කාලීන සංවාද

මං වැරදියි තමයි.. ඒත් උඹලා හැදියල්ල.. ස්වයං විවේචනයක්.. Does your kid safe at your own house?

0

මේක පාපොච්චාරණයක්.. හැබැයි පව් සමාකරගන්න නෙවෙයි.. තව කාට හරි පාඩමක් වෙන්න.. වෙන විදියකින් කියනවනම් අත්දැකීම් බෙදා ගැනීමක්.. මට මේ ලෙඩේ තදින්ම තියෙනවා. ඒ කියන්නේ මගේ අතින් යම් වැරද්දක් අඩුපාඩුවක් උනොත් ඒක ඒ ඒ ක්ෂේත්‍රයේ අදාළ අය එක්ක නොවලහා බෙදා ගන්න එක.. අපේ වෘත්තියේදී ඒකට කියන්නේ Safety Communication නැත්නම් Safety Alert කියල. යම් අනතුරක් (Accident), අන්තරායකර සිදුවීමක් (Dangerous Occurrences) හෝ අනතුරක් සිදුවීමට ආසන්න අවස්ථාවක් (Near miss) උනාම ඒ පිළිබඳව අනිත් අයව දැනුවත් කිරීමෙන් එම සිදුවීම නැවත වීම යම් පමණකට වලක්වා ගන්න පුළුවන්. හැබැයි ලංකාවේදී ඕක කරලා මම නිකං ‘පච’ වෙච්චි වෙලාවලුත් නැතුව නෙවෙයි.

මොකද අපේ අය කරන්නේ ඔක්කොම වැරදි හංගල උඩින් කැපිලා පේන එකනේ.. එහෙම උනාම මං වගේ උන් සමහරුන්ට පේන්නේ හෙන ‘ලොස්’ එවුන් වගේ.. ඒත් මට මොකෝ කියල මම මගේ ක්‍රමේට යනවා.. දැන් ඕනිනම් බලපල්ලා මේ ටික ලියුවමත් ගොඩ දෙනෙක් බනියි ‘අනේ උඹේ රෙද්දේ සේෆ්ටි – ගෙදරට මරගාතේ’ කියල.. මක් කරන්නද බොස් ගුරුන්ටත් අකුරු වරදින එකේ හා මං ගුරෙකුත් නොවෙන එකේ..

මේ සිදුවීම් හතරක්.. හතරම මගේ ළමයි ගැන.. ළමයි තුන් දෙනයි.. ලොකු දෙන්නට එක බැගින් හා බාලයාට දෙකක්.. ඌට කොහොමත් එක නහරයක් වැඩියි උන්ගේ අප්පට වගේ.. හෙහ්..

පළවෙනි එක උනේ දෙදාස් අටේ වගේ.. එතකොට අපිට හිටියේ ලොකු දුව විතරයි.. ඔව් ඔව්.. ඔය උඩින් ඉන්නේ බ්ලොග් කවර් ඉමේජ් එකේ.. අන්න උන්දා තමයි.. එතකොට එයාට වයස යන්තම් දෙකක් විතර.. අපි දවසක් ගියා බූස්ස නේවි කෑම්ප් එක ඇතුලේ තියෙන හොලිඩේ බංග්ලෝ එකේ නවතින්න.. ගෙදර ළඟම උනත් ඉතීම් එහෙම වෙනසකට වගේ ගිහින් ඉන්නවා ෆැමිලි එකත් එක්ක ඒ කාලේ. ඔහොම ඉන්න ගමන් හවසක කොහේ හරි යන්න මම ඇඳුම් මදිනවා. නෝනා වෙන වැඩක. දුව මගේ ළඟ බිම සෙල්ලම් කර කරා හිටියා.. මම යන්තම් දැක්ක මෙයා දණ ගාගෙන අයන් එක සොකට් කරලා තියෙන පැත්තට කිට්ටු වෙනවා. ඒත් මට මොකුත් හිතා ගන්න කලින් මෙයා යටිගිරියෙන් කෑ ගහන්න ගත්තා.. බැලින්නම් අයන් එකේ වයර් එක අල්ලලා ඒක අතට ඇලිලා.. කරන්ට් එක වැදිලා දඟලනවා.. මම පැනපු ගමන් ස්විච් එක ඕෆ් කරා. ඒත් දිගටම දඟලනවා.. මට මොකුත් හිතා ගන්න බැරි උනා.. මම වේගයෙන් මගේ අත්දෙකෙන්ම ළමයව ඇදලා පැත්තකට දැම්ම.. මටත් කරන්ට් එක වැදුනා.. ඒත් සොකට් කරලා තිබ්බ තැනින් ප්ලග් බේස් එකත් එක්කම ගැලවිලා වයර් එක ඩිස්කනෙක්ට් උනා.. එතනදී තව දෙයක් උනා.. ළමයාත් එක්කම රත් වෙච්චි අයන් එකත් වීසි වෙලා ගිහින් වැටුනා.. මොකද අයන් එකේ වයර් එක තිබුණේ ළමයාගේ අතේ ඇලිල.. වාසනාවට අයන් එක එක පැත්තකටත් ළමයා තව පැත්තකටත් විසි උනේ.. එහෙම නොවුනා නම් කරන්ට් එකෙන් බේරුනත් අයන් එකට පිච්චිලා ලොකු තුවාලයක්/ කැළලක් හැමදාටම තියෙන්න තිබුනා.. ගෑනු ළමයෙකුගේ මූණේ අත පයක වගේ තැනක ඒ වගේ කැළලක් ආවොත් ඒක ඒ ළමයට හැමදාටම මානසික පීඩනයක් වෙන්නත් තිබුන..

එතනින් පස්සේ වෙච්චි දේවල් හෙවත් ඒ වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග මෙතන ලියන්නේ නෑ.. ඒත් එදා ඉඳල මම ගෙදර තියෙන අනාරක්ෂිත විදුලි සම්භන්දතා (Conduit තුලින් ගමන් නොකරන) ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ගත්ත. කිසිම විදියකින් ප්ලග් ටොප් එකක් නැති වයර් විතරක් අමුණන කනෙක්ෂන් භාවිතා කරන්න දෙන්නේ නෑ. ට්‍රිප් ස්විච් එක අනිවාර්යයි. ඒ වගේම පුළුවන් හැම වෙලේම තාවකාලික විදුලි සම්භාන්දතාවයක් අර ගත්තත් ඒක පළපුරුදු විදුලි කාර්මිකයෙකුටම කියල කර ගන්නවා.. neutral/ phase මාරු වෙලා සම්භන්ද කරලා තිබ්බොත් ඉහත සිදුවීමේදී උනා වගේ switch එක off කරාම විදුලි උපකරණය ක්‍රියාත්මක නොවුනත් අතරමගින් කරන්ට් එක වදින්න පුළුවන්.. ඒ ගැන ගොඩක්ම සැළකිලිමත් වෙන්න ඕනි. අනික අපේ විදුලි උපකරණ වල සම්භන්දක වයර්. දැන් තියෙන ගොඩාක් චීන/ ඉන්දියානු විදුලි උපකරණ වලට එන කෝඩ් බාල ඒවා.. ඒවා නිතර දඟ වැටිලා පලුදු වෙනවා. විශේෂයෙන්ම අයන් එකේ. ඒක නිතර එහෙ මෙහෙ කරන නිසා වයර් එක පලුදු වෙන්න තියෙන අවස්ථාව වැඩියි. පලවෙනි දේ විදුලි උපකරණයක් ගන්නකොටම ටිකක් වැඩිපුර වියදම් කරලා හොඳ තත්වයේ එකක් ගන්න ඕනි. ඒක ආරක්ෂාවටත්, විදුලිය ඉතිරි කරන්නත් දෙකටම වැදගත්.. ඒ වගේම ඒක හරියට නඩත්තු කරන්න ඕනි. භාවිතයට කලින් පොඩි චෙක් එකක් කරන්න ‘විදුලි කාන්දුවක්’ වෙන්න තියෙන ඉඩ ගැන. ඒ වගේම ඒ ඒ උපකරණ භාවිතයේදී වෙන්න පුළුවන් අනිත් අනතුරු ගැන. උදාහරනේකට රත් වෙන එකක් නම් පිච්චෙන්න පුළුවන්. වේගෙන් කැරකෙන එකක් නම් ඇඳුම/ කොන්ඩේ පැටලෙන්න පුළුවන්.. කෑල්ලක් ගැලවෙලා විසි වෙලා තුවාල වෙන්න පුළුවන්.. සියුම් දෙයක් විසිවෙලා ඇහැකට හානි වෙන්න පුළුවන්.

දැන් තියෙන ගොඩක් විදුලි උපකරණ වල ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. වොෂින් මැෂින් එකක් ක්‍රියාත්මක වෙද්දී අපි ඒකෙ වැස්ම ඇරියොත් මැෂිම ක්ෂණිකව නතර වෙනවා. මයික්‍රෝවේව් උඳුනක් ක්‍රියාත්මක වෙද්දී එක්කෝ පියන අරින්න බෑ.. නැත්නම් ඇරියොත් එක වරම ක්‍රියා විරහිත වෙනවා. මේවට කියන්නේ interlock කියල. මේ වගේ තව ගොඩක් safety features එකතු කරලා තියෙනවා.. වැඩේ කියන්නේ මුල් කාලේ මේවා හොඳින් ක්‍රියාත්මක උනත් මොකක් හරි රෙපෙයාර් එකකින් වගේ පස්සේ මුලින්ම අයින් කරන්නේ මේ දේවල්. මිකැනික් ලගේ නොදැනුවත්කම හා මේ වෙනුවෙන් අමතර කාලයක් මුදලක් ශ්‍රමයක් වැය කිරීමට ඇති අකමැත්ත. ඊට පස්සේ භාවිතය අනතුරුදායකයි.

හරි දෙවෙනි සිද්දිය උනේ ඊට අවුරුදු හතරකට විතර පස්සේ.. අපි බදුල්ලේ පදිංචියට ගිය අලුත. එතකොට අපේ දෙවෙනියට හරියටම අවුරුදු දෙකක් වගේ.. අපි රෑ කෑමකට අපේ ලොකු අයියලාගේ ගෙදර ගිහිං හිටියා.. අපි සාලේ කතාවක් අතරේ ළමයි දෙන්න සෙල්ලම් කර කර ඉඳල අයියලාගේ බෙඩ් රූම් එකට ගියා.. අක්කට (ලොකු දුවට) එතකොට යන්තම් පුළුවන් කම්පියුටර් එකේ වැඩ.. එයා මේසේ උඩ තිබ්බ කම්පියුටර් එකක් එක්ක මොනවදෝ කරද්දී මල්ලිත් එතනම ඉඳල.. අක්ක එකපාරටම කෑ ගැහුවා ‘අම්මේ මල්ලි බෙහෙත් පෙත්තක් කෑවා’ කියල.. දුවල ගිහින් බලනකොට අයියා ගේ බෙහෙත් පාර්සලය මේසේ උඩ. ඒ ගෙදර පොඩි උන් නැති නිසා එයාලට ඒක එහෙම තිබුනට ගැටළුවක් නෑ.. අපි ඉක්මනින් දරුවාගේ කටට අත දාල කටේ තිබුණු බෙහෙත් කුඩු ඉවත් කරා.. හපලා තිබුණු බෙහෙත් පෙත්තේ වර්ගය බලාගෙන පවුලේ ඩොක්ටර් කෙනෙක්ට කතා කරාම දැනගත්තේ ඒක අයියට ‘සීනි අඩු උනාම එන අපහසුතා වලින් මිදිලා නින්ද යන්න’ දෙන බෙහෙතක් බව.. කෝකටත් කල්පනාවෙන් ඉන්න ලෙසත් ළමයාගේ වෙනසක් දැක්කොත් වහාම රෝහලට රැගෙන එන ලෙසත් කියුව නිසා අපි ගෙදර එක්ක ගිහින් ලමයව නිදි කරලා කල්පනාවෙන් හිටිය.. පොඩි එකා පහු වෙනිදා උදේ නවය විතර වෙනකොටත් හොඳටම නිදි.. ඒ පාර බලෙන් නැගිට්ටුව.. ඒත් මෑන් ට කෙලින් ඉන්න බෑ මත් වෙලා වගේ.. හැකි ඉක්මනින් බදුල්ල මහා රෝහලට අරන් ගියාම ලේ එකක් එහෙම චෙක් කරලා අවුලක් නෑ ඒත් බලන්න ඕනි කියල ඇඩ්මිට් කරා.. එදා දවසෙම වගේ පොඩ්ඩා නිදි අපි ඇහැරලා.. පහුවෙනිදා උදේ වෙනකොට ඔක්කොම නෝමල් වෙච්චි නිසා ටිකට් කපාගෙන ගෙදර එක්ක ආවා.. ඉතිං ඊට වැඩිය කියන්න ඕනි නෑනේ.. බෙහෙත්, කෘමිනාශක, රසායනික ද්‍රව්‍ය අඩංගු භාජන කුඩා දරුවන්ගෙන් වෙන් කර තියන්න.. වැදගත්ම දේ ඔබේ ගෙදරදී විතරක් නෙවෙයි ඉන් පිටතදීත්..

ඊළඟ සිද්දි දෙකම උනේ මේ අවුරුද්දේ එකක් මාර්තු මාසේ වගේ.. අනික.. හ්ම්ම්.. වැඩිය නෙවෙයි ගිය සඳුදා උදේ.. හ්ම්ම්.. පලවෙනි එක සෑහෙන්න කොමන් එකක්.. එතකොට පොඩ්ඩට අවුරුද්ද පිරුනා විතරයි.. ඇවිදින්න හුරුවෙන්න(ටත් වඩා බලාගන්න අයට ලේසිවට) එයාට වෝකර් (Walker) එකක් ගෙනත් දීල තිබ්බ.. අම්මප මමනම් නෙවෙයි.. මට ඕව පේන්න බෑ. පොඩි කාලේ ලොකු දූ වෝකර් එකේ දාල උන්දැගේ කකුල් දෙකම ඇඹරුන සොත්ති උපාලි ගේ අත වගේ.. මාර කට්ටක් කාල ඒ දෙක ආපහු කෙලින් කර ගත්තේ.. ඒක වෙනම ලියන්න ඕනි එකක්.. කොහොම හරි මේ වෝකර් එක පොඩ්ඩට උපන්දිනේට තෑගී හම්බෙලා.. අම්මටයි ආච්චිටයි ලේසිවටයි කොල්ල වෝකර් එකට කැමති වෙච්චි නිසයි වැඩේ නැගලා ගිහින් තියෙනවා. මූට කොහොමත් විසේ එකා වෝකර් එකේ නැගලා රේස් යන්න අරං ඒ කොණටයි මේ කොණටයි ගේ පුරාම.. කට්ටියට හරි හුරතල් ඉතිං..

ටික දවසකට පස්සේ මට කෝල් එකක් ආවා කොළඹට.. ‘අප්පච්චි මල්ලි වෝකර් එකෙන් වැටිලා හොස්පිටල් අරන් ගියා.. ඇඩ්මිට් කරාලු.. පවූ.. ලේ ගොඩක් ගියා කියල” මට දෙලෝ සිහි උනා.. කොහොම උනත් එවලේම ඔලුව අවුල් කරගන්නේ නැතුව හැකි ඉක්මනින් මාත් ගියා.. යනකොට කොල්ල ඉන්නවා නළල බැන්ඩේජ් කරලා නහය තුවාල වෙලා.. දුකේ බෑ.. අම්ම මිදුල අතුගාන කම් පුතා එළියේ ඕපන් එකේ වෝකර් පැදලා.. කොහොම හරි අම්මගේ ඇහෙන් මිස් වෙච්චි වෙලාවක කොල්ලා වෝකර් එකෙන් අයිනටම ගිහිල්ල මොනවට හරි පහත්වෙලා කාණුවට දොක්.. නළල කාණු ගැට්ටේ වැදිලා පැලිලා ලේ ගිහිං.. තුවාලෙට අයිස් පොදියක් තියන් ගෙවල් ළඟම තියෙන ඉස්පිරිතාලෙට උස්සන් දිව්වම ඇඩ්මිට් කරගෙන. පොඩි නිසා මැහුම් දාලා නෑ. දැන් ඒ වෙනුවට අලවන ප්ලාස්ටර් එකක් තියෙනවා. එකම දේ ඒක ගලවන්න නොදී පරිස්සම් කර ගන්න ඕනි. නැත්නම් කැළල හිටිනවා. අනික කවුරු හරි එහෙම වැටිලා ඔලුව වගේ තැනක් වැදුනම ඒ ලෙඩා ගැන සැලකිලිමත් වෙන්න ඕනි. කිසියම් විදියකින් ඒ ලෙඩා වමනේ දැම්මොත් ඒ කියන්නේ එයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියකට හානි වෙලා අභ්‍යන්තර රුධිර වහනයක් නිසා ස්ථායි බව නැති වෙලා කියල වෙන්න පුළුවන්. එතකොට විශේෂ ප්‍රතිකාර වලට යොමු කල යුතුමයි. ඒක නිසා පිටින් පේන තුවාල නැති උනත් වැටිලා හිස කොහේ හරි වැදුන කෙනෙක් ගැන අඩුම පැය හයක්වත් යනකම් කල්පනාවෙන් ඉන්න. අපිත් එහෙම හොපිටල් එකට වෙලා එදා හවස් වෙනකම් කල්පනාවෙන් ඉඳල පොඩ්ඩා වත් අරන් ගෙදර ආව.. මම නම් ආපු ගමන් කරේ ‘වෝකර්’ එක අල්ලලා කැලේට විසි කරපු එක..

වෝකර් එකෙන් වැටිලා හොම්බ තලාගෙන ඉන්න ගමනුත් ආච්චිට කෝචෝක් එකක්..

රායිට්.. අන්තිම එක.. මේක උනේ මේ පහුගිය සඳුදා.. මම ඉතීම් රෑක් දවාලක් නැතුව වැඩ කරන මිනිහා නිසා සති අන්තෙට ගෙදර ගියාම ආපහු සඳුදා එන්නේ නම් ටිකක් පරක්කු වෙලා.. ළමයි එහෙම නින්දෙන් නැගිට්ටට පස්සේ.. ඔය එන වෙලාවට අනිවාර්යයෙන්ම අපේ ඔය පොඩි මෑන් ව ගෙදර ඉඳන් පාරට තියෙන පොඩි දුරට උකුලේ තියාගෙන එන්න ඕනි.. මම අඳිනවා දැක්ක වෙලේ ඉඳන් මිනිහා මට කාර් එකේ යතුරයි පර්ස් එකයි සපත්තුයි පෙන්න පෙන්න පස්සෙන් එන එක තමයි කරන්නේ.. කාර් එකේ තෙල් වතුර බලන කොට එතන.. ඉතින් බොනට් එක වහන්න කලින් හොඳට බලන්න ඕනි කොහෙවත් අත තියාගෙන එහෙම ඉන්නවද කියල.. තව ඔය වගේ මගේ වැඩට අමතරව මිනිහගේ වඩාත් එක්ක අටෝරසියක් පිළිවෙත් තියෙනවා පුරන්න පරිස්සමින්. පිටත් වෙන්න කලින් මම පුරුද්දක් විදියට සියලුම ගමන් බඩු.. ඒ කියන්නේ මගේ ඇඳුම් බෑග් එක, ලැප්ටොප් බෑග් එක, හෙල්මට්, සේෆ්ටි සපත්තු වගේ ඒවා මතක් කරලා එක එක වාහනේට දා ගන්නවා. අන්තිමට තමයි පර්ස් එකයි, ෆෝන් එකයි, කාර් එකේ යතුරයි අතට අරං නගින්නේ.. මගේ එක්ස්ට්‍රා කාර් කී එක ඒ වෙලාවට තියෙන්නේ ලැප් ටොප් බෑග් එකේ.. එදත් ඔය පිළිවෙල ඔහොමම උනා.. එක පොඩි දෙයක් වෙනස් උනා මතක විදියට. සේෆ්ටි සපත්තු දෙක කලින් දවසේ අව්වෙන් තියල වෙනම තිබුනේ. මම අනිත් සියලු දේ වාහනේට දාල සපත්තු දෙක ගන්න ගිය අතරට කොල්ල තනියෙම වාහනේට නැගල.. නගින්න කලින් මම කාර් එකේ යතුර තියපු තැනින් ඒකත් අරගෙන තමයි නැගල තියෙන්නේ.. මෙයා වාහනේට නගිනවා නෝනා දැකල ‘ඒයි මෙයා වාහනේ ලොක් කර ගනීවිද වත් දන්නේ නෑ’ කියන කොටම මට ‘ක්ලික්’ හඬක් ඇහුණා.. බඩුම තමයි. රිමෝට් කී දෙකත් එක්කම කොල්ලා වාහනේ ඇතුලේ ලොක් කරගෙන..

මට දෙයියෝ සිහි උනා.. ඒ ගමන් ආයි සිහි උනා දෙයියෝ මොනා කරන්නද කියල.. දුවල ගිහින් පරණ වාහන යතුරු සෙට් වගයක් තිබිල ගෙනත් දාල බැලුවට ම්හු.. කොල්ලාට ගානක්වත් නෑ. ඌ ඇතුලේ ඉඳන් උගේ වැඩ.. කාසි තියෙන ලොකට් එක දිග අරගෙන ඇතුලේ කාසි හලාගෙන.. අම්මයි, ආච්චියි, අක්කයි තුන් දෙනා විදුරු වල එල්ලිලා පින්සේන්ඩු වෙනවා අනේ මල්ලියේ අනේ පුතේ රිමෝට් එකෙන් දොර අරින්න කියල.. ඒක ගැන සලකලා කොල්ල යතුර අතට අරං බට්න් එක ඔබනවා.. හැබැයි ඔබන්නේ රිමෝට් කී එකේ තියෙන ලොකු බට්න් එක. ඒ කියන්නේ ‘ලොක්’ වෙන එක.. එහෙම කරලා හිනා වෙලා ආයිම මිනිහගේ වැඩ. මම සිහි එළවාගෙන අපේ මිකැනික්ට කෝල් එකක් දුන්න ඉක්මණට එන්න කියල විස්තරේ කියල.. ඊළඟට වාහනේ වීදුරුව බිඳින්න තරම් සයිස් යකඩේකුත් අතට අරගෙන වාහනේ ලඟට වෙලා කොල්ලගේ මුව්මන්ට් දිහා බලාගෙන හිටියා. මිකැනික් එන්න කලින් කොල්ල අඩන්න ගත්තනම් හරි වෙනත් අපහසුතාවයක් පෙන්නුවානම් හරි මට තිබ්බ එකම විකල්පේ වීදුරුව බිඳින එක.. කොහොම හරි ඔහොම නර්වස් විනාඩි දහයකට පහළොවකට විතර පස්සේ අක්කගෙයි අම්මගෙයි චාටු වලට රැවටිලා කොහොම හරි කොල්ල රිමෝට් එකේ පොඩි බට්න් එක ඔබල දොර ඇරියා.. එතකොට තමයි මට හුස්ම ටිකක් හරියට වැටුනේ.. ඒ ගමන්ම මිකැනික් මහත්තයත් හති දාගෙන ත්‍රිවිල් එකෙන් ආව නිසා එයාට රුපියල් පන්සීයක් සහ තේ බොන්න දීල පිටත් කරලා පැයක් හමාරක් හිතුවට වඩා පරක්කුත් වෙලා ඔළුවයි පපුවයිත් බර කරගෙන මාත් වැඩට එන්න ආව.. මේකට විකල්ප හොයන්න ඒ ආවයිත් හරි තාම ගියේ නෑනේ.. ගිහිං තමයි බලන්න ඕනි..

ඔන්න.. දැන් මට බනින උන් බැනපල්ලා.. ඒකට කමක් නෑ.. මේ වගේ දේවල් පොඩි උන් ඉන්න ගෙවල් වල වෙන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන පරිස්සම් වෙයල්ලා. කියෙව්වට ස්තුතියි.

-ක.මි.

http://kalahitha.blogspot.com/2017/12/does-your-kid-safe-at-your-own-house.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල