සාහිත්‍ය කළා විචාර

දේශ ද්‍රෝහියා ගේ ගොළු වූ හදවත

Off

ඈත අතීතයේ එක්තරා දිනෙක බොළඳ යෞවන ප්‍රේම වෘත්තාන්තයක් “ගොළු හදවත” යන නමින් කියෙව්වා මතකය. එය ලියා තිබුනේ කරුණාසේන ජයලත්ය. ඒ පොතේ සඳහන් ආදර අන්දරය නවසිය හැට ගණන් වල කතාවක් වුවද අසුව දශකයේදී කියවූ අපට එහි කිසියම් සමීප බවක් තිබුණි. ඒ ගොළු හදවතේ “දම්මි තවමත් ආදරෙයි” ගීතයත් සමග යයි සිතේ.

මාත් දන්නා හඳුනන තරුණ ලේඛිකාවක වන තරංගනී රෙසිකා ප්‍රනාන්දු විසින් ලියන ලද්දා වූ ගොළු වූ ප්‍රේමයක් ගැන පොතක් නොබෝදා කියවුයෙමි. මේ ප්‍රේමය ගොළු වූයේ එදා “ගොළු හදවතේ” මෙන් තරුණිය වෙන විවාහයක් කර ගැනීම නිසා නොවේ. මේ ගොළු වූ ප්‍රේමයේ තරුණයා අරක්කු වලින් ප්‍රේම ගින්න නිවාලන නිසාද නොවේ.

දශක ගණනාවක් තිස්සේ ජාතිවාදී යුද්ධයකින්ද තරුණ නැගිටීම් දෙකක් අතුරින් ද දරුණු ලෙස පෑරුණු ශ්‍රී ලංකාව නම් දේශයේ ප්‍රේමයක් හට ගන්නට කිසිදා ඉඩක් නොතිබෙන තරුණ හදවත් දෙකක් අතර හටගත් සමාජීය සම්බන්ධතා තුල අසම්මත වූ ප්‍රේමයක් ගැන කියවෙන නිසාවෙනි.

මින් වසර ගණනකට පෙර එනම් සත්වන මිහිඳු රජුගේ උත්තරීතර යුධ ජයග්‍රහණයෙන් හෙවත් මානුෂික මෙහෙයුමෙන් දෙවසරකට පමණ පසු අතුරුදහන් වූවන් ගැන තොරතුරක් ඉල්ලා කෙරෙන නිහඬ විරෝධයක් පුවත්පතක දුටිමි. මගේ ඇස ගැටුනේ අතුරුදහන් වුනු තම පියා ඉල්ලමින් පුවරුවක් අතින් ගත් කුඩා දැරියක සහ ඇගේ මවයි.

එදවස මගේ ඇඟේ දැවටෙමින් අන්දරේ ගේ කතා අහන, මගේ දෑත අල්ලා ගෙන රාත්‍රී නින්දට පිවිසෙන කුඩා දියණියන් දෙදෙනෙකු ගේ පියෙකු වූ මට ඒ පින්තූරයේ සිටි කුඩා දියණිය කෙරෙහි ඉමහත් ශෝකයක් ඇති විය. මදක් දුර සොයා බැලූ කල, ඈ රාත්‍රියේ නින්දට යද්දී, කතාවක් කියා දෙන්නට, උදයේ මුහුණ සිඹ පාසලට ගෙන යන්නට සිටින ආදරණිය පියා අතුරුදහන්ව ඇති බව සොයා ගතිමි. ඔහු අතුරුදහන්ව ඇත්තේද අතුරුදහන් වූවන් සොයන වුන්ට උදව් කිරීමට ගොසිනි.

ඔහුගේ දේශපාලනය මා අනුයන දේශපාලනය නොවිය හැකිය. එසේ වුවද ඔහු ත්‍රස්තවාදියකු නොව මානව හිමිකම් ක්‍රියාකාරිකයකු බව දැන ගතිමි. මානව අයිතිවාසිකම් අඩු තැනක මානව හිමිකම් ක්‍රියාකරුවෙකු යන වචනයම කුණු හරපයක් වී ඇති හා දේශ ද්‍රෝහී ලේබලයක් ඇලවී ඇති රටක, වෙනත් රටවල මානව හිමිකම් උස්මුරුත්තාවට බුදිමින්ම තමන් උපන් රටේ මානව හිමිකම් රැකෙන්නට නොදී පිටරට වල වෙසෙමින් බුකියේ දඟලන, රටේ ගහලයන් රකින ආත්මාර්ථකාමී මිනිසුන් නිපදවූ රටක, ඔහුගේ ඉරණම මට සිතා ගත හැකි විය. ඉතින් එදා සිට ඒ දරුවා ට පාසල් පොතක් ගන්නට ඇඳුමක් ගන්නට මසකට කුඩා ආධාරයක් කරන්නට සැලසුමක් යොදා සැනසුනෙමි.

ආදිත්‍ය ගේ මව ඇත්තටම ජිවත් වන අයෙකු නම් ඇය දැන් ජිවත් වන්නේ කොහොමද? ඇයට කන්න හදින්න දෙන්නේ කවුරුද? ඇගේ එකම පුතා වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන්ද? අතුරුදහන් වන ඕනෑම සහෘදයකු වෙනුවෙන් හඬන වැලපෙන නෑ සියන් කී දෙනෙකු ඇත්ද? රටක් මෙතරම් දරුණු වන්නේ කෙසේද?

තරංගනී රෙසිකා ප්‍රනාන්දු ගේ “දේශ ද්‍රෝහියාගේ නිර්මල හෘදය ” කියවීමෙන් අනතුරුව මගේ හිතේ නැගුනු සිතිවිලි සමුදායෙන් කොටසකි ඒ.

කලින් කියවා දැන සිටියද මුක්ති දේව ධර්මය පිළිබඳව අදහසක් මම හොඳින්ම උකහා ගත්තේ ඔලිවර් ස්ටෝන් ගේ “සැල්වදෝර් ” චිත්‍රපටය නවසිය අසූහයේදී පමණ නැරැඹු පසුය. වියට්නාමයේ ඇමරිකා එක්සත් ජනපද හමුදාව බිඳ වැටීම (මකරාගේ මල) නමැති පොත ලියූ රිචඩ් බොයිල් ගැන කියැවෙන මේ චිත්‍රපටියේ සැල්වදෝර් ජුන්ටාවේ බිහිසුණු කම මොනවට කියා පායි. චිත්‍රපටය පටන් ගන්නේම දක්ෂිනාංශික ඝාතක කණ්ඩායමක් විසින් ඇමරිකානු ජාතික කතෝලික කන්‍යා සොයුරියන් කිහිප දෙනෙකු දුෂණය කොට මරා දමන දර්ශනයකිනි. ඇමෙරිකානු ජනාධිපතිවරයාටද හොරෙන් සි අයි ඒ සංවිධානය මගින් ආයුධ හා මුදල් ආධාර සපයමින් රඳවා තබා ගත් මිලිටරි ජුන්ටාවේ දරුණු පාලනයට එරෙහිව කතෝලික පල්ලිය ජනතාව උදෙසා නැගී සිටියේය.

යේසුස් වහන්සේ යනු ආයතනික යුදෙව් ආගම හා ඉන් පැනවූ බදු වලින් පෙළුණු ජනතාව ඉන් මුදා ලන්නට කැපවුණු “දුගීන් ” ගේ රජෙකු ලෙස මෙන්ම ඔවුන් ගේ විමුක්ති දායකයා ලෙස හඳුනා ගත් විමුක්ති දේව ධාර්මික හතර වැනි ආච් බිෂොප් ඔස්කාර් රෝමිරෝ ගේ සාහසික ඝාතනය ද මෙම චිත්‍රපටයේ සඳහන් වෙයි.

ලංකාවේ විමුක්ති දේව ධර්මයේ ඉතිහාසය ළගන්නා අයුරින් විස්තර කරමින්ම, තරංගනී රෙසිකා තම කතාව, කථා නායිකාව වන කන්‍යා සොයුරිය සෙව්වන්දි ගේ සිතේ තම මානවවාදී පෙම්වතා කෙරෙහි හටගත් අසීමිත අසම්මත ප්‍රේමය බයිබලයේ සොලමන්ගේ ප්‍රේම ගීත ඇසුරින් අපට පහදන්නිය. බයිබලය කියවා තිබුනද එහි පෙම් ගී තිබු බවක් මට මතක නැත.

“පෙම්වතී
ඔබේ සිඹීම් වලින් මා නෑවි ඇත..
ඔබේ ප්‍රේමය මිදී යුෂට වඩා සුමිහිරි ය
ඔබේ සුවඳ විලවුන් සුමිහිරිය
ඔබ නම් වෑහෙන සුවඳ විලවුන් වැනිය
එබැවින් මුවැත්තියෝ ඔබට පෙම් වඩති”

කන්‍යා සොයුරියන්ට ලෞකික ප්‍රේමය ඇකැප යයි සිතමි. ඔවුන් බයිබලයේ පෙම් ගී කියවා දැවෙන සිත් සනසා ගන්නේ කෙසේද තරංගනී? සිස්ටර් සෙව්වන්දි ලෝගුව අතැර ගියේ ඒ නිසාද? නැතිනම් අතුරුදහන් වූ ආදරණිය පෙම්වතා උදෙසාද?

තරංගනී රෙසිකා පොඩිසිඤ්ඤෝ මරං පුෂ්පයට කැමති බව මා දැන ගත්තේ බ්ලොගයේ පළවූ ඇගේ නිසඳසකිනි. සිස්ටර් සේව්වන්දිද ඒ මලටම කැමති බවත් ඇය ඒ ගැන කවි ලියා ඇති බවත් ආදිත්‍ය ඒ කවි කියවා ආස්වාදයට පත්වුණු බවත් දැන ගතිමි.

“පොඩිසිඤ්ඤෝ නැසුවාද හැබෑටම
මේ හැටිම සුදු සිනා සලා ගෙන
කරුමයෙන් උරුමයට ආ නමක
වග වාසගම් රිදුම් නොගෙනේද….”

වික්ටර් හාරා ගැන , නෙරූදා ගැන අය්යන්දේ ගැන සෙව්වන්දි උගත්තේ ආදිත්‍ය ගේ ගිටාරය තුලිනි. විප්ලවය උපදින්නේ ප්‍රේමය වෙතින් බව චේ කියා ඇතැයි ඔහු ඇයට කියා දෙයි. මේ නම් ලංකාවේ අප දන්නා හඳුනන විප්ලවවාදීන් විය නොහැකිය. ඔවුන්ගේ මානව ප්‍රේමය සීමා වී ඇත්තේ ස්ටාලින් ගේ කාලයේ මෙන් පක්ෂයට පමණය. ඇත්තටම බොහෝ දුරට තනි තනිව බැලුවොත් ලංකාවේ වාමාංශික පක්ෂ වල සගයන් හැමෝම වගේ හොඳ මිනිසුන්ය. අනුන් ගේ දුකේදී තෙත් වන හදවත් ඇත්තෝ වෙති.

එහෙත් පක්ෂ දේශපාලනයට ගිය වහාම මේවායේ නරුමයන් වන්නේද ඔවුහුමය. මේ ලඟදි යහළුවෙකු විසින් එවූ පොතක තිබුනේ, එම පොත පුදන්නේ රටේ ඒකීය භාවය හා ධජය වෙනුවෙන් ජිවිත කැප කළ සගයන්ට කියායි. එම පොතේ බොහෝ විට සඳහන් වන්නේ 88-89 කාලයේ මරා දැමුණු හා අතුරුදහන් කෙරුණු තරුණ තරුණයින් ගැනය.
රටේ සමාජවාදය පිහිටුවනවා යයි කියූ නායකයෙකු හා ඔහුගේ අනුගාමිකයන් අන්තිමට සිරවුයේ වෙනත් දේශපාලන සන්දර්භයක් තුලය.

ඔවුන් පසු කලෙක ද්‍රවිඩ ජාතිකයකුද ඇතුළත්වූ මධ්‍යම කාරක සභාවක් මගින් යුද්ධයක් මෙහෙයවීමට දේශපාලන සහාය දුන්නේ රටේ කොටසක් ඉල්ලා එවැනිම යුද්ධයක් දියත් කල තවත් තරුණ කොට්ඨාශයකට එරෙහිවය. මේ දෙගොල්ලම විප්ලවවාදී හදවතින් යුක්ත වීම හා චේ මෙන් ප්‍රේමය අනුදැනීම කෙසේ වෙතත් තමන් විමුක්තිය ලබා දෙන්නට සිටින මිනිසුන්ද මරා දැමූහ. ඔවුන්ගේ ප්‍රහාර වලින් කුපිතවූ රාජ්‍ය යාන්ත්‍රණයේ දැඩි මර්දනය ඔවුන්ට එල්ල වූයේ “පලුටාව ” හා මුල්ලෙවෛක්කාල් හරහාය. ආදිත්‍ය ලාට නොතේරුනේ එයයි. ආදිත්‍යලා ගේ බොළඳ කම හෙවත් අධ්‍යාපනය වෙනුවට හදවත තෝරා ගැනීම නිසා ආදිත්‍ය ගේ ඉරණම විසඳුනේ සෙව්වන්දිට ජීවිත කාලයටම පශ්චාත්තාප වන්නට කාරණයක් ඉතිරි කරමිනි.

“වසා දැමුනේ මාවිල් ආරුව පමණක් නොවේ. පුරන්ව ගියේ ත්‍රිකුණාමලයෙන් ඔබ්බට පැවති කෙත් යායවල් පමණක් නොවේ. සමස්ත ලාංකේය හෘදය සාක්ෂිය ද දොරගුළු ලා වසා දැමිණි. මනුෂ්‍යත්වය පුරන් වුනි.” (පි 63.) මේ ඡේදය ප්‍රශ්නයක පැත්තක් පමණක් ගැන සිතා කරන ලද ළඳ බොළඳ දේශපාලන ප්‍රකාශයක් පමණි.

හේතුව එකම රටේ දෙපැත්තක හෘදය සාක්ෂිය ගොළුව ගියේ අර මා කලින් කිවූ අහවල් පොතේ ලියන සමහර අසත්‍ය වාර්තාවන් ටද අදාලවය. කිසියම් ශිෂ්‍ය සංවිධානයක් රටේ ඒකීය භාවයට විරුද්ධව දේශපාලනය කරන ගමන් අනිත් ප්‍රබල සංවිධනයට පහර දීම නිසා උන්ගේ නායකයා මරා දැමුණු වග එහි සටහන් වේ. ඒ කාලයේදීම එයට සමගාමිව උතුරේ දේශපාලන කණ්ඩායමක් තමන්ගේ සගයන් සමූලඝාතනය කළහ. ඒ යුගය සනිටුහන් කලේ මිනිසුන්ගේ තමන්ගේ හෘදය සාක්ෂියන් දොරගුළු ලා ගැනීම මගිනි. විප්ලවවාදියා තවත් විප්ලවවාදියෙකු ගේ බොටුව හිර කරන විට ඔහුගේ නිර්මල හෘදය ගොළුව පුරන්ව යන්නට ඇත.

ආදිත්‍ය ගේ කාලය එළඹෙන්නේ මේ දුර්ග සමයට පසුව එළඹෙන ඊළඟ යුධ සමය සමගය. එයින් පසුද දුර්භික්ෂය එළඹේ. යක්ෂයාගේ හෝරාව අවසන්ව නැත. තරංගනී රෙශිකා ගේ පොත වැදගත් වන්නේ මෙන්න මේ කාලය ගැන ඇගේ කියවීම තුලය. ඈ තුල නිරායාසයෙන්ම මතුව එන සාහිත කුසලතාවය, සිස්ටර් සෙව්වන්දි හා ආදිත්‍ය අතර ඇතිවන ප්‍රේමණිය සම්බන්ධය, විමුක්ති දේව ධර්මයේ හා බෞද්ධ විමුක්තිවාදී විඥානය තුල සැඟවෙන අයුරු ප්‍රසංශනිය ලෙස ගලපා දෙයි. ඔවුන් ගේ වෙන්වීමේ දුක් වේදනා, සම්මත දේශපාලනයේ අසම්මත ඉවුරේ සිට ගැනීමෙන් ලෝකාන්තයේ ප්‍රපාතයට වැටී නොපෙනී යන්නවුන් ගේ ඉරණම සමග සබැඳ ඇති බව ඇය අපට පහදන්නීය.

“පැලලි කුටිය තුල වූ හුදෙකලා ජීවිතය නෙත් දෑලේ බැඳ වහංගු කරලන්නට මෙන් මම කුටිය සිසාරා බැල්මක් හෙළුයෙමි. ඒ අතර ආදිත්‍ය කිසිවක් නොකියා ම, මවෙත බැල්මක් හෝ නො දීම නිහඬවම කුටියෙන් නික්මී ගියේය.” (පි 132)

සිස්ටර් සෙව්වන්දි ගේ සරල දිවි පෙවෙත බොහෝ විට ආදිත්‍ය නොදැන සිටි බව නොකියා කියන කතුවරිය, ආදිත්‍ය සෙව්වන්දි වටහා ගත්තේ එහිදී බව ප්‍රකශ කරන්නේ අපටද ඒ බවක් හරියටම නොදැනෙන ලෙසය. විමුක්තිය සැබවින්ම සොයන්නේ ඔහුද ඇයද යන්න ආදිත්‍ය ට ම ප්‍රශ්නයක් වන්නට ඇත?

ආදරය ඉස්මතුවන්නේ හදිසියේය. එහි ආශ්චර්යමත් මොහොත එන්නේද හදිසියේය.

“මා ආදිත්‍ය වෙත නැමීගෙන ආ කෙටි අහර ඔහු වෙත පෑවා පමණි. ඔහු මා සුරත දැඩි කොට අල්ලා තමා වෙතට ඇද ගත්තේය. තේ කෝප්පය ඉහිර ගියේ ලෝගුවට පිටින් ඇඳ උන් ඒප්‍රනය මතය. ඔහු මතද උණු තේ ඉසුණා නිසැකය. අනපේක්ෂිත ඇදීමෙන් සිරුරේ සමබරතාවය ගිළිහ ගිය මා වැටී රැඳුනේ ඔහු මතය. ඒ දෑත මා වටා එතුනේ එසැණය. මට නැගී සිටින්නට අමතක වුනි. අමතක නොවුණා ද නොවේ. මට නැගී සිටින්නට ඇවැසි නොවීය. කල්ප කාලයක් හදවතින් හුරුව සිටි උනුහුමකි ඒ, දාඩිය පුසුඹකි ඒ, සෙනෙහසකි ඒ “(පි 144)

සෙව්වන්දි හා ආදිත්‍ය ගේ ප්ලැටොනික ආලයේ සුරතාන්තය එළඹෙනුයේ එළෙසය. තරංගනී රෙසිකා ඉතා සංයමයෙන් යුතුව තම වියමන හසුරුවන්නී මිනිසෙකුගේ ඉරණම ඔහුට හෝ ඇයට දැනෙන බව අපට පවසන්නේ මෙලෙසය. අවසන් හමුවීමේ දී ඔහු තම ගිටාරය ඇයට දෙයි.
“මේ, මගේ පණ, මං මගේ පණ ඔයා ළඟ තියල යනවා., ටික කාලෙකට පරිස්සම් කර ගන්න. මං ගිහින් එන්නම්”

තරංගනී ඉතා සියුම්ව අපට පවසන්නේ මේ ආදිත්‍ය සෙව්වන්දි අත තබා යන්නේ ගිටාරය නොව ඔහුගේ පණම බවයි. ඔහු නැවත නොඑන බව ඔහුම දනී.

“තාත්තා නැති වෙද්දී පුතාට අවුරුදු දොළහයි සිස්ට. අනේ බරක් පතළක් තේරෙන වයසක නෙමේ උන්නේ. ඒත් එදා ඉඳන් තාත්ත කෙනෙක් වගේ පවුල ගැන හිතුව. අනේ මට හයියකට උන්නේ එච්චරයි සිස්ට.” (ආදිත්‍ය ගේ මව) සිය ගණන් අතුරුදන් වූවන් ගේ, මවුන්ගේ හා බිරිඳන් ගේ විලාපය මෙහි ගැබ්ව තිබේ. ඉහත පොතේ පින්තූරය, චන්ද්‍රගුප්ත තේනුවරයන් ගේ අතුරුදහන් වූවන් සඳහා වූ ස්මාරකය ඔවුන් සඳහාය.

විමුක්තිය සොයා සිස්ට සෙව්වන්දි නැවතත් මුතු ඇල්ල ගමට යන්නීය.

“ගොළු හදවතින්” පසු එබඳුම ගොළු එහෙත් දහස් ගුණයකින් විචිත්‍ර වූ ආදරයක් හා දේශපාලනයක් සම්බන්ධ කර අඳුරු යුගයක් විවරණය කරන්නට තරංගනී රෙසිකා සමත් වන්නීය.

ප.ලි.
මේ පොතේ විමුක්ති දේව ධර්මය පිලිබඳ තව දුරටත් ලියන්නට සිතුවෙමි. මට පසුව මතක් වූ පරිදි ලතින් ඇමෙරිකාවේ පනස් ගණන් වලදී, කතෝලික පල්ලියේ පියවරුන් සහ කන්‍යා සොයුරියන් ඉමහත් සමාජ ප්‍රශ්න හා දුක්ඛිත ජිවිත වල ගැලී සිටි තමන්ගේ පල්ලි වලට රොක් වන ජනතාව උදෙසා දියත් කරන ලද සමාජ මෙහෙවර කිසියම් විධිහයකින් මාක්ස්වාදී චින්තනය සමග බැඳී පැවතුනි. එදවස ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ලතින් ඇමෙරිකානු අරගල වලට එරෙහිව හා ඒ රටවල මිලිටරි ජුන්ටාවන්ට පක්ෂව පැවති නිසා කතෝලික පල්ලියේ විමුක්තිවාදී කොටස් ගත්තේ ද බහුතර ජනතාවගේ පැත්තය.

ලංකාවේ මේ පිළිබඳව මුලින්ම ලිව්වේ දයාන් ජයතිලක මහතාගේ පියාවන මර්වින් ද සිල්වා මහතාගේ ගාඩියන් සඟරාවේ බව මට මතකය. දයාන් ජයතිලක මහතාද මේ ගැන ලියා හෝ දේශනය කර ඇති බව මට මතක මුත් ඔහුගේ ලිපි සොයා ගැනීමට නොහැකිය.

බෞද්ධ විමුක්ති මාර්ගය මාක්ස්වාදී දේශපාලනයට සවි කරන ලද්දේ කොමියුනිස්ට් පක්ෂයේ උඩ කැන්දවල සිරි සරණංකර හිමියන් විසිනි. උන්වහන්සේ ඉතා සාර්ථකව එය කළමුත් රෝහණ විජේවීර මහතාගේ ජවිපෙ මේ සම්බන්ධය තරමක් දුරට විනාශ කලේ ඉන්දියානු ව්‍යාප්ත වාදය සමග අනියම් ලෙස බද්ධ කරමිනි.

මේ අනුව ජවිපෙ හෝ වෙනත් රැඩිකල් තරුණයන් ගේ බෞද්ධ ජන විඥානය හැඩ ද ගැසුනේ උතුරේ විමුක්ති දේව ධර්මයට විරුද්ධවය. ඒ සියල්ල අන්‍යාගමික විදේශික බලවේග ලෙස සරල වුනි. එසේම උතුරේද විමුක්තිවාදී බෞද්ධ දර්ශනය වෙනුවට දකුණේ දේශපාලනය සූක්ෂමව යොදාගත් සිංහල බෞද්ධ හෙජමනියට විරුද්ධව අරගලයක් ක්‍රියාත්මක විය. ප්‍රධාන ප්‍රශ්නය ගිලිහී විප්ලවවාදීන් එකිනෙකා මරා ගත්තේ එබැවිනි.

අවසානයේදී සෑම අවස්ථාවකදීම අවසාන විමුක්තිය උදා කර දුන්නේ හමුදා සොල්දාදු සහෝදරයාය.

ස්ලෝවොයි ජිජක් විමුක්ති දේව ධර්මයේ අතීත භූමිකාව ප්‍රතික්ෂේප කරන්නෙකි. ජිජක් බ්‍රිතාන්‍යයේ ක්‍රිස්තියානි දෙවධර්මාචාර්ය ජෝන් මිලිබෑන්ක් සමග ලියු “ක්‍රිස්තුන් ගේ භීෂණය ” (the monstrosity of christ) පොතේ, තමන්ගේ අදේවවාදය තුල මිලිබෑන්ක් ගේ සම්ප්‍රදායික ආගම ප්‍රතික්ෂේප කරන ජිජක් අවසානයේ පල්ලියෙන් තොර වූ ක්‍රිස්තියානු විමුක්තිය පිලි ගනී. ගොස්පෙල් ගීත හරහා ක්‍රිස්තියානු විමුක්ති දේව ධර්මය ඔහු ප්‍රතික්ෂේප නොකරයි.

විජේවීර අමතක කළ උඩකැන්දවල හිමියන් ගේ විමුක්ති බුද්ධ ධර්මය භාවිතා කිරීමට කාලය එළඹ ඇත්ද?

ජීජක් බිලිවර් සඟරාවේ ඩයනා දිල්වර්ත් සමග කල සාකච්චාවේ කොටසක් මෙහි දැක්වේ.
.මූලාශ්‍රය
//Of course when I advocate Christian legacy, I make it very clear that this legacy today is not alive in the Catholic or any Christian Church. Here I am kind of a vulgar Stalinist; churches should either be destroyed or turned into cultural homes or museums for religious horrors [laughs]. No no no, it’s not that, but nonetheless, a certain logic of radical emancipation exploded there. And all original emancipatory movements stopped there. This should be admitted. So the point is not to return to the Church, to rehabilitate Christianity, but to keep this certain revolutionary logic alive. I mean this is the good news that the Gospel means: you can do it, take the risk.//

https://kolambagamaya.blogspot.com/2017/12/blog-post_13.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල