කාලීන සංවාද

ස්වයං නිර්ණ අයිතිය කැවුං කන්න ද?

Off

ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ සංවාදයක් ෆේස්බුක්හි සිදු වනවා දැක්කා. එතනදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් කණිෂ්ක ජයලත් අහමින් සිටි ප්‍රශ්නය තමයි තමයි ලංකාවේ ජනවර්ගයන් විසිරී සිටින ස්වභාවය අනුව ස්වයං නිර්ණ හිමිකම ප්‍රායෝගිකව යොදා ගන්නෙ කෙසේ ද යන එක. ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් කැම්පේන් කරන කැලුම් නවරත්නට හා ටෙරල් අබේසිංහට ඒකට පැහැදිලි උත්තරයක් තිබුණෙ නැහැ. නැතිනම් උත්තරේ මට තේරෙන විදියට ටිකක් මේ වගේ. ඒ හිමිකම පිළිඅරගෙන, මේ බලන්න සිංහල අපි ඉන්නෙ ඔයාලා එක්ක, ඔයාලා හරි හොඳයි, අපිත් දැන් හොඳයි, අපි කැමතියි ඔයාලා එක්ක එකට ඉන්න, මේ බලන්න අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ වගේ කිව්වා ම ඒ අය ඉන් මෙහා ප්‍රායෝගික විසඳුමකට එකඟ වෙයි වගේ එකක්.

ලංකාවට අදාළව ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ සංවාදය හිර වෙන තව තැනක් තමයි මුස්ලිම් ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගන්නට දෙමළ ජනයා සූදානම් ද කියන ප්‍රශ්නය. එතනදි දෙමළ ජාතිය හැසිරෙන්නෙත් සිංහල ජාතිය හැසිරෙන ආකාරයටමයි. තව තියෙනවා. මුස්ලිම් හා මැලේ අනන්‍යතා අතරත් ගැටුමක් තියෙනවා. කඳුරට දෙමළ ජනතාව හා ලාංකීය දෙමළ කියන ජනකොටස අතරත් අනන්‍යතා ගැටලුවක් තිබෙනවා.

ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ කැම්පේන් එකේ මේ ප්‍රායෝගික සීමාවන් හිරු කණ්ඩායමේ දේශපාලනය විසින් සලකුණු කරලා ඉවරයි. රෝදය නැවත සොයා ගන්නට අවශ්‍යතාවක් නැහැ. අවසානයේදී ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ සාකච්ඡාව මහජනතාවගෙන් ඉතා දුරස්ථ එකක් බවට පත් වී තිබීම පිළිබඳ වගකීම වමට භාර ගන්නට වෙනවා. ඒකට මූලික හේතුවක් තමයි ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටි අය සිංහල සමාජයේ මුල් බැස ගන්නට උත්සාහ නො කර දෙමළ සමාජය වැළඳ ගන්නට යාම. සරලව කියනවා නම්, සිංහල සමාජයේ ශක්තිමත් පදනමක් ගොඩනගා ගන්නේ නැතුව දෙමළ සමාජය එක්ක ගනුදෙනු කරන්නට ගියාම වෙන්නේ එහි තිබෙන ශක්තිමත් ජාතිවාදී පදනම්වලට යට වී යාම. හිරු කණ්ඩායමට දෙමළ සමාජයට බලපෑමක් කරන්නට බැරි වෙන්නට හේතුව ඒක. අඩු තරමේ දෙමළ අරගලය විනාශ වී යාම වළක්වා ගන්නට තරමේ බලපෑමක් හෝ ඔවුන්ට කරන්නට බැරි වුණා.

දෙමළ ජාතිවාදය සමග වැඩ කර මා ලබපු අත්දැකීම ඇතුළෙ මට නම් කියන්නට තියෙන්නේ ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් වුණ සාධනීය ම අදහස තමයි අභ්‍යන්තර ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ සංකල්පය. මට මතක විදියට මේක ගැන 2002, 2003 කාලෙ ප්‍රභාකරන්ගෙ මහවිරු කතාවක තිබුණා. නැතිනම්, ඒ දවස්වල ඒ ගැන කොටි සංවිධානය පැත්තෙන් කරුණු ඉදිරිපත් කෙරුණා. ඒක එක්තරා විදියකට සම්මුතික විසඳුමකට සූදානමක් තීරණාත්මක විදියට පෙන්නපු අවස්ථාවක්. ඒකට හේතු වුණේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයේ සහ ජාත්‍යන්තර ප්‍රජාව කියන එකේ බලපෑම මිසක් වමේ බලපෑමක් නෙමෙයි.

ඒ වුණාට ඒ වෙලාවෙ වාමාංශික ජවිපෙ කළේ සිංහල ජාතිවාදය උපරිමයෙන් උසිගන්වලා ඒ අවස්ථාව මුළුමනින් ම විනාශ කිරීම. ඒකෙන් කොටි සංවිධානයත් ආපහු ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ කොන්දේසි විරහිත තැනකට තල්ලු වුණා.අනෙක් පැත්තෙන් සිංහල ජාතිවාදී අන්තවාදය අන් කවරදාවත් නො වූ විදියට ශක්තිමත් වුණා. මහින්ද රාජපක්ෂ බලයට ගෙන එන්නට වැඩ කළ සියලු දෙනා ඒ තත්වයට වගකිව යුතුයි.

රනිල්ගේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනේ තිබුණු නවලිබරල්වාදී ලක්ෂණ ප්‍රමුඛ කරගෙන ජවිපෙ නොවන වමත් 2004දී එජාප ආණ්ඩුව පරද්දන්නට හාෆ් හාටඩ් විදියට වැඩ කළා.

මහින්ද රාජපක්ෂට අප ගරු කළ යුතු එක කාරණයක් තමයි ඔහු අවදානම අරගෙන මේ ප්‍රශ්නයේ සුසමාදර්ශීය වෙනසක් නිර්මානය කළා. ඒකට කොටින් හා දෙමළ සමාජයත් කැමති වුණා. අන්තිම යුද්ධය කෙරුණේ මේ දෙපාර්ශ්වයේ ම උවමනාව මතයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මහින්දට විතරක් බණින එක තේරුමක් නැහැ. ජවිපෙ හා එය සමග සිටි අයගේ මූලිකත්වයෙන් තමයි යුද්ධය සඳහා ඔහුට පාර කපා දුන්නෙ. ශක්තිය දුන්නෙ. හිරු කණ්ඩායම වගේ ඒවාත් යුද්දෙදි හිටියෙ කොටින්ගෙ පැත්තෙ. මේ හැමෝම මේකට දායක වුණ අය. ඒ නිසා දැන් ඒ සුසමාදර්ශීය වෙනස භාර ගන්න ඕනැ.

ඒක ඇතුළෙ ස්වයං නිර්ණය වෙනුවෙන් අන්තිම හුස්ම වගේ වුණ රුද්‍රකුමාරන්ගෙ පාරජාතික ආණ්ඩුවත් දිය වෙලා ගියාට පස්සෙ දැන් මේ ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ න්‍යායට මොකක්ද කරන්නෙ කියන එක සාකච්ඡා කරන එක ඒ තරම් තේරුමක් නැහැ.

ප්‍රායෝගිකව මේ සඳහා තිබෙන මාර්ගය වැටිලා තිබෙන්නෙ සමාජ විනාශයක් මැදිනුයි. ඒ කියන්නෙ මෙහෙමයි. නැවත මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ වැනි කෙනෙකු බලයට ගෙනෙන්නට ඕනැ. සිංහල ජාතිවාදය මුදුනට ම ගෙන යන්නට ඉඩ දෙන්නට ඕනැ. අර රුවන්ඩාවෙ, සුඩානෙ එහෙම වුණා වගේ මහා විනාශයකින් පසුව පුළුවන් දෙමළ ජනතාවට ස්වයං නිර්ණ හිමිකම පදනම් කරගෙන ජාත්‍යන්තර සහයෝගය ඇතිව ජනමත විචාරණයකට වුණත් යන්න. මේ මොහොතේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිතුමා වැඩ කරමින් ඉන්න ගෝඨා-2020 ව්‍යාපෘතියෙ හරය මට පෙනෙන විදියට ඒකයි. ඒ වගේ මහා විනාශයකින් පස්සෙ සිංහල සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය ගැන සැබෑ උවමනාවක් ඇති වෙයි කියන උපකල්පනය තමයි ඒකෙ තියෙන හොඳම ගොන් පාට් එක. ඒ වුණාට නිර්මාල්ගෙ කැම්පේන් එක අවංකයි.

හැබැයි මේ ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ සංවාදය හරි ෂෝක් එකක් මේ වෙලාවෙ. මොකද තමන්ට කිසි අමාරුවක් නැතුව මාර ප්‍රගතිශීලී ය කියලා පෙනී සිටින්නට මේක හරි ආතල්. තව ඔය වීසා, එසයිලම්, ඩයස්පෝරා වගේ බිස්නස්වලටත් මේක මරු. තොප්පිය ගැලපෙන කට්ටිය දාගත්තට කමක් නැහැ. යුද්දෙට බැකප් කරපු කට්ටියට වුණත් මේකෙන් පුළුවන් ගොඩ යන්න පාරක් කපා ගන්න. ලංකාවෙන් පිට ගිහින් ස්ථාපිත වුණ කට්ටියට දැන් ඉතින් ලංකාවට මොනවා වුණාම මොකද? එහෙ ඉඳන් බලා ඉන්න එකනේ තියෙන්නෙ.

මම නම් කියන්නෙ දැන් මේවා ගැන සාකච්ඡා මුදුනට ගන්න එක තේරුමක් නැහැ. ජාතිය ඉක්මවා යන දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීම වෙනුවෙන් වැඩ කිරීම තමයි ජාතික ප්‍රශ්නයට තිබෙන එකම ප්‍රායෝගික විසඳුම. ඒක තමයි ඉතිහාසය එක්ක ඉදිරියට යන්නට තියෙන පාර. පුනරුදය ව්‍යාපාරය මෙය ලාංකීය ජාතිය ගොඩනැගීම ලෙස සලකුණු කරනවා. ප්‍රායෝගික දේශපාලනයක් ගැන හිතන ජවිපෙට හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවශ්‍ය නම් යොමු විය හැකි තැනක් ඒක. ඒකෙ තියෙන අභියෝගය තමයි, සිංහල මූලික ශ්‍රී ලංකාව සුළු ජාතීන් ඉදිරියේ ප්‍රවර්ධනය කරන්නට බැරිකම. ජනවාර්ගික සමානාත්මතාව තහවුරු කරන රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් පිළි නො ගෙන ඔය වැඩේ කරන්න බැහැ. දෙමළ ජාතික සන්ධානය ජාතික දේශපාලනයට සම්බන්ධ කර ගන්නට වැඩ කිරීමත් ඉතා වැදගත්.

පෞද්ගලිකව මම නම් ලාංකීය ජාතිය කියන සීමාව ගැන වුණත් එච්චර ගණන් ගන්නෙ නැහැ. මම කියන්නෙ අපි එතනින් එහාට පුළුල් වෙන්න පුළුවන් නම් ඒක වුණත් භාර ගත යුතුයි. මේවා තීරණය කරන්නෙ ඉතිහාසය විසින් මිස පුද්ගලයන් හෝ දෘෂ්ටිවාදයන් විසින් නෙමෙයි. පුද්ගලයන්ට, දෘෂ්ටිවාදයන්ට පුළුවන් බලපෑම් කරන්නට විතරයි.

මේ සංවර්ධනයන් ඉතා සුඛනම්‍ය දේශපාලන ක්‍රියාමාර්ග ඔස්සේ සිදු නො වන බවත් අපි තේරුම් ගන්නට ඕනැ. ඒ නිසා තමයි මා වැනි තවත් බොහෝ අය මේ මොහොතේ වඩාත් ම ඉදිරිගාමී අරමුණු සහිත දේශපාලන පක්ෂවල ඒ අරමුණු එක්ක විතරක් වැඩ කරන්නෙ. ගොඩනගා ගත් සාපේක්ෂ සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය රැක ගනිමින් තමයි අපි ඉදිරියට යන්නට ඕනැ.

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල