කාලීන සංවාද

පුවක් එෂැණිං 37 – සුපිරිං කෝට්ටෙකෙං පස්න ඇහිල්ල…….

Off

විජේරාම මාවතේ ජනාධිපති නිල නිවස සැඳෑ අඳුරේ ගිලීයමින් පැවතිණි. එහි ආලින්දයෙහි වේවැල් වලින් වියන ලද කළුවර ඇඳි පුටුවක දිගාවී හුන් ජනාධිපති තුමා ගැඹුරු කල්පනාවක නිමග්නව හුන් සෙයක් දක්නට ලැබිණි. ආලින්දයෙහි එකද විදුලි පහනක් හෝ දල්වා නොතිබුණු හෙයින් එහි පැවතියේ මද අඳුරකි.

“මොකද අනේ මේ ලයිට් එකවත් දාගෙන නැත්තෙ? තව පොඩ්ඩෙංනං මේ කනප්පුවෙ හැප්පිල මගෙ මහපට ඇඟිල්ලත් කඩල යනව……සරල ජනාදිපති සරල ජනාදිපති කියල කිව්වට ලයිට් නැතුව කලුවරේ ඉන්න ඕනය කියල එකක් තියනවය…”

ආඩපාලි කියාගෙන ගෙතුලින් පිටතට පැමිණි ජනාධිපති ආර්යාව ආලින්දයේ විදුලි බුබුල දැල්වූවාය. ආලින්දය පුරා පැතිර ගිය විදුලි ආලෝකයෙන් ඇයට දැකගත හැකිවූයේ පුළුටුකොටගත් මුහුණින් යුතුව ඇඳි පුටුවෙහි වැතිර හිඳිනා ජනාධිපති තුමාය.

“මොකද අනේ මේ? අද සන්තෝසෙන් ඉන්න එපාද?” ඇය කරුණාබර ස්වරයකින් එසේ විමසමින් ජනාදිපතිතුමා අසල වූ තවත් පුටුවක අසුන් ගත්තාය.

“ඇයි අද මොකද සන්තෝසෙන් ඉන්න ඕන?” එතුමා ඇඳි පුටුවේ කෙලින්වී ඇසුවේය.

“ඇයි අනේ හෙටනෙ ඔයා දිනපු ජනාදිපතිවරනෙ තියල තුං අවුරුද්දක් පිරෙන්නෙ…”

“හාපෝ මතක් කරන්න එපා..ඒ දවස මතක් වෙනකොටත් මයෙ මයිල් කෙලිං වෙනව මේ…” ජනාදිපතිතුමා පැවසුවේ තම සුරත ආර්යාව දෙසට දිගු කරමිනි.

ආර්යාව සෙමෙන් තම ඇඟිලි තුඩින් එතුමාගේ සුරත වැළමිටේ සිට පහළට අත ගෑවාය. “ඇත්තම නේන්නං මේ මයිල් කෙලිං වෙලානෙව තියෙන්නෙ හොඳටම..මොකද අප්පේ මේ?” ඇය විමසූයේ කම්මුලේ අත තබාගනිමිනි.

“ඇයි නෝනෙ ඔයාට හිතාගන්න බැරිද? මේක මේ මල වදයක්නෙ..මට මේක කරන හැටි තේරෙන්නෙත් නෑ…මට ඕන කමකුත් නෑ…වෙලාවකට මට හිතෙනව අවුරුදු තුනකට ඉස්සෙල්ල පැරදුනානං මීට හොඳයි කියල. එහෙනං දෙයියනේ කියල අද ඉඳල මම නිදහස් මනුස්සයෙක්නෙ..”

“ඒ කිව්වෙ මට තේරුණේ නෑ..අවුරුදු තුනකට ඉස්සෙල්ල පැරදුනානං කොහොමද ඔයා අද ඉඳල නිදහස් මනුස්සයෙක් වෙන්නෙ?”

“මෙහෙමනෙ…..” ජනාදිපති තුමා පැහැදිලි කරන්නට වූයේය.

“එදා 2015 ජනවාරි 8 වෙනිද තිබ්බ ජනාදිපතිවරනෙං මම පැරදුනානං ආය දෙකක් නෑ මරා මාව හිරේ දානව අවුරුදු තුනකට..”

“ඒ කොහොමද එහෙම හරියටම කියන්නෙ අවුරුදු තුනකට කියල?”

“ඇයි නෝනෙ 2010 ජනාදිපතිවරනෙන් පැරදිච්චි අපේ ජෙනරල්ව හිරේ දැම්මෙත් අවුරුදු තුනකටනෙ. ඒ හින්ද මාවත් හිරේ දානව අවුරුදු තුනකට. අඩුත් නෑ වැඩිත් නෑ..”

“ඉතිං?”

“ඉතිංය කියන්නෙ එහෙම පැරදිල හිරේ ගියානං අද මම හිරෙං නිදහස්නෙ. එහෙමනං මරා ගාවට ගිහිල්ල කකුල් දෙක අල්ලල වැඳල හරි ආයම ඇමතිකමක් ඉල්ලගන්ට තිබ්බ. එහෙමත් නැත්තං අර පරණ රස්සාවම උනත් අවුලක් නෑ. දෙයියනේ කියල හිතට නිදහසේ සන්තෝසෙං ඉන්ටවත් බැරිය…නැද්ද මං අහන්නෙ?”

“හ්ම්ම්ම් එහෙම බලනකොට ඔයාගෙ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ නම් තමයි…ඒත් දැං ඔය ගැන කතා කරල වැඩක් නෑනෙ…ඔයාගෙ කැමැත්තෙං අකමැත්තෙං වැඩක් නෑනෙ ඔයා තමයි රටේ ජනාදිපති..ඒ හින්ද ඒ වැඩේ පුලුවන් තරම් හොඳට කරන්ට හිතනව මිස වෙන අනම්මනම් හිතල වැඩක් ඇත?…”

“ඔයාගෙ කතාව හරි නෝනෙ..ඒත් මට තියෙන ප්‍රශ්නෙ කරන්ට කියල කිසිම වැඩක් මගෙ හිතට එන්නෙ නැති එකනෙ. අඩුමගානෙ රටේ ජනාදිපති කියල කෙනෙක් ඉන්නවයි කියලවත් මිනිස්සුන්ට දැනෙන්ට මොනවහරි කරන්ට එපාය. නැත්තං හතර විලි ලැජ්ජාවයි නෙව..”

ආර්යාව මුවින් නොබැණ තම සැමියා දෙස බලා සිටින්නට වූයේ හදපිරි සන්තාපයෙනි.

“දැන් බලන්න නෝනෙ..මට අලුතෙං කරන්ට දෙයක් නැති හින්දම තමයි මම ඔය ඇමතිල කරන එක එක එව්ව අවලංගු කරන්නෙ…”

“ඒ කිව්වෙ?”

“ඒ කිව්වෙ මතකද අර මංගල ගෙනාව යෝජනාවක් බියර්වලට ගහන බද්ද අඩුකරන්ට කියල. ඇයි මම ඒ ගැසට් නිවේදනය අවලංගු කලේ?”

“ඇයි?”

“ඇයි කියන්නෙ මට ඕන වුනා රටේ මිනිස්සුන්ට පෙන්නන්ට ජනාදිපති කියලත් මනුස්සයෙක් මේ රටේ ඉන්නවය කියල. එතකොට ඊට කලිං අර මඩුවලිග කතාව, එතකොට කඩුව ගන්න කතාව..එව්ව ඔක්කොම එහෙම හිතාගෙන කියපුව…”

“ඒකනෙ මම ඒත් කල්පනා කලා අපෙ අප්පේ මේ පණපිටින් දිවිය ලෝකෙ ගිය සුළුගුළු උපාසක වගෙ ගෙදරදි කණට ඇහෙන්ට වචනයක් කතා කරන්නෙ නැති මනුස්සය ඉස්ටේජ් එකට නැග්ගම පරල වුනා වගෙ හතර අතටම පස් පඩංගුවෙ බැණ අඬ ගහන්නෙ මොන යකෙක් වැහිලද කියල…හිහ්..හිහ්..මේකයි එහෙනං හේතුව ඈ…”

“ඔව්..ඔව්..ඒක තමයි හේතුව…”

“ඉතිං ඔයා තව මොනවද ඉස්සරහට කරන්ට හිතාගෙන ඉන්නෙ රටේ ජනාදිපති කෙනෙක් ඉන්නවයි කියල මිනිස්සුන්ට දන්නන්ට?”

“දැනට දෙකක් මයෙ හිතේ තියනව..” ජනාදිපති තුමා පැවසූයේ සුරතේ දබරැඟිල්ල සහ මහටැඟිල්ල විදහා දක්වමිනි.

“ඒ මොනවද?”

“එකක් අර බවලත්තුන්ට අරක්කු විකුණන්ට තහනම්ය කියල තියන නීතිය අයිං කරන්ට ගෙනාපු යෝජනාව අවලංගු කරල දාන්ට..”

“අනික?”

“අනික මම හිතාගෙන ඉන්නෙ සුපිරිං කෝට් එකෙං අහන්ට මගේ ජනාදිපති ධුර කාලය අවුරුදු පහක්ද හයක්ද කියල…”

“ඇයි අනේ ඔයා ඡන්දෙ ඉල්ලුවෙ ධුර කාලය අවුරුදු හතරක් කරන්ට උනත් කැමතියි කියල නේද? එහෙම එකේ ධුර කාලය අවුරුදු පහක්ය කියල ව්‍යවස්තාවත් වෙනස් කරල තියෙද්දි ආයම අවුරුදු හයක් ඉන්ට පුලුවන්ද කියල අහන්ට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගෙ හිතෙන්නෙ එහෙම නැද්ද? මට නම් නිකං මහ මොකක්ද වගේ…”

“ඔන්න ඔන්න ඉතිං ඕකනෙ කියන්නෙ…මෙච්චර මේ අවුරුදු ගාණක් මාත් එක්කම ඉන්න ඔයත් ඔහොම හිතනකොට රටේ ලෝකෙ මිනිස්සු කොහොම නොහිතයිද? මට කිසිම ඕන කමක් නෑ අවුරුදු හයක් මේ සුමේ කොරන්ට…”

“එතකොට එහෙනං එහෙම එකක් අහන්නෙ අහවල් දේකටද?”

“එහෙම එකක් මම අහන්නෙ හේතු දෙකක් හින්ද?”

“එක මොකක්ද?”

“එක ඇවිල්ල මම මේ ඊයෙ පෙරෙයිද ඔය නඩු කාරයො ඔක්කොගෙම පඩි වැඩිකලා අස්ප ගණං වලිං. ඉතිං මම හිතුව යකෝ මෙච්චර පඩියකුත් ගෙවන එකේ මේ යක්කුංගෙං හරි හමං වැඩක් ගන්ට එපාය කියල. ඉතිං මම හිතුව මෙවුන්දලාගෙං කාලීන පස්නවත් අහමුය කියල. ඒක හින්දයි මම ඔය පස්නෙ උන්දලාගෙං අහන්නෙ”

“එතකොට දෙක?”

“ආ..දෙක මෙහෙමයි…ඔහොම පස්නයක් සුපිරිං කෝට් එකෙං ඇහුවම ඔය විස්තරේ පත්තර රේඩියෝ ටී.වී. එකේ එහෙම යනවනෙ. එතකොට මිනිස්සුන්ට මතක් වෙනව යකෝ 2015 ජනවාරි 8 වෙනිද අපි මෙහෙම කෙනෙක් පත්කර ගත්ත නෙවද ජනාදිපති හැටියට කියල…මොකද සුපිරිං කෝට් එකෙං මම අහන්ට හිතාගෙන ඉන්න පස්නෙ මෙහෙමයි…”

President Maithripala Sirisena, in terms of Article 129 (1) of the Constitution, has referred to the Supreme Court the following question for consideration and for an opinion to be submitted to the President on or before January 14, 2018…..

Whether, in terms of Provisions of the Constitution, I, as the person elected and succeeding to the office of President and having assumed such office in terms of Article 32(1) of the Constitution on January 9 2015, have any impediment to continue in the office of President for a period of six years from January 9 2015, the date on which the result of my election to the office of President was declared.”

“දැං බලන්ට නෝනෙ ඔය පස්නෙ තියනවනෙ සම්පූර්න විස්තරේම. මම පත්වුනේ කවුරු හැටියටද? එතකොට මම දිවුරුං දුන්නෙ කවදද? ඒ අවුරුදු කීයකටද? අන්න ඒ සියලු විස්තර ඒ පස්නෙ අඩංගු වෙලා තියනව. ඒ පස්නෙ කියවන ඕනම කෙනෙකුට අබමල් රේනුවක තරම්වත් සැකයකින් තොරව ඔප්පු වෙනව ලංකාවෙ වර්තමාන ජනාදිපති කවුද කියල. මට ඕන කරන්නෙත් ඔන්න ඔච්චරයි. එහෙම නැතුව තව අවුරුද්දක් මේ මල වදේ විඳින්ට එහෙම නෙවෙයි. හුහ්. මයෙ බල්ලටවත් එපා. ඊට හොඳයි පොලොන්නරුවෙ ගිහිල්ල මයියොක්ක පඳුරක් දෙකක් හදාගෙන ඉන්නව. අනික සුපිරිං කෝට් එකෙං කිව්වත් මට අවුරුදු හයක් ඉන්ට පුලුවන්ය කියල මම හිතාගෙන ඉන්නෙ තැන්කියූ යුවර් ඔනර්. මට අවුරුදු පහක් හොඳටම ඇති කියල අවුරුදු පහෙං පස්සෙ දමල ගහල ගෙදර යන්ට. දන්නවාද? අන්න එහෙමයි අපි හුහ්…”

“මම දන්නවනෙ ඔයා ගැන…” ආර්යාව සෙමෙන් පැවසුවාය.

“අනික නෝනෙ මේ රටේ හැම තැනම මහ හාහෝවක් පැතිරුනානෙ මගෙ ධුර කාලය අවුරුදු පහක්ද හයක්ද කියල. කොටිම්ම උදේට උදේට මට පත්තරේ ගේන අර පත්තර කොලුවත් මයෙං ඔය ගැන ඇහුවය කිව්වම…”

“නෑ?…”

“නෑ නෙවේ ඔව්…කොහොමද දන්නවද ඌ ඒක මයෙං ඇහුවෙ?…,මේ ලොකු සෑර් කිව්වට අමනාප අවෙන්ට එපා….. ඔබතුමාගෙ දුර කාලය අවුරුදු පහද නැත්තං හයද හැබෑටම?”

“ඉතිං?”

“ඉතිං මම ආපිට ඇහුව බොල කොලුවෝ බොට මොටද ඒකෙ වගක්?…අනික මොකෝ උඹ එහෙම අහන්නෙ? කියල….ඒ පාර කොලුව කියපි නෑ ලොකු සෑර් ඊයෙ මම අහගෙන අපෙ තාත්තයි බාප්පයි ටිකක් වැඩිවෙන්ට ගහල ඔය ගැන මහ හයියෙං වාද කරනව අපෙ බිතක්කනේ ඉඳගෙන…බාප්ප පහයි කියනව….තාත්ත හයයි කියනව …පහයි…නෑ හයයි….නෑ පහයි…නෑ හයයි….අන්තිමට කොහොම හරි දෙන්න මිදුලෙ පෙරලි පෙරලි ගුටි ඇන ගත්තයිදත් කොහෙද….ඔන්න ඔහොමයි පත්තර කොලුව කිව්වෙ…

“දෙයියංටම පෙනීයං…” ආර්යාවගේ දෑස විස්මයෙන් විශාලවී තිබිණි.

“හන්දියක් හන්දියක් ගානෙ මිනිස්සු ඒ ගැන කතා වෙන්ට වාද කරන්ට අරගෙන තියනව කියල මට රහස් ඔත්තු ආරංචි මාර්ග වලිං දැනගන්ට ලැබුන. කොටින්ම අතන අර කිරුලපන හන්දියෙ කට්ටි දෙකක් බෝම්බ කඩු කිණිසි වලිං සන්නද්දව ඇන කොටාගෙනත් තියනව. හත් අට දෙනෙක් ඉස්පිරිතාලෙත් ගිහිල්ල. අනික ඊයෙ පෙරෙයිද අර ජයවර්දන පුර ඉස්පිරිතාලෙ නේස් නෝනල මහත්තුරු ඉස්ටැයික් කලා. ඒ මොකටද? කිව්වෙ නං ඇඟිලි අස්සං යන්තර පස්නයක්ය කියල. ඒත් ඇත්ත හේතුව මේ මගේ ධුර කාලය ගැන තිබ්බ විචිකිච්චාව. දැං ඒ ඔක්කොම හරි. ජනාදිපති හැටියට මගේ යුතුකම රටේ ජනතාව සුකිතව මුදිතව ජීවත් වෙනවදැයි කියල හොයල බලල එහෙම නැත්තං එව්වට පිලියං යෙදිල්ල. අන්න ඒකයි මම මෙහෙම පස්නයක් සුපිරිං කෝට් එකෙං ඇහැව්වෙ. ඔන්න ඔය රටේ ජනතාව අතර ඇති කුකුස හින්දම තමයි සුපිරිං කෝට්ටෙකෙං ඔය පස්නෙ ඇහුවට පස්සෙ මම කියල තියෙන්නෙ මයෙ මාද්දිය ඒකකේට මෙන්න මෙහෙම මාද්දිය නිවේදනයක් නිකුත් කරන්ටෙයි කියල…”

“Meanwhile the President’s Media Division, issuing a statement, said that two different views have been expressed in legal, civil and political circles about the duration of the term of Presidency after the enactment of the 19th Amendment to the Constitution. In order to dispel this confusion, the President has sought the opinion of the Supreme Court regarding the actual term of office.”

“ඔයා නං ඇත්තටම දෙයියෙක් මෛත්‍රී” ආර්යාව ඇඳසිටි හවුස් කෝට් එකේ කොලරය ඔසවා කඳුලක් පිස දැම්මාය. “ඔයාට තව අවුරුද්දක් බලයේ ඉන්ට කිසිම ආසාවක් නැතිඋනත් රටේ ජනතාව වෙනුවෙන්නෙ ඔයා ඔය පස්නෙ සුපිරිංකෝට්ටෙකෙං අහන්ට යන්නෙ…මට ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන….”

ඒ දුටු ජනාදිපතිතුමාගේද දෑස් තෙත් වුයේ නිතැනිණ.

“මම හිතාන ඉන්නෙ නෝනෙ ඔය සුපිරිං කෝට්ටෙකෙං පස්න අහන වැඩේ දිගටම කරගෙන යන්ට..” ජනාදිපතිතුමා පැවසූයේ මෙතෙක් හිඳසිටි අසුනින් නැඟී සිටිමිනි.

“ඒ කිව්වෙ?”

“ඒ කිව්වෙ රටේ මිනිස්සුන්ට මමයි රටේ ජනාදිපති කියල අමතක වීගෙන එනකොට ඔන්න මම අහනව සුපිරිං කොට්ටෙකෙං නොම්මර එකේ ආතල් ද බ්‍රේව් පස්නයක්. එතකොට ඔන්න රටම හෙල්ලිල ගිහිල්ල හැමෝන්ම දැනගන්නව රටේ ජනාදිපති මමය මා එක්ක සෙල්ලං බැරිය කියල…හෙහ්,හෙහ්”

පලි – ජනාදිපතිතුමා ඊලඟට සුපිරිංකෝට් එකෙං අහන්ට යන පස්න මොනවාද? ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.

http://ranrandil.blogspot.com/2018/01/558-37.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල