අතීතකාමය

තොරණ හෙවත් Pandol ඉවරයි

0

වලියට එක්කහු වෙන සමහරු ඒකට හේතුව දන්නෙත් නෑ. ඒ වුනාට තමුං කාලයක් තිස්සේ ‘හොඳවෑං දෙකක් අනින්න’ බලං හිටපු එකෙක් එතන ඉන්න එක ඇති. කවුරු දුන්නද කියල හිතාගන්න බැරිවෙන්න සෙනග ගොඩ මැද්දෙ හැංගිලා උගෙ කන පලන්න මෙයිට වඩා වෙලාවක් කොහෙද? ඔය විදිහට රණ්ඩු ජෝඩු එක්කහු වෙලා වලියට සෙනග වැඩිවෙලා වටේට බෝ වෙද්දි මිනිස්සුන්ට එතන ගහගන්න ඉඩ මදිවෙනව. එතකොට ඒ පොදියෙං එලියට විසිවෙන ‘වලි ජෝඩු’ වෙනම ගහගන්නව. එතකොට සෙනග වැඩි හංදා මහ වලියට නොයා හිටපු අය ඒ සිඟිති වලියට පැනල ඒක ලොකු කරන්න දායක වෙනව. ඔය විදිහට බෝවෙන ලෙඩක් වගේ මහපාර, කාණු, කඩපිල් වහගෙන වලිය පැතිරිලා යද්දි

“පොලිෂ්යෙන් පොලිෂ්යෙන්”

කියල දෙතුං දෙනෙක් කියනව. අසුරු සැනෙං වලියෙ වටේට හිටපු රෑනක්ම සක්කොලක් නැතුව දුවනව. තමුංගෙ ළමයි, ගෑනු එක්ක ඇවිල්ලා හිටපු අය එක තප්පරෙං වලියෙං අහකට පැනලා සරොං පාත දාගෙන තමුන්ගෙ ගෑණිගෙ අතේ හිටිය ළමයව උදුරලා අරං වඩාගන්නව. තමුංගෙම ළමයි නැති අයත් ඊළඟ තප්පරේදි තම තමංගෙ හිතවතුන්ගෙ වැඩිපුර ඉන්නා ළමයිංගෙං කෙනෙක්ව ණයට අරං වඩාගන්නව. ඊළඟ තප්පරේදී ඒ අවට ඉන්න අවුරුදු හතේ අටේ දඬු ළමයි පවා කකුල් බිම ගෑවි ගෑවි වඩාගැනිලා ඉවරයි. තමුන්ට ලැබිච්චි මේ අලුත් තාත්තා කවුදැයි කියල ඒ ළමයි බලද්දි අලුත් ගොමගොඩවල්වල පාට කලිසං කමිස ඇඳලා, කලුම කලුපාට තොප්පි දාලා, ඉස්සරහට දිලිසෙන තහඩු කෑල්ලක් හයිකරපු කලුපාට පටියකිං තුනටිය වෙං කරපු පොලිස් රාලහාමිලා දෙන්නෙක් විසාල පැටිග්නම් කූරු වගේ පොලු කෑලි දෙකක් අරගෙන එතනට සේන්දු වෙනව. ඒක දකින පොඩි ළමයි රැලක්ම අඬන්න පටංගන්නව.

“වාව අල්ලය්යල්ලෙෆා…. වං වත් කලවා……”

“වංගායි වොල්ටිසෝලි යල්ලැතුව ඉල්ලෑ……”

“වං ආයි එලිවෙං ඉල්ලෙ ලෑ…..”

අම්මලා තමුංගෙ ළමයින්ට බත් කවන්න, උංව මොන්ටිසෝරි යවන්න, හෙලුවැල්ලෙං නටනකොට ඇඳුං අන්දන්න වගේ වැඩවලට පොලිසියෙ නම විකුණපු හැටි එළියට එනව. පොලීසියත්, ටවුමෙ ඉන්න පිස්සො කීපදෙනත්, ගමේ ඉන්න බඩවල් තඩි බයානක පාට මිනිස්සු කීපදෙනත්, ග්‍රාමසේකර රාලාමිත්, හග්ගුඩු බිල්ලා, ගොරෝන හප්පා, බ්‍රහ්ම කටක ලොම්බා, ළමයි අල්ලන බිල්ලා වගේ ජීවිතේට කිසිම කෙනෙක් දැකල නැති කීප දෙනාත් නැත්තං අපේ ගමේ ළමයි හාමතේ, හෙලිවැල්ලෙම්ම මැරිල යනව.

තවමත් වලිය තිවිච්චි හරියෙං අයිං වෙලා වෙස් මාරුකරගන්න බැරිවෙච්ච කීප දෙනෙක්ව රාලහාමිලට අහුවෙනව. රාලහාමිලත් ඒ අස්සෙ ඉන්න ඇඟපත මහතට තියෙන එක්කෙනක් දෙන්නෙක්ට හෙමිහිට මාරුවෙන්න ඉඩ ඇරලා කෙට්ටු අය කීප දෙනෙක් විතරක් අල්ලගන්නවා. ඒ අයට සට පට ගාල කනේ පාරවල් දෙක තුනකුත් වදිනව.

“අනේ සාලාමි ගාන්නෙපා.”

කෙට්ටු අය රාලාමිලට වඳිනව. රාලහමිගෙ ඉනේ තියෙන කූරක් අමුණපු කලුපාට කවකටු පෙට්ටිය බෙරිහන් දෙනව.

“ෂාෂා ෂාෂෂෂාෂාෂා… සොරෝස්.”

රාලහාමිත් ඒ පෙට්ටිය අතට ඇරං ඊට වැඩිය සැරෙං පෙට්ටියට කෑ ගහනව. එතකොටම නිල්පාට ගාපු පොලිස් ජිප්පෙකත් එනව. රාලහාමිල දෙන්න ඒකෙ පිටිපස්සෙ දොර ඇරල කෙට්ටු මිනිස්සු ටික පටෝගන්නව. තව එක්කෙනෙක් ඇතුලෙ ඉඳං කෑ ගහනව.

“මෙච්චරද ඉන්නෙ?”

බිම ඉන්න රාලහාමි කෙනෙක් ආයිමත් සෙනග අතරෙ ඉන්න ළමයි වඩංගෙන නැති කෙට්ටු මිනිහෙක්ව ඇදල අරගන්නව.

“අනේ මං මේ මුකුද්දන්නෑ සාලාමි”

එයා පිංසෙන්ඩු වෙනව. ඒ එක්කම ගෑණු කෙනෙක් ළමයෙක්ව වඩාගෙන එතනට පනිනව.

“අනේ රාලාමි මගෙ මිනිහ සණ්ඩුවට ගියෙ නෑ.”

රාලහාමි ඒ ගෑනු කෙනාට ඇඟිල්ල උරුක්කරල සැර කරල එළවගන්නව. රාලහාමිල දෙන්නත් ජිප්පෙකට නැගල දොර වහගන්නත් කලිං ජිප්පෙක පොලිසිය දිහාවට ඉගිලෙනව. ඉං පස්සෙ මිනිස්සු තම තමංගෙ ළමයි මාරු ඇරගෙන “යස වැඩේ ඕකුන්ට සණ්ඩුවලට යනවට” කියලා පොලිසියට අහුවෙච්චි අයට බැණ බැණ තොරණ දිහාවට යනව.

අපිත් සෙනග පොදියට අහුවෙලා තොරණ දිහාවට ඇදිල යනව. ඒ අතරමගදි යකෙක්ගෙ කටක් අස්සෙං රිංගලා දිසානායක කඩේ පිළිකන්න පැත්තට යන්න තියෙන “අපාය” කියන එක බලන්න යන්න සමහර අම්මලට ඕන වෙනව. ඒ යක් කට ඉස්සරහ තියෙන බපල් පෙට්ටිවලිං ඇහෙන ලතෝනි සද්ද එක්ක එතනිං අඩියක්වත් ඇතුළට තියන්න කාටවත් හිතෙන්නෙ නෑ. ඒ වුනාට තමුංගෙ ඇට්ටර ළමයි මට්ටු කරන්න ලැබිල තියෙන “අපායෙං” වැඩක් ගන්න හිතාගෙන අම්මලා ළමයිංව ඒකටම ඇදං යන්න හදනව.

“යමං තොට පෙන්නන්න අට්ටරකං කොන්න එවුන්ට වෙන එව්ව පෙන්නන්න.”

අපායට යන තැන ටිකට් කඩන මිනිහත් ඒවට උල්පන්දං දෙනව.

“එන්න. ඇට්ටර ළමයි මේක බැලුවහම ආයි කිසියම්ම කිසි දවසක ඇට්ටර වැඩ කරන්නෑ”

සමහර ළමයි එතැනදි ‘ඇට්ටර වැඩ කිරීම, රණ්ඩු කිරීම, දෙමව්පියන්ට බැණීම, කුණුහරප කීම, සීනි, උම්බලකඩ හෝ පොල්බෑය හොරෙං කෑම, නහය හෑරීම, ඇද ඇල්ලීම, සෙල්ලං බඩු ඉල්ලීම, කඩචෝරු ඉල්ලීම,’ වගේ වැරදි ජීවිතේට නොකරන්නත් ඒ වෙනුවට ‘හැමදාම ඉස්කෝලෙ යාම, බඩ පිරෙන්නම දෙන දෙයක එක්ක බත් කෑම, පාන්දරිං ඇහැරීම’ වගේ හොඳ දේවල් කරන්නටත් පොරොන්දු වීමෙං එතනිං ගැලවෙනකොට අපායට ටිකට් දෙන යම රජ්ජුරුවන්ගෙ මූණ ඇදවෙනව.

තොරණෙ ආධාර කවි කියන එක නැවතිලා ඒ වෙනුවට ජාතක කතාව කියන්න පටං ඇරගෙන. ඒ අතරෙ දුරාවාරෙ ලැබෙන ආධාරත් රිංගවනව.

“තුන්වෙනි කොටුවෙන් පේන්නේ අප මා බෝසතානං වාන්සේ තමංගෙ යහළු මිත්‍රයින් සමග බඩු භාණ්ඩ පටවාගෙන රුවල් නැව්වල නැගිලා පිටරටවල්වල වෙළඳාමේ යන්ට පිටත් වෙනවා. එහෙම පිටත්වෙන්ට කලින් තමන්ගෙ මෑණියන් වාන්සේ හමුවෙලා මෙහෙම කියනව.”

“දට්ටොහ්ටොහ් දට්ටොහ්ටොහ්
මගෙ පින්බර මෑණියනේ මා කියනා දේ අහන්න..
මේ බඩු ටික විකුණන්නට පිටරටකට ගිහිං එන්න…
නැව් නැග යන්නට තිබෙනව මගෙ මිතුරන් සමග ඔන්න…
ඒ ගමනට ගිහිං එන්ට මට ඔබෙ අවසරය දෙන්න..
දබද් දබද් දොක්”

“බෝසතානෝ මෙහෙම කියනකොට…….ඈ… නම කියන්න හා.
පොතුපිටියේ සිට පැමිණි නොංචි හාමිනේ උපාසිකා මාතාව සිය මියපරලොව ගිය දෙමාපියන්ට සෙත්පතා රැපියල් දහයක් පරිත්‍යාග් කන්නොවා…..”

ආච්චි අම්මා කරේ තියෙන සාලුව වැලමිටේ දාගෙන වැඳගෙන බණ කතාව අහනව. උන්දැට ඉලක්කං බැරි හන්දා සැරිං සැරේ කියන ඉලක්කංවලට අදාල කොටුව පෙන්නා දෙන්න අපිට සිද්දවෙනව.

“අර කොණ්ඩෙ උඩට ගෙඩ්ඩ වගේ හිටින්න බැඳපු මිනිහෙකුයි සාරියයි බොඩියයි ඇඳපු ගෑනියෙකුයි ඉන්න එක තමයි ඔය කිව්වෙ ආච්චම්මෙ.”

“අර බුදුහාන්දෘවො ඉඳං ඉන්නවට පල්ලෙං මේ පැත්තෙ තියෙන්නෙ”

“ගෑණියෙක් නෙමෙයි ළමයො පව් සිද්ද කොරගන්නැතුව හිටාං. ඒ දේවින්නාංසෙ කෙනෙක්. අර ඉන්නෙ කුමාරය”

ආච්චි අම්මත් මාවයි චන්දරෙ මාමලෑ අයියයි අක්කයි පාපෙං ගලවා ගන්න අපි ලව්වත් වන්දවන් හදනව. අපිත් වැඳගන්නව. හැම කවියක් අන්තිමේදිම රබාන “දබද් දබද් දොක්” කියපු ගමං ආච්චි අම්ම සාදු කියනව. ඉං පස්සෙ සාදු කියන්න කියල අපිවත් බය කරනව.

“සාදු කියහල්ල. නැහ්නං පව් සිද්දවෙනව”

අපි තුන්දෙනත් පව් නැතිවෙන්න සාධු කියනව. කවිකාරයත් ආධාර ටිකට කවි කියල ආයිමත් ආධාරයක් එනකං ජාතක කතාව කියවනව.

“ඊළඟ පස්වැනි කොටුවෙන් පේන්නෙ මේ පිරිස මහා සාගරයේ වෙළඳාමෙ යද්දි විසාල කුණාටුවකට අසුවෙන අවස්ථාව.

“සාගරේ කුණකටුවො ඉන්නවද අම්මෙ?”

ඒ අතරෙ නෝනක්කා අහනව.

“කුණකටුවො නෙමෙයි පුතේ කුණාටුව. හයියෙං හුළඟක් එන එකනෙ ඒ කියන්නෙ.”

විශාල රළ ගෙඩිවලට නව්කාවන් අසුවෙලා ඒ මේ අත විසිවෙනවා. වෙළෙන්දන් දෙවියන්ගෙන් බේරාගන්න කියා ඉල්ලනව”

“දට්ටොට්ටොහ් දට්ටොට්ටොහ්
මහ විසාල කුණාටුවක් සාගරයේ හටගන්නව…
මහ නැව් රුවලුත් ඉරමින් මහ විනාසයක් කරනව..
දට්ටොට්ටොහ් දට්ටොට්ටොහ්

මහ රළගෙඩි පෙරලීගෙන ඇවිදින් නැව්වල හැපෙනව…
අන්තිමේදී බෝසතුන්ගෙ නැව පෙරලිල ගිලී යනව..
දබද් දබද් ටොක්…”

“සාදු සාදු සා…..දු”

පවෙන් බේරෙන්න හිතාගෙන අපිත් සාදු කියනව. වටේ ඉන්න මිනිස්සු අපි දිහා බලල හිනාවෙනව.

වෙනදට බඩට වැටෙන බත් ටික නැතිවීමත්, නිදාගත්ත වෙලාව පහුවීමත්, හිටං ඉඳලා කකුල් කඩිත්තුව හැදීමත්, හංදා කවි හතරක් පහක් ගතවෙද්දි තවදුරටත් කොයි තරං පවු සිද්ධවුනත් වැඳං ඉන්නත් සාදු කියන්නත් බැරි තත්වෙට අපිව පත්වෙනව. එතකොට ඒ හේතුවලට අමතරව ළමයි වඩාගෙන ඉඳීම කියන හේතුවත් එක්කහු වෙලා ලොකු අයටත් තොරං බැලිල්ල එපා වෙනව. ඇට්ටරකමට අල්ලගෙන ඉන්න ආච්චි අම්මටත් හිටං ඉඳලා කකුල් කඩිත්තුව හැදෙද්දි උන්දැම ගෙදර යන්න හේතුවකුත් හොයාගන්නව.

“මේ ගෑනු සැරිං සැරේ සුපියල් දහය විස්ස දික්කොන්නොව අතන ගිහිං. අර මනුස්සයට ජාතක කතාව කියාගන්නවත් දෙන්නෑ. ඔන්නොහෙ යමල්ල යන්න.”

හැමෝටම ඒ වචනෙ ඇති. ආච්චි අම්මගෙ හිත වෙනස්වෙන්න කලිං අපි ආපිට හැරෙනව. තව ඩිංගෙං තොරන් පොලෙං යන්න වෙන හන්දා මොනව හරි සෙල්ලම් බඩුවක් ගන්න හිතාගෙන අපි වටපිට බලද්දි ළමයින්ට ඒ කිසිම දෙයක් නොපේන්න බස් එකට නැගගන්න උවමනාවෙං අම්මා මාව වඩාගෙන සෙනග මැදිං විදිලි වේගෙං ආපහු යන්න පටං ගන්නවා. සෙල්ලං බඩු වෙලෙන්දන්ගෙ වාසනාවට ඒ වෙත්දි අපිට යන්න බස් එකක් නැති වෙනවා. බස් එකක් එනකං ඉන්න අතරෙ අත කැපෙන බෙලෙක් ලංගම බස් එකක්, මුද්දෙං අදින නලාවක්, ‘පර්ර්ර්ර්ර්’ ගාන නලාවක් වගේ සෙල්ලං බඩු කීපෙකුත් අරගන්න චන්දරෙ මාමලගෙ අයියටත් මටත් පුලුවං වෙනව. අපි එහෙම දෙයක් ගන්න හැම වෙලාවකදිම ‘හුලං බබා’ තරං ඔය කිසිම සෙල්ලම් බඩුවක් ලස්සන නැති බව නෝනක්කට කියන්න අපේ අනික් හැමෝටම සිද්ධ වෙනව. ඒ අතරෙ

“මිං පස්සෙ තෝව කිසියම්ම කිසි තැනක එක්ක යන්නෑ”

“ආයි කිසිම බඩකඩිත්තුවක් ඉල්ලුවට ඇරං දෙන්නෑ”

වගේ දැඩි තීරණ මට දැනුං දෙන්නත් අපේ අම්මට සිද්ද වෙනව.

එතනම කැරකෙන වඩේ කාරයො, කඩල කාරයො කීප දෙනෙකුත් අපේ අම්මගෙ පොකට් එකේ බර අඩු කරගන්න උදව්වෙනව.

තවත් පැය ගාණක් බලං, හිටං, ඉඳං, ඇවිද ඇවිද හිටියට පස්සෙ පාං ගෙඩ්ඩක් වගේ බස් එකක් ඇවිල්ල නවත්තනව. කොන්දොස්තරටවත් බහින්න ඉඩ නොදී මිනිස්සු බස් එකට නගිනව. බිම ඉන්න අය පොඩි ළමයින්ව ජනෙල්වලින් බස් එක ඇතුළට දානව. සෙනගට තෙරපිලා නෝනක්කගෙ ‘හරි ලස්සන හුලං බබා’ පුපුරණව. මිනිස්සු තමුංගෙ කණ ගාව පුපුරපු එක මොකද්දැයි බලද්දි ඒ ඉඩෙං අපිව ඇතුලට තල්ලු වෙනව. ඒ විදිහට බ්ලොක් ගලක් අස්සෙ වැලි කැට හිරවෙනව වගේ තදවෙලා පැය ගානක් හිටං හිටියට පස්සෙ තවත් සෙනග පොදියක් දොරේ එල්ලගෙන, සිංදු කියන, කෑගහන බීපු මිනිස්සු, බෙරිහං දෙන ළමයි, තොරණෙ ඕපදූප කතාවෙන ගෑණු, ආදිය පටෝගෙන බස්සෙක පිටත්වෙනව. ලයිට් නැති ඒ කාලෙ මගක් තොටක් හරියට හොයාගන්න බැරි හංදා තමුං බහින තැනට කලිං නැත්තං පහුවෙලා හරි බැහැගන්න මිනිස්සු නිදිමත බේරිබේරි ගෙවල්වලට යද්දි අපිත් හන්දියෙං බැහැල නිදිමතේ වැනි වැනී ගෙදර එනවා.

ආච්චි අම්මගෙ ‘බැටලියෙ’ පිහිටෙං පල්ලම බැහැගන්න අපිට තාත්තව ඇහැරවගන්න තව වෙලාවක් යනව.

“ඒයි”

“බොලේ”

“ඕයි”

“බොලේ”

අම්ම එහෙම කතා කරද්දි නැන්දයි ආච්චි අම්මයි

“ලොකුවයියේ”

“ලොකුවයියේ”

“ලොකු ළමයෝ”

“ලොකුඑකෝ”

කියල කෑ ගහනව. ඒ අතරෙ අම්ම මගේ අත අඹරෝල මට තර්ජනේ කරනව.

“තාත්තෙ කියහං”

“කියහං යකෝ”

මං කට හොල්ලන්නෙ නෑ. දොරගාවට ගිහිං දොරට ලනුව දාන්න දොර පියන හිල් කරල තියෙන තැනට කිට්ටු කරල මං ගෙනාපු නලාව පිඹිනව.

“පර්ර්ර්….පෑර්ර්ර්”

ගේ ඇතුලෙං දඩිබිඩි සද්දෙකුත් එක්ක දොර ඇරෙනව. මාව පස්සට විසිවෙනව. තාත්තා දොර පොල්ලත් අරං එලියට පනිනව.

“ඔහිටු පර බ්බල්ලා තොගෙ අඬු…”

ආච්චි අම්ම මාව පස්සට අරං උන්දැගෙ කෙසඟ සරීරෙ ඉස්සරහට ගන්නව.

“උඹට මොකා වැහිලද ලොකු එකෝ. කුම්බකරනෙය වගේ බුදි. ගං ඔන්නොය දොරපොල්ල මෙහෙට.”

ආච්චි අම්ම මාව බේරල තාත්තගෙ අතේ තියෙන දොරපොල්ල අරගන්නව.

“අම්ම කෑ නොගහ ඉන්න. මුගෙ ඉලන්දාරිකම ගාන්ට වැඩියි.”

තාත්තා ආයි ගොරෝනව.

“උඹක් ගිහිං බුදියහං. මුන්දෙන්නටත් බුදියන්න ඇරල. කටවහගෙන”

අම්මයි මායි ගෙට යද්දි තාත්තත් අපිට ඔරෝගෙන ගෙට ඇවිල්ල මගෙ නලාව ඇදල ඇරං බිම දාල පාගනව. නලාවෙ කට චප්පවෙලා යනව. ආච්චි අම්මා එක අතකිං දොර පොල්ලත් අරගෙන පල්ලම බහිද්දි නැන්දා ඊට පස්සෙං ටෝච්චෙක අල්ලගෙන යන්න යනව.

http://yanhella.blogspot.com/2017/11/pandol.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල