කාලීන සංවාද

සයිටම් විරෝධීන්ට සුබපැතුම්! එහෙත් නිහඬ බහුතරය වෙනුවෙන් අපි හෙටත්

0

සයිටම් හෙවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට (පමණක්) එරෙහිව පැවති විරෝධය ජයගෙන ඇති බව එය මෙහෙයවූ අය මහ හඬින් කෑගසා කියති.

අපි ඔවුන්ට සුබ පතමු. මේ රටේ බහුතර විශාල පිරිසක් තම අධ්‍යාපන නිදහස වෙනුවෙන් අරගල නො කර සාමකාමීව නිහඬව සිටියදී සයිටම් විරෝධීන් ඔවුන්ගේ සටන පාවිච්චි කළ හ. ජනතාවගෙන් ප්‍ර‍තික්ෂේප වෙද්දී මාරාන්තික උපවාස තර්ජන ආදිය කරමින් සමාජය බිය වද්දමින් හෝ තම අරමුණ දිනා ගන්නට ඔවුන් සමත් වී ඇති බව පෙනේ.

එහෙත්, අපට නම් අප සිටි ස්ථාවරන් කිසිවක් වෙනස් කර ගන්නට අවශ්‍යතාවක් නැත. නැවත නැවත ඔප්පු වෙමින් තිබෙන්නේ අප ඉදිරිපත් කළ කරුණු ම ය.

ලංකාවේ රාජ්‍ය බලය හිමි මධ්‍යම පන්තිය සිය පන්ති උවමනාවන් වෙනුවෙන් අවසානයේදී පන්තියේ වඩාත් ආත්මාර්ථකාමී කොටස් සමග සම්මුතිගත වෙයි.

අධ්‍යාපනය වෙළඳපොළකරණය කරනවාට විරුද්ධව කරන බව කියනමුත්, මෙම ව්‍යාපාරය අවසානයේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මට්ටමෙන් ඔබ්බට නො යන්නට බොහෝ ඉඩ තිබේ. (උදාහරණයක් ලෙස දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය කුමාර් ගුනරත්නම් නිදහස් වූ පසු අවසන් විය.)

මෙම සටනට සම්බන්ධ වූ ජවිපෙ පෞද්ගලික අංශයට හා ව්‍යවසායකයන්ට එරෙහි පක්ෂයක් ලෙස සලකුණු වන අතර, එමගින් ඔවුන් සිය නාගරික ඡන්ද පදනම අහිිමි කර ගන්නට ඉඩ තිබේ. ව්‍යවසායකයන්ට, පෞද්ගලික අංශයට එරෙහිව යන පක්ෂයකට ලංකාවේ දේශපාලන බලය ගැන සිතන්නට බැරි ය. 2020 සිහිනය තව බොහෝ පසුපසට යනු ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ පුවත්පත්වල පළ කර තිබූ දැන්වීමකට අනුව සෑම ලාංකික දරුවකු ම උපදින්නේ රු. ලක්ෂ පහක ණය බරක් දරාගෙන ය. රජයේ ණය බර 2016 වසරේ මුළු වාර්ෂික ආදායම මෙන් පස්ගුණයකි. ලබන අවුරුද්දේ රජයේ වාර්ෂික ආදායමෙන් 78%ක් වැය කරන්නට සිදු වන්නේ ණය ආපසු ගෙවීමට ය.

එහෙම රජයකට සියල්ල නිකම් දෙන සුරංගනාවකගේ භූමිකාව රඟපාන්නට බැරි ය. නිකං දෙන එක තව පුළුල් කරන්නට නම් තව තව බදු බර වැඩි කළ යුතු ය.

රජය තව තවත් පුළුල් වන තරමට අඩුවෙන් වැඩ කර සාපේක්ෂව වැඩියෙන් මහජන මුදලින් වැටුප්, වරප්‍ර‍සාද ආදිය ලබා ගන්නා දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු මධ්‍යම පන්තිය ද විශාල වනු ඇත. එසේම, ඔවුන් දේශපාලනිකව ද බලවත් වන නිසා රාජ්‍ය ප්‍ර‍තිපත්ති සම්පාදනය වනු ඇත්තේ ඔවුන්ට වාසිදායක ලෙස ය. මූලිකව ම මෙම රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි කරන්නට බැරි ය. මන්ද, එහි හිමිකාර පන්තියට එසේ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. ඔවුන්ට අවශ්‍ය වරප්‍ර‍සාද පමණි.

මේ පංතියේ බර කර ගසාගෙන යන්නට සිදු වන්නේ මේ රටේ ඵලදායී වැඩ කරන ජනතාවට ය. මේ රජයෙන් අවම සේවාවක් ලැබෙන්නේ ද මෙම ඵලදායී වැඩ කරන ජනතාවට ය. එය කෙසේ වන්නේදැයි මම සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

ඔවුන්ට ආදි ශිෂ්‍ය සංගම් පසුපස යන්නට, හොර ලේඛන හදා ගන්නට, උපදින්නටත් පෙර සිට දරුවන් පාසල් දමා ගැනීම ගැන සැලසුම් කරන්නට බැරි ය. ඒ ඔවුන් වැඩ කරන නිසා ය. ඒ නිසා ඔවුන්ගේ දරුවන්ට පළමු ශ්‍රේණියෙන් ම හොඳම රජයේ පාසල් ටික අහිමි වේ. එතනින් එහාට රජයේ අධ්‍යාපනය හරහා ඉදිරියට යන්නට හැකි වන්නේ අසාමාන්‍ය දක්ෂයන්ට පමණි. ඔවුන් අසීරුවෙන් අත් කර ගන්නා පෞද්ගලික අධ්‍යාපනයට ද නිසි පිළිගැනීමක් ඇති කර ගැනීම ද මෙම වාමාංශික වැඩසටහන නිසා නැති වේ.

හොඳම පාසල් ළඟ ඉඩම් අයිති ධනවත් කොටස් ඉතා පහසුවෙන් එම පාසල්වලට ඇතුළත් කරති. මෙම අවස්ථාව දිළිඳු සමාජ කණ්ඩායම්වලට අවම ය.

අවාසනාව මේ නිහඬ බහුතරයට වීදි බැස උද්ඝෝෂණය කරන්නට ද වේලාවක් නැති වීමයි. හේතුව ඔවුන්ට වැඩ කරන්නට සිදු වී තිබීමයි. ඔවුන්ට දේශපාලනය කරන්නට ද වෙලාවක් නැත. ඔවුන්ට වැඩ කරන්නට තිබේ. ඡන්දය දෙනකොට ද ඔවුන්ට හිතන්නට වෙලාවක් නැත. ඒ නිසා මධ්‍යම පන්තික පක්ෂවල මධ්‍යම පන්තික වැඩසටහන්වලට ම බලය ද දෙති.

ලංකාවේ දේශපාලන ගැටලුව මෙයයි. මේ රටේ කම්කරුවන්ට මෙන් ම ව්‍යවසායකයන්ට ද හඬක් නැත.

http://www.w3lanka.com/2017/11/blog-post_9.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල