කාලීන සංවාද

වෙදෙක් උනත් ලෙඩෙක් උනොත්

Off

“මට බෑ, මම ආයෙ යන්නෙ නෑ… මාව ආයෙ යවන්න හැදුවොත් මම ඔළුව හැරුණු අතේ යනව… ගෙදර එන්නෙත් නෑ, බෝඩිමට යන්නෙත් නෑ”

“ඇයි ඔයා අපිට මෙහෙම කරන්නෙ? කොච්චර හොඳ බෝඩිම් ද හොයල දුන්නෙ හැමදාම? කවුරු මොනා කරත්, ඔයාට තාත්තයි මායි හිටිය නේද? ඇයි ඉතිං කැම්පස් දාල ආවෙ? ඔයාට අපි ගැනවත් දුක නැද්ද?”

“අවුරුදු 2ක් කාගෙන තමයි හිටියෙ. කරපු ඔක්කොම ඉවසං හිටිය. මෙදා පාර කරපු දේ ඉවසන්න මට හයිය නෑ.. මට ඒ ඔක්කොම ඔළුවෙ තියං බෝඩිමක තනියම ඉන්නත් බෑ, ඔක්කොම මතක් වෙනව… කියන්න කෙනෙක් නෑ, කිව්වොත් කිව්ව, මම ආයෙ යන්නෙ නෑ… යැව්වොත්… ආයෙ මම ගෙදර එන්නෙත් නෑ, ඔළුව හැරුන අතේ යනව”

අම්මා වැලහින්නක් වගේ අඬනව. තාත්තටනම් මල පැනල. පොඩි කාලෙ අපිව හුරතල් කරපු එකෙ ආනිසංසලු මේ විඳවන්නෙ…

හවස් උනා… රුචිර මැසේජ් එකක් දාල… අනේ මට බෙහෙතකටවත් අවුරුදු 5ටම හිටිය යාළුව ඌ… ඌ නැත්නම් මෙලහකට කැම්පස් අතෑරල හුඟක් කල් මම !

“මචං, ඇයි හවස ඇස්.ජී.ඩී. එකට (ස්මෝල් ගෲප් ඩිස්කෂන්) හිටියෙ නැත්තෙ ?”
“මං ආයෙ එන්නෙ නෑ ඔය මොකේටවත් බං”
“උඹ එන්නත් එපා.. කැම්පස් වැහුව ඕයි”
“මොකක්? යකො, මම කැම්පස් අතෑරල ආවට මොකටද කැම්පස් එක වහන්නෙ?”

“උඹ මේක දාල ගිය කියල වහන්න මේකෙ එවුන්ට උඹට වගෙ පිස්සු නෑ, ලෙක්චර්ස්ලට පඩි මදිලු.. ඒ හින්ද එයාල ස්ට්‍රයික්. උඹ හිත හදාගෙන එන්න ලෑස්ති වෙයන් මේ ටිකෙ”

අම්ම මාව පහුවදා උදේ ඇහැරවනව.. නොවඳිනා වැඳුම් වඳිනව, මාව කැම්පස් යවන්න…

“අනේ කැම්පස් වහල.. ඒ නැතත් මම යන්නෙ නෑ”

අම්මට හිතෙ වෙනදා වගේම මම හීනෙන් කියෝනව කියල. අන්තිමෙ කැම්පස් එකෙ සෙනට් එකේ වැඩ කරන බාප්පට කෝල් කරල තමා මම කියන්නෙ ඇත්ත කියල දැනගත්තෙ !

“බලන්න පොඩි දුව, (අම්ම හරි තාත්ත හරි පොඩි දුව කියන්නෙ ඉතාම විශේෂ දේවලදි විතරයි… එහෙම කියපු අන්තිම පාර මගෙ ඒ ලෙවෙල් රිසාල්ට්ස් ආව දවස) ඔයා කොච්චර වාසනාවන්ත ද? අපි කාටවත් වරදක් කරල නැත්නම් අපිට කර්මය විසින්ම අවස්ථා හදල දෙනව… ඔයා ඔක්කොම අත ඇරල ආව, ඒ අස්සෙ කවදාවත් වහන්නෙ නැති ඔයාලගෙ ෆැකල්ටි එකත් වහල.. දැන් මේ දවස් ටිකෙ ඔයා හොඳට හිතල හිත හදාගන්න… එයාලට ඕනෙ ඔයා දුක් විදිනව බලල සතුටු වෙන්න ! අපිත් වැරදි, ඔයාලව හැදුවෙ නෑ අපි ඔහේ කියන ඕනෙ එකක් අහන් ඉන්න.. ඒකයි ඔයාට මේ ඔක්කොම කරදර. ඒත් ඔයා දන්නව ඔයා කරෙ වරදක් නෙවෙ කියල. ඇත්ත කතා කරන්න බය වෙන්න ඕනෙ නෑ. නමුත් මේ දෙන පීඩා ඔක්කොම ඒ කතා කරපු හින්දා.. මේකෙන් ගොඩ එන්න පුළුවන්නෙත් ඔයාටමයි. ඔයාට අපි ඉන්නව, අත ඇරියොත් අපි ඉන්නකල් කන්න අඳින්න දෙයි, ඒත් ඊට පස්සෙ ?

හිතන්න! ඔයාට ඔය කවුරුත් හොඳින් හිටිය කියල කන්න, අඳින්න දෙන්නෙත් නෑ, නරකින් හිටිය කියලත් නෑ, ඔයා දිනුවොත් ඒ හැමදේම ඔයාටම කරගන්න පුළුවන් ජීවිත කාලෙටම. හැබැයි! ඔයා පැරදුනොත්… ඒව කරල දෙන්න කවුරුත් ඇත්තෙත් නෑ”

මම කොච්චර හිතුවත් මට ගොඩ එන පොටක් පෙනුණෙ නෑ.. සංගිලි පාලමක මඟක් යද්දි පාලම පිටින් කඩා වැටිල ඒකෙ කොනක එල්ලිල පහලට වැටෙන්න ඕං මේං වගෙයි ! අම්මල මට කියන්නෙ ඒකෙ එල්ලිල ගොඩ එන්න.. ඒත් මම වැටෙන්නයි යන්නෙ.. අනේ මට ගොඩ එන්න බෑ අම්මෙ.. මාව වැටෙනව !

අන්තිමේදි තාත්ත මාව එක්කන් ගියා තාත්තගෙ හොඳ මිතුරෙක් වෙච්ච ඩොක්ට Ariyasena U. Gamage ගාවට. ඒ, මේ කාරණේදි මට උදව් කල හැක්කෙ මගේ ෆීල්ඩ් එකේම කෙනෙක් ගාවට කියල තාත්ත හිතපු හින්දා..

ඒ දවස්වල එතුමා සරදියෙල් ගම්මානය හදන දවස්. මාව එක්කන් එන්න කියල තිබුණෙ මේ ගම්මානෙ ඉඳිවෙන දිහාවට. මාව මුලින්ම මේක වටේ රවුමක් එක්කන් ගියා…

ඒ ගිහින් මාව ඉන්දව ගත්ත ඒකෙ තිබුණ පොඩි පැල් කොටේක කොටයක් උඩ..
“දැන් දුවට තියෙන ගැටළුව තාත්ත මාත් එක්ක කීව. දුවට තව කියන්න දෙයක් තියෙද?”
“නෑ සර්”
“මේකයි.. ඔයාට ඕක ඔහොම හිතුණ එක බොහෝම සාමාන්‍යයි.. මට ප්‍රශ්නෙ ඕක හිතෙන්න අවුරුදු 2ක් ගිය එකයි”

පලමු වතාවට මම කරපු දේ හරියි කියල කෙනෙක් කීවෙ. ඒත් කැම්පස් දාල එන එක හරි වෙන්නෙ කොහොමද ?
“ඒ කිව්වෙ සර් ?”
“මෙහෙමයි, මම කැම්පස් දාල ආවෙ ෆස්ට් සෙමෙස්ටර් එකෙ..” ඔහු හයියෙන් හිනැහෙයි
“මෙඩිසින් ගිය කවුරු උනත් කැම්පස් දාල එන්න හිතනව. ඒත් ඇත්තටම දාල එන්න හයිය තියෙන්නෙ කීප දෙනාටයි. ඔයත් එයින් කෙනෙක්!”

මම අන්දුන් කුන්දුන් වෙලා අහගෙන ඉන්නව.. කවදාවත්ම ඇහුවෙ නැති කතාවක්. හැමෝම මට මේ අවුරුදු 2ටම කීවෙ
“අයියෝ, ඔයා හරි මෝඩයි, ඇයි කවුරුත් කියන කරන දේකට දුක් විඳින්නෙ? ඔයා ඔය හදන්නෙ කිරි කලේකට පයින් ගහන්න”
“අපෝ ඒ කාලෙ මට තිබ්බ ප්‍රශ්නවල හැටියට ඕව මොනාද? හිත හයියනම් එච්චරයි!”
“ඔයාට තිබ්බෙ කට පියාන ඉන්න අනේ ඒ වෙලේ.. එහෙම උනානම් මේ ප්‍රශ්න මුකුත් නෑනෙ”
“දැන් ඔයාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද? සැපට ඉන්න බෝඩිමක් තියනව, හදිසියකට එන්න ගෙදර ලඟමයි, සල්ලි ප්‍රශ්න නෑ… අනිත් ලමයින්ට තියෙන ප්‍රශ්න එක්ක බැලුවම ඔයා මේ ඔයා විහින් මවාගත්ත ප්‍රශ්න ගොඩක ඉන්නෙ”
“ඔයාට සැප සැපක් විදිහට දකින්න පින නෑ”
“අම්මා, තාත්ත ගැන දුක නැද්ද? ඒ ගැන හිතලවත් ඉන්න ඕනෙ නේද හිනා වෙලා?”
වගෙ දේවල්. ඒත් මේ මනුස්සයා මට කියනව මේක සාමාන්‍යයි ලු..

ගමගෙ සර් සුපුරුදු හිනාවත් එක්කම කතා කරනව;
“දැන් බලන්න, ඔයාට හොඳට ඉංග්‍රීසි පුළුවන් නෙ, මම ෆස්ට් ඉයර් එකෙ කැම්පස් දාල ආවෙ ඉංග්‍රීසි බැරුව. මම පලවෙනි විභාගෙට ලියන්න ඔන්න මෙන්න තියෙද්දි තීරණය කරා දාල එනව කියල. මොකද මට වාක්‍යයක් ලියාගන්න බෑ උත්තරේට..

මම ගියා කියන ආරංචියට සර් මට එන්න කියනව. ඒ ගියාම සර් මට කියනව වාක්‍ය ඕනෙ නෑ, උත්තරේට එන්න ඕනෙ වචන ලියන්න කියල… මම එහෙම ලිව්ව එතුමගෙ බල කිරීමට… මම පාස් වෙල තිබ්බ..

මේකයි දුව, ජීවිතෙ අපි හිතන පතන විදිහට හැමදේම ලැබෙන්නෙ නෑ, නමුත් ඒ හිතන පතන තැනට අපිට අපේ හිතේ හයිය තියේනම් මොන බාධක මැද්දෙ උනත් යන්න පුළුවන් !

ඔයාගෙ රිසාල්ට් ශීට් එක මම තාත්තට කියල ගෙන්නවගත්ත. ඒක බැලුවම ඔයා මේ ප්‍රශ්න මැද්දෙ ඉතා හොඳින් සටන් කරල තියෙනව. එක දවසක්වත් කැම්පස් නොගිහින් හිටපු දවසක් නෑ. ඒ අතින් බැලුවම ඔයාගෙ හිත පුදුමාකාර විදිහට හයියයි…

අපි හැමෝම ජීව්තෙ වැටෙන තැන් තියනව. මාත් එහෙම වැටිල තියෙනව. මට ඒ වෙලාවල තිබුණ උපකාරවලට වඩා හුඟාක් උපකාර ඔයාට තියෙනව. මේක මෙ අන්තිමට සිද්ධ වෙච්ච සිදුවීමත් එක්ක ඔයාගෙ හිතෙ වෙච්ච ක්ෂණික කඩා වැටීමක්. එහෙම නොවුණනම් තමා මට පුදුම හිතෙන්නෙ !

ඔයා කැම්පස් යන්න. මේ ටිකෙ පන්සල් යන්න, හිතෙ හයිය නැවත ගොඩ නඟා ගන්න. මේක ඔයාට ලැබුණ හොඳ නිවාඩුවක්! ඔයාට කැම්පස් නැවත යන්න බැරිනම් ඒ සාධකෙ මොකක්ද?”

“මට ආයෙත් මේ වගෙ ගැටළුවක් ඇති උනොත් ඒකටත් මගෙ හිත රිදෙනව. මගෙ හිතට සහනයක් දැනෙන්නෙ අම්මට, තාත්තට කීවම. බෝඩිමෙ තනියම ඉද්දි මට කියන්න කෙනෙක් නෑ.. මමම හිත හිත ඉන්නව. මට ගෙදර ඉදන් යන්න තියේනම් මම කැම්පස් යනව. මොකෝ හවසට මම අම්ම, තාත්තගෙ මූණ දකිනවනෙ. ඒත් ක්ලිනිකල් පටන් ගත්තම මට ගෙදර එන්න බෑනෙ. රෑත් වැඩ නෙ.. මං කොහොමද මේ වගෙ කුඩුකේඩු වැඩ ඉවසන් තව අවුරුදු 3ක් ඉන්නෙ?”

“ඒකද ඔයාගෙ ගැටලුව? මම මේ ගැන දෙමව්පියො එක්ක කතා කරල විසඳුමක් අරං දෙන්නම්. එයාල එක්ක මම කතා කරනකල් අර අන්කල් එක්ක මේ ගම්මානෙ ඉතුරු ටික බලන්න. බලල මට අඩුපාඩු කියන්නත් ඕනෙ.. ඔයා තමා මගෙ පලවෙනි සංචාරකයා!” ඔහු හිනා වෙමින් කිව්ව.

මම ගිහින් එද්දි ඔහු අම්මල එක්ක කතා කරල අවසන් කරල තිබ්බ..
“ඔන්න දුව මේකට තමා කියන්නෙ අපෙ ජීවිතෙ අපිට ගහන ගල්වලින් අපි ආරක්ෂක පවුරු බැඳගන්නව කියල. ඔයාට වෙච්ච අකරතැබ්බම ඔයාට ආශිර්වාදයක් වෙන්නයි යන්නෙ…
මම ඔයාගෙ අම්මයි තාත්තයි එක්ක කතා කරා !”
ඔහු කීවෙ ඔහුගෙ අතෙ පහස ලබමින් හුරතල් වෙන ඌරු පැටිය ලඟට ගනිමින්..

“අම්මයි තාත්තයි ඔයා එක්ක පේරාදෙණියට එනව. එයාල මේ අවුරුදු 3 ඔයා එක්ක ඉදී. වෙන ඕනෙම ගැටළුවකදි ඒ දෙන්න ඔයාට ඉන්නව. දැන් බලන්න, ඔයාට මෙ ගැටළුව නොඑන්න එයාල කවදාවත් ඔයා එක්ක ඉන්න එහෙ යයි ද, නෑනෙ! දැන් ඔයාගෙ විරුද්ධවාදියො ඔයාට ඒ අගනා අවස්ථාව ලබා දීල තියෙනව. ඔයාගෙ ගෙදර කෑම, ගෙදර ඇඳ, අම්මගෙ තාත්තගෙ රැකවරණය, පාඩම් කරන්න ඉඩ පහසුකම් ඔක්කොම එයාල හදල දුන්න ඔයාට. ඒ හින්ද එයාලට ස්තූතිවන්ත වෙලා අම්ම තාත්ත වෙනුවෙන් මෙ අවුරුදු 3 කට්ට කාගෙන ඉගෙන ගන්න. මේ අවුරුදු 3 ඉන්වෙස්ට්මන්ට් එකක්. ඔයාට විතරක් නෙවෙයි, අම්මට තාත්‍තට උනත්. එයාල දැන් කරන කැපවීමට පොලි එක්ක ප්‍රතිලාභ ලැබෙන්නෙ ඔයා දොස්තර කෙනෙක් උනාම. එයාල ලෙඩ උන දාක ඔයාගෙ අතින් ප්‍රතිකාර ලබද්දි. ඒ ඉන්වෙස්ට්මන්ට් එකට එයාල ලෑස්ති. ඔයා ලෑස්තිද කියල හෙට මට කෝල් කරල කියන්න”

මම පහුවදා කෝල් කරා..
“සර්, මම ලෑස්ති”

ලෑස්තිය අවසානයෙ හති වැටි වැටී මම දිව්ව. වැටුන, වැට්ටුව.. ඒ වෙලාවට අම්ම, තාත්ත මාව නැඟිට්ටවල ආයෙත් දිවවෙව්ව… මම දිව්ව, ජය කණුව පහු කරනකල්. මම පහු කරා !

අද සර් පිලිකා රෝගයකින් පීඩා විඳිනව. මම මේ ලිපිය ලියන්නෙ ඔහු ඊට මුහුණ දෙන විදිහ දකිනකොට දැනෙන ආඩම්බරයත් එක්ක. ඔහු එදා කීව ඔහුත් වැටුන තැන් තිබුණ කියල. ඒත් ඒ වැටීමෙන්ම ලැබුණ පන්නරයෙන් ඔහු මේ අවස්ථාවෙ මහමෙරක් වගෙ නැගී ඉන්නව. ඒ අත්දැකීම් වෛද්‍යවරයෙක් විදිහට අනිත් අය එක්ක බෙදා ගන්න තරම් ඔහු ශක්තිමත් !

මේ සියල්ල මතක් කලෙ ඔහුගෙ වචන වල ඇති ශක්තිය මතක් කරන්න. මමත් අම්මත් තාත්තත් එදා කරපු ඉන්වෙස්ට්මන්ට් එකෙ ප්‍රතිලාභ අද විදින්නෙ ඔබ අපිට ලබාදුන්න මඟ පෙන්වීම හින්දයි කියල මතකයි කියන්න…

ඔබට නිදුක් නිරෝගී සුව ! ඔබ වැනි මෙන්ටෝස්ල මේ සමාජෙට ඉතා අවශ්‍යයි !

-ප්‍රාර්ථනා ඇම්. ඇල්.
#සව්බොර

http://sawbora.blogspot.com/2018/01/28012018.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල