කාලීන සංවාද

මග නොදැන ගිය ගමන

Off

අපි දෙන්නාට මෙතෙක් කලකට ගමං යාමේ උණක් තිබුනේ නෑ. තියෙන දෙයක් උයා පිහාගෙන කාගෙන දවසෙන් වැඩි කොටහක් බුකිගත වීමෙන් රටේ ලෝකෙ දෙයක් හොයාගෙන ගෙට වැදී ඉඳීමෙන් සසර ගෙවා ගැනීම තමයි අපේ එකම අරමුණ උනේ. උපන් දා සිට ඊළඟ පැය අපේ ඉරණම කොහොම විසඳෙයිද කියා නොදන්නා අරුම පුදුම කල්ලතෝනි ජීවිත දෙකක් දෙපැත්තක ගෙවපු අපි දෙන්නාගේම පොදු මතයේ හැටියට මනුස්සයෙක්ට හම්බකරගෙන කන්න රස්සාවකුත්, ඉන්න හිටින්නට තැනකුත්, අඳින්නට ඇඳුං දෙක තුනකුත් ඇතිනං ඒ තමයි ජීවිතේ සැප. ඉතිං අපි දෙන්නා එයිට අමතර වසයෙන් හැමදාම හවසට කාටුන් එහෙමත් බලන හංදා අපේ ජීවිතේ සුඛෝපභෝගී එකක් නෙවැ. (කවදා හරි දවසක ආණ්ඩුවෙ ගෙවල් නැති තැනකට ස්ථාන මාරුවක් ලැබුනොත් එදාට මේ සැප හබක් බව හැබෑව)

මෙහෙම ඉන්නා අතරේ මොකද්දෝ කතාවක් ඇදීගෙන ගිහිං ඒ කෙළවර මට දැනගන්නට ලැබුණා චූටි මැණිකේ උපන්තේකට අනුරාජපුරේ ගිහිං නැති බව. කොටිම්ම අවුරුදු විස්ස ලබන තෙක්ම උන්දෑ ගිහිං තිබුණේ දකුණු පලාතෙං ගාල්ලටත්, බස්නාහිර පලාතෙං කොළඹටත් විතරයි. මගෙත් එක්ක නුවරඑළිය හරහා නුවරට ගිය ගමං කීපෙත් එක්කහු වුනාම රටෙං මහා ලොකු පදාසයක්ම චූටි මැණිකේ අඩිය තියපු තැං නෙවෙයි. ඒ ගමන අපි කල්පනා කළේ මේ ඉන්න අල්ල පනල්ලේ අනුරාධපුරේ ඇවිදින්නට ගියොත් හොඳයි කියල.

ඒකට අවශ්‍ය ලොකුම අඩුව වන වාහනේ අපි කලින්ම අරගෙන තිබුණා. අපි මේ වෙනකං ඒකෙන් කළේ වාහනේ දුං සහතිකේ ගන්නට දුං අල්ලන ස්ථානයට යාම, අඩු පාඩුවක් ආවොත් හදන්නට ගැරිජ් එකකට යාම, ආදායං සහතිකේ ගන්නට බස්නාහිර පලාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට යාම, අවුරුද්දකට වතාවක් වාහනේ බාරෙ අලුත් කරන්නට කතරගම යාම, මාසෙට සැරෙයක් ගෙදරට බඩු මුට්ටු ටික ගේන්නට මීටර් දෙසීයක් විතර දුරිං ඇති සුපර් මාකට් එකට යාම, ඉඳලා හිටලා ගමේ ගිහිං ඒම විතරයි. ඒ හංදා වාහනේ අටානූවක් හංදි දිගෑරෙන්නට මේ වගේ ගමනක් ගිහිං ඒම අවුලක් නැති වග අපිට හිතුනා. ඉතිං වැඩිකල් නොයවාම මං අපේ ඔලු කාර්යාලයට (head office) කතා කෙරුවේ අනුරාධපුරේ තියෙන අපේ දෙපාර්තමේන්තුවට අයිති නිවාඩු නිකේතනය වෙන් කරගන්න. එතනිං දැනගත්තු විදිහට මේ මහා භද්‍ර කල්පය ඉවර වෙනකං එක දවසක්වත් ගන්න බැරි තරමට හැමදාටම එතන පොත් (book) වෙලා ඉවරයි. අපිත් එක්ක එකට ඉගෙනගත් දන්නා අඳුරන අය ඒ අහල පහල කිලෝ මීටර් විස්ස තිහ දුරින් හිටියත් අපේ ඕනාවට යන ගමන කාටවත් කරදරයක් වෙන්න යන එක හරි නෑ. ඒ අතරේ දියතලාවෙ පුහුණු වෙච්චි කාලෙ අපිට අල්ලපු කාමරේ හිටිය අපේ කණ්ඩායමේ කෙනෙක් අපි දෙන්නට නවතින්න අපේ දෙපාර්තමේන්තුවට අයිති පූට්ටු කඳවුරක් ලෑස්ති කරල දුන්නා. ඉස්සර කාලෙ ලංකා මැනුම් කරද්දි තාවකාලික මැනුම් කඳවුරු විදිහට පාවිච්චි වුන මේ පූට්ටු කඳවුරු සමහර ඒවා දැං මේ විදිහට ස්ථිරේටම එක එක තැන්වල හයිකරල තියෙනව. එයින් අනුරාධපුරේට ගෙනත් හයිකරපු එකක් තමයි අපේ නවාතැන.

දැං ගමනට වාහනෙත්, නවතින තැනත් ලැහැත්තියි. ඊළඟට බලල් කටයුතු. අපි පහුගිය සැරේ ගමේ ගිය වෙලාවේ අධ්‍යයනයකිං සොයාගත් පරිදි බළලුන්ට කේ.පී හතරක ප්‍රමාණයත්, නාන්න තරං ලොකු වතුර බේසමකුත්, තැම්බූ මාලු පන්සීයක් විතර සහ හාල්මැස්සන් දෙසිය පනහක විතර ප්‍රමාණයකුත් පිඟන්වලට දමා තියා ගියවිට අහල පහල ගෙවල්වල පදිංචි ‘ටීචර්’ සහ ‘බෑනා’ ඇතුළු සියලු බළලුන්ට පැය 48 කට වැඩි කාලයක් පූස් සොමියක් ගන්නට පුළුවන්. ඒ හංදා මෙදා සැරෙත් ඒ පූස් සොමිය ගන්නට අපි සතොසෙ මාලු කඩේ සාදර අනුග්‍රහයෙන් (අපේ වියදමින්) පාටියක් සෙට් කරල දුන්නා.

වැඩක් කරන්න යද්දී කිසිම බාධාවක් සිද්ධ වුනේ නැතොත් හරි නැති හංදා නන්නාඳුනන විෂබීජ කණ්ඩායමක් මට උණ මිශ්‍රිත හෙම්බිරිස්සාවකුත් ඒ මදිවාට උගුරේ මහා සෙංගෙඩි ඵලදාවකුත් දෙන්නට තීරණය කලා. අන්තිමේ දී දෙපාරක් බෙහෙත් අරගෙන උණ එළවා දැම්මත් අනික් ලෙඩ ටික එළවන්නට තවත් වෛවර්ණ බෙහෙත් පෙති, කරල් එක්ක බිව්වහම පාවෙන වර්ගයේ පැණියකුත් දෙන්නට වුනා.

අපි දෙන්නාට සතියකට ඇතිවෙන තරං රෙදි පිරවූ බෑක් දණ්ඩක්, ලීටරේ වතුර බෝතල් මහ ගොඩක්, බල බැංකු (power bank), ආරෝපක (charger), දත්ත රැහැන් (data cable), සූරිය පැනල ආදී අත්‍යාවශ්‍ය බඩු ලන්දක්, පොල්තෙල්, හඳුංකූරු, අලුත් ඇඳුමක් ආදී පූජා භාණ්ඩ පටවාගෙන අමතක වෙච්චි දේවල් මොනවාදැයි බලන්නට පැය ගානක් සැරින් සැරේ එව්වා කොනක ඉඳන් ගැන බැලීමෙන් තවත් පැය ගානක් පරක්කු වුනායින් පස්සෙ උදේ පාන්දර පහට විතර අපි දෙන්නා ගෙදරින් පිටවුනා.

ඒ වෙත්දිත් හත් අටදෙනෙකුගෙන්ම පාර අහගෙන ඒවා මතක තියාගන්නට ගිහිං මගේ ඔලුවේ ඇඳිලා තිබුණු සිතියම තම්බි තොප්පියක් වගේ එකක්. ඒ හංදා මහියංගනයෙන් එහාට පාරෙ ඉන්නා මිනිස්සුංගෙං පාර අහගන්නට අපි තීරණය කරගත්තා. ගූගල් සිතියම පාවිච්චි කරන්නට ගිහිං නුවරදී මට්ටු වුනායිං පස්සෙ ආයෙමත් ඒ ගැන හිතන්නටවත් මං කැමති නෑ. එයිං ගන්නට පුළුවං ලොකුම ප්‍රයෝජනේ ටෙලිපෝන් එකේ බැටරිය බස්සා ගැනීමත්, තමුන් ඉන්න තැන කාටවත් විස්තර කරන්නවත් බැරි විදිහට අතරමං වීමත් කියන දෙක විතරයි. ඒ හංදා අපි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජනතාව, ත්‍රීරෝද රථ සංගම්, කඩපාලු සංගම්, බෝක්කු සංගම්, ඒකාබද්ධ ටියුෂන් සිසු එකමුතු, කොළපාට බෝඩ් සහ ශ්‍රී ලංකා පොලීසිය කියන මං සලකුණු වලට මුල් තැන දුන්නා.

පළමුවෙන්ම මහියංගනයෙන් දඹුල්ලට යන පාර කියාදුන්නේ බස් එකක් එනතෙක් බස් නැවතුමක සිටි කෙනෙක්. ඒ මහතා පෙන්වා දුන් පාරෙ පැයට හැතැක්ම හතලිහේ වේගෙන් පැය බාගයක් විතර මංගැච්චුවට පස්සෙ අපි පළවෙනි මංමුලා වැල පාගාගෙන බව මට දැනෙන්න ගත්තා. ඒ බව තහවුරු කරපු පාර අයිනේ සිටි ටියුෂන් යන දරුවෙක් කීවේ අපි ඉන්නේ අම්පාරට යන පාරේ බවත් තවම එහෙං දඹුල්ලට යන්ට පාරක් නැති හන්දා, ආපහු මහියංගනේට ගිහිං අසුවල් බේකරිය ලඟින් ඇතුලට පාරෙ යන්න ඕන බවයි. අපි ආපහු හරවාගෙන පැයට හැතැක්ම පනහේ වේගයෙන් මහියංගනේට ඇවිල්ලා එතනිං දඹුල්ලට යන පාර හොයාගත්තා. එයිං පස්සෙ හම්බුවෙන හැම හන්දියකින්ම නැවතිලා එක්කෙනකුගෙන් පාර අහගත්තා. ඊළඟට පළවෙනියටම හම්බුවෙන කෙනාගෙන් ඇත්තටම ඒ ‘අසුවල් දිහාවට’ යන පාරද කියල තහවුරු කරගත්තා. ඒ විදිහට අහලත් සමහර වෙලාවලදී පාරවල් වැරදිලා කිලෝමීටර් අට දහය ඉබාගාතේ ගිය වෙලාවලුත් තිබුණා. සමහරු පාර කිව්ව විදිහට ඒ හරියෙ ග්‍රාමසේවක රාලහාමිටත් පාර වරදිනව.

“කෙලීම්ම ගිහිං ඇල ගාවින් මේං මේ පැත්තට හැරෙන්න”

එක්කෙනෙක් අතින් පෙන්නපු දිහාව හරියටම වැටෙන්නෙ ඔරායන් තරු රටාව ඇතුළට හරි සෙනසුරුගෙ වළලු සෙට්ටෙක මැදට හරි.

“ඔය ඉස්සරහිං තියෙනව ලොකු ……………. ගහක්. එතනිං මෙහෙක්ට”

ඒ කියන …………. ගස් ජාතිය මං දන්නැති බව කිව්වම පාර කියපු කෙනා මූන වට්ටියක් වගේ කරගෙන මා දිහා බලං ඉඳලා ඒ ගස් ජාතිය අඳුරගන්න හැටි විස්තර කළා.

“ඉස්කෝලයක් හම්බුවෙයි. ඊට කලින් තියෙන හංදියෙන් දකුණට නිපොන් පාලම”

තව එක්කෙනක් වමට අත දික් කරල කිව්වා. අපිත් ඉස්කෝලෙ හම්බුවෙනකං ගිහිං ආපහු හැරිලා ආවා. එතකොට පාළම වමෙන් දකුණට මාරු වෙලා.

ඒ පාරවලුත් සෑහෙන හොඳයි. සමහර පාරවල්වල පාර පළල් නොකරම කාපට් දාලා මැද ඉරත් ගහලා. අසෝක අධිරාජ්‍යයාගේ පරම්පරාවේ ලේලන්ත රථයක් මූනට එනකොට වාහනේ කිහිල්ලෙ ගහගෙන නියරකට පනින්න ඕන. එහෙම නැත්තං ඇස්දෙක පියාගෙන කලිං කරපු පින් සිහි කරගන්න ඕන. ඒ අතරෙ තැනින් තැන බුලත් කොලේ හැඩේට හෑරිච්ච අලි නාවන්න පුළුවං වළවලුත් තියෙනව. නොදැක එව්වයෙ වැටුනොත් වාහනේ විතරක් නෙවෙයි වාහනේ යන මිනිස්සුංගෙ ඇටකටු වලිනුත් සීනු හඬ මතුවෙනව.

ඒ විදිහට පැය ගානක් රස්තියාදු වීමෙන් පස්සේ දඹුල්ලේ රත්තරං පන්සලේ බුදු පිළිම වහන්සේ දකිත්දී ජීවමාන බුදුහාමුදුරුවන් දැක්කා තරං සන්තෝසයි. අපි කොහොම හරි දඹුල්ලටම ඇවිල්ලා නොවැ. ඒ වෙත්දිත් බදුල්ලේ ඉඳලා දඹුල්ලට එන්න පැය 6 කට වැඩි කාලයක් ගත්තු එකම එළවන්නා විදිහට මම වාර්තාවක් තියල ඉවරයි. එතන ඉඳලා ඒ9 පාරෙ කෙලින්ම අනුරාධපුරේට කියල හිතාගෙන දකුණට හරවලා ඉස්සරහ බලත්දිම වට රවුං, හන්දි පෝලිමක් අපි එනමග පිලිගන්නට බලං ඉන්නව. ඒ හන්දා පාර අයිනෙ නවත්තලා කාගෙන් හරි පාර අහන්න හදත්දිම අපිට ආශිර්වාද ලැබෙන්න ගත්තා.

“මේ … ඕක අහකට ගන්නෝ… මෙතන අපේ පාක්කෙය. පේන්නැද්ද?”

“මෙතන කස්ටමස්ලගෙ වාහන විතරයි”

“No parking”

“පෑං… පැක් පැක්… බීක් …….කොපිරට කොපි රට, දං ගර පට කුඩ, දං ගර පටකුඩ”

ත්‍රීරෝද සංගම්, රෙදි කඩවල සිකුරුටි මහත්තුරු, එලෝලු ලොරි, වැලි ටිපර්, හාල් ලොරි, ඩබල් කොන්දොස්තර දාපු පුල් එන්ටටෙන්මන්ට් වීඩියෝ කෝච් අපේ පස්සෙං එලෙව්වා.

අපි ආරක්ෂාව පතා සුදුපටිධාරී ට්‍රැෆික් මහත්තුරු දෙන්නෙක් ළඟ නැවැත්තුවා. එතනට අරක්ගත්තු කවුරුත් හිටියෙ නැති නිසා අපට ඉතුරු වටරවුම් ප්‍රහේලිකා ටික විසඳගන්න ක්‍රමේ අහගන්න පුළුවං වුනා. එතන ඉඳං අපේ ජනප්‍රියම ක්‍රමේ වුනේ පොලිසියෙං පාර අහන එක.

ඒ-9 පාරට අපි සියුමැලි වැඩියි කියල තේරුං යන්න මහ වෙලාවක් ගියේ නෑ. ලංකාවේ දකුණු කෙලවරේ තියෙන හැම ගමකින්ම යාපනේ බලා විදින ලේලන්ත රථ ඔක්කොම යන්නෙ ඒ පාරෙ. කොටිම්ම ඇන්ටාක්ටිකාවෙන් සයිබීරියාව හරහා ආක්ටික් වෙනකං යන එව්වත් යන්නෙ ඒ පාරෙ වෙන්න ඕන. එක හෝන් පාරෙං පාරෙ තියෙන වාහන ටික පිඹල අහකට කරන එහෙව් බස් යන්තරවල හුලං පාරට අපිව නිකම්ම වැනිල යනව. පිටේ හයිකරපු නගුල් උස්සගෙන තව යායක් බලා ඉගිලෙන ටැක්ටරයක්, එලෝලු අදින ඩිමෝ බට්ටෙක්, ලෑන්මහත්තයෙක් ඇරෙන්න වෙනිං වාහනයක් පහුකරන එක අපිට කරන්න අමාරු වැඩක්.

අන්තිමට අනුරාධපුරේ පූජා නගරෙට කිට්ටු වෙත්දි දවල් දොලහ පහුවෙලා ඉවරයි. ජයග්‍රාහී පැය 7 ක විළිලැජ්ජාසහගත ගමනකිං (පැයට හැතැක්ම විසිගානක වේගෙකිං) අනුරාධපුරේට සේන්දු වෙච්චි අපි ඉතාමත් මරි මෝඩ විදිහට ගිනියං දවාලේ සිද්ධස්ථාන වඳින්න යන්න පටං ගත්තා. ආයෙමත් පාර අයිනේ හිටිය ටියුෂන් ළලනාවියෝ දෙන්නෙක්ගෙං පූජා නගරෙට යන පාර ඇහුවා.

“මෙහෙං යන්නත් පුලාං..”

එක්කෙනක් දබරැඟිල්ලෙං රවුමක් ඇඳල පෙන්නුවා.

“ඔආලට ඕන්නං මේං යන්නත් පුළුවං”

අනික් එක්කෙනා වමට කැරකුණ වාලම්පුරියක් වගේ ඇඳල පෙන්නුවා. අපි වාලංපුරිය තෝරගත්තා. ඒ පාර අපිට වැරදුනේ නෑ. පළවෙනි වට රවුමෙම සේරම සිද්ධස්ථානවලට යන පාරවල් ලකුණු කරල තිබුණා. කෙලින්ම ශ්‍රී මහා බෝධිය ගාව වාහන නැවතුමේ නවත්තල සෙරෙප්පු සේරමත් වාහනේම දාල තියල තෙල් බෝතලෙයි, හඳුංකූරු පෙට්ටියයි අරගෙන සැදැහැ සිතින් තාර පාරට අඩිය තිබ්බා. සුදු ඉරේ හිටිය පොලිස් රාලාමි වන්දනා නඩ ආපු බස් දෙකක් එක හස්ත සංඥාවෙන් නවත්තලා අපිට පාර පනින්න ඉඩ හදල දුන්නා. මල් විකුණන කඩ තියෙන්නෙ අපි කලින් හිටපු පැත්තෙ බව දැක්කෙ එතකොටයි. ආයිමත් සුදු ඉරෙං මෙහාට පැනලා මල් කඩ තියෙන පැත්තට කිට්ටු කළා.

දෙමළ චිත්තරපටිව ඉන්න මැරයො වගේ ලොකු මාල දාගෙන, උඩු රැවුල වවාගෙන කමිසෙ බොත්තං හතරම ඇරගෙන මහ සද්දෙට කෑ ගහන මල් මුදලාලිලා තමුන්ගෙ කඩේ ඉඳං යාර ගානක් එළියට අත් දික්කරගෙන අපිට තර්ජනේ කලා.

“මේන්ඩ… මෙං ගන්ඩ මල් ආ….හ්”

“ඔය නෝනා… මල් ගන්ඩ මේං.. ඔයෙ යන්ඩෙපා”

බොහොම බයානක පෙනුමක් තිබුණ මල් මුදලාලි කෙනෙක් අපි වගේම බයවෙලා හිටිය මල් මිටක් අපේ අතට දීල සල්ලි ටික උදුරගත්තා. තව තැනකිං හතර කොන නවපු කාඩ්බෝඩ් කෑල්ලක් උඩට මල් ටිකක් ගුලි ගහල හදපු “මල් වට්ටියකුත්” අපේ අතට පැන්නා. ඒ මල් සේරම උඩු අතට හරවලා පූජා කරන්න සුදුසු තත්වෙකට හදාගන්න අපිට තවත් විනාඩි ගානක් ගියා.

ඒ වෙත්දි ශ්‍රී මහ බෝධියට ඇතුල්වෙන පඩිපෙල ගාව ඉහලින් ගේට්ටුව වහල ඉවරයි.

“පූජා වට්ටි ගන්නෙ තව පෑකින්. දැං ගත්තට කන්ලව් කරන්නෑ. කප්මාත්තුරු කෑමට ගීල්ල”

ගේට්ටුවට ඇතුලෙං හිටිය සුදු සූට් ඇඳපු අය ගේට්ටුවෙං පිට හිටපු පළතුරු වට්ටි ගෙනා සැදැහැවතුන්ට තරවටු කලා.

“අයියෝ… ඒ තරං වෙලා ඉන්න බෑනෙ”

සැදැහැවන්තියක් පලතුරු වට්ටියෙ වහපු මැස්සෙක් එලෙව්වා.

“කරන්දෙයක් නෑ”

සුදු සූට් කාරයා ගෙරෙව්වා.

චූටි මැණිකෙගෙ මූන බිමට පාත් වුනා.

“මේ මල් වට්ටිය තියන්න බැරිවෙයිද?”

මං මල්වට්ටිය අරගෙන ගේට්ටුව ගාවට කිට්ටු කලා. බනිස් කෑල්ලක් දැක්කම ලකියගෙ කං දෙක කඩාහැලෙනව වගේ අසරණ මූනක් හදාගෙන සුදු සූට් කාරයෙක් දිහා බැලුවා.

“මහත්තයා… අනේ මේ අපි වෙනුවෙං මේ මල්වට්ටිය පූජා කරන්න පුළුවනිද? ඔබතුමාට බොහොම පිං.”

සුදු සූට්කාරයා මගෙ මූන බැලුවා.

“කෝ දෙන්න.”

සුදු සූට් කාරයා මගෙ අතින් ගත්ත මල් වට්ටිය ශ්‍රී මහ බෝධියෙ මල් අස්න උඩිං තියද්දි පහල මලුවෙ ඉඳං චූටි මැණිකෙ හිනා වුනා.

http://yanhella.blogspot.com/2018/01/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල