කාලීන සංවාද

ඉතාමත් නිහතමානි රාජ්‍යතාන්ත්‍රිකයෙකු හමුවිය…..

0

රජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, මට රාජ්‍ය නොවන පුණ්‍ය ආයතනයක්‌ වන, කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් යෝජිත, පුස්තකාලය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක නියැලීමට අවස්ථාව ලැබිණ. විශේෂයෙන්ම පුස්තකාලය සම්බන්ධ අධ්‍යාපන වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කිරිම මට අයත්වූ ප්‍රධාන වැඩ කොටසක් විය. ප්‍රදේශයේ දානපති පවුලක් විසින් බෝධි භාරකාර මණ්ඩලයට තිළිණයක් වශයෙන් පවරා දෙන ලද ‘තිලිණ’ නම් ගොඩනැගිල්ලෙහි ස්ථාපනය කරන ලද පුස්තකාලය ‘බෝධිඥාන පුස්තකාලය’ යනුවෙන් නම් කරන ලදී.

පුස්තකාලයේ සියලු සංවිධාන කටයුතු අවසන්කර, එය විවෘත කිරීම සඳහා එවකට සිටි රාජ්‍ය පරිපාලන ඇමතිතුමාට ආරාධනය කර තිබිණ. ආයතනයේ සභාපති තුමාගේ නිර්දේශය අනුව, එදින රැස්වීමේ විශේෂ දේශනය පැවැත්වීම සඳහා රාජ්‍ය සේවයේ ඉතාම වැදගත්, අග්‍රාමාත්‍ය ලේකම් සහ ජනාධිපති ලේකම් තනතුර කිහිප වරක්ම දරා, විශ්‍රාම සුවයෙන් සිටින ප්‍රභුවරයෙකුට ආරාධනා කරණ ලදී. ඔහු ආරාධනය සතුටින් පිළිගත් බව හැරෙන තැපෑලෙන් දන්වා එවිය.

ඔහු සභාවට හඳුන්වා දීමේ කාර්යය මා වෙත පැවරිණ.

මෙම භාරදුර කාර්යය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීම පිණිස මට ඔහු හමුවීමට සිදුවිය.

බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති තුමාගෙන් ලබාගත්, එතුමාගේ දුරකථන අංකයට කථාකර, ඔහුගේ ලිපිනය ලබාගෙන, හමුවීමට දිනයක් සහ වේලාවක් නියම කර ගතිමි.

නියමිත දින මා එහි යනවිට ඔහු නිවසේ ආලින්දයේ මා බලාපොරොත්තුවෙන් සිටියේය.

මා සාදරයෙන් පිළිගත් ඔහු ආගිය තොරතුරු කථාකර තමන් විසින් මෑතදී ලියා පළකරන ලද පොත් දෙකක් මට පෙන්වා

‘මම මේ පොත් දෙක පුස්තකාලයට තෑගි කරනවා.’
කියා පොත් මා අතට දුන්නේය. ඉංග්‍රීසියෙන් ලියා පළකර තිබුණු පොත් දෙක මෙසේය

1. Rendering Unto Caesar: A Fascinating Story of One Man’s Tenure under Nine Prime Ministers and Presidents of Sri Lanka
2. ‘Kalutara – An Odyssey’,

මට තේ කෝප්පයකින් සංග්‍රහ කළ එතුමා,

‘මා ගැන ඒ තරම් කියන්නට දෙයක් නැහැ. මමත් ඔය පැත්තේම කෙනෙක්. මගේ උපන් ගම කළුතර, පයාගල. මම මුලින්ම ඉගෙන ගත්තේ කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයේ’

එම තොරතුරු මම කලින් දැන නොසිටියෙමි.

මට අවශ්‍යතාවය තිබෙනුයේ පුස්තකාලය විවෘත කිරීමේ මහා සභාවේ ආරාධිත දේශකයා වන ඔහු හඳුන්වාදීම බව මම කීවෙමි.

‘එහෙනම් මගේ ගම් ප්‍රදේශයේ ජනතාව වැඩිපුර එන ඔය රැස්වීමේදී බොහෝ දෙනෙක් නොදන්නා යමක් කියමු.’

කියමින් ඔහු මා අසලම පුටුවක හිඳ ගත්තේය.

එතුමාගේ රසවත් විස්තරය ඔහුගේ වචන වලින්ම මෙසේය.

‘මම අහලා තියෙන තොරතුරුත් එක්ක මගේ කතාව කියන්නම්. ඔයාගේ වැඩේට ගැලපෙන විදිහකට තෝරා බේරා ගන්න. මම උපන්නේ 1930 ඔක්තෝබර් 20 වෙනිදා. රෝහලේ උපන් මා, දැක බලාගත් මගේ පියා හදිසි කටයුත්තක් තිබෙන බව කියා ඉක්මණට පිටවී ගියාලු.’

‘මගේ පියා ඒ කාලෙත් ක්‍රිකට් පිස්සෙක්ලු. ඔහු ඉතාමත් ප්‍රිය කරන ලෝකයේ නම් දරාපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් එදා ලංකාවට ඇවිත්. තාත්තා කලබලෙන්ම ගොස් තිබෙන්නේ එදා සවසට ක්‍රිකට් සංගමය මගින් හදිසියේම ඒ ක්‍රීඩකයා වෙනුවෙන් සංවිධානය කළ සාදයකට ගොස් ඔහු දැක බලා ගැනීමටයි.’

මම සාවධානව අසාගෙන සිටියෙමි. මේ කතාව මගේ අවශ්‍යතාවට ගැලපේද යන්න මට ප්‍රහේලිකාවක් විය.

‘එදා තාත්තා බලන්නට ගොස් තිබෙන්නේ ලෝකප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩොන් බ්‍රැඩ්මන්වයි.’ කී ඔහු, මඳක් කල්පනාකරන්නට විය.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පවත්වන ‘අළු බඳුන’ (Ashes) මහා ක්‍රිකට් තරඟාවලිය එම වසරේදී පවත්වා ඇත්තේ එංගලන්තයේය. එහිදී ටෙස්ට් තරඟ පහෙන් දෙකක් ඔස්ට්‍රේලියාව දිනාගත් අතර එකකින් පරාජයට පත්විය ඉතිරි තරඟ දෙක ජය පරාජයකින් තොර විය. මේ නිසා තරඟ වාරයේ ජය ඔස්ට්‍රේලියාවට අත්වි තිබේ. මෙම ජයග්‍රහණයේ වීරයා වී තිබෙන්නේ ලකුණු විශාල සංඛ්‍යාවක් ලබාගත් ඕස්ට්‍රේලියාවේ ඩොන් බ්‍රැඩ්මන්ය. මෙය පත්‍ර වාර්තාවක සඳහන් කර ඇත්තේ මෙසේය.

“Australia won the 1930 Ashes series against England, winning two of the matches and losing one, with the other two tests drawn. Don Bradman had been the highest scorer. This particular tour will always be remembered by reason of the amazing batting successes which attended the efforts of Bradman.”

ඔහු තම කථාව තවදුරටත් කරගෙන ගියේය.

‘සවස ආපසු පැමිණි පියා (තවමත් පහවී නොගිය ක්‍රිකට් උද්දාමයෙන් යුතුව) ඒ දිනවල ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා වී සිටි ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ නම පුංචි පුතා වන මටද දැමීමට තීරණය කරලා.’

‘ඔන්න ඔහොමයි සිංහල මට අපේ පවුලේ වාසගමත් එක්ක බ්‍රැඩ්මන් වීරකෝන් නම ලැබුනේ.’

මෙසේ කියමින් ඔහු මඳ සිනහවක් පා මාදෙස බලා සිටියේය.

සියල්ල කෙටියෙන් සටහන් කර ගත් මම

‘හරි අපූරු කතාවක්නේ. මම උත්සවය දාට මේ විස්තරය කියවන්නම්’ කීවෙමි.

ඔහු හිස සලා එය අනුමත කළේය.

පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයට පැමිණි ආරාධිත අමුත්තන් හේවිසි හොරණෑ සහිත පෙරහැරකින් ප්‍රධාන ශාලාව වෙත කැඳවාගෙන එන ලදී. චාම් ඇඳුමකින් සැරසි බස්තමක්ද රැගෙන පැමිණි ඔහු වේදිකාවට ගොඩ වන විට අසල සිටි අයෙකු උදව් කිරීමට සැරසෙන විට විහිළුවක් කළ ඔහු,

‘මට තවමත් තනියම පඩි නගින්නට පුළුවන්. මේ බස්තම තියෙන්නේ මම වයසක කෙනෙක් කියලා පෙන්නන්නට විතරයි. ඒ උනාට මම සිතින් තරුණයි.’ කියමින් සිනහ විය.

ආරාධිත දේශක තුමාගෙන් ලබාගත් සියලු තොරතුරු සම්පිණ්ඩනය කර හඳුන්වා දීමේ උපුටනය (citation) උත්සව සභාවේ කියවූ විට බොහෝ දෙනෙකුට මහත් කුතුහලයක් ඇතිවිය. උත්සව සභාව, ශාලාව ගිගුරුම් දුන්, මහත් අත් පොළසන් නාදයකින් එතුමා පිළිගත්හ.

බ්‍රැඩ්මන් වීරකෝන් නමැති මේ යුග පුද්ගලයා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා, ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ දිවිතීය අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වී තිබේ. විශ්ව විද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජවිද්‍යාව විෂයයන්ගෙන් ගෞරව උපාධියක් ලබා ඇති ඔහු ‘ෆුල්බ්‍රයිට්’ (Fulbright) ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්ව විද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියක්‌ ලබා තිබේ.
1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර සර් ජෝන් කොතලාවල අගමැති තුමාගේ ලේකම් වශයෙන් පත්වී 2002 වසර දක්වාම තේරී පත්වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම් වරයා වශයෙන් අද්විතීය සේවයක් කර තිබේ.

ඔහුගේ ‘Rendering Unto Caesar: A Fascinating Story of One Man’s Tenure under Nine Prime Ministers and Presidents of Sri Lanka’ නම් පොතෙහි රාජ්‍ය නායකයින් ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ කාලයේ සත්‍ය තොරතරු ඉතා රසවත් ලෙස පාඨකයා හමුවේ තබා ඇත.

එසේම ‘Kalutara – An Odyssey’ නම් පොතේ කළුතර ප්‍රදේශයේ යටගියාව සහ නවීන සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව අගනා විස්තරයක් කියවිය හැකිය.

http://dayawee2.blogspot.com/2017/12/blog-post_24.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල