සාහිත්‍ය කළා විචාර

නායකයාගේ ආගම

Off

ජනාධිපතිතුමා ශ්‍රී මහා බෝධියට නමස්කාර කරනු දැක්වෙන ඡායාරූපයක් සමග කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ ශාමිනී සේරසිංහ නමැති මාධ්‍ය වේදිනිය විසින් ලිපියක් පළ කර තිබේ. ඇය සඳහන් කරන්නේ ජනාධිපතිතුමා සියළු ජන කොටස් වෙනුවෙන් පත් වූ නායකයා බැවින් තමන්ගේම ආගම වුවද එයට ප්‍රදර්ශනාත්මකව වන්දනාමාන කිරීම වැරදි බව ය. තවද, ඒ සම්බන්ධයෙන් ජේ. ආර්., චන්ද්‍රිකා සහ රනිල් ආදර්ශයට ගන්නා ලෙසත් ඇය අවවාද කර තිබේ.

මෙම ලිපියට අදහස් දක්වන ඇතැම් අය කියන්නේ ජනාධිපතිතුමාටද සිය ආගම ඇදහීමේ නිදහසක් ඇති බව ය. ජනාධිපති වූ පළියට මිනිසකුට තමන්ගේ ආගම අමතක කළ හැකිද? නොහැක්කේමය. කෙසේ වුවත්, වත්මන් ජනාධිපතිතුමාට උපදෙස් දෙන අයගෙන් නම් හිඟයක් නැත. හිටපු ජනාධිපතිවරයාට එසේ උපදෙස් දීමට සිතූ කෙනෙකු වත් දකින්නට ලැබුනේ නැත. අඩු වශයෙන් ජනාධිපති උපදේශක වශයෙන් සිටි එකසිය ගණනක පිරිස වුවත් උපදෙසක් දෙන්නට ඇත්තේ කල් යල් බලා මූඩ් එක හොඳ නම් පමණක් විය හැකිය.

ජනාධිපතිවරු පමණක් නොව වෙනත් නායකයන් ද තම පෞද්ගලික අභිමතයන් සඳහා වූ විවිධ කාර්යයන් පොදු කාර්යයන් සේ සළකා කරන අවස්ථාවන් අපට දකින්නට ලැබේ. ඉහත ලේඛිකාව සඳහන් කරන්නාක් මෙන්ම ජේ ආර් ජයවර්ධන නමැති අසාමාන්‍ය පුද්ගලයා එසේ පෞද්ගලිකත්වය හා රාජකාරිමය කටයුතු එකට පටලවාගත් අවස්ථාවක් මතකයට නගාගැනීම අසීරුය. සමහර විට ජාතික රුක් රෝපණ දිනය ලෙස උපන් දිනය නම් කිරීම වැනි එතරම් මහජන අවධානයක් යොමු නොවන කටයුත්තක් කරන්නට ඇත. එනමුත් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන් සිය උපන් දිනය සැමරුවේ උදාගම් සංකල්පය හරහා බව එකල ප්‍රචලිත විය. එමතු නොව ඔහු විසින් සිය මව් පිය දෙපළ අනුස්මරණය කරමින් මව්ගම හා පියගම නමින් උදාගම් දෙකක් ද සකස් කර ඇත. මේ ගම් වල නම් කෙසේ වෙතත් ඒ උදාගම් ව්‍යාපාරය හරහා විශාල පිරිසකට සෙතක් වුනු බව නම් සත්‍යයකි. (ඒ හැරෙන්නට නිතරම පාහේ මල් වට්ටියක් අතැතිව රූපවාහිනියෙන් හෝ පුවත්පත්වලින් පෙනී සිටි එතුමාට “පුෂ්පකුමාර“ කියා විකට නමක් පටබැඳ තිබුනු බව වැඩිහිටියන් කියනු මා අසා ඇත.)

ශාමිනී සේරසිංහ
තමන්ගේ උපන්දිනය දා රාජකාරි වේලාවෙන් පැය භාගයක් පමණ වෙන් කර කේක් එකක් කපා සුහද කථාවක් පවත්වා සරළ හා චාම් උපන්දින උත්සව පවත්වන ආයතන ප්‍රධානීන් මා දැක ඇත. එමෙන්ම, ප්‍රධානියා වෙනුවෙන් එවැනි සුළු උත්සවයක් (ඉවෙන්ට් එකක්) සංවිධානය කරන ගෝල බාලයන් ද ඇතැම් විට සිටිති. ආයතන ප්‍රධානියෙක් වෙනුවෙන් එහි සේවය කරන්නන් අනිවාර්යයෙන් භක්තිමත් විය යුතු බව මට සිතෙන්නේ නැත.

නායකයකුට තමන් කැමති ආගමක් ඇදහිය හැකිය. තමන් කැමති අයට පෙම් කළ හැකිය. ඒවා සියල්ල පෞද්ගලිකය. මෙවැනි තැන්වලදී වරද සිදුවන්නේ ගැත්තන්ගේ අතිනි. උක්ත ඡායාරූපය මාධ්‍යයට නිකුත් කරන්නට ඇත්තේ නිසැකවම එවැනි ගැත්තන් විසින් ය. රාජපාක්ෂික භාවය පෙන්වීමට ගැත්තකු විසින් කෙතරම් පරිශ්‍රමයක් දැරිය යුතුදැයි කියා පෘථග්ජනයන් වූ අපට තේරෙන්නේ නැත.

ශාමිනී සේරසිංහ ඇතුළු ජන මාධ්‍ය වේදීන්, දේශපාලන විශ්ලේෂකයන් නොදකින බරපතල කාරණයක් තිබේ. එනම්, පොදු ආයතන තුළ ආගමික සංකේත භාවිතා කිරීම ය. රජයේ කාර්යාලයකට ඇතුළු වන ස්ථානයේ බුදු පිළිමයක් තැබීම හරිද?

විපක්ෂයේ සිට විවේචනය කරන කාලයේදී ආගම සහ ජාතිය යනු අතිශයින්ම පෞද්ගලික කාරණාවන් බව කියන අයටත් තම පාක්ෂිකයා බලයට පත් වූ පසුව ඒවා අමතක වෙයි.

දේශපාලනඥයන්ට හරි මග කියාදෙනවාට වඩා මහජනතාවට හරි මග කියා දීම අත්‍යවශ්‍යය. එයට හේතුව, අපේ රටේ නායකයන් බිහි වන්නේ කිඩාරම් මල් පිපෙන ආකාරයට බැවිනි.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල