කාලීන සංවාද

අමුතු රැයක පුංචි තරුවක කතාව

Off

මම පුංචි තරු කැටයක්.. මිලියන, බිලියන, ට්‍රිලියන ගණනින් සහස් සුවහස් තරු පංතීන් අතර පියවි ඇහැටත් නොපෙනෙනා තරම් පුංචි ම පුංචි තරු කැටයක් නම් මොකක්ද? ඔබ හිතාවි. නමුත් මට මං ගැන හරිම සුවිශේෂී හැඟීමක් දැනෙනවා. ඒ එදා රැයේ ඒ අහසෙ ක්ෂුද්‍ර ඉඩක් මටත් වෙන් වෙලා තිබුණ නිසා.

ඒ ය හරි අමුතු නිස්කලංක රැයක්. ඒ නිස්කලංකකම ඇතුළෙ දිලිහි දිලිහි තිබුණා අමුතු අසිරියක්. ඒක හැමදාම අල්ලල නතර කරගන්න තරම් හිතෙන අමුතු චමත්කාරයක්. එතෙක් ගැඹුරු නිද්‍රාවක ගිලිල උන්න සුවිසල් තරුවක් හිටි ගමන් මහා ආලෝකයකින් ඇවිළෙන්න ගත්තා. ඒ ආලෝක කිරණ දීප්තිමත් කිරණ ගංඟාවක් වෙලා මහ පොළවට ඇදෙන්න ගත්තා. මගේ කණාමැදිරි කිරණ බැල්මත් ඒ ආලෝක දහර දිගේ පෘථිවි තලය දිහාටම ඇදුණා. මහ පුදුමයක්… බලගතු අධිරාජ්‍යයක වැඩිය කාගෙවත් ඇල්මක් බැල්මක් නොවැටුණු නගරයක්. ඒ නගරයේ සතුන් ගාල් කළ පුංචි මඩුවක්. ඒ පුංචි මඩුවෙ කෑම ඔරුවක වියළි තණ පියලි සයනාසනය කරගෙන සුව සේ නිදා ඉන්නා පුංචි බිළිඳෙක්… තරු කිරණ නැවතුණේ ඒ සිඟිති මුහුණට හාදුවක් දෙමින්… වෙහෙසපත් දිළිඳු මවක්, පියෙක්. නමුත් ඒ මුහුණුවල බලාපොරොත්තුවක සේයා දැවටිලා.
අහස පුරා තරු අතරින් කිමිදිලා ආ සුරදූතයින් ගීතයක් ගැයුවා.

‘ස්වර්ගයෙහි දෙවියන්ට මහිමය වේවා ! මේ මිහිතලය මත සියලූම ජනතාවට සාමය වේවා !’

මේ විදියට ගයමින් දේවදූතයො මුලින්ම ගියේ තමන්ගෙ බැටළු රංචු රැකබලාගනිමින්, සීතලේ ගැහි ගැහී කයිකතන්දර කියමින් තණබිම්වල වාඩිලාන උන්නු දුප්පත් එඬේරු ළඟට. පීඩිත ජනතාවට විමුක්තියේ මග හෙළි පෙහෙළි කරන ගැළවුම්කාර දේව පුත‍්‍රයා උපන් බව කියන සුබ පණිවිඩයයි දේවදූතයන් එඬේරුන් වෙත අරන් ගියේ. ඒ දුප්පත් මිනිස්සු තමන් වෙනුවෙන් ගැළවුම්කාරයෙක් උපන්නා කියන සුබාරංචිය භාරගත්තෙ අප‍්‍රමාණ සතුටින්. ලහි ලහියෙ ඒ බිළිඳා සතප්පල තියෙන ගව මඩුව පැත්තට එඬේරුන් දිවගියා.

ඒ වෙද්දිත් අධිරාජ්‍යවාදය එක්ක එකතු වුණු ආගමික අන්තවාදයන් මහපොළව ගිලගෙන තිබුණෙ. එහෙව් කාලෙක ගැළවුම්කාර දේව පුත‍්‍රයෙක් ලෝකයට එවන්න දෙවියන්ට හිතුණ නම් ඒක පුදුම වෙන්න කාරණයකුත් නෙවෙයි. ලෝකෙ අස්සක් මුල්ලක් නෑර සිද්දවෙන අකටයුතු නිතරම මටත් පෙනුණා. ඒත් මං වගේ පුංචි තරුවක් ඒ වෙනුවෙන් මක්කරන්නද? ආලෝකවර්ෂ දාස්ගාණක් ගෙවුණත් බල අරගලවල පැටලෙන, ආගමික අන්තවාදයන් එක්ක ඇවිළෙන මිනිස්සුන්ට මනුස්සකම ගැන වැටහීමක් ඇති වෙන එකක් නෑම කියලයි මට එදා හිතුණෙ.

මිනිසුන්ගෙ ගැළවීම වෙනුවෙන් උපදින මෙසියස්වරයා දාවිත්ගෙ නුවර උපදින, දාවිත්ගෙ පරපුරෙන් පැවත එන කෙනෙක් කියන එකයි ඒ දවස්වල ජුදා ආගම ඇදහූ ජනතාවගෙ විශ්වාසය වුණේ. බිළිඳාගෙ තාත්තා ජුසේ වඩුරාලත් දාවිත්ගෙ වංශයෙන් පැවත ආ කෙනෙක්. ඒ නිසානෙ ජන සංගණනයට දාවිත්ගෙ පෙළපතට අයිති නුවර වුණ බෙත්ලෙහෙමට යන්න වුණෙත්. ගව මඩුවට ඇවිත් බිළිඳා බැහැදැක්ක එඬේරුන්ට මේ ඉතිහාස කතාත්, ආගමික විශ්වාසයනුත් ටක්කෙටම මතක් වෙන්න ඇති.

තවත් පුදුමයක්… සුවිශේෂ තරු එළිය දැක්ක පෙරදිග රජවරු තිදෙනෙකුත් බිළිඳා බැහැදකින්න තෑගි බෝග අරන් දුර බැහැර ගෙවාගෙන බෙත්ලෙහෙමට ආවනෙ. ඒ රැය මහ පුදුම රැයක් කියන්නෙ මං ඒ නිසයි. ඒ උපත පුදුමාකාර උපතක් කියන්නෙ මං ඒ නිසයි. ස්වර්ගයත්, මිහිතලයත්, අහස්තලයත් එක වගේ උද්දාම වුණු රැයක්. සතා සීපාවුන්ටත්, දුප්පත් එඬේරුන්ටත්, රජවරුන්ටත්, දේව දූතයන්ටත් ඉඩතිබුණු වැදුම් ගෙයක්. ඉතින් ඒ අලූත්ම අලූත් උපතක් නෙවෙයිද? ඒ පුංචි ගවමඩුව ඇතුළෙ තිබුණු සාමය, සතුට, සංහිඳීම, සමානාත්මතාව ඒ තරම් පරමාදර්ශී උපතක් තවත් තියෙනවද?

තරාතිරමක් නොබලා මිනිසුන් ඒකරාශි කරන්න පුලූවන් ඒ අධ්‍යාත්මික බලවේගයටයි හෙරොද් උණත් බයවුණේ. අවුරුද්දක් වයස සියලූම පිරිමි දරුවන් කඩුගාන්න කුරිරු ආඥාවක් නිකුත් කරන්න ඔහු පෙළඹුණෙත් ඒ නිසයි. තරුත් කඩාවැටුණු අඳුරු කාලයක්. ලෞකික බලපරාක‍්‍රමය හැමදාම පවතින දෙයක් නෙවෙයි. ඒ නිසාම ඒ බලය රැකගන්න අප‍්‍රමාණ මහන්සියක් දරන්න වෙනවා. ඒ රැකගැනීම කියන්නෙම අයුක්ති සහගත, අසාධාරණ, සැහැසිකම්වලට තෝතැන්නක්. එදත් අදත් ඒක එහෙමමයි.

ඊටත් වසර ගණනාවකට පස්සෙ කල්වාරි කඳු මුදුනෙ කුරුසයක ඇණගහල මරල දාන්නෙත් එදා ඒ කඩුගාලා විනාශ කරල දාන්න බැරිවුණු විමුක්තිදායක සුබාරංචියම තමයි. ඒ ගවමඩුවක උපන්න බිළිඳාම තමයි පසුකලෙක ගම්නියම් ගම් සැරිසරමින් දුප්පතුන්, අසරණයින්, රෝගීන්, සමාජයෙන් කොන්වූවන් එක්ක ලෞකිකත්වයෙන් එහා තියෙන අධ්‍යාත්මික විමුක්තිය ගැන කතා කළේ. ධනය, බලය, ආගම නිසා අන්ධ වූ මිනිස්සුන්ට, තමන්ගෙම අන්තවාදයන් මිස මනුස්සකම තේරුම් නොගන්න මිනිසුන්ට තමන්ගෙ රාජ්‍ය බලයට, ආගමික බලයට තර්ජනයක් විදියට පෙනුණු ඒ තරුණයාගේ විප්ලවය අදත් නොබිඳී ඉදිරියට යනවා. ඒ දෙවියන් බලාපොරොත්තු වුණු අධ්‍යාත්මික රාජ්‍යය තවමත් මේ මහපොලවට හුඟක් දුර නිසා.

එදා වගේම අදත් නිවි නිවී දැල්වෙන මං වගේ ක්ෂුද්‍ර තරුවකට වුණත් හිතෙන්නෙ අනේ එදා ඒ ගව මඩුව ඇතුළෙ තිබුණු නිවන සමාජයේ හැම තැනකම තියෙනවනම් කොයි තරම් අපූරුද කියලයි. අද නත්තල්ය කියල සමරන මේ සරුවපිත්තල වෙස් නැටුම නම් එදා ඒ ගවමඩුවෙ සිදුවුණු බිළිඳු උපන්දිනය කියන අධ්‍යාත්මික මංගල්ලය අහලකින්වත් තියන්න බෑ.

( 2016 වසරේ නත්තල වෙනුවෙන් කිතුසර පත්තරයට ලියූ ලිපියක්. )

http://tharurasi.blogspot.com/2017/12/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල