අතීතකාමය

පාරම්පරික දැනුම හුවමාරු වූ භාෂා ව්‍යවහාරය

0

වර්තමාන දැනුම නූතන්තවය තුළ ඉතා වේගයෙන් වෙනස් වෙයි.ඉංජිනේරු විද්‍යාවේ සිට ක්ෂුද්‍ර ජීව විද්‍යාව දක්වා වෙනස් වන මෙම දැනුම තොරතුරු තාක්ෂණය මගින්ද විද්‍යාත්මක පත්‍රිකා මගින්ද ව්‍යාප්ත වෙයි.මෙම දැනුම බෙදා හදා ගන්නා විද්‍යාත්මක ක්‍රමවේදයක් විද්‍යාඥයන් විසින් භාවිතා කරති.ගෝලීයකරණය හමුවේ මෙම ක්‍රමවේදයන් ඉදිරිපත් කරන රටාව එක හා සමානව තිබෙන බව පෙනේ.මෙම විද්වත් භාෂාව මගින් ඉදිරිපත් නොකළ දැනුම් පත්‍රිකා ප්‍රතික්ෂේප වන්නේ යටකී විද්‍යාත්මක සම්ප්‍රදාය උසස් සමාජයේ මුල් බැස ගෙන ඇති බැවිනි.

අපගේ පැරණි සමාජය තුළ ද දැනුම මැනවින් හුවමාරු විය. එදිනෙදා වැඩ මෙන්ම රජ්‍ය මැදිහත් මහා සංවර්ධන වැඩ උදෙසාද එම දැනුම ලේඛනගතව හුවමාරු වී ඇත. මේවා පුස්කොළ ග්‍රන්ථයන්හි බෙහෙවින්ම අඩංගු වි තීබී ඇත.වාරි කර්මාන්තය ලෝහ කර්මාන්තය පේෂ කර්මන්තය ගොවිතැන ආහාර තාක්ෂණය ගැන සාකච්ඡා කරන ඇතැම් ලේඛන පසුකාලීනව විනාශ වුවත් එම මුල් ලේඛන වලින් ගත් පාඨ යොදා ලියූ ග්‍රන්ථ මධ්‍යකාලීනව අපට දක්නට හැකි වෙයි.විශේෂයෙන්ම සද්ධර්ම රත්නාවලිය සද්ධර්මාලංකාරය පූජාවලිය වැනි ග්‍රන්ථ පරිශීලනය කරන කල්හි දෛනික ජීවිතයෙහි විශේෂයෙන් ම ගොවිතැනෙහි යෙදී සිටි සාමාන්‍ය ජනතාව සතු ව තිබූ එම දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ව්‍යවහාර කරගත් ආකාරය පැහැදිලි කර ගත හැකිය.

ගඩලාදෙණිය විහාරයේ වැඩ සිටි ධර්මකීර්ති සංඝ රාජයාණන් වහන්සේ විසින් දෙවනි වීරබාහු රාජ සමයේ රචනා කරන ලද සද්ධර්මාලංකාරය කතා වස්තු වල ඇතැම් තැන් වල මෙම දැනුම මෙන්ම චාරිත්‍ර වාරිත්‍රයන් ගැනද සඳහන්ය.හේන් ගොවිතැන් කරන සමයක්හි පැල් රකින්නවුන් කරනා කියනා දේ මෙසේ එහි සඳහන් කර තිබුණි.

එකලැ ඒ සිටාණෝ බොහෝ ඇල් කෙත් වපුරුවා ගොයම් පීදී පැසෙන අවස්ථාවෙහි ඒ තමන්ගේ දාසි කුමාරිකාවන් කැඳවාගෙන ගොයම් රක්නට යැවූහ. එකලැ ඒ කුමාරිකාවෝ කෙතට ගොස් කුරුළු කොබෝ ආදී වූ සතා සතුන් බැණ ඇලිකෙත් අසැ දඩ පැලෙකැ උන්නාහු කරල ගණනක් කඩා ගෙන ගිනි දල්වා පන්සීයක් විළඳ බැඳ තබා විලට ගොස් මුව සුද්ද කොට නෙළුම්මලක් දැක කඩාගෙන නැවත අවුත් දඩ පැලැට නැගී ගී කිය කියා උන්හ.(පද්මාවතී කතා වස්තුව -සද්ධර්මාලංකාරය)

දෙවන පරාක්‍රමබාහු අවදියේදී ලියැවුණු සද්ධර්ම රත්නාවලිය තුළද අපූරු භාෂා ශෛලියක් ඇත.බණ මඩුවේ රැස්ව බණ අසන උවසු උවැසියන්ට බණකතා දෙසන මේ විලාශය ලගන්නා සුළුය.එහෙත් ඇතැම් විට විදග්ධය. මේ වාග් විලාශය තුළ දැනුමද අඩංගු වෙයි. චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම සාර්ධර්මයන්ද අඩංගු වෙයි.පඤ්ච වගගදායක වස්තුවේ සඳහන් භාෂා විලාශය බලන්න.

ඒ බමුණෝ ගොයම් කොට ජීවත් වන කෙණෙක. ඌතුමූ ගොයම් දීමා දී පෙරාතු අගහස් බතක් දෙති. කොළ කළ විටි වූ කල අගහස් බතක් දෙති. කොළ මිරිකා හී රැස් කළ කලත් අගහස් බතක් දෙති. බත් පිසලා තලියේ නොලන් තෙක් අගහස් බතක් දෙති. තළියේ ලාලු කළ කන්ට පෙරාතු අගහස් බතක් දෙති. මෙලෙසින් කෙත අක්බතය. කළ විටි අක්බතය. වී අක්බතය. සැළි අක්බතය. තලි අක්බතය. යි පස් අගකින් දන් දෙති. බත් කන වේලාව පැමිණි කෙනෙකුන්ටටත් නොදී අනුභව නොකරති. එහෙයින් පඤ්චගගදායක යයි නම් තබා ගති.

අපේ ආහාර සංස්කෘතියේ තිබෙන බත් වර්ග රාශියම මතක් වන්නේ මේ වගන්ති දකින කල්හිය..ඒ ආහාර විද්‍යාව පිළිබව මෙන්ම එයට බැඳුණු සිංහල සාරධර්මයන්ද උලුප්පන්නකි.සද්ධර්ම රත්නාවලියේ එන අනෙක් කතා වස්තු අතර මෙණ්ඩක මහ සිටාණන් ගේ වස්තුව ඉතා ප්‍රබල වෙයි.පෙර රජරට ගැමියා මෙන්ම සිටුවරයාද මුහුණ දුන් නියංසාය සහ අරපිරිමැස්ම ගැන් ඉන් කදිම පාඩමක් කියාදෙයි.

සාය නොසලකා උන් පස් නෙකු මේ සිටු ගෙයි විසූහ. මේ පස් දෙන බිම වල තබූ වීත් නිමි කල්හි මස් දවස් ගණනක් නොව සාය තුන් අවුරුද්දම සිටි හෙයින් භික්ති වල වී මුසු මැටිත් සාරා වගුරුවා ගෙන මැටි තෙමා වී වෙන් කොට ගෙන ඉනුත් යැපෙති. සිටාණන් ගේ ඇඹේණියෝද සායත් බලවත්ව මැටියෙහි තිබූ වීත් නිමා හෙයින් භික්ති කැබෙල්ලක තිබූ මැටි සුඟ සාරා වගුරුවා ගෙන තෙමා පියා ගරා පෙරා වී දෙනැළියක් දුකසේ ලදින් එසේම හෙයින් හැර පියා සාල් නැළියක් ලදින් සෑය සමයේ සොරුන් බොහෝ සේ රැක තබනු නිසා කළයක ලා පස් නොවදනා ලෙසට වසාලා එළියේ තිබූවෝත් සොරුන් කළයේ නොනවත්නා හෙයින් බිම වලක් සාරාලා පස් වසා තබා ලූහ. අපේ පැරණියන් බීජ කල් තබා ගත්තේ මැටි භිත්තියේ ගසා ලමිනි.වලවල් සාරා එහි තුළ තැන්පත් කරලීමෙනි.සිටු ඇඹණියෝ වී දෙනැළියක් ගත්තේ එයිනි.බීජ කල් තබාගන්නා පාරම්පරික දැනුමක් මෙයින් ඉස්මතු වෙයි. තවද යම් සේ වැස්සෙන් පෙරවරු වපුරන්නාවූ හැල්වී ආදී වූත් පස්වරු වපුරන්නාවූ උඳු මුං ආදී වූත් බිජුවට ඇස් පවාද.යන්වෙන් දැක්වෙන සද්ධර්ම රත්නාවලි පෘඨය බලන්න.කල්යල් බලා කරන ගොවිතැන එහි ඉස්මතු වෙයි.

අපේ සාහිත්‍ය ග්‍රන්ථ අතර පූජාවලිය බොහෝ ජනප්‍රියය.දෙවනි පැරකුම් සමයේ රචිත යයි සලකන මෙම ග්‍රන්ථයේ මිහිඳු හිමියන් ලංකාවට වැඩම වූ පසු මිහින්තලයේ දී රජ්ජුරුවන් ගෙන් අඹ පැණයක් ඇසූහ.ඒ විත්තිය රචනා කර ඇත්තේද අපූරුවටයි.

රජ්ජුරුවෝ මීට කෙසේ වැඩිසේක්දැයි විචාලහ. මහරජ දියෙනුත් ගොඩිනුත් නොආම්හ. වදාරා අකාශයෙන් වැඩිසේක් වනැයි රජ්ජුරුවන් සිතූ කළ රජ්ජුරුවන්ගේ නුවණ ප්‍රශ්ණයකින් පරීක්ෂා කෙරෙමි යි සිතා එතෙන සිටි මී අඹ ගස බලා මහරජ මේ කිනම් ගසෙක් දැයි වදාළ සේක. රජ්ජුරුවෝ අඹ ගසයි කීහ. මහරජ මේ හැර තවත් අඹ ගස් ඇද්දැයි විචාල සේක. රජ්ජුරුවෝ බෙහෙව ස්වාමීනී යි කීහ. එයින් පිටත් ගස් ඇද්දැයි විචාල සේක. අඹයෙන් පිටත් සෙසු ගස් පමණ නැත. ස්වාමීනී කීහ. සෙසු අඹගසුත් නොඅඹගසුත් හැර පිටත් ගස් කවරේදැයි විචාල සේක. මේ අඹ ගස එයින් පිටත් වේද ස්වාමීනී යි කීහ. සැබැවින්ම රජ්ජුරුවන් ගේ ගණිත දැනුම මෙන්ම බුද්ධියද මේ පැණයෙන් විචාරා ඇත. පූජාවලියේ භාෂාවද පරිහරණය කර ඇත්තේ පඨකයාට මේ ගණිත පැණයෙන් දැනුම මෙන්ම ප්‍රඥාවද පහළ වන සේය.

උපසම්පදා ලත් භික්ෂුවක් විසින් පිළිපැදිය යුතු ශික්ෂා පද විග්‍රහ කිරීමට පාළියෙන් රචිත ශික්ෂා ග්‍රන්ථයන්ට අටුවා වශයෙන් ලියැවුණු සමන්තපාසාදිකාව ඇසුරෙන් සැකසුනු පැරණි සිඛ වළඳ හා සිඛ වළද විනිස දහවන සියවසේ දී පමණ භාවිත වූ සිංහල භාෂාවෙන් රචනා කරන ලද්දකි. එහි තැන් තැන් වල තිබෙන විස්තර කිරීම් වලදී අප දකින්නේ එකල තිබූ පාරම්පරික දැනුම් ව්‍යවහාරයයි.එහි බහා ඇති මේ වගන්ති තුන් සිවුරු පිළියෙල කිරීම අරභයා ලියන ලද්ද්දකි. සිංහල මිණුම් ක්‍රම එහි මොනවට දක්වා ඇත. මෙ තුන් සිවුරු ඉටන සෙයි. මෙහි පමණ නම් සඟල උතුරු සඟටද යටත් පිරිසෙයින් දිග පස් රියන් පුළුල මිටි තුන් රියන් උඩත් පිරිසෙයින් බුදුන් සිවුරට උනුවැ වටී. අතුරු වසා සිවුරුට දිග මිටි පස් රියන් පුළුල දෙරියන් වියත් දෙරියනුදු වටී.වඩුරියනින් රියන් දිග පුළුලයෙන් වියත් කඩ පත්ති පෙරහන් ආදී පිරිකර සොළ නමින් ඉටියැ යුතු.

සිඛ වළඳ විනිසෙහි මහා පොළව ගැන විස්තර සඳහන් වන්නේ මෙසේය. මෙහි පොළෝ නම් තුන් වැදෑරුම් වෙ.හේ කෙසෙනි යත් සුදු පස් සුදු මැටි පොළොව මද වැලි හකුරු පහණ කළ සකලා කැබිලිති ඇති බොහො පස් ඇති මැටි රැස් පස් රැසියෙහි එක දවසක් වැසි වට සාරමස් ඉකුත් පොළොව යන මෙ තුන් ඇවැත් වන අයප පොළොවි. තුන් කොටසින් දෙ කොටසක් වැලි ආදි වී නම් එක් කොටසෙක් පස් වී නම් එව් මැටි වී නම් එව් මෙ ඇවැත් නොවන කැප පොළොවි.කී අයප දාගිය කැප පොළෝ වෙ.මෙ කණයි! මෙ මුල කණයි!එව් මෙ තැන වළක් ළිඳක් පොකුණක් වැවක් කණ!

පරිභෝග කිරීම් දුකුළා වන්නේ මෙසේය. යාපා මැටිපා තබා සෙසු දඬු දළ ලොහොමුවාදී පා පරිභොග කළ දුකුළා වෙ. මැටි තඹ යමුවා තළු තබා සෙසු පරිභොග කළ දුකුළා වෙ. කදා පිළිවහණ කස් ලොහො මුවා තැටි ආදීබදුන් පුඟුල් සතු වුව නොවටී.එකළ වියත් වහරත් ජන වහරත් එකට සමාන්තරව යන බව පෙනෙන්නේ එකල ලියැවුණු සෙල් ලිපි බසද මෙලෙස ලියා තිබෙන බැවින්ය.

පැරණි වඩුවෙකු ගේ අත් පොතක තිබූ පාරම්පරික දැනුම නම් මහ පොළොව පරීක්ෂා කරන විදියයි. ඉරි දෙවියන්ට ගඳ දුම් මල් පූජා කොට සිව් ගෙට ගුලෙක සොලොසා ගුලෙක පස් නගා කා බලා කියත් දුම්වා නම් දුගී වෙත් පිලිවා වා නම් කොකුන් වෙ.ඇඹුල් නම් ගිලන් වෙ.හිඹූරුවා නම් ගෙට ලො දෙත් සුවඳවා නම් තනතුරු ලැබේ. දෙපස් මුසු කිවුල් රස වී නම් ගව දරුවන් ලැබේ. දුඹුරුවා නම් මහතුන් විසින් වැඩ වෙ. ලුණු රස වෙ නම් අර්ථ විනාශ වෙ.

මයුරපාද පිරුවන් පතිව සිටි බුද්ධ පුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් දඹදෙණි යුගයේදී රචනා කළ යෝගාර්ණවය නම් ග්‍රන්ථයේ උණ රෝග වලට කියූ බෙහෙත් අතර මෙවැනි වට්ටෝරු හමු වෙයි. සියළු හුනට වම් හැපළ ඇල් කසඹිලිය දැමිතිරිය රසකිඳ සියඹලා කකාරා කායම් දෙනු. මේ පඤ්චාමෘත නමි. ලහුණම උදාසන ම හෙලකිරි දෙව එම හුන මණ්ඩලයක්ම වලඳනු. ලහුණට ඉඹුල් මුල් පැන් ගෙන උක්පැණි සමසේ හෙව. සත් උදාසනක් වළඳුනු. ලහුණටම ලා පුසුලක් ගෙන ඇස්ස කපා මදය සාරා සීනටි සාල් පමණක් ගෙන ගරා පුහුල ඇතුලේ ලා පින්නේ දී පුසුල් බතුත් හුයා පැසුණු කල ගෙණ රෑ සිහිල් බා තබා උදයකට පමණ දියෙහි සිට මිදියෙන් පුසුලුත් බතුත් වළඳුනු.මෙසේම තුන් දවසක් කරනු. එහි කුමාර චිකිත්සා කියන තැන කිරි දෙන ස්ත්‍රියගේ සවභාවය දක්වා ඇත්තේ මෙසේය.

වාත දූෂිත ස්ත්‍රියගේ කිරි කසට රසයි. පැනෙහි ඔත් කළ ඉපිලේ. පිත්ත දූසිත ස්ත්‍රියගේ කිරි කුළු රසයැ.දියෙහි ඔත් කළ කසාවන් රාජි වෙයි. කඵ ධූසිත ස්ත්‍රියගේ කිරි බොල් වෙයි. බෙල සුල දියෙහිඔත් කල ගැලේ. ආරොග්‍ය ස්ත්‍රියගේ කිරි දියෙහි ඔත් කල පාණ්ඩුවර්ණ වේ. කොසොඹ කසායෙහි ගිතෙල් ලා වගපුල් සුනු ලා පොසෙම් නංවා කිරි මවගේ දෙම සුද්ධිය කොට මුං රසයෙන් ජාංගල වර්ගයෙහි මස් රසයෙන් වෙල් හැල් සාලේ බත් කවනු.

සම්භාව්‍ය ග්‍රන්ථ ඇරුණ කොට පාරම්පරික දැනුම ලේඛන ගත කරන ලද අනෙක් භාෂා ව්‍යවහාරය නම් ජන කවියයි.බොහෝ පාරම්පරික ශිල්පීන් තමන් ගේ දැනුම කඩපාඩමින් තබා ගත්තේ ජන කවි අරෙන් ඒවා රචනා කොට මතක තබා ගැනීමෙනි.ඇතැම් සංස්කෘත ශිල්ප ග්‍රන්ථ සිංහලට හරවා කවියෙන්ද ප්‍රබන්ධ කරන ලදහ.සිංහල මයිමතය ඉන් එකකි.
වහළ ගැසීම ගැන පාරම්පරිකව පැවතෙන ජන කවියක් මෙසේය.

දිගට තළහඳ පුළුල ගනිමින් දෙකට බෙදමින් සොඳින්නේ
දෙකෙන් පංගුව සිව් පොටට මැන එකක් හැර තුන් කොටස ගන්නේ
කොණක තළහඳ කොනක යටලිය රැගෙන පිදුරට හැඩ තබන්නේ
තුනෙන් පංගුව සමව ගනිමින් උළු වහළ හැඩ නිම කරන්නේ

බිම සිටන් උඩ යටලියට මැන අටට පත් බිඳ පුළුල ගන්නේ
ඇතුල තිබු හයහමාරත් ගෙන තුනට පත් බිද පුළුල ගන්නේ
ඉතුරු උන එකහමාරත් ගෙන නව පොටට දැන පත් බිඳින්නේ
සතර එළිපත පස උඩලිපත දැනගෙනයි උළුවහු විදින්නේ

මහනුවර රජ ගෙදර සූප ශාස්ත්‍ර නම් පොතක් අවසාන සිංහල රජු වූ ශ්‍රී වික්‍රම කාලයේ භාවිතා විය. එහි පාරම්පරික දැනුම අඩංගු වූයේ ජන කවියෙනි.

බටු ඇට අළ තෙනින් ගෙන මස් පුරවනුවේ -දුනක් පතලයක මේවා යෙදූවේ
මිරිස් ඉස ඉස ඊ පිට පල හැවූ වේ – මෙය බටු පිරුම් මැලවුම් නමුදු වේ

මේ ලෙස බලන කල්හි අදහස් ප්‍රකාශ කිරීමට මෙන්ම දැනුම සංග්‍රහ කිරීමට තිබූ රමණීයම භාෂාව සිංහලයද කියා සිතේ. එහි ව්‍යවහාරය විවිධය.ඉංගිරිසිය මෙන් එකම අච්චුවේ කෘතිම භාෂා රටාවකට අප අද පුරුදු කරවා ඇත්තේ ලංකා විශ්ව විද්‍යාල වලිනි. වෙසෙසින්ම විද්‍යා පීඨ වලිනි.ඉතින් අපේ දැනුම අපට ගන්ට මෙන්ම ලොවට දෙන්ටත් අපටම වූ රටාවක් නිපදවා ගන්නට සිතා බැලීම නරක නැත.

http://seneviruwan.blogspot.com/2017/12/blog-post_28.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල