අතීතකාමය

අපේ ඩැඩා ගේ වැඩ හිටං.. While we wait for life; He enjoys it…..!

Off

අපේ තාත්තා.. තාත්තා ගැන ලියන්න සෑහෙන කාලෙක ඉඳල හිතාගෙන ඉන්නේ.. ඒත් හරියටම ගලපගන්න බැරි උනා ඊයේ වෙනකං.. ඔන්න ඊයේ මට සෙට් උනා කොණක්..

දැන් මාසෙකට විතර කලින් දවසක් අම්මගෙන් කෝල් එකක් ආවා.. අද රෑ ‘අරුම පුදුම රෝද හතර’ බලන්න කියල.. ටීවී බැලිල්ලක් අපේ ගෙදර රුටීන් එකේ නැති නිසා මම කෝකටත් කියුව අම්මට ආපහු ඒක පටන් ගන්න කලින් කෝල් එකක් දෙන්න කියල.. ඒත් එදා වෙන මොකක් හරි හේතුවක් නිසා අපි බලාපොරොත්තු වුනු කොටස එදා විකාශය උනේ නෑ.. ඉතින් ඕක ඔහොමම අමතක උනා.. ඔන්න ඊයේ හවස ආයෙම කෝල් එකක් ආවා බදුල්ලෙන් ‘අරක අද යනවලු’ කියල.. ඒ පාර කෝකටත් කියල ඊයෙත් රෑ නවයට ටීවීයෙක ඉස්සරහ ඉඳගත්ත..

අරුම පුදුම රෝද හතරේ නිවේදකයා ‘තනියෙම කන්දක් කපන්න ගත්ත චීන ගොවියෙකු’ ගැන ඌණපූරණයකින් පටන් ගත්තේ.. ඒකත් නරකම නෑ.. ඒ වුනාට ඒ චීන ජාතිකයා බලාපොරොත්තු උනා වගේ තමන්ට බැරිවෙන හරිය තමන්ගේ දරුවන් කරයි කියල අපේ තාත්තා නම් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ.. එයා දන්නවනේ එයාගේ දරුවන්ගේ තරම..

අපේ ගම බදුල්ලේ නගර සිමාවේ කන්දක් උඩ තියෙන අලුත් ගමක්.. වෙල් යායවල්, වැව්, ගංගා වගේ ගමට සුන්දරත්වය ගේන විශේෂ කරුණු මොනවාවත් එහෙමටයි කියල මහලොකු ‘ගමේ කමක්’වත් ඇති තැනක් නෙවෙයි.. වටේට තියෙන තේ වතු ටිකයි ගම පිටිපස්සෙන් තියෙන ගල් කන්දයි විතරක් උනත් ‘ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටලා තියෙන අතිශය සුන්දර රමණිය භුමි භාගය’ අයත් කන්දේම අනිත් පැත්තේ හෙවත් ඉතුරු භාගයේ පිහිටලා තියෙන නිසා පොඩ්ඩක් කන්දට නැගල වටපිට බැලුවම නම් ලස්සනයි තමයි.. ගමේ මිනිස්සු කියපු විදියට ගමට තිබුණු ලොකුම අඩුව තමයි ගමටයි කියල පන්සලක් නොතිබුණු එක.. මිට අවුරුදු දහ දොළහකට කලින් ඒකට එක්තරා විසඳුමක් ලැබුන.. කොහේදෝ ඉඳල වැඩිය ඉරිසින්නාන්සේ කෙනෙක් බාවනානුයෝගිව වැඩ ඉන්නයි කියල අපේ ගම තෝරා ගත්තට පස්සේ ගමේ කෙලවරේ පුංචි බිම් කඩක උන්නාන්සේට පන්සලක් වෙන් කරලා දෙන්න ගමේ මිනිස්සු කටයුතු කළා.. පස්සේ මේ ‘පන්සල’ නගරාශ්‍රිත පන්සලක ඉන්න නායක ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ භාරකරත්වයටත් පත්වෙලා සඟ සතු දේපලක් බවටත් පත් උනාටත් පස්සේ අර ඉරිසින්නාන්සේ පංසල දාල යනවා..

ඔහොම කාලයක් අවතැන් වෙලා තිබ්බ පන්සලට ටවුමේ පංසලේ නායක හාමුදුරුවොන්ගේ ගෝල නමක් වෙන පූජ්‍ය කටුගස්තොට නාලකවංශ කියන මම කීප ආකාරයකින් ගරු කරපු ලොකු හාමුදුරුනමක් වඩින්නේ ඔය අතර.. අපේ තාත්තගේ පරම්පරාවත් පැවතෙන්නේ කටුගස්තොට ආශ්‍රයෙන් නිසා ටික කාලෙකින්ම දෙන්න හොඳටම සෙට් වෙනවා.. හාමුදුරුවෝ ගිහි කාලේ හොඳ බාසුන්නැහැ කෙනෙක් ලු. කලින් කියපු ලොකු හාමුදුරුවන් ළඟ පන්සල්වල තමයි වැඩ කරලා තියෙන්නේ.. පිළිම නෙලන්න, ගල් කැටයම්, ලී කැටයම්, චිත්‍ර, මේසන් වැඩ, වඩු වැඩ ඕනෙම වැඩක් ඇඟේම පිහිටලා තිබ්බේ.. පංසලේ ඉන්න ගමන් වැඩ නැති වෙලාවට තිබ්බ සේරම බණ පොත් කියවලා ගැඹුරු අභිධර්මය ඇතුළු බොහෝ ධර්ම කරුණු ගැන නායක හාමුදුරුවන්ටත් වඩා දැනුම රැස් කරගෙන තමයි මහණ වෙලා තියෙන්නේ.. ඒ මහණ වෙලා උපසම්පදාවෙන් පස්සේ අවුරුදු ගානක්ම දඹාන පැත්තේ මාවරාගල කියන ආරණ්‍ය සේනාසනයට වෙලා වනගතව භාවනා කරලා.. ඔහොම ඉද්දී නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමට තමයි ඇවිත් අපේ පංසල භාරගෙන තියෙන්නේ.. මම කැමති පළවෙනි කරුණ හාමුදුවන්ගේ ඒ ධර්මාවබෝධය..

ඒ වගේම හාමුදුරුවෝ හරිම කෙලින් කතා කරනවා.. කොටින්ම නායක හාමුදුරුවන්ට විතරක් නෙවෙයි මහා නායක හාමුදුරු නමකට උනත් කියන්න තියෙන දේ කෙලින්ම කියනවා.. දායකයින්ටත් එහෙමයි.. මේ කරුණ නිසාම සමහරු හාමුදුරුවොත් එක්ක අමනාපයි.. ඒත් හමුදුරුවොන්ට ඒක ගානක් නෑ.. ආයේ මනාප කෙනෙක් කියල උනත් විශේෂයක් නෑ.. හොඳම උදාහරණෙ අපේ තාත්තා.. හමුදුරුවොන්ගේ ලඟින්ම හිටපු සගය උනාට මම හිතන්නේ හාමුදුරුවොන්ගෙන් වැඩිපුරම බැණුම් අහලත් ඇත්තේ අපේ තාත්තා තමයි.. ඒක මම කැමති තවත් ගුණයක්..

තව එකක්.. හාමුදුරුවෝ කිසිම ආකාරයකින් දේශපාලන සම්භන්දකම් තියාගත්තේ නෑ.. කිසිම දේශපාලකයෙක් පංසලේ කිසිම වැඩකට ගෙන්න ගත්තේ නෑ වගේම පංසලට ආපු කිසිම දේශපාලකයෙකුට සාමාන්‍ය දායකයෙකුට එහා විශේෂත්වයක් පෙන්නුවේ නෑ.. ඒ එක්කම හාමුදුරුවන්ගේ තිබ්බ උඩින් කියපු විශේෂ හැකියාවනුත් මගේ විශේෂ ආකර්ෂණයට හේතු උනා..

හාමුදුරුවෝ මුලින් පටන් ගත්තේ පෝය දවසේ ඉඳන් එක දිගට දවස් හතරක් කරන භාවනා වැඩසටහනකින්.. ඒ එක්කම කලින් නිකම්ම නිකං පන්සලක් වෙච්චි එක ‘විපස්සනා භාවනා මධ්‍යස්ථානයක්’ උනා.. ඒ පිළිබඳව ලොකු අවබෝධයක් නැති උනත් මට හිතෙන්නේ ඒ වගේ සංවිධානාත්මක වැඩසටහනක තිබ්බ රික්තයක් පිරවීම නිසාද මංදා හාමුදුරුවන්ගේ භාවනා වැඩසටහන ඉතාමත් ජනප්‍රිය උනා.. ඒ එක්කම බදුල්ල අවටින් විතරක් නෙවෙයි කොළඹ ඉඳල පවා පෝයට ඒ වෙනුවෙන්ම ඇවිත් නේවාසිකව ඉඳල භාවනා වැඩසටහනට සහභාගී වෙන කණ්ඩායම් පවා එන්න ගත්ත. ඒ නිසාම පන්සලේ භෞතික සම්පත් මදි කම ලොකුවට දැනෙන්න ගත්ත.. ධර්ම ශාලාවක්, වැසිකිළි කැසිකිලි පහසුකම්, නේවාසික බැතිමතුන්ට අවශ්‍ය වෙනත් පහසුකම් වගේ දේවල්.. ඒ වගේම වඳින පුදින තැන්, සක්මන් මළු, භාවනා කුටි වගේ වගේ දේවල් වල අවශ්‍යතාවයත් ඇති උනා මගේ හිතේ..

ඒත් ප්‍රතිපත්තියක් විදියට හාමුදුරුවෝ කිසිම කෙනෙක්ගෙන් කිසිම උදව්වක් ඉල්ලුවේ නෑ.. අඩුම තරමින් පන්සලේ විදුලි බිල ජල බිල ගෙවන්න සම්මාදමක්වත් ඉල්ලුවේ නෑ.. ඒ වෙනුවට විදුලිය නැත්නම් ගිනිමැලයක් ගහගෙන ඉන්න වතුර නැත්නම් ලිඳක් කපාගන්න එක තමයි හමුදුරුවොන්ගේ පිළිවෙල උනේ.. නමුත් දායක දායිකාවෝ එකතු වෙලා පංසල ගොඩ නැගුවා.. ඒ සියල්ලම හැසිරුවේ ලොකු හාමුදුරුවෝ.. දායක දායිකාවෝ එකතු වෙලා බුදු කුටිය හදනකොට උන්නාන්සේ ඒක ඇතුලේ ඉතාමත් කලාත්මක බුදු පිළිමයක් නෙළුව.. ඒක හරිම ලස්සනට පින්තාරු කරා.. උඩු වියනේ කලාත්මකව මල් කැටයම් චිත්‍රයට නැගුවා.. ගල් කටුවයි මිටියයි අරං කන්දෙන් පෙරලගෙන ආපු ගල් වල ලස්සන පහන් කෙටුවා.. ගමේ මිනිස්සු එක්ක එකතුවෙලා මහා ගල් පෙරලලා බැමි දාල කන්ද උඩට ලස්සනට ලස්සනට ගෙබිම හදල ඒ එක තැනක බෝධියක් රෝපණය කරා.. තවත් පැත්තක බුදු කුටිය හා දොළොස් මහේ පහන.. එතනින් උඩට එක තැනක ධර්ම ශාලාව.. අනිත් පැත්තට ගල් පොකුණක් හා සක්මන් මළුවක්.. එතනිනුත් උඩට ගියාම අලංකාර චෛත්‍යයක්.. මේ වගේ කිසිම දේශපාලකයෙකුගේ වත් ලොකු සල්ලිකාරයෙකුගේවත් ඇල්ම බැල්ම නැතුව පංසල දවසින් දවස ගොඩ නැගුනා..

අපේ මහා ජෝඩුවත් වගකීම් ඔක්කොගෙන්ම වගේ නිදහස් වෙලා පැන්ෂන් එකෙන් කකා හිටපු එක දවසින් දවස පන්සලටම සින්න වෙන්න ගත්ත.. මම කලින් වතාවක නාය යාම් ආධාර ගැන ලියුව වගේ මොකක් හම්බුනත් ‘අනේ සාධු මේක පංසලට හොඳයි’ කියල ඒ දේවල් පන්සලටම පුජා කරා.. පැන්ෂන් එක තාත්තගේ උනාට ඒවා කෙරුනේ නම් අම්මගේ අතින්.. අපේ තාත්තට සල්ලි වල අගයක් වගේ වගක් නෑ. ඉස්සර ඉඳන්ම එහෙමයි.. ඒ නිසාම අපිට වෙච්චි අවනඩුත් බොහොමයි.. ඒත් තාත්තා කවදාවත් වෙනස් උනේ නෑ.. එයාට තිබ්බේ බොහොම සරල අවශ්‍යතා ටිකක්.. හැබැයි යමක් පටන් ගත්තොත් කවුරු හිටයත් නැතත් ඒක අවසානයක් වෙනකම් හීන් සීරුවට කරගෙන යන්න තාත්තට ලොකු ආත්ම ශක්තියක් තිබ්බ.. එයාට භාහිර ලෝකේ වෙන්නේ මොකක්ද කියන්නේ මොනවද කියන එක තමන්ගේ වැඩේට අදාලම නෑ..

අපේ තාත්තා අතින් අපිට බොහෝ අඩුපාඩුකම් වෙලා තියෙනවා.. ඒ කාලයක් තිස්සේ ඇබ්බැහි වෙලා හිටිය බීමත්කම නිසා හා ඒ එක්ක අපේ පවුලට ආපු අගහිඟකම් නිසා.. හැබැයි අපේ තාත්තා එදා ඉඳන්ම ලෝකෙට බොහොම හොඳ මිනිහෙක්.. බොන්නත් සිංදු කියන්නත් තිබ්බ ලැදියාව නිසා පවුලේ වගකීම් වලින් දුරස් උනාට තාත්තාට පවුලෙන් පිට කිසිම කෙනෙක් කිසිම දොසක් කියල නැතුව ඇති.. නාලකවංශ හාමුදුරුවන්ගේ ආශ්‍රයෙන් පස්සේ තාත්තගේ බීමත්කම සම්පුර්ණයෙන්ම නතර උනත් සංගීතයට ලැදි බව නම් අඩුවක් උනෙම නෑ.. ඒ වෙනුවෙන් හාමුදුරුවන් කොච්චර දඬුවම් දුන්නත් හාමුදුරුවන්ට තාත්තව හදන්න බැරි උනා.. දඬුවම් කියන්නේ භාවනා කිරීමට අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්න දීපු ටාස්ක්.. හැබැයි තාත්තා බොහොම සැහැල්ලුවෙන් ඒවා ඉවසල සින්දුවක් කියාගෙන හිටියා.. අන්තිමේ හාමුදුරුවොම දඹදිව ගිය වෙලාවේ හාමුදුවන්ගේ වියදමෙන් තාත්තට සර්පිනාවක් අරගෙන දීල හිත හදාගෙන තිබුන.. 🙂

නාලකවංශ හාමුදුරුවන්ගේ ආශ්‍රයට වැටුනම තාත්තාගේ ජිවිතේ එක පැත්තක් කෙලින්ම U turn එකක් ගැහුවා කියුවොත් හරි.. එතකං ජිවිතේ ලොකු වගකීමක් ගත්තේ නැති බරක් පතලකට ගත්තේ නැති අඩියක් පුඩියක් ගහල ජොලියේ සින්දුවක් කියාගෙන හිටපු තාත්තා එක වරම වගකීම් සහිත පුද්ගලයෙකු උනා.. පන්සලේ එකතුවෙන මුදල් හදල වල භාරකාරත්වය ලැබුනෙත් තාත්තට.. මහා ලොකු මුදලක් එකතු නොවුනත් ලැබෙන රුපියල පවා පිළිවෙලට සටහන් කරගෙන එයින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන පන්සලට අරන් දෙන්න තාත්තා කටයුතු කරා.. හැබැයි තාත්තට ඒ මදි උනා.. ලොකු හාමුදුරුවෝ බණ කියල අහවරවෙලා සිවුර ගලවල අඳනය පිටින් පංසලේ වැඩ කරද්දී තාත්තා ඒ වගේම තවත් බරපතල කටයුත්තකට අත ගැහුවා.. ඒ අර කන්ද උඩට උඩට පංසලේ තැන තැන හැදිච්ච වන්දනාමාන කරන ස්ථාන වලට හා ධර්ම ශාලා වලට යන්න පාරවල් හදන එක.. බැකෝ වලින් කපල මඩ වෙලා තිබ්බ කන්ද පාමුලම පන්සලට ඇතුළු වෙන තැනින් ‘පාර හදන්න’ තාත්තා පටන් ගත්ත.. කොහොමද.. කන්ද පුරා ඇවිදලා තමනට පෙරලන්න පුළුවන් ප්‍රමාණයේ විශාල තිරිවාන ගල් පෙරලගෙන ඇවිත් ගලෙන් ගල වලවල් හාරලා යට කරලා මතුපිට සුමට වෙන විදියට අඩි අටකට වැඩිය පළලින් වැඩි පාරක් තාත්තා ‘තනියම’ හදන්න ගත්ත.. ඔය වැඩේ පටන් ගන්නකොට තාත්තට වයස අවුරුදු හැත්තෑව පිරිලා.. සමහර දවසටම ගෙනල්ල යටකරන්න වෙන්නේ එක ගලයි නැත්නම් දෙකයි.. මාසෙට දවස් හතරක් සිල් සමාදන් වෙලා ඉතුරු දවස් හැම එකකම උදේම පංසලට ගිහිං තාත්තා වැඩ කරා.. එතන ඉඳල එක දිගට අවුරුදු හතකට ටිකක් වැඩි කාලයක් එහෙම වැඩ කරලා තාත්තා පන්සල පුරා කන්ද උඩට උඩට ඉතා අලංකාර ඒ වගේම ශක්තිමත් තනිකරම ගල් වලින් නිම කරපු පාරවල් මීටර් තුන්සියයක් පමණ ‘තනිවම’ හදල නිම කරා.. එක සත පහක වියදමක් නැතුව.. අද ඒ පාරෙන් කිසි ගැටළුවක් නැතුව වාහනයක් පංසල ඉහලටම ගන්න පුළුවන්..

පංසල ඉහත්තාවේම තියෙන අලංකාර චෛත්‍ය හදල නිම කරනවත් එක්කම වගේ තාත්තගේ ‘රෝඩ් ප්‍රොජෙක්ට්’ එකත් ඉවර උනා.. චෛත්‍ය හදල කොත නිරාවරණය කරන දවසේ ඉතා විශේෂ සිදුවීමක් උනා.. කොත නිරාවරණය කිරීමේ උත්සවයට වැඩම කරලා හිටපු ඌව පළාතේ සියළුම මහා සංඝයා ඉදිරියේ කටුගස්තොට නාලකවංශ හාමුදුරුවෝ මයික් එක අරගෙන මේ කටයුත්ත අගය කරලා චෛත්‍යයේ කොත නිරාවරණය කරන්න තාත්තාට ආරාධනය කරා.. ඒක හරිම සංවේදී මොහොතක් උනා..

මිනිහෙක්ගේ ජිවිතේ වෙච්චි වැරදිවලට ගෙවන වන්දි ගණනය කරන සිස්ටම් එකක් තිබුනානම් මට හිතෙන්නේ අපේ තාත්තා ඒවා පොලියත් වැල් පොලියත් එක්ක ඔක්කොම එකවර ගෙවා දමල තියෙනවා.. කඳු පාරේ මඩේ ලිස්සමින් කූඩැල්ලෝ එල්ලෙමින් ගිය පාරේ අද සැදැහැවතුන් සැහැල්ලුවෙන් තියන අඩියක් අඩියක් ගානේ ඒ පින් තාත්තට අනුමෝදන් වෙනවා නිසැකයි.. ඒ උනත් තාත්තා ඒ දේවල් වත් ලොකුවට ගණන් ගන්න එකක් නෑ.. සිංදුවක් කියල හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න තියෙනවනම් ඒක තමයි මම දකින තාත්තා අත්දකින සැනසීම..

අවුරුදු හැත්තෑනවයක හැරමිටියෙන් ඇවිදින මේ මහලු කොල්ලා හොයාගෙන රුපවාහිනියේ අරුම පුදුම රෝද හතරෙන් ගිය දවසේවත් ඒක වෙනස් උනේ නෑ.. මේ වීඩියෝවේ මුල් විනාඩි පහ හයෙන් අපේ ගමේ පංසලත් අපේ තාත්තගේ දාඩිය මහන්සියෙන් හදපු ඒ පාරත් අපේ තාත්තගේ සිංදු කෑල්ලකුත් අහගන්න පුළුවන්..

අවුරුදු 62 වගේ අඩු වයසකින් සසර ගමනේ අවසානයට ආසන්න නැවතුමකින් නික්ම ගිය ඒ කටුගස්තොට නලකවංශ නම් වූ ප්‍රිය යතිවරයාණන්ට මේ සටහන උපහාරයක් වේවා!

http://kalahitha.blogspot.com/2018/01/while-we-wait-for-life-he-enjoys-it.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල