කාලීන සංවාද

බදුලු බස්සෙකෙන් පොදු ප්‍රවාහනයට

0

ඊයෙ බදුල්ල ටවුමට රු. 10ක දුරක් යන්න හාලිඇල සිට පැමිණි ලංගම තනි දොරේ බස්සෙකකට නැග්ගා. බස්ටෑන්ඩ් එකට මෙහා හෝල්ට් එක කිට්ටුවදි පන්ති යන ගෑනු ළමයෙකු ඇතුළු කීපදෙනෙක් දොරටුව ගාවට ආවෙ බහින්න. ඔවුන් කොන්දොස්තරට බහිනවා ය කියලත් කිව්වා. ඒත් බස්සෙක නවත්තන්නෙ නැතුව ම ගියා. මගීන් සීනුව ගැහුවෙ එතකොට. රියදුරා බසය පදවන ගමන් ම පසුපස හැරී බැන්නා.

“දැන් බෙල් ගහන්න එපා. හෝල්ටෙකට කලින් බෙල් ගහන්න ඕනැ,” මිනිහා ගෝරනාඩුවක් දැම්මා.

රියදුරාට වුණත් කණ්ණාඩියෙන් ඇස් කොණෙන් බැලුවත් පේනවා මිනිසුන් බහින්නට දොරටුව ළඟට ආපු බව. කොන්දොස්තරට තිබුණා ‘බහිනවා’ කියන වචනෙ කියන්න.

“බහිනවා නම් බෙල් ගහන්න ඕනැ.” කොන්දොස්තර නීති තර්කයක් දැම්මා.

“ඔයාට මං කිව්වනෙ බහිනවා ය කියලා.” මගියෙක් කිව්වා.

“මට කියල වැඩක් නැහැ. බෙල් එක ගහන්න ඕනැ.” කොන්දොස්තර කියනවා. තනි දොරේ බස් එකේ කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි ඉන්න තැන් අතර දුර අඩි පහක්වත් නැහැ.

“ඉතින් ඔයා මේ මිනිස්සුන්ව බස්සලා යන්න ඕනැනෙ. ඒක ඔයාගෙ රස්සාවනේ.” මං කිව්වා.

“ඒක මගෙ වැඩක් නෙමෙයි. මට කියල වැඩක් නැහැ. බෙල් එක ගහන්න ඕනැ.”

“ඔයාගෙ වැඩක් නෙමෙයි කියන්නෙ කොහොමද? මගීන්ව නග්ගන, බස්සන එක ඔයාගෙ රස්සාවෙ කොටසක් නේ. ඔයාල පඩි ගන්නෙ මගීන් නිසා නේ.”

“ඉතින් ඒකට බෙල් එක ගහන්න එපායැ.”

“බෙල් එක නො ගැහුවට ඔයාට කිව්වනේ. ඔයාට තිබුණනේ කියලා නවත්තන්න. ඔයා යන්ත්‍රයක් නෙමෙයි නේ. ඔයා මිනිහෙක් නේ. අර ගෑනු ළමයා ඔයාගෙ දුව වෙන්න පුළුවන්. ඇයි එහෙම කරන්නෙ?”

“මහත්තයා බහින්නෙ නැහැ නේ. ඔයාට වැඩක් නැහැ නේ. පාඩුවෙ යන්න.”

“මං කතා කරන්නෙ මහජනතාව විදියට. මේ ආයතන පවත්වාගෙන යන්නෙ මහජන මුදලින් නිසා.”

කොන්දොස්තර ඇඳගෙන හිටියෙත් ලංගම කියලා මුද්‍රණය කරපු ටීෂර්ට් එකක්.

“ඕක හින්දනේ මේ ආයතනවලට මෙහෙම වෙලා තියෙන්නේ.” මං බහින ගමන් කිව්වා. “අදවත් පාඩමක් ඉගෙන ගන්න, මිනිහෙක් විදියට.”

පසුගිය දවස්වල ලංගම වෘත්තීය සමිතිවලින් රු. බිලියන තුනක් ඉල්ලලා තිබුණා රජයෙන්. එහි මූලික අරමුණ සේවක හිඟ වැටුප් ගෙවීම. ලංගම ය කියලා බස් නොමිළේ දුවන්නේ හෝ අඩු ගානට දුවන්නේ හෝ නැහැ. මැදපෙරදිග ගිහින් ආපු ගෘහ සේවිකා කාන්තාවන් පවා පාරට බස් එකක් දාලා ඒ ව්‍යාපාරය සාර්ථකව කරගෙන ගිය උදාහරණ තියෙන රටක ලංගම සේවකයන්ට වැටුප් ගෙවන්න අමතර මුදල් රජයෙන් දෙන එක කොයි තරම් විහිළුවක් ද?

පසුගිය දිනෙක මම කලවානේ සිට මතුගම, දොඩන්ගොඩ හරහා අධිවේගී මාර්ගයේ කොළඹ යන ලංගම බසයකට ගොඩ වුණා වැඩට යන්න. රු. 220ක් ටිකට් එක. බස්සෙකේ දොර අරින්න වහන්නට බැරි ය කියලා ඒක පන්නිපිටියෙන් බොරැල්ල පැත්තට හරවලා වීර මාවත හරියෙදි විතර නැවැත්තුවා. දොර ඇරගෙන යන්නත් බැරිලු. එතකොට පැති කණ්ණාඩිය පේන්නෙ නැතිලු.

දැන් එතන ඉඳලා ඉතිරි ටික යන්න කොයි වෙලාවක හරි තව ලංගම බස්සෙකක් එනකල් ඉන්න ඕනැ. එතනින් එහෙම කොළඹ යන්නෙ අධිවේගී මාර්ගයේ එන ඒවා විතරයි. බස්සෙක කැඩුණා ය කියලා මුදල් ආපසු දීමකුත් නැහැ. කොන්දොස්තරයි, ඩ්‍රයිවරුයි හිනා වෙවී සන්තෝසෙන් හිටියා.

මේ වන විට ලංගම බස් පෞද්ගලික බස්වලින් වෙනස් වෙන ප්‍රධාන හේතුව ඒවායේ තිබෙන අබලන්කම හා අපිරිසිදුකම විතරයි. සේවකයන් වැඩිදෙනෙක් අවිනීතයි. ඇතැම් ලංගම බස්වලත් එක එක වැකි ලියලා, ස්පීකර්, ටෙලිවිෂන් එහෙමත් සවි කරලා කණ පැලෙන්නට සංගීත සංදර්ශන පවා වාදනය කරනවා.

සෙනග අඩු පාරවල්වල හා වෙලාවල්වල දුවන්නෙ ලංගම බස් ය කියන පරණ කතාවත් දැන් අවලංගුයි. ලංගම බසුත් දැන් ඒ සේවා සපයන්නෙ නැහැ. කිසියම් බසයකින් හොඳ සේවා සැපයීමක් තියෙනවා නම්, එයට මූලික ම හේතුව වෙලා තියෙන්නෙ ලංගම නෙමෙයි, ඒ බස්වල සේවකයෝයි.

කුමන අඩුපාඩු තිබුණත්, පෞද්ගලික බස්වලින් වඩා හොඳ සේවාවක් ලැබෙනවා. පෞද්ගලික බස්වල සේවාවේ ගැටලුවලට ප්‍රධාන හේතුව තමයි තරගකාරිත්වය.

තරගකාරිත්වය නැති කරන්නට නම් ලංගම හා පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කළ යුතුයි. ඒ වගේ ම මේ අංශ දෙක ම එක ම නියාමනයකට ලක් කළ යුතුයි. බස් සේවකයන්ටත් ගැටලු ගොඩක් තියෙනවා. ඔවුන්ගේ වැටුප්, නිවාඩු ඇතුළු අයිතිවාසිකම් ගැන නීති සම්පාදනය විය යුතුයි. ඒ වගේ ම බස් නැවතුම්පොළවල ඔවුන්ට පහසුකම් සැපයීමත් අවශ්‍යයි.

බස් සේවකයන්ට පාරිභෝගික සේවා ගැන පුහුණුව අනිවාර්ය කළ යුතුයි. පුහුණුව කලින් කලට යාවත්කාලීන ද කළ යුතුයි.

ලංකාවේ දැන් මගී ප්‍රවාහනයට ප්‍රමාණවත් බස් රථ සංඛ්‍යාවක් තිබෙනවා. නැත්තේ නිසි නියාමනයකුයි. රජය වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඒ වෙනුවෙනුයි.

ලංගම ස්වාධීනව ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යා යුතුයි. එය සතු සම්පත් හුදු බස් ධාවනයට පමණක් සීමා නො කළ යුතුයි. උදාහරණයක් ලෙස බස් නැවතුම්පොළවල තව කළ හැකි බොහෝ සංවර්ධනයන් තිබෙනවා. ඒවායින් ලංගමට ආදායම් උපදවා ගත හැකියි. දේශපාලකයන් තම ගෝල බාලයන් ලංගමට පුරවන එක නැවැත්විය යුතුයි.

බස් සේවාවන්ගේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට විධිමත් නීති අවශ්‍යයි. ලොරි චැසිවල බොඩි ගැසූ බස් ය කියන ජාතිය වෙනුවට සැබෑ බස් දැන් ක්ෂේත්‍රයට එක් විය යුතුයි.

පොදු ප්‍රවාහනයට ජනයා ආකර්ශනය කර ගැනීම සම්පත් නාස්තිය වළක්වා ගන්නටත්, තිරසාර සංවර්ධනයටත් අත්‍යවශ්‍යයි.

http://www.w3lanka.com/2017/11/blog-post_27.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල