පක්ෂ වලට සරසවි සිසුන්ගේ සහයෝගය ලබාගත හැක්කේ හා ඔවුන්ට නායකත්වය දිය හැක්කේ ඒ සඳහා අවශ්‍ය පසුබිමක් නිර්මාණය වී ඇති විටකදී පමණි.

කවර ආකාරයකින් හෝ සයිටම් විරෝධය තුළ විශාල පිරිසක් එකතු වී සිටියේය. මේ බොහෝ දෙනෙකු ඉතා සක්‍රිය මැදිහත්වීමක්ද කළේය. එයට සාපේක්ෂව සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට මුල සිටම විශාල පිරිසක් සිටියේ නැත. සයිටම් සිසුන් හා දෙමවුපියන් හැරුණු විට එසේ පෙනී සිටි අයද තනි පුද්ගලයින් මිස සංවිධානාත්මක කණ්ඩායමක් නොවූ අතර, ඔවුන් බොහෝ දෙනෙකුට පොදුවේ අධ්‍යාපනයේ නිදහස මිස සයිටම් වෛද්‍ය පීඨය වැදගත් දෙයක් වූයේ නැත.

සයිටම් විරෝධය සංවිධානාත්මක බලයක් ලෙස මතු වී දිගින් දිගටම ඇදෙන විට ආණ්ඩුවට එය නොසලකා සිටිය හැක්කේ සයිටම් වෙනුවෙන් හෝ පොදුවේ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන්ද එවැනිම සංවිධානාත්මක දේශපාලන බලයක් මතු වේනම් පමණි. එවැන්නකට නායකත්වය දීමේ ශක්‍යතාවයක් තිබුණු කණ්ඩායම් දෙකක් සිටියේය. ඒ එජාපය හා ශ්‍රීලනිපයයි. මේ පක්ෂ දෙකටම සිය ප්‍රතිපත්ති අනුව සයිටම් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් තිබුණේය.

ශ්‍රීලනිපයේ රාජපක්ෂවාදී බලවේග සයිටම් විරෝධය හරහා ආණ්ඩුව අසීරුවට පත්වනු බලා සිටි අතර ඔවුන්ට සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට අවශ්‍ය නොවීය. තමන් පෙනී සිටින ප්‍රතිපත්ති ජනතාව වෙතට ගෙනයාමේ දක්ෂතාවයක් නැති ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙකටද එවැන්නක් කළ නොහැකි විය.

සයිටම් විරෝධීන්ගේ පීඩනය ක්‍රමයෙන් වැඩි වෙද්දී ආණ්ඩුවට ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් තිබුණේය. පළමුවැන්න අනම්‍යව සිටීමයි. දෙවැන්න යම් පමණකින් නම්‍යශීලී වීමයි. මේ දෙකෙන් ආණ්ඩුවේ තේරීම වූයේ දෙවැන්නයි. මේ නම්‍යශීලිත්වයේ ප්‍රතිඵලය වූයේ “දැන් ටිකක්. පසුව ඉතිරි ටික” ක්‍රමයට සයිටම් විරෝධී සටන දිගටම ඇදී යාමයි. ආණ්ඩුව විසින් සයිටම් අහෝසි කරන බව නිවේදනය කරන විටත් සයිටම් වලින් ඉතිරිව තිබුණේ වලිග කෑල්ලක් පමණි. ඒ කෑල්ල තියා ගැනීම සඳහා ලොකු මිලක් ගෙවන්නට ආණ්ඩුව යොමු නොවන බව පැහැදිලි කරුණක් විය.

ආණ්ඩුව මුල සිට දැඩි ප්‍රතිපත්තියක සිටියේනම් ප්‍රතිඵලය වඩා හොඳ එකක් විය හැකිව තිබිණැයි කිව නොහැකිය. අරගලයේ මුල් අවස්ථාවේදී කිසිවක් නුදුන්නේනම් ආණ්ඩුවට සිදුවන්නේ බලය යොදා අරගලය මර්දනය කිරීමේ විකල්පය තෝරා ගන්නටය. සයිටම් විරෝධය තුළ සිටි කණ්ඩායම් සියල්ලේම නොවූවත් ඇතැම් කණ්ඩායම් වල ඉලක්කය වූයේ එවැනි තත්ත්වයකි. ආණ්ඩුව එය හඳුනා ගත්තේය. නොඉවසිලිමත් පොලිස් නිලධාරියෙකු අතින් තුවක්කුවක් පත්තු වූවානම් තත්ත්වය බොහෝ වෙනස් විය හැකිව තිබුණේය.

සයිටම් විරෝධී අරගලය අවසාන අදියරේදී තිබුණු තැන අනුව සයිටම් අහෝසි කරන තුරු එය අවසන් වන්නට ඉඩක් නොතිබුණේය. ඒ නිසා, ඒ වෙලාවේද ආණ්ඩුවට තෝරා ගත හැකිව තිබුණේ දරුණු මර්දනයකට යාම හා සයිටම් අහෝසි කිරීම යන විකල්ප දෙකෙන් එකකි. සයිටම් අහෝසි කිරීමේ නරක ප්‍රතිඵල තිබුණත්, විරෝධය මර්දනය කරන්නට යාමේ ප්‍රතිඵල ඊට වඩා හානිකර විය හැකි බව ආණ්ඩුව නිවැරදිව තේරුම් ගත්තේය. එවිට ඉතිරි වන්නේ සයිටම් අහෝසි කිරීමේ විකල්පය පමණි. එය හැකි ඉක්මණින් කළ තරමට හානිය අවමය.

ආණ්ඩුවේ තීරණය මේ වෙලාවේ ගත හැකිව තිබුණු හොඳම තීරණයයි. එමෙන්ම, පසුව වලිග කෑලි ඉතිරි කර නොගෙන තීරණය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කර ප්‍රශ්නය අවසන් කිරීමටද ආණ්ඩුව සැලකිලිමත් විය යුතුය. සයිටම් අහෝසි කිරීමෙන් පසුව වෛද්‍යවරුන්ට හා වෛද්‍ය සිසුන්ට ප්‍රශ්නය ඇදගෙන යන්නට අවශ්‍යතාවයක් නැති වේ. ආණ්ඩුවේ පැත්තෙන් සයිටම් විරෝධීන්ට වෙනත් විරෝධතා නිමිති ලබාදීමක්ද කර නැත. කෙසේ වුවත්, ආණ්ඩුව සයිටම් විරෝධය හමුවේ නැමීම තවත් එවැනි විරෝධතා වලට පූර්වාදර්ශ සපයන්නට ඉඩ තිබේ.

මතුපිටින් පෙනෙන පරිදි සයිටම් සටනින් දේශපාලනික වාසියක් ලැබුණේ ජවිපෙට හා පෙසපෙටය. මේ පක්ෂ දෙකෙන් මැතිවරණයදී බලයක්ව සිටින්නේ ජවිපෙයයි. ජවිපෙය එල්ලුණේ පෙසපෙ හා සරසවි සිසුන් විසින් ඇදගෙන ගිය අරගලයක වුවත් අවසන් වශයෙන් මැතිවරණයකදී මෙහි වැඩි වාසිය ලබන්නේ ජවිපෙයි.

පළාත් සභා ඡන්දය නුදුරු දිනක පැවැත්වෙන්නට නියමිතව ඇති අතර මෙය පොදුජන පක්ෂය, එජාපෙ හා ශ්‍රීලනිප අතර තුන් කොන් සටනක් විය හැකිය. ඇතැම් විට එජාපෙ හා ශ්‍රීලනිප එක්ව තරඟ කරන්නටද ඉඩ තිබේ. මේ දෙකෙන් කුමක් වුවත්, ආණ්ඩුවේ පක්ෂ දෙකට පොදුජන පක්ෂයෙන් දැඩි තරඟයක් එල්ල වීමට නියමිත අතර එතරම් හොඳ නැති මැතිවරණ ප්‍රතිඵලයක් ආණ්ඩුව අස්ථාවර කරන්නට වුවද පුළුවන.

ජවිපෙ වඩා ජනප්‍රිය වීම යනු ආණ්ඩු විරෝධී ඡන්ද වැඩි ප්‍රමාණයක් ජවිපෙ විසින් ලබාගැනීමයි. ජවිපෙ විසින් ආණ්ඩු විරෝධී ඡන්ද වැඩියෙන් ආකර්ෂණය කරගන්නා තරමට ආණ්ඩුවේ පක්ෂ දෙකට පොදුජන පක්ෂය අභිබවන්නට ඇති ඉඩකඩ වැඩිවෙයි. ඒ නිසා, මේ වෙලාවේ සයිටම් අහෝසි කිරීමෙන් වක්‍ර ලෙස ආණ්ඩුවටද දේශපාලන වාසියක් ලැබී තිබේ.

http://economatta.blogspot.com/2017/11/blog-post_9.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල