අතීතකාමය

ගුරු පුහුණුව අධීක්ෂණයේදී ඉස්මතු වූ ගැටළුවක්

Off

එක් ගුරු විද්‍යාලයක ගුරු පුහුණුව ලබන ගුරුවරයෙකුට ඉගැන්වීමේ ප්‍රායෝගික පුහුණුව (teaching practice) සඳහා සති කිහිපයකට, ඉගැන්වීම සඳහා යාබද මහා විදුහලකට යාමට සිදුවිය. ඔහුට එහිදී ඉගැන්වීමට ලැබුණේ සාධන මට්ටමින් අඩු සිසුන් සිටින පන්තියකි.

එම පන්තියේ භෞතික විද්‍යා පාඩමකදී, සිසුන්ට තාපය ගලායාම (transfer of heat) සිදුවන අකාරය කිහිප වරක්ම විස්තර කලත් ඔවුනට එම සිද්ධාන්ත තේරුම් ගැනීම අපහසු වි ඇත.

ඔහුගේ ඉගැන්වීම නිරික්ෂණය කර අවසාන ඇගයීම් වාර්තාව සකස් කිරීම සඳහා තම පරීක්ෂකවරියද පසුදින එන බව දන්වා තිබිණ.

පන්තියේ සිසුනට කලින් දින පාඩම නොතේරුණු නිසා පසුදින එම පාඩම නැවත වඩා හොඳින් තේරුම් කිරීම සඳහා ඔහු උපායක් ගැන කල්පනා කළේය. ඔහුට ඒ සඳහා සරල උදාහරණයක් මතක් විය.

පසුදින ඔහු පන්තියට යනවිටම වාගේ අධීක්ෂක කථිකාචාර්යවරියද පන්තියට පැමිණ පසුපස ආසනයක හිඳගත්තාය.

ඔහු කලින් දින සිසුනට තේරුම් ගැනීමට නොහැකිවූ පාඩම ආරම්භ කිරීමට සූදානම් විය. ‘ඊයේ මේ දරුවන්ට තේරුම් ගැනීමට බැරිවූ තාපය ගලායාම පිලිබඳ අදහස තේරුම් ගැනීමට කවුරුත් දන්නා පහසු උදාහරණයක් ගන්නම්’ කියමින් ඔහු පාඩම ඉගැන්වීම ආරම්භ කළේය.

අධීක්ෂකවරිය හරිබරි ගැහී වාඩිවී ගුරුවරයාට හොඳින් ඇහුම්කන් දීගෙන සිටියාය.

මෙන්න මෙවැනි සිද්ධියක් ගැන සිතන්න.

“ගින්නට හසුවූ නිවසක ගිනි නිවීම සඳහා පිරිසක් ඉදිරිපත් වී සිටිති.”

“ඔව්හු පළමුව, බාල්දි සහ වෙනත් භාජනවලට වතුර ගෙනවිත් ගින්නට වත් කළහ.”

“ගින්න අඩු නොවන නිසා සියල්ලෝම පෙළට සිට භාජන වලට පිරවූ වතුර ඉක්මනට අතින් අත යවා ගින්න නිවීමට තැත් කළහ. එහෙත් ගින්න තවමත් ඇවිලෙමින් තිබේ.”

“ඊටපසු මෙතනට පැමිණි අසල්වැසියෙකු, තම ගෙදර ජලකරාමයට සවිකළ රබර් ‘හෝස්’ බටයෙන් කෙලින්ම ගින්නට වතුර දැමිය. ටික වෙලාවකින් ගින්න නිවා දැමීමට හැකි විය.”

“දරුවනේ, තාපය ගලායාමේ සරලම ක්‍රමය බාල්දිවලින් වෙන වෙනම වතුර ගෙනගොස් ගින්න නිවීම වගේ සන්නායකයේ අංශු ඔස්සේ ටිකින් ටික තාපය ගමන් කිරීමයි. මෙයට සන්නයනය යයි කියනවා.”

“දෙවැන්න තමයි, පෙලට සිට වතුර බාල්දි අතින් අත යැව්වා වැනි, මාධ්‍යයේ අංශු මගින් ලබාගන්නා තාපය ‘සමුහ’ වශයෙන් ගමන් කිරීම. මෙයට කියන්නේ සංවහනය යි.”

“ඊළඟට අවසානයේදී, ‘හෝස්’ බටය පාවිච්චි කර, ජල කරාමයේ සිට කෙලින්ම ගින්න වෙතට ජලය යැවීම වැනි, තාපය අතරමග කිසිම බාධාවක් නොමැතිව ගමන් කිරීමේ තුන්වෙනි ක්‍රමයට කියන්නේ විකිරණය කියායි.”

‘දැන් තේරෙනවා නේද?’

‘ඔව් සර්…. සන්නයනය, සංවහනය සහ විකිරණය. හරිම ලේසියි………’ ළමයින්ගේ ප්‍රතිචාරය විය.

අධීක්ෂකවරිය ගුරුවරයාගේ ඉගැන්වීමේ දක්ෂතාවය ගැන බෙහෙවින් පැහැදී ඔහුට ‘ඉතා හොඳ’ ශ්‍රේණියක් (A grade) දීමට සටහන් කර ගත්තාය.

කාල ඡේදය අවසන් වීමට තව ටික වේලාවක් තිබුණු නිසා අධීක්ෂකවරිය පන්තිය ඉදිරියට ගොස්, සිසුන්ගෙන් කලින් පාඩම් කිහිපයක් පිලිබඳ ප්‍රශ්න කිහිපයක් ඇසුවාය. ඔවුන්ගෙන් එම ප්‍රශ්න සඳහා හොඳ ප්‍රතිචාර ලැබිණ.

අවසානයේදී ඇය එදින පාඩම ගැනද මෙසේ ප්‍රශ්නයක් ඇසුවාය.

“තාපය ගමන් කරන ආකාර තුන කෙටියෙන් විස්තර කරන්න.”

සියලුම සිසුන් දකුණු අත ඉහලට ඔසවා ‘මිස්…. මිස්…..’ කියමින් තමන් දන්නා බව පෙන්වුහ. ගුරුවරයාට ඉමහත් සතුටක් ඇතිවිය.

අධීක්ෂකවරිය ඉදිරි පෙළේ සිටි සිසුවියකගෙන් පිළිතුර ඇසුවාය.

ඇයගේ පිළිතුර මෙසේ විය.

“එක ක්‍රමයක් ඈත සිට වතුර විසි කිරීම වැනි සන්නයනයයි.”

ඇයගේ මුහුණ ඇඹුල් වී ගොස් තවමත් අත ඔසවා ගෙන සිටින සිසුවෙකුට සන් කළාය. එම සිසුවාගේ පිළිතුර මෙසේය.

“දෙවෙනි ක්‍රමය වතුර බාල්දි අතින් අත යාම වගේ සංවහනය සිදුවීමයි ”

අධීක්ෂක වරිය තරමක් කලබලවී මැද පේලියේ සිටි සිසුවෙකු ඇමතුවාය. ඔහුගේ පිළිතුර මෙසේ විය.

“ජලය රබර් බටයකින් යැවීම වැනි තුන්වෙනි ක්‍රමය විකිරණයයි.”

සිසුන්ගේ පිළිතුරු ගැන මහත් වික්ෂිප්ත භාවයට පත්වූ අධීක්ෂකවරිය ‘යම්කිසි සංකල්පයක් උගන්වන විට ඕනෑවට වඩා දුරට ගොස්, එය විග්‍රහ කරන්නට යන්නට එපා’යයි ගුරුවරයාට සෙමින් කියමින් පන්තියෙන් පිටවුවාය.

පන්තියේ සිසුන්ට ගුරුවරයා විසින් දෙනු ලැබූ උදාහරණය හොඳින් වැටහී තිබුණත්, එම උදාහරණය තාපය ගලායාමේ සංසිද්ධිය සමග ගලපා ගන්නේ කෙසේද යන්න පිලිබඳ නිරවුල් අවබෝධයක්‌ ලැබී නොමැති බව පෙනේ.

විද්‍යා ගුරුවරයාට ප්‍රායෝගික ගුරු පුහුණුව ව සඳහා හිමිවූ ශ්‍රේණිය A සිට C දක්වා අඩුවී තිබිණ.

සිසුනට ඉගැන්වීමේදී ඕනෑවට වඩා උදාහරණ ගෙනහැර දැක්වීමද අයෝග්‍යය.

http://dayawee2.blogspot.com/2018/01/blog-post_19.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල