අතීතකාමය

“නඩුකාර හාමුදුරුවනේ…, ලබ්බ උගේ… ! උගේ මගේ….. !! ”

Off

එකළ අධ්‍යාපන නිලධාරින් වශයෙන් අපට, සෑම පාසල් නිවාඩුකදීම, විද්‍යා සහ ගණිත ආධුනික ගුරුවරු සඳහා, සේවාස්ථ පුහුණු නේවාසික කාර්ය සැසි පැවැත්වීමට සිදුවිය. අප සමග සිටි පළපුරුදු ජේෂ්ඨ නිලධාරියෙක්‌ පැරණි රසවත් කතා කීමට සමතෙක් විය. මෙය ඔහුගේ කථාවකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ගමක, බන්ඩියා සහ උක්කුවා නම් හේන් ගොවිතැන් කරන ගොවියෝ දෙදෙනෙක් සිටියහ. යාබද හේන් දෙකක වගා කරන මේ දෙදෙනා ගජ මිතුරන් විය. බන්ඩියාගේ හේනේ වැලක අති විශාල ලබු ගෙඩියක් හට ගත්තේය. මෙම ලබු ගෙඩිය හොඳට වැඩී මෝරා තිබෙන විට, එතැනට පැමිණි උක්කුවා හොඳ අදහසක් ඉදිරිපත් කළේය.

‘බන්ඩියෝ…. මේ ලබු ගෙඩිය හොඳට මෝරන්නට ඇරලා මේකෙන් අපි ලබු කැටයක් හදමු.’

‘කිව්වත් වගේ, මේකේ වතුර කලගෙඩියක් විතර පුරවන්න ඇහැකිනේ.’ කී බන්ඩියා යෝජනාවට එකඟ විය.

ලබු කැටයක් සෑදීම වගේ සුකුරුතම් වැඩක්‌ කිරීමට හැකියාවක් නොතිබුණු බන්ඩියා එය සකස් කිරීම තම මිතුරා වන උක්කුවාටම භාර කළේය.

‘ඔන්න ගොය්යෝ…..! ලබ්බ මගේ. ලැබූ කැටේ වැඩ විතරක්… ඔහේගේ ….! ’ කියා බන්ඩියා උක්කුවාට විහිලුවක්ද කළේය.

උක්කුවා ලබුගෙඩිය හොඳින් වේලෙන්නට හැර, මදය ඉවත් කර, විශාල ලැබූ කැටයක් සෑදුවේය. තරමක කලගෙඩියක අල්ලන තරම් වතුර දැමිය හැකි ලැබූ කැටය හේනට වතුර ගෙන යාමට ඉතා හොඳ භාජනයක් විය. එහෙත් එය එල්ලා ගෙන යාමට ක්‍රමයක් නොවිය. මේ සඳහාද කළහැකි දෙයක් බන්ඩියාට කල්පනාවිය.

‘මේකට මම එළු හම් පටි වලින් උගයක්‌ ගොතන්නම්. සිදාදියෙන් එළු හම් පටි මුඩියක්, කාසිවලට අරගෙන උගයකුයි, ඒකෙන්ම ලබූ කැටය එල්ලා ගෙන යන්න අත්තමකුයි හදන්නම්.’

උක්කුවා මෙයට කැමති විය.

ටික දිනකින් බන්ඩියා ලබුකැටයේ වැඩ නිම කළේය. එවැනි විශාල ලබු කැටයක් හේන් යායේ කිසිවෙකු සතු නොවිය.

දැන් බන්ඩියා තම හේනට වතුර ගෙන යන්නේ අලුත් ලබු කැටයේය. මේ බව කිහිප වරක්ම දුටු උක්කුවාට, එය අයිති තමන්ට නිසා, හිතේ තරහක්ද ඇතිවිය. එසේ වුවත් මිතුරු කම නිසාම ඔහු නිහඬව සිටියේය.

ඉවසීමේ සීමාව ඉක්ම ගිය පසු දිනක් උක්කුවා, බන්ඩියාගේ හේනට වතුර බීම සඳහා ගියේය. බන්ඩියා කිසිවක් නොදන්නා සේ ලබුකැටයෙන් පොල් කටුවකට වතුර ගෙන උක්කුවාට බොන්නට දුන්නේය.

එය ප්‍රතික්ෂේප කළ උක්කුවා ලැබූ කැටය බලෙන්ම උදුරාගෙන යන්නට සුදානම් විය.

කලබලවූ බන්ඩියා, උක්කුවාට එල්ල කළ පහරකින් ඔහු කටින් ලේ වගුරුවමින් සිහිසුන්ව බිම වැටිණ.

හේන් යායේ මුලාදෑනියාට විසඳීමට නොහැකිවූ නඩුව අනුරාධපුර උසාවියට තබන ලදී.

ඒ කාලයේ ‘නඩුකාර හාමුදුරුවෝ’ සිංහලෙන් කතා නොකළහ. පැමිණිලිකරුවන්ගේ සහ විත්ති කරුවන්ගේ ප්‍රකාශ තෝල්ක මුදලි විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම සිරිත විය.

නඩුව අනුරාධපුර උසාවියේ කැඳවන ලදී.

එහිදී තෝල්ක මුදලි ‘My lord…. these rustic fools are from a far off jungle village. It is an……. attempted murder.’ යයි හඬ නගා කීවේය.

කරුණු විමසීමෙන් පසුව ‘නඩුකාර හාමුදුරුවෝ’ විත්තිකාර බන්ඩියා ඇමතීය.

‘What have you got to say about this incident?’

බන්ඩියා දෙසට හැරුණු තෝල්ක මුදලි මහා හඬින් එය වහා පරිවර්තනය කළේය.

‘යුෂ්මතා…., මේ ඇබැද්දිය ගැන කියන්නේ මොනවද?’

බන්ඩියා යමක්‌ කියන්නට උත්සාහ කළත් ඔහුගේ වචන පිට නොවිය.

‘කතා කරනවා….. !. නැත්නම් කුඩුවට දානවා.’ තෝල්ක මුදලි ඔහුට තරවටු කළේය.

මහත් අසරණ බවට පත්වූ විත්තිකරු කට වෙව්ලමින් හෙමින් මෙසේ කිවේය

‘හාන්…ඳු….න්නනේ………., ලබ්බ…. උගේ.’ ….. ‘උගේ…… මගේ’

හිස නමාගෙන සිටි ඔහු බෙහෙවින් බැගෑපත් විය.

කිසිවක් නොතේරුණු බව පෙන්වූ විනිශ්චයකරු, තෝල්ක මුදලිගේ මුහුණ දෙස බලාගෙන සිටියේය.

තෝල්ක මුදලිට සිංහල ඉංග්‍රීසි දෙකම සහ ස්ථානය උසාවිය බවද අමතක විය.

‘මොකක්ද? තක්කඩියෝ කිව්වේ’ කියමින් ඔහු විත්තිකරු වෙත කඩා පැන්නේය.

මහත් බියට පත්වූ බන්ඩියා ‘අනේ ….. පිං කරන….. ‘හාන්ඳු….න්නනේ……., ලබ්බ උගේ. උගේ මගේ’ යයි නැවත කීවේය.

‘What did he say?’ කියමින්, විනිශ්චයකරු තෝල්ක මුදලි දෙස රෞද්‍ර බැල්මක්‌ හෙලා බලා සිටියේය.

ඔහුට එම ප්‍රකාශය ඉංග්‍රීසියට පරිවර්තනය කළ නොහැකි බව නොහඟවමින්

‘My Lord the accused says that the “gourd is his…… and his, is mine” that’s all’

‘What is t…h….a….t ? I can’t understand the English that you speak and what you say…………I can’t waste my time……. The case is dismissed.’!!

සැරෙන් කී විනිශ්චයකාර තුමා විත්තිකරු නිදහස් කළේය.

තෝල්ක මුදලි, තම තට්ට හිස කසමින් පසුබා සිටියේය.

ලබු කැටය වටා ලණුවලින් හෝ එළුහම් පටි තීරු වලින් සාදා ගන්නා බැම්ම සඳහා එකළ ගැමියා බහාවිත කර ඇති වචනය “උගේ’ යන්නයි.

තෝල්ක මුදලිට ලබුකැටයේ “උගේ” හැඳින්වීම සඳහා ඉංග්‍රීසි වචනයක් නොවීය. මේ සඳහා ඔහු යෙදුවේ උගේ (ඔහුගේ) යන තේරුම ඇති ‘his’ යන ඉංග්‍රීසි වචනයයි. අවසානයේදී විතිකරුගේ සත්‍ය ප්‍රකාශය ගරුතර අධිකරණයට තේරුම් ගත නොහැකි විය.

කථාව උගේ. (සමාවන්න! ඔහුගේ.) ඉදිරිපත්කිරීම මගේ.

http://dayawee2.blogspot.com/2018/01/blog-post_8.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල