කාලීන සංවාද

ඇයි ගෑණුන්ට මෙහෙම වෙන්නෙ ?

Off

මේ ලියන්නෙ මේ අවුරුද්දට අවසන් පෝස්ට් එක වේවි. ඉතින් මුලු අවුරුද්දකටම ලියවිලා තියෙන්නෙ පෝස්ට් 9ක් පමණක් වීම ගැන හිතට දුකයි. මගේ කම්මැලිකම ගැන හිතේ පොඩි පසුතැවීමක් තියනව. ලබන වසරේ මීට වඩා යමක් ලියන්නම්.

මුලින්ම කියන්න ඕන, මම මේ ලියන දේ ටිකක් පෞද්ගලික මාතෘකාවක්. මාතෘකාව තමයි, විවාහයට පෙර හා පසු, ගෑණුන්ට හැඟෙන දේ. මේ ගැන පොඩි විවෘත සංවාදයක් සිදු වෙනවා නම් මම කැමතියි. බ්ලොග් අවකාශයේ ඉන්න තරමක් ඉන්නේ, කසාද බැඳපු, තලන්තෑනි, ලොම් හැලිච්ච පිරිමි නිසා, මේක කතා කරන්න හොඳම තැනත් බ්ලොග් එක. 😀 ජජ් කරන්නේ නැතුව, මඩ ගහගන්නේ නැතුව, එන්න, අපි කතා කරමු.

මාතෘකාව පෞද්ගලික නිසා මගේ ගැන තොරතුරු ටිකක් කියන්නම්, මුලින්ම. ඔබ හැමෝම දන්නව වගේ, මම විවාහ විය යුතු වයසේ කියල සමාජය විසින් තීරණය කරපු, තරුණ ගෑණු ළමයෙක්.

මගේ, මේ දවස් වල ෆේස්බුක් වෝල් එකේ ඕනෑම වෙලාවක බැලුවොත්, ප්‍රී ෂූට්, වෙඩින් ෆොටෝ, හනිමූන් සෙල්ෆි, හෝම් කමින් ෆොටෝ, ඊට පස්සෙ දෙන්නත් එක්ක ට්‍රිප් ගිහිපු ෆොටෝ තමයි වැඩිපුර තියෙන්නෙ. ඊට අමතරව, තනිකඩ, විවාහාපේක්ෂිත ගෑනු ළමයි විසින් ශෙයා කරන විවාහ ප්‍රදර්ශන, මනාලියන්ගේ විලාසිතා තියන ඇල්බම් එහෙමත් ඔය අතරින් පතර තියනව.

සාමාන්‍යයෙන් මාල හතක් දාල, පෝරුවේ නැගල, උත්කර්ෂවත් විවාහ උත්සවයක් ගන්නා එක, බොහොමයක් ගෑනු ළමයින්ගේ හීනයක් නේ. මෙතනදි මගේ ජීවිතේ ලොකු වෙනසක් සිදු වෙනවා, ඒ තමයි, මීට වසර කිහිපයකට පෙර, ඉතාම හදිසි රිය අනතුරක් නිසා සිදු වුණු, මගේ පියාණන් ගේ අභාවය. මනාලියක්, අතින් අල්ලාගෙන විවාහ ශාලාවට ගෙනැත්, පෝරුවට නග්ගවන පියාගේ සෙවණ නැතිව ජීවත් වෙන්න පුරුදු වෙච්ච මට, පෝරුවේ නැගලා විවාහ වෙන එක වදයක් කියලයි හිතෙන්නෙ. ඒ, මගේ අතින් අල්ලන් එන්නට, මගේ පියා මා ළඟ නැතිකම. තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මුණ ගැහුණු දවසක, බොහොම චාම් විදියට රෙජිස්ට්‍රේෂන් එක විතරක් ගන්නට මගේ හිතේ තියන අදහස එක්ක, මගේ අම්ම, කසින් බ්‍රදර් ල, ගොඩක් අය මගේ හිත වෙනස් කරන්න උත්සාහ කරල තියනවා, “අපි ඔයාගෙ අතින් අල්ලන් ඔයා එක්කම ඉන්නව මානවී” කියල. නමුත් මගේ පියා ළඟ නැති නිසා, මට පෝරුවේ චාරිත්‍ර එක්ක විවාහ වීමට, අනිත් ගැහැණු ළමුන්ට වගේ හීනයක් නෑ.

ඊළඟට ගත්තොත්, මම ටිකක් ෆැෂන් වලට කැමති කෙනෙක්. ෆිගර් කන්සර්න්ඩ්, ජිම් යන, වර්ක් අවුට් කරන කෙනෙක්. ඒත්, එදිනෙදා ජීවිතේ ෆැෂන් වලට කොයි තරම් ආස වුණත්, විවාහ උත්සවයකට ආස නැති නිසාද මන්ද, මනාලියක් විදියට අඳින්න, මේකප් කරන්න, ආස හිතෙන්නේ නැහැ.

ඊළඟට, මගේ පියාගේ අභාවයෙන් පසුව, මගේ මව් තුමිය ටිකක් අසනීප වෙන්නට පටන් ගත්ත. ගොඩක් බැඳීමකින් ජීවත් වූ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හදිසියේ නික්ම යාම, අනිකාට දරන්නට අමාරු වුණා. මේ නිසා, මම මගේ අධ්‍යාපනය, රැකියාව ඇතුළු පුද්ගලික වැඩ කටයුතු බොහොමයක්, සිදු කරගත්තේ තනිවම. ඒ ලැබුණු පන්නරය එක්ක, මට කවදාවත් එදිනෙදා ජීවිතයේ පහසුව සඳහා තවත් කෙනෙකු සොයා ගැනීමේ අවශ්‍යතාවයක් දැනුණේ නැහැ.

ටික කාලයක් තිස්සේ ඉන්නෙත් විදේශගත වෙලා නිසා, ඕන වෙලාවක, ඕන තැනක, ඕන ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන් ආරක්ෂාකාරී සමාජ වටපිටාවක, ආරක්ෂාව වෙනුවෙන් කවුරුවත් හොයා ගන්න ඕන කියල හිතෙන්නෙත් නැහැ.

එතකොට කිල්ලෝටෙ හුණු ඇත්තෙම නැද්ද?

තියනවා.

එළියේ හිම වැටෙන, ඇවිදින්න යන්න බැරුව ගේ ඇතුලට වෙලා කම්මැලිකමේ ඉන්න දවසට, හොඳටම වහින, සීතල අන්ධකාර දවසට, උණුහුමට ගුලි වෙන්න කවුරුහරි ලඟින් හිටියනම් කවුද අකමැති?

හොඳටම අසනීපෙන් ඉන්න වෙලාවක, උයාගන්න නැගිටින්න වත් ඇඟට පන නැති වෙලාවට, කඩෙන් කෑම එකක් ගේන්න වත් කවුරුහරි හිටියනම් කවුද අකමැති?

හැබැයි ඉතින් හැමදාම හිම වැටෙන්නේ, වහින්නේ, ලෙඩ වෙන්නේ නැහැනේ. ඒ නිසා ඔය සිතිවිලි ලත් තැනම ලොප් වෙනව. මගේ ඔය දුර්වලතාවය දන්න නිසාම, අඳුරු වැහි දවසට ගෙදර ඉන්නවා නම් රිසර්ච් වැඩක් හෝ වෙන මොකක් හරි දෙයක් එක්ක බිසි වෙන්නත්, ශරීර සෞඛ්‍ය ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්නත් මම පටන් අරන් දැන් අවුරුදු දෙකක් විතර.

ඒත් කොහොම වුනත්, හවස වැඩ ඇරිල ආවම තේ එකක් බිබී දවසේ වෙච්ච දේවල් කතා කරන්න හෝ කෙනෙක් ඉන්නවා නම් හොඳයි නේ, නැද්ද? ඒ නිසා මම අවිවාහකව ඉන්න දරුණු ලෙස අධිෂ්ඨාන කරපු කෙනෙක් නෙවෙයි. සතුටින් ජීවිතේ ගත කරන ගමන්, “හොඳ කෙනෙක් හම්බුනාම බලමු” කියන එක තමයි මගේ ජීවිතේ ආදර්ශ පාඨය වුණේ.

සාමාන්‍යයෙන් අපි කාර් එකක් ගන්නවා නම්, ඒ ජාතියේ කාර් එකක් කලින් පාවිච්චි කරපු කෙනෙක් ගෙන් අහනවා වගේ, රෙස්ටුරන්ට් එකකට යන්න කලින් ඒ රෙස්ටුරන්ට් එකෙන් කාපු කෙනෙක් ගෙන් අහනවා වගේ, වටපිට බලලා සාමාන්‍ය අදහසක් ගත්තොත් එහෙම,

බුකියේ වෝල් එක දිහා බැලුවම අලුත බැඳපු ජෝඩු නම් සතුටින් ඉන්න බව පේනව.

බැඳලා ටික කාලයක් වෙච්ච යාලුවෙකුට වගේ කෝල් කලොත් ඔන්න, “අනේ මානවී සොරි කාලෙකින් කෝල් නොකලට, ඉතින් ඉතින්, ඔයත් කවුරුහරි හොයාගන්න තනියට, මේ ඒක නෙවෙයි අනේ, ගෙදර වැඩක් නිසා අහවලාගේ පාටි එකට එන්න බැරි උනා අනේ, ඔෆිස් ගිහින් ඇවිත් උයල කාල නිදියනකොට දවස ඉවරයි අනේ, එහෙනම් මම තියන්නම් මදර් ඉන් ලෝ ව පන්සල් එක්ක යන්න ඕන” වගේ බිසී බවක් පේනව.

බැඳල අවුරුදු 5 ක් විතර වුණු, මොන්ටිසෝරි යන දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් එක්ක කතා කලොත්, “මොන අඩු පාඩුව තිබුණත් මේ දරුවට තාත්ත කෙනෙක් ඕන නේ, අම්මයි තාත්තයි අතරෙ ප්‍රශ්න තිබුනොත් ඒව දරුවොන්ට ටක් ගාල නෝට් වෙනව අනේ, ඒ නිසා හොඳින් ඉන්න ඕන, ඒ නිසා අපි ප්‍රශ්නයක් ආවොත් කතා බහ කරල විසඳගන්නව. ඒ උනාට අපරාදෙ අනේ මම හදිසි උනාද මන්ද” කියල කියන, වගකීම් සහගත, නමුත් ජීවිතේ ලොකු සතුටකුත් නැති වගේ ගතියක් පේනව.

විවාහයෙන් අවුරුදු අටක් දහයක් පමණ වෙච්ච, අවුරුදු හතලිහ වත් වෙලා නැති කාන්තාවක් කීප දෙනෙක් එක්ක සමීපව ආශ්‍රය කරන්න සිදු වුනා, මේ ලඟදි. යාළුවො වගේ එකට වැඩ කරපු ඔවුන්, මගේ තොරතුරු අහල, මුලින්ම කියපු දේ තමයි, “අනේ බඳින්න නම් එපා නගෝ, මේ අපිට වෙච්ච දෙයක් පේන්නෙ නැද්ද. අවුරුදු කීයද සතුටින් හිටියෙ? දැන් දරුවොත් එක්ක, දමල ගහල යන්න බැරි කමට ඔහේ ඉන්නව ඉතින්. ඔය ජීවිතේ කොච්චර නිදහස් ද අනේ, අන්න එකට මට, දරුවො හිටියෙ නැත්නම් ඕන එකක් කියල තනියම ජීවත් වෙන්න තිබුණ, දැන් ඉතින් බැහැනෙ” කියල, මුළු ජීවිතේම කලකිරුණු බවක් පේනව.

හැඟීම්බර ගැහැණු මුහුණු කිහිපයක් ඉහත රූපයේ දැක්වේ – පින්තූරය Google Images වෙතින්

මෙහෙම නැති ගෑණු ඇති. මගේ වයස හා අධ්‍යාපන කටයුතු වල ස්වභාවය අනුව මට වයස 35-40 පැනපු කාන්තාවන් එක්ක යාළුවො වගේ සමීපව ආශ්‍රය කරන්න ලැබෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ සීමිත කුලකය තුලින් ලැබුණු අත්දැකීම තමයි මේ.

ඉතින් ඇයි ගෑණුන්ට මෙහෙම වෙන්නෙ? පිරිමින්ටත් මෙහෙමද? ගෑණුන්ට මෙහෙම හිතෙන්න තරම් පිරිමි කියන්නේ දරුණු සත්ව විශේෂයක් ද? 😀

ඇයි අපට හැමදාම සතුටින් ඉන්න බැරි? අපි කතා කරමු. මොකද මේව කතා නොකලොත්, වැස්ස දවසට රිසර්ච් එකත් එක්ක බිසී වෙලා, ලෙඩ නොවෙන්න පරිස්සම් වෙවී, මේ විදියටම හැමදාම මට තනියම ඉන්න හිතේවි.

අපරාදෙ නේ. 😀

http://minisunathara.blogspot.com/2017/12/blog-post_22.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල